බ්ලොග් ලිපියකට කමෙන්ටුවක් දමන්නේ 99%ක්ම තවත් බ්ලොග් එකක් ලියන අයකු වීම සාමාන්‍ය සංසිද්ධියකි. නිර්මාණයන් ඇසුරු කෙරෙන්නේ තවත් නිර්මාණකරුවකු වීම බ්ලොග් රචකයකුගේ වාසනාවක්ද අවාසනාවක්ද යන්න නිශ්චය කිරීමට තවමත් කාලය එළඹී නැතිද යන්න විවාදාත්මක කරුණකි. සමාජයේ අන්තර්ජාලය පරිහරණය කරන්නන්ගේ සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යද්දී අන්තර්ජාලයේ සිංහල භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතයද ඉහළ යාම අනිවාර්‍යෙන්ම සිදු වේ. සිංහල බ්ලොග් නොලියන නමුත් කියවන්නන් පිරිස ඉහළ නංවා ගැනීමට යම් සාධනීය උත්සාහයක් දරා තිබේදැයි යන්න ගැන අදටත් සැක සහිත පරිසරයක් නිර්මාණය වී ඇත.
කාල හෝරාව ආපසු ගමන් අරඹයි..මා මීට පෙර ලිවූ කෙටිකතාවේ ප්‍රායෝගික හරය මෙයයි.
වෙසක් අසිරිය බලන්නට කැමරාවද අතැතිව රෑ පුරා කරක් ගැසූ මට එක් දිනක ගංගාරාම වෙසක් කලාපයේදී එහි වූ ගිනි කෙළි සන්දර්ශනයක් නරඹන්නට මොහොතක් ලැබිණි.
එය නරඹමින් සිටි උවැසියක් බඳු ඈ මා හා ගුප්ත ආරාධනාත්මක ලෙස සිනාසුණි..
මම ඇය නොහඳුනමි. කිසිදා හෝ දැක ඇති බවක හැඟීමක් සිත තුළ හට නගිද්දී ඈ සෙනඟ අතර නොපෙනී ගියාය.
ගණිකාවක් වෙන්න ඕනි..යන සිතුවිල්ලත් සමඟම මා හට සිතුණේ ඇයි කතාවක් නොලියන්නේ මේ වගේ..කතාවෙ සැකිල්ල හදවත පුරා ඇදී යද්දී..මා හට මා කියවා ඇති නොරත රති නව කථාවද සිතේ ඇඳී යන්නට වීය. ඔවුනුත් මිනිස්සු...හැඟීම් දැනීම් ඇති..ආදරයේ එක් ඵලයක් වූ රමණය ඔවුන් කරන්නේ අකමැත්තකින් ම විය හැකිද යන්න ගැන මට ඇත්තේ විමතියකි...
සම්පූර්ණ කතාවම හදවතේ ඇඳුණු නිර්මාණයක් මිස සත්‍ය කතාවක් නොවන බව ප්‍රකාශ කල හැක. කෙටිකතාවක් ලියන නිර්මාණකරුවකු තමන්ගේ පරිකල්පනය මෙහෙයවන්නේ කෙසේදැයි ඔවුන්ගේ නිර්මාණ දිවිය අරඹයා ලියූ කතන්දර ඇස ගැසී ඇති මට එය සිහි වේ.
මෙහි ඇති සත්‍ය සිද්ධීන් දෙක මා වෙසක් බැලීමට කැමරාවත් රැගෙන ගිය බව සහ ස්ට්‍රෝබෙරි මගේ ප්‍රියතම පලතුරක් බව පමණි.
මේ අළුත් එළිය සමඟ නැවත කියවා බලන්න...
දැනුණාද සමාජයක්ම ප්‍රසිද්ධීයේ පිළිකුල් කරන නමුත් ඈගේ හද ගැහෙන රාවය ?
------------------------------------------------------------------------------------------------------------
මුසාවාදා වේරමණී...
ඈ වෙනදාටත් වඩා ලස්සන යැයි මට සිතේ.
සුදු පැහැ චාම් ටී ෂර්ට් එකක් සමඟ හැඳි සුදු පැහැ දිගු සාය නිසා සංසාරයේ බොහෝ පෙරුම් පිරූ උවැසියකගේ ඡායාවක් මගේ දෑස කොනක දැවටේ.
"ඔයා සිල් ගන්න ගියේ නැද්ද"
"හ්හ්මුහ්...නෑ අපිට මොන සිල්ද. කනවා බොනවා, බුදියා ගන්නවා ආයි ආයි ඔය රෝදෙම තමයි කැරකෙන්නෙ"
"හෙමීට... හෙමීට..මේ වෙසක් දවස් ටිකේවත් ඔව්වා ටිකක් හෙමිහිට කියන්ඩකෝ. බලන්න අහල පහළ ඉන්න මිනිස්සුන්ටත් ඇහෙනවා මේ සෙනඟ අස්සෙ"
ඇගේ සුදුමැලි වත රතු වී ඇත. දෙකන් සහ නහය රතු වූ විට ඈ වඩාත් පියකරුය.
"කන්ඩකෝ ඔය අයිස් ක්‍රීම් එක. ඔන්න අත දිගේත් බේරෙනවා"
"ඉහ්...හිහ්...ඉහ්.."
ඈ පොඩි එකකු මෙන් හිනා සලමින් අයිස් ක්‍රීම් කෝන් එකම සෙමින් තම දෙතොල තුළින් මුව තුළ බහා එහි හිම කිරම සූප්පු කරයි.
මට සිනා පහළ වීය..
"ඇයි හිනා වෙන්නෙ?"
අයිස් ක්‍රීම් කෝණයේ කෙළවරක් සපමින් ඈ විමතියෙන මා දෙස බලන්නීය.
"ඔන්න කට දෙපැත්තෙ බේරෙනවා"
මම ඈගේ ලේන්සුව ගෙන ඈගේ මුව පිස දැම්මෙමි.
"ඇයි හිනා වුණේ "
තවමත් ඈ දෑස් තුළ විමතියේ ලකුණු..
"මට මතක් උණා අර කතාව අර සිස්ටර් කෙනෙකුයි, ගොනෙකුයි, බැඳපු ගෑනු කෙනෙකුයි අයිස් ක්‍රීම් කන විදියෙන් කොහොමද බැඳපු කෙනාව අඳුරා ගන්නෙ කියලා ඇම්ඩා අහපු කතාව"
මට උවමනා තරමටම ඈ මුව විළියෙන් රතු වීය..
"යන්ඩ යන්ඩ මම ඔය කතා ඕනි තරම් අහලා තියෙනවා. කී දෙනෙක් නම් ඔයි කතා කියනවද?..හැබැයි ඔයා හරි නරකයි"
"ඇයි?"
"මම ඔයිට ඉස්සෙල්ලත් කිව්වා අර වචනෙ අර ගොල්ලන්ට පාවිච්චි කරන්න එපා කියලා. ඇයි ඒ ගොල්ලො ඒක විකුණන් කෑවයි කියලා මිනිස්සු නෙවෙයිද ?"
ඈ මට පිටුපා ගොස් වැව් බැම්මේ තනා තුබූ තාප්පයට වැළමිටි වාරුව ගෙන ඈත නගන රැළි දෙස බලා සිටින්නීය..
මද සුළඟට ඈගේ කියඹු වැල් සැලෙන්නේ ඈගේ සිතුවිලි කැළඹෙන ආකාරයට යැයි මට සිතුණි..
මට මහත් දුකක් සිතුණි...මා සෑමවිටම මගේ සිත විස්සෝපයට ඇද දමන්නෙ මාගේ පාලනයක් නැති කට නිසාය..
මෙවන් විටෙක ඈට තනිවම සිටීමට ඉඩ දීම වඩා යෝග්‍ය බව මා අත්දැකීමෙන්ම දනිමි...
"මම අරෙහෙට යනවා තව ෆොටෝ ටිකක් ගන්න. මේ ට්‍රයිපොඩ් එක තියා ගන්න"
ඈ ට්‍රයිපොඩය ගෙන තම උකුලට තද කර ගෙන එයට වාරු වී..නිමක් නොපෙනෙන ජල තලයේ ඈත බලා හුන්නාය...
මා මොහොතකට ඈගෙන සමු ගත්තෙමි. මද අඳුර වැටී ගෙන එද්දී තැනින් තැන දර්ශනීය ආකාරයෙන් සකසා තිබූ වෙසක් පහන් කූඩු වල එකින් එක වූ විදුලි බුබුළු දැල්වෙන්නට පටන් ගති. අසල වූ ජල තලය මත විවිධ රටා අදිමින් වෙසක් කලාපය ආරම්භ කරන සංඥාව වූනෙක මල් වෙඩි සතර පැත්තකින් අහසට ඇදී ගොස් විවිධ හඬ නගමින් පුපුරා යන්නට වූයේ සියල්ලන්ගේම දෑස් ඒ දෙසට යොමු කරවාලමිනි.
මා මේ සියල්ලම කැමරා කාචයේ සටහන් කර ගනිමින් ආපසු ඈ වෙත පැමිණෙන විට ඈගේ සියලු අඳුරු මනෝභාවයන් ඈගෙන් ඉවත් වී නැවතත් සුපුරුදු සිනහව මුව අගට ලං කර ගෙන මා දෙස බලා සිටින්නීය.
"ඔය ෆොටෝ ටික සේරම මට සීඩී එකකට ලියලා දෙන්න..හෙමිහිට බලන්නම් නිවාඩු පාඩුවෙ.. මතක් කරන්න අද යන්න ඉස්සර වෙලා අර අවුරුදු උත්සවේ ෆොටෝ තියෙන සීඩී එක බලලා ඉවරයි මම ඒක දෙන්නම්"
ඈ ළදැරියක් මෙන් මාගේ එක් අතක එල්ලී ගෙන මුළු වෙසක් කලාපයේම වූ සෙනඟ අඩු කූඩූ සහ තොරන් සියල්ලම බැලුවාය.
මට ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය විටෙක නොමසුරුව මා අත වූ අමතර ලෙන්ෂයන් , බැටරි ආදි වූ බෑගය කරේ එල්ලා ගෙන මා දෙස නෙත් යොමා සිටියාය. මැදියම් රැය පහන් වෙද්දී අප ඈගේ නවාතැන වෙත පැමිණියෙමු.
සියල්ලෝම වෙසක් උත්සවය නිසාම තමන්ගේ ගම්බිම් බලා ගොස්ය..
උණුසුම් දිය දහරකින් ගත දොවා ගෙන සිහින් මධුවිතක් ආමාශ ගත වෙද්දී සන්ධ්‍යා කාලයේදී ගතට දුන් වෙහෙස සියල්ලම ගතින් මෙන්මසිතින්ද පහව ගොසිනි.
දන්සැල් වලින් සහ සෑමතැනම තුබූ ආපනශාලා වලින් විවිධ වූ දෑ කා තිබූ නිසා මද හෝ කුසගින්නක් නොදැනේ..
"යන්න ඉස්සර මම නූඩ්ලස් එකක් හදලා දෙන්නම්. නැත්නම් ගෙදර ගිහින් ඔයා බඩගින්නෙ නිදියයි"
වෙහෙස නිසාම නින්දක් යාමට ගොස් අසල වූ මාර්ගයේ මහ හඬ නගමින් ගමන් ගත් මෝටර් රථය නිසා මා හිස එසවූයෙමි.
"ඉඳලා උදෙන්ම යන්ඩකෝ..."
ඈ ආයාචනය කරන්නීය..
"බෑ බබා මට යන්ඩෝනි.."
"ඒ උණාට ඔයා බීලා ඔය බයික් එකේ යන කොට පොලිසියෙන් ඇල්ලුවොත්"
"ඔයා දන්නවනේ මගේ යාළුවො ගැන..කෝල් එකක් දීලා ෂේප් වෙන්නම්"
"මොකද්ද ඔයා ටිකකට ඉස්සෙල්ලා අර අද වෙසක් දවසේ ඇත්තම කියන්නම් කියලා කීවෙ?"
"මතකද මම ඔයාට කීවා මම මේ තත්වෙට වැටුණෙ කොහොමද කියලා"
"ඔව් මතකයි ඔයා එක එක සැරේට එක එක කතාවල් කීවා..තාත්තා අතින් උණ නිසා කීවා..අර ඉස්කෝලෙ සර්ගෙ කතාවක් කීවා.හාමුදුරුවො දහම් පාසලෙදි.."
"ඇති ඇති...ඒ බිව්ව වෙලාවට එහෙම කියන්න ඇති"
"ඉතින් ඇත්තම කතාව මොකද්ද ?"
"ඔය මොකක්වත් හේතු නෑ අනේ මම මේකට ආසයි"
"ආ ඒකද ඇත්තම කතාව?"
"ඔව් වෙසක් එකේ ඇයි මම බොරු කියන්නෙ?"
"හා ලබන ඉරිදා මොකද කරන්නෙ?"
"ලබන ඉරිදා බෑ සෙනසුරාදා අර බැංකුවෙ මහත්තයා එක්ක නුවර එළි යනවා..එන්නෙ සඳුදා උදේට"
"මට මොනවද ගේන්නෙ"
ඔයාට ඔයා කැමතිම ස්ට්‍රෝබෙරි ගේන්නම්"
විටින් විට ඇද හැළුණු දුවන වැසි නිසා මදක් තෙමී තිබුණු බයිසිකලය මත හිඳ ගත් මාගේ තුනටිය දිගේ මුළු ශරීරයම හිරි වට්ටන සීතලක් මොළය වෙත ඇදෙන්නටවීය..
සීතල වූ හෙල්මටය පැළඟ ගත් මා නැවත ඈ දෙස බැලූයෙමි.
මා දුටු සුන්දරම හදවත සතු කත ඇයයි...