ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, December 12, 2022

අප්පට සිරි මගේ බ්ලොග් එක !

 අප්පට සිරි මේ බ්ලොග් එක තාම තියෙනවනෙ...

" අනේ දැන් ඒකෙන් චූ කරනවා විතරයි ...වෙන වැඩක් ගන්නෙම නෑ" 

කිව්වලු...

කතාව තමයි මතක් උනේ....



Monday, July 22, 2019

හුළඟක් කළ වින්නැහියක්

අර පහුගිය සතියෙ හවස මහ හුළඟක් ආවනෙ..
මෙන්න මෙහෙමයි මම ඒකට මූණ දුන්නෙ නම්

ඔය හුළඟ යන වෙලාවෙ රාත්‍රී හතට විතර මම අපේ ගෙදර අයිනෙ තියන කෙසෙල් පඳුරට පරිසරයට විනාඩියක් කරන්ඩ ගියා..සරමත් උස්සගෙන වැඩේ කරනකොට කිසිම හුළඟක් තිබ්බෙ නෑ..වැඩේ බාගයක් කරනකොට ආවෙ නැද්ද පිංවතුනේ හුළඟක්..හතර වටේ කැරකෙන හෙන හුළඟක්..ආයි ඉතිං වැඩේ මග නවත්තන්ඩයෑ... සරමෙයි කකුල් දෙකෙයි..හැමතැනම ..කෙසෙල් පඳුරට යූරියා නෑ අද සෑට..ඔන්න හුළඟ..

ඒ පාර එහෙම්මම අලුත් සරමකුයි, ටවල් එකයි අරගෙන ශවර් එකක් දාන්ඩ ගියා..මගේ ශවර් එක ඕපන් ඒරියා එකක තියෙන්නෙ..ගෙවල් අයිතිකාරයගෙ ගෙදර පහුකරගෙන ගිහින් අනිත් වත්තෙ අඩි 8 ක් විතර උස බැම්මට තමයි බට දාලා මගේ ශවර් එක හයි කරලා තියෙන්නෙ..එතනට මම කැමතියි. හොඳට හුලං වැදි වැදී නාන්ඩ කරන්ඩ පුළුවන් නිසා සහ රෑට,එතන කළුවරේ නාන්ඩ ආයි රෙදි අඳින්ඩ ඕනි නෑ..එතන .. .

ටවල් එකයි සරමයි බැම්මෞඩට දාලා මම අනිත් සරමත් හෝදලා ආයි ඇඟත් හෝදා ගත්තා..ශවර් එකෙන් වැටෙන වතුර හුළඟට හතීදීපන්කරේ දුවනවා..මාත් දුව දුවා සෑහෙන වෙලාවක් අරගෙන ඇඟ හෝදා ගත්තා..

ඉවර වෙලා බැලින්නම් හුටා පිංවතුනේ බැම්ම උඩ තිබ්බ සරමයි ටවල් එකයි හුළඟට ගිහින් එහා වත්තට වැටිලා..මේ පැත්තෙන් කොහොමත් ඒක ගන්ඩ බෑ..බැම්ම අඩි අටක් උසයි..අනික කොහොමද මම හෙලිකොට්ටෙන් බැම්ම පනින කොට එහා ගෙදර කෙනෙක් දැක්කොත්..හෙට හිරේ.අල්ලපු ගෙදර ඇන්ටිට අතවර කරන්න හෙලිකොට්ටෙන් ඒ වත්තට පැන්නා කියලා.මොකද මේ හුළඟෙ අරුම බලන්ඩ හැම ගෙදරම මිනිස්සු එලියට බැහැලා ඉන්න වෙලාවෙ...

ගෙවල් අයිතිකාරයගෙ ගේ පහු කරගෙන කොහොමත් මට මම ඉන්න ගෙට එන්ඩ බෑ..
මගේ වෙලාවට ලයිට් ගියා..ලයිට් ගියාට පට්ට කලුවරක් නෑ..එතන තිබ්බ තේක්ක ගහෙන් වැටිච්ච කොළ දෙකක් ඉස්සරහ පැත්තටයි , පස්සෙ පැත්තටයි තියා ගෙන ඔරේ රන් මම ඉන්න කෑල්ලට..එතන දොර,අරින්ඩ ඕනි යතුර අරගෙන යතුර කරකවන කොටම ලයිට් ආවා..

මම ඉන්න ගෙදරට පැත්තක තියන ඉඩමේ අලුතින් ගෙයක් හදනවා..ඒකෙ වැඩ කරන බාසුන්නැහේ කෙනෙක් එයාලගෙ ටොයිලට් එකට යන්නෙ මගේ ගේ පිටිපස්සෙ තියන දොර ළඟ සයිඩ් එකෙන්..

"ආ මොකද මහත්තුරු මේ ?"

කියලා අහපි..
අනේ පිංවතුනේ මට දැන් එලියට බහින්ඩ බැරි තත්වයක් තියෙන්නෙ..

මෙච්චර දිග කතාවක් අර මනුස්සයට පැහැදිලි කරලා දෙන එක ලේසි නෑ..
සුවර් එකටම ඒ මනුස්සයා හිතන්ඩ ඇති..මම කොටුවක් පනින්ඩ ගිහින් මාට්ටු වෙලා සරමත් දාලා දුවන්ඩ ඇති කියලා.
.
නෙද්දකිං නොදෝමකිං..කලබල උනහම කොරොස් කටෙත් අත දා ගන්ඩ බෑයි කියන්නෙ මේවට තමයි...අර හෝදා හෝද හිටපු සරම තාම ශවර් එක යට ඒක ඇඳගෙන නම්බුව බේර ගෙන නාවෙ ඇයි කියල මට දැනුයි වැටහෙන්නෙ...

Thursday, March 8, 2018

අපි මාතරට..

අපි යනෝ මාතර..
ඒක කලින් නොකිව්වෙ කිව්වා නම් දන්නවානෙ කට්ටිය ලෑස්ති වෙනවා අපිව පිලිගන්ඩ අරවා මේවා ලෑස්ති කරගෙන ඒ හින්දා..
යන්නෙ ඇයි කියලා ඇහුවා..
අපේ පොඩි පුද්ගලික උත්සවයක් තියෙනවා ආන්නේකට සහභාගි වෙලා එන්ඩයි යන්නෙ..
මෑතකදි මාතර පැත්තෙ යන දෙවනි සැරේ මේ..
ඉස්සෙල්ලා සැරේ උනේ..
මහරගම ගාල්ල මාතර හයිවේ බස් පෝලිම දන්නවනෙ හැමෝම..පෝලිම් දෙක අරෙහෙට.. මෙහෙට ඇඹරිලා ඇඹරිලා ගිහින් ඒකෙ කෙළවරක් හොයන එකට වඩා ලේසියි වංකගිරියෙ දොර හොයා ගන්න එක...
මමත් මේම..මේම හොයාගෙන ගිහින් කෙළවරක් හොයාන..බස් 7-8 කට පස්සෙ..නැග්ගා බස් එකට. ..
ඔන්න හයිවේ එකටත් ඇවිත් ටිකට් එක ගන්න දික් කරපු දාහෙ කොළේ ඉතුරු ටිකක් අවුල් හින්දා බැලුවා...මාතර බස් එක...මට යන්ඩෝනි ගාල්ලට !!!
දැන් ඉතිං මොකද්ද කරන්නෙ..
මාතරට ගිහින් දවල්ට කාලා බීලා කරලා..ආපහු ගාල්ලට ආවා එන්ඩ හිටිය වෙලාවට පැය හතරකට විතර පස්සෙ. ..
මේ සැරේ මක් වෙයිද කියලා බලමුකො...

Wednesday, March 7, 2018

කාලෙකට...පස්සෙ...වෙලකට බැස්සෙ...

කාලෙකට...පස්සෙ...වෙලකට බැස්සෙ...
 
ඔන්න ඉතිං..කාලෙකට පස්සෙ තමා මේ පැත්තෙ ආවෙ !

කාලෙයක් කිව්වෙ ඉතිං අවුරුදු 2-3ක් විතර..එච්චර ලොකු කාලයක්මත් නෙවෙයි !


හා...හා ඉතින් ඇයි ඔය කොස්ස අතට ගත්තෙ ???


ආ...ආ.ආ...ගේ අතු ගන්ඩ නම් කමක් නෑ ඉතිං..මම හිතුවෙම..නෑ ඒවා ඕනි නෑ හිතුව ඒවා..


ඔව් ඔව්..අද උදේ ඉඳන් ඒ පැත්තට යන එක තහනම් කොලා නේන්නම්..ඒක ආරංචියිනෙ....


නෑ ඉතිං ඒකමත් නෙවෙයි..මේ පැත්ත මතක් වෙන්ඩ හේතුව... @ ඔළුව කසමින්..



ඉතිං ගෙට අඬ ගහලා තේ එකක් එහෙම බොන්ඩ ආරාධනා කොරන්නෙ නැතෙයි ?

Friday, April 29, 2016

ආච්චිගෙ සෙද්ද හෙවත් සයිබර් සහෝදරත්වයේ ප්‍රේමණීය ඉසව්ව 2016

Photo courtesy - http://tech.firstpost.com/news-analysis/look-no-hands-augmented-reality-gets-a-grip-29341.html

 
සයිබර් සහෝදරත්වයේ ප්‍රේමණීය ඉසව්ව 2016 සයිබර් බක්මහ උළෙල 2016 වැල්ලවත්ත ග්‍රවුන්ඩ් එකේ තියෙනවනෙ. 

ඕන් හෙට ඒ කියන්නෙ සෙනසුරාදා උදෙන්ම එතනට එයි එන කට්ටිය..එන්න බැරි කට්ටිය බුකියෙන් බලයි අප්ඩේට්ස් වෙන ඒවා. බුකිය පෙම් බැන්දට ඒකට නොයන අයට ඔන්න බ්ලොග් අප්ඩේට් එකක් දෙන්ඩයි යන්නෙ මම හෙට...

පැයකට සැරයක්වත් ෆොටෝ අප්ඩේට් එකක් දෙන්නම් මේ බ්ලොග් එක හරහා.


මේකම බත්තරමුල්ල තිබ්බ අවුරුදු උත්සවයේ මම කලා..
හොඳ ප්‍රතිචාරත් තිබ්බා.


පස්සෙන් පහු ඇනෝලා කීප දෙනෙක් කියන්ඩ ගත්තා..ෆොටෝ කෑලි 2-3ක් එල්ලලා හිට් ගන්ඩ දඟලනවා කියලා උන්ගෙ ආච්චිගෙ රෙද්ද තමයි.කවුද බන් තම්බලා කන්ඩ වත් බැරි හිට්ස් ගැන හිතන්නෙ..නාස්පොල්ලෙ මට්ටමෙන් හිට් නොම්බරේ එල්ලලා තිබ්බත්...  උන් උන්ගෙ නියම නම් වලින් ලියන බ්ලොග් වලින් ඒක වෙන්ඩ ඇති අරමුණ වෙලා තියෙන්නෙ. ඒකනෙ අනුන් කරන්නෙත් තමුන් කරන පට්ට පජාත වැඩමයි කියලා හිතා ගෙන කියොවන්නෙ...


එහෙම ඇනෝලා කිව්ව හින්දා මම ෆොටෝ කෑලි වලින් සයිබර් අවුරුදු උත්සවේ අප්ඩේට් කරන එක නවත්තන්නෙ නෑ..


එන්ඩ අවුරුදු උත්සවේ බ්ලොග් එකෙන් බලන්න හෙට උදේ ඉඳලම...

 

Thursday, April 14, 2016

ජීවිතය හා ක්ෂිතිජ ඉම.. Life without Borders

මෙය මීට පෙර වියන ලද සැඳෑ සමයද ?  යන නිර්මාණය හා ඊට පසුව ලියන ලද මැදියමට ආසන්නව ජීවිත යථාර්ථය යන වියමන් හා සබැඳේ..

--------------------------------------------------------------------------





මල්ලි ! මදන විසේ ඔළුවට ගහලා ළමයි දෙන්නවත් මරා ගෙන මල්ලිව දාලා ගිය ඕකි ආපහු මේ ගෙදරට අර ගත්තොත් එහෙම මල්ලිට අපිව නම් නෑ යි කියලා හිතා ගන්ඩ ඕන් !
මෙච්චර කල් අපි මල්ලිව බලා ගත්තෙ නැද්ද එහෙනම් ?


අක්කාගේ ගෝරනාඩුව මෙලෙස මගේ සවනත වැටුණේ පළමුවන වරට නොවන බව නම් නිසැකය.


මල්ලිට කොයි තරම් නම් කිව්වද මේ ගෙදර තනියම ඉන්ඩ එපා..එක්කො අපේ ගෙදර එන්ඩ නැතිනම් ලොකු පුතාව එවන්ඩද මල්ලිගෙ තනියටත් එක්ක. ඌත් දැන් ගෙදරටම වෙලා ඉන්නෙ ජොබ් එකක් හොයා ගන්නවත් කිසි උනන්දුවක් නෑ. මේ ගෙවල් දොරවල්වත් බලා ගෙන ඉන්නෙ නැතෑ..


සමන්, අක්කගෙ ලොකු පුතා, .පාසැල් ඉගෙනීම කඩා කප්පල් කරගෙන ගෙදරටම වෙලා ඉන්න හාදයා..කි වාරයක් නම් ඔය පුත්තු තුන් දෙනාගෙන් එක්කෙනෙක් මේ ගෙදරට එවන්ඩ දත කෑවද ?


මම සමන්ට ලයිසන් ගන්නත් කිව්වා.. මල්ලිගෙ ඔය වැඩකට ගන්නෙ නැති කාරෙකවත් හයර් කරලා කීයක් හරි හොයා ගනීනෙ කියලා..


ගොනා හැරෙන්නේ පොල්පැලේට බව මට වැටහී බොහෝ කල්ය.


ලොකු නගාගේ වදන් මගේ සැකය තවත් තහවුරු කලේය




අයියාගෙ පවුල කඩන්ඩ ගොඩක් දේවල් කළේ අක්කා කියලයි මට හිතෙන්නෙ. ඊට පස්සෙ ඉතින් අයියට අයිති වෙලා තියෙන බූදලේට අයිතිය කියන්ඩ ලේසියිනෙ..අක්කව හරි ඒ අයගෙ පවුලෙ අයව හරි නම් ළඟට ගන්ඩෙපා අයියෙ. අයියට අපි ඉන්නවනෙ. මම අපේ මහත්තයට කියන්නම් මල්ලි ඔෆිස් එකෙන් රට යන වෙලාවට මේ ගෙවල් දොරවල් බලා ගන්ඩයි කියලා..අර සමන්ව එහෙම ගෙට වද්දගන්න එපා අයියෙ..සේරම කාබාසිනියා කරලා යන්ඩ යයි


හ්ම්ම්...


මම ගොලුවත රැක්කේ මුවින් පිටවන වදනකින් වන හානියට වඩා එය බොහෝ අඩු බැවිනි..


දික්කසාදයෙන් පසුව බිරිඳ උන්නාද මළාද හෝ ඔවුන්ගේ පවුලේ අය පිළිබඳවද කිසිම විස්තරයක් නොසෙවූවද, ඇයගේ බාල මල්ලිට කාලයෙන් කාලයට මා හට දුරකථන ඇමතුමක් දී සැප දුක් සෙවීමේ පුරුද්දක් තිබුණි. ඒ ඔහුට විදේශ ශිෂ්‍යත්වයක් ගැනීමට උදව් කර ඉදිරි ඉගෙනීමේ කටයුතු සියල්ලම සඳහා මාගෙන් ලද සහය ඔහුගේ මනසේ නිති රැඳීම නිසා වෙනි.


ඔහු මගේ සැපදුක් සෙවූවද, ඔහු, ඔහුගේ සොයුරියගේ විස්තර කිසි දිනක මා සමඟ නොකීවා මෙන්ම මා ඔහුට මුල් කාලයේදීම එසේ නොකරන ලෙසද එලෙස ඔවුන්ගේ විස්තර කියන්නේ නම් කිසි දිනක මා හට ඇමතුම් ලබා නොදෙන මෙන්ද මා දැඩිවම ඉල්ලා සිටීමද නිසා මා එම පවුල උන්නාද මළාද කියාවත් දන්නේ නැත..


අයියෙ, මගෙන් අහන්ඩ එපාය කිව්ව හින්දා මම මුකුත් කිව්වෙ නෑ. පෑරිච්ච අයියගෙ හිත ආයි පාරවන්ඩ ඕනි නැති නිසා. ගොඩක් දේවල් සිද්ධ උණා. අයියෙ..මම ලන්කාවෙ හිටියා නම් මම දැම්මම අයියව හමු වෙන්න එනවා. ගත වෙච්ච අවුරුදු විස්ස ඇතුළෙ වෙච්ච දේවල් බොහොමයි. අයියා ලියා ගන්ඩ මේ එඩ්‍රස් එක. අපේ අම්මව හමු වෙන්න. අයියෙ අයියා අහන දකින දේවල් වලට ෂොක් වෙන්ඩ එපා අයියෙ..මම දන්නවා අයියා කොයි තරම් සෙන්සිටිව්ද කියලා ඒකයි මම මේ අර්ලි වෝනින්ග් එකක් දුන්නෙ.


දැනට කැනඩා රාජ්‍යයේ වෙසෙන බිරිඳගේ සොයුරාගේ මේ හතර බීරී කතාව නිසා මම ඔහු දුන් ලිපිනය සොයා යාමට අභිනවයෙන් පිරූ සින්හල අවුරුදු දිනයන්ද නොසලකා කාලයක් තිස්සේ ගරාජය තුළම පාළුවෙන් ගත කල වාහනය පාරට දැම්මෙමි. පාර පාළුවට ගොස් ඇති අතර ලිපිනයේ වූ ප්‍රදේශය අමාරුවෙන් සොයා ගත් අතර බෝක්කුවක් උඩ රස්තියාදු ගසමින් සිටි තරුණයන් පිරිසකගේ ආධාරයෙන් අදාළ නිවස සොයා ගත්තෙමි.


ඔවුන් සිටියාට වඩා නවීන නිවසක්..නමුත් කිසිවකුත් පෙනෙන්නට නොමැත. වාහනය ගේට්ටුව අසල නවතා එහි වූ සීනුව නාද කළෙමි..
නන්නාදුනන තරුණයෙක් මා දෙස විමසිල්ලෙන් , විමතියෙන් බලා ගේට්ටුව දෙසට පැමිණෙයි.


මහත්තයා කවුද හොයන්නෙ ?


අර මාග්‍රට් වික්‍රමසේකර ලගෙ ගෙදරද මේ ?


මම බිරිඳගේ මවගේ නමින් විමසුවේ බිරිඳ සමහර විට මෙහි නොසිටින්නට වුවද හැකි නිසාය.


ඔව් මහත්තයා. ලොකු නෝනලා ගියා ළමා නිවාසෙට පොඩි බේබිව එක්කන් එන්න. නිවාසෙ අවුරුදු උත්සවේ හින්දා මේ සැරේ පොඩි බේබි අවුරුද්දටවත් ආවෙ නෑ ගෙදර..මට මහත්තයාව දැකලා නම් හොඳට පුරුදුයි වගේ..


මහත්තයා ඉන්නවද නෝනල එනකම් ?


ඔව්


ඉන්න මහත්තයා මම ගේට්ටුව අරින කම්....


මම නිවසේ පෝටිකෝව යට වාහනය නවතා..ගෙවත්තේ වූ එළිමහන් පුටුවක් මත මා ගත වාරු කළෙමි.

.
ළමා නිවාසයක කවුද ඉන්න පොඩි බේබි ??? ..බිරිඳ සහ ඔහුගේ බාල සොයුරා පමණක් වූ නිවසේ බාල සොයුරු තම පවුල සමඟ කැනඩාවෙ පදින්චිව සිටින අතර ඔවුන් හට දරුවන් නොමැත. නිවස හා ගෙවත්ත යම් සුඛෝපභෝගී බවක් ඇත. මල්ලි කැනඩාවෙ කරන රැකියාව සමෘද්ධිමත් එකක් වන්නට ඇත. ඔහු තම මවගේ සුඛ විහරණය සඳහා මුදල් එවා මෙය ගොඩ නගන්නට ඇත.


එසේ නොවන්නට මෙම පවුලට මෙලෙස ගොඩ එන්නට වෙනත් ස්ථීර ආදායම් මාර්ගයක් නොතිබූ බව මට නම් නිසැකය.


නිවස බලා ගැනීමට සිටි තරුණයා සේවකයකු වන්නට ඇත. ඔහු පැමිණි පසු ඔහුගෙන් යම් යම් කරුණු කීපයක් හෝ අනාවරණය කර ගත හැකි වනු නො අනුමානය.


නිවස පිටුපසින් ගිය එම තරුණයා..නිවසේ ඉදිරි පස දොර විවෘත කළේය. විශාල සෙටියක් සහිත සාලය එක් කොනක දැවැන්ත රූපවාහිනියක්ද විශාල කැබිනෙට්ටුවක්ද දර්ශනය වීය. එම කැබිනෙට්ටුව මත යම් අයකුගේ ඡායාරූපයක්ද එය මත රඳවා ඇති මල් මාලාවක්ද මා දෙනෙත ගැටිණි.තරුණයා මගේ විමසිලිමත් දෑස දකින්නට ඇති නිෂාවෙන්දෝ වහා නිවසේ ඉදිරි දොර වසා දමමින් මා වෙත සිනහවක් පාමින් පැමිණියේය.


මහත්තයා මට හොඳට දැකලා පුරුදුයි වගේ..මම කල්පනා කළේ කොහෙන්ද කියලයි. මහත්තයට මොනවා හරි බොන්ඩ ගේන්නද ? කූල් එකක් ?


පෙරදා රාත්‍රියේ ගත් මත්පැන් නිසාමදෝ උගුර කට වේලී ඇත.


ඔව් කූල් එකක් ගේන්න..


ඉදිරිපස දොර විවෘත කරමින් ඔහු මා දෙස හැරී බැලූයෙන් මා හට නැවතත් සාලයේ කැබිනෙට්ටුව මත මල් මාලය දමා තිබූ ඡායාරූපය කාගේදැයි නිශ්චිතව බලා ගැනීමට නොහැකි වීය. චෙහ් ! කණ්ණාඩි කූට්ටම දාගෙන හිටියා නම් පේනවා මීට වඩා..නමුත් හොඳට දැකලා පුරුදු මුහුණක චායවක් බැව් නම් නිසැකය..


සේවක තරුණයා ඉදිරි පස දොරගුල් දමන ශබ්දය ඇසූ මා හට යම් ලැජ්ජාවක් ඇති විණ. මා නිවස වෙතින් දෑස් ඉවතට යොමු කර ගෙවත්ත දෙස හිස් බැල්මක් යෙමුවෙමි..විශාල ගෙවත්ත පිළිවෙළකට මල් සහ ඒළවළු වවා තිබුණි..


// අපේ අම්මව හමු වෙන්න. අයියෙ අයියා අහන දකින දේවල් වලට ෂොක් වෙන්ඩ එපා අයියෙ..මම දන්නවා අයියා කොයි තරම් සෙන්සිටිව්ද කියලා//


මස්සිනා නොකියා කිවූ මේ කථාවෙහි තේරුම කුමක්ද ? කුතුහලය මගේ හිස තුළ කරකැවෙන්නට වූයේ..ආමාශයේ ආම්ලිකතාවයද ඉහළ දමමිනි..
ඉදිරි දොරගුල ඇරෙන ශබ්දය මා සවනත හොඳින් වැටුණද මා එදෙසට හිස නොහැරෙව්වෙමි.


ආ මහත්තයා බොන්න


සිසිල් බීම වීදුරුවක් බන්දේසියක් මත තබා මා වෙත පිළිගැන්වූවේ..බුලත් කට බැඳි මුව මත සිනහවක්ද සමඟිනි.


මට මතකයි මහත්තයා කවුද කියලා..නිරෝමි නෝනා..


නිරෝමි..මගේ බිරිඳගේ නම ඇසෙන විට මා මුවට ගත් සිසිල් බීම රොදක් ස්වාසනාලය තුළට ගොස් කැස්සක් ඇති වීය..


නිරෝමි නෝනා ළඟ තිබුණ ෆොටෝ වලින් මට මහත්තයව පෙන්නලා තියෙනවා


මාගේ කුතුහලය උපරිමයට ළඟා වූයේත්..ගේට්ටුව අසල වූ වාහනයක් හෝන් එක නාද කරන්නට වුයේත් එක් වරමය.


ආ ලොකු නෝනලා ඇවිත්...පොඩ්ඩක් ඉන්න මහත්තයා..මම ගේට්ටුව ඇරලා එන්නම්..


කලබල වූ ඔහු විටෙක නිවසේ දොර වෙත ගොස් එය වසා..නැවතත් වෙන යමක් සිහිවූ කලක මෙන් දොර විවෘත කර ආපසු ගේට්ටුව දෙසට දුව ගියේය. විවෘත වුණු ගේට්ටුව තුළින් පෝටිකෝව දෙසට හැරවුණු සුඛෝපභෝගී වාහනය මාගේ වාහනය නවතා ඇති බැවින් ගෙවත්තේ වෙනත් පැත්තකට හැරවූවේය.


මා යමක් ක්ෂණිකව සිහිපත් වූයෙන් දෙනෙත වහා නිවසේ විවෘත වූ දොර දෙසට යොමු කළේ සාක්කුවේ රැඳි..කණ්ණාඩි කූට්ටම අතට ගනිමිනි.
පැමිණි වාහනයේ දොර හැරෙනවාත්... කීප දෙනෙක් එයින් පිටතට පැමිණෙන ශබ්දය ඔවුන්ගේ කථාවෙන් මගේ සවනත වැටුණේත්..උපැස් යුවළ රැඳි මා දෙනෙත සාලය දෙස යොමු උණේත් එකම විටය. දෑසේ එක් කොනකින් යම් දැරිවියක් මා හිඳගෙන සිටින දෙසට එනවා දුටුවත් මා සිත හා අවධානය දැඩිව බැඳුණේ සාලයේ කැබිනෙට්ටුව මත තබා ඇති ඡායාරූපය දෙසය.. අවසන මා දෙනෙත එම ඡායාරූපය සොයා ගෙන සිත හා අවධානය නාභිගත වන්නේත්..මාගේ පැත්තකින් සිටගෙන මා දෙස විමසිල්ලෙන් බලා සිටින ළදැරිය තම දෑස ඔසවා යම් චලනයක් කරන්නේත් එකම විටය..


දෙවියනේ...!!!!


හිසමුදුනින් නැඟි හිරියක් මගේ දෙපතුල දක්වාම ක්ෂණයකින් ඇදී ගියේ මා ගත පණ නැති කරමිනි..


තාත්තේ...


දෙපා වාරු නැතිවී ගොස් අසල වූ සිමෙන්ති පුටුවේ ගරාදිය මත මා අත තබනවාවත් සමඟම මා දෙසවන වැටුණු ඒ කටහඬත් සමඟම මා දෑස මා දෙස බලා හුන් බව ඇස් අගින් පෙනුණු ළදැරිය වෙත යොමු කළෙමි..
කිසිදා මා දෙනෙතට හසු නොවූ කටහඬ කිසිදා දෙසවන නොගැටුනු..ළදැරියක් මා දෙස ඈගේ දෑත විදහා මා අඳුරා ගත් විලාසයක් පෙන්නුම් කරන්නීය.


තාත්තේ...මගේ සුදු තාත්තා මාව බලන්ඩ ඇවිල්ලා...


මා තුෂ්ණිම්භූත කරමින් ඈ විදහා ගත් දෑතින් මා වෙත දිව විත් මාගේ ඉණ බදා ගත්තේ..මහත් වූ ප්‍රීතියකින්ය..


දෙවියනේ ඈගේ දෑස !


වරක් නොව දෙතුන් වාරයක්ම මා සියොළඟ හිරිවැටී ගියේ මා අසළවූ පුටුව මත ඇද වැටුණේ..ළදැරියගේ වැළඳගැනීමටත් වඩා මේ සිදුවන සියල්ල මාගේ දුර්වල ස්නායු පද්ධතියට තවදුරටත් දරා ගැනීමට නොහැකි නිසාය..


මතු සම්බන්ධයි...

Saturday, April 9, 2016

මැදියමට ආසන්නව..ජීවිත යථාර්තය


දැන් අපි වහන වෙලාව හරි සර් යන්ඩ...

මට තව හ් එක්ක ශොට් එකක් ඕනි...

මේ ඔය මිනිහගෙ ෆෝන් එකේ ඇති අර ත්‍රීවීල් කාරයගෙ නම්බර් එක ඒකට කෝල් එකක් දීපන්.. 


මට තව එක්කක්...


සර් සර් අපි යමු..නගින්ඩ වීල් එකට..මම ගෙදර ගිහින් බස්සන්නම්...හා යමු...යමු...


මට තව එක්කම එකක්..


හරි සර් යන ගමන් මම අරගෙන දෙන්නම්..

ඇයි සර් ඕම බොන්නෙ..හැමදාම..ප්‍රශ්ණ විසඳෙන්න බොනවා නම්..බිව්වහම විසඳෙන ප්‍රශ්ණයක් නෑ සර්..අපි පැහිලා නෑ..සර්ට ඇඩ්වයිස් දෙන්න..ඒත් විනාශ වෙන්නෙ සර් ගෙ ජීවිතේනෙ..

මට ඇති ප්‍රෂ්නයක් නෑ මල්ල්ලිහ්..මට ඇති ප්‍රෂ්නයක් නෑහ්..මට තව එකක්..


ඇයි සර් එහෙනම් මෙහෙම ජීවිතේ විනාශ කර ගන්නෙ


මට විනාෂ වෙන්ඩ ජීවිතයක් නෑ..ඒක විනාෂ කර ගෙන අර පට්ට වේෂි ගියේ..මගෙ ලමයි දෙන්නත් මරා ගෙන.


ඉතින් සර් මැඩම් ගියේ ඇයි ? ඊට පස්සෙ සර් හොයන්ඩ ගියේ නැද්ද ? 


මම්හ්...මොක්කටද ඔය පට්ට වේෂි හොයා ගෙන යන්නෙ ? ඩිවෝස් කරලා දැම්මා...මම දැන් නිදහෂ් ගොයියෙක්..හැක්...හැක්..


මට තව ශොට් එකක්..


හා ඉන්ඩ සර් මම අර ගෙන එන්නම්..


තමුෂෙ බොරුව දාන්නෙ..මේ වෙලාවෙ කොහෙද ඕයි බාර් ඇරලා..


හරි හරි සර් ඉන්ඩකෝ..


මේ තමුෂෙ දන්නවද අද මට බස් එකේ හම්බුනානෙ..අරූ


කවුද සර් අරූ කියන්නෙ ?


අරූ..අර වේෂිගෙ පුතා..මගේ ගෑනි මගෙ එක මදි කියලා පැනලා ගිය වේෂ්ෂිගෙ පුතා


ඉතින් මැඩමුත් හිටියද ඌ එක්ක..ඒකනෙ සර් අද වැඩියෙන් බීලා


මොන මැඩමෙක්ද ඕයි ? ඌ එක්ක හිටියෙ වෙන එකියෙක්..ඒ කියන්නෙ..හොඳ වැඩේ ඒකිට..මට දීපු දුක...මයෙ ළමයි දෙන්නවත් මරා ගෙන..මට දීපු දුක...


ආ එන්ඩ සර්..ඔන්න ගෙදරටම ආවා..කෝ ඔය යතුර දෙන්ඩ..


ආ පර්ස් එක..මල්ලිගෙ  ත්‍රී වීල් එකේ ගාන ගන්ඩ..


එපා සර් සර් හොඳ සිගියෙන් ඉන්න වෙලාවට ගන්නම්..කෝ එන්ඩ..එන්ඩ මම ගත්ත මේ ඉඳියාප්ප ටික කන්ඩ සර්..මම ඉන්නම් සර් කන කම්..


පොඩ්ඩක් ඉන්නවාකො...මම මේ මගෙ කතාව මේකෙ ලියලා දාලා එනකන්..


එහෙනම් සර් ඕක ලියන්ඩ..මම යන්නම්..


සර් කන්නෙ නැතුව නිදා ගන්ඩ නම් එපා..බීලා කන්ඩ ඕනි හොඳට..


මේ මල්ලිහ්..පොඩ්ඩක් ඉන්නවකො..මේ ෆෝන් එකේ ඇති..ඉනෝකා කියලා නම්බර් එකක්..ඒකට කතා කරලා අහනවාකො..මගෙ ගෑණිගෙ සැප දුක...අර මිනිහා  ගෑණිව දමලා ගිහිල්ලා..කොහේ ඉන්නවද දන්නෙ නෑ..ඒ ගෑණි කෑවද බිව්වද දන්නෙත් නෑ ඕයි...
කතා කලේ මම කියලා කියන්ඩ එපා..පට්ට වේෂිගෙ මෝල් අමාරුව සනීප වෙලා..නම් ඒ ඇති මට..එන්ඩ කියනවා මල්ලි ඒ ගෑණිට ආයි ..මට ඒ ගෑණිව ඕනි නෑ..ඒත් මට බෑ..දවෂකට හරි හරි ආදරේ කරපු එකීයෙක් අමාරුවෙ වැටිලා ඉන්නවා දකින්ඩ...


උම්බලා පොඩි උන්...ආදරේ ගැන දන්න මඟුලක් නෑහ්...

සැදෑ සමය ද ?

නිවසින් එළියට බැස්සෙ යන්නෙ කොහෙද...ගිහින් කරන්නෙ මොනවද කියන එක ගැන කිසිම අරමුණකින් නෙවෙයි ...ජීවිතය ටත් නැති අරමුණ ක් මේ වගේ සැදෑ වක එළියට බහින මට තියෙයිද ?

හිරුත් දවසේ මෙහෙය අවසන් කරලා මුහුදෙ ගිලෙන්නට මොහොතයි..ජීවිතයත් හෙමි හෙමින් මෙහෙය අවසන් කරලා කොයි මොහොතේ මුහුදෙ ගිලෙයිද මන්දා.. හිරු නම් ආයිමත් හෙට උදේ..ආයිමත් හෙට උදේ..නැවත නැවතත් දවසේ මෙහෙය ට එන එක නිසැකයි..දිවිය අවසන නැවතත් ඒමක් තිබෙනවා කියන්න පුළුවන් නම් කාටද ?

බස් රථයේදී දුටු දසුනින් සිත මේ තරම් නම් කැළඹේයැයි මා කිසිවිටෙකත් සිතුවේ නැත..පෙර යම් දිනයක මගේ දිවියට පැමිණි කුණාටුවක් වන් ඔහු..මගේ ප්‍රිය බිරිය ද සමග සැගවී ගියේ කොයිබටදැයි මම නොදනී..

"
අපේ දරුවො ගැන හිතලවත් ඔය සම්බන්ධය නවත්තන්න

දරුවන්ගෙ අනාගතය ගැන හිතන්න " 

මගේ අවවාද වලට කන් නොදුන් ඇය...

"
මම බලා ගන්නම් උන් දෙන්නගෙ අනාගතය "

ජීවිතයේ එකම එක දෙයක් මුළු දිවියම කර ගත් ඇගේ පෙර දිනයක කර්කශ වචන දශක දෙක හමාරක් තිස්සෙම සවනත දැවටෙන්නේ ඊයේ සිදුවීමක් ලෙසය.

"
උන් දෙන්නා වැවේ ගිලුණා නෙවෙයි උඹ උන් දෙන්නව මරා ගත්තා "දහස් වර මා සිතින් මිමිනුවද එය වදන් වලට පෙරලූයේ නැත...

"
මල්ලි ඔය ගෑනිගෙ නාඩගම් අපි නම් දැනන් හිටියා..මල්ලිගෙ හිත රිදෙන නිසා කිව්වෙ නැහැ. නැතිනම් ළමයි දෙන්නා මැරිලා මාස තුනක් යන්ඩ ඉස්සෙල්ලා තව මිනිහෙක් එක්ක යයිද ? "

"
මල්ලි අපි කීප තැනක් බැලුවා..ඔහොම ඉන්ඩ බෑනෙ මල්ලිට"

දික්කසාද යෙන් පසු අක්කා දහස් වර මෙම වදන් පෙළ මගේ සවනත යොමු කරන්නට ඇත..හැම එකාම ඔහොමයි...තව එකත් ඔහොමයි..

එදා මගේ දිවියම උඩුයටිකුරු කල ඒ තරුණයා අද මැදිවියේය..නමුත් ඔහුට තුරුලුව සිටින්නේ අනිකෙකි...එතකොට ?????

මදින් මද අන්ධකාරය මෝදු වේ..

මා මෙතනින් නැගී සිටිය යුතුය..

"
මහත්තයා ඔහොම බොන්නෙ ප්‍රශ්න වලට උත්තර හොයන්ඩ නම්..අනේ මන්දා මහත්තයා ට උපදෙස් දෙන්න තරම් අපි පැහිලා නෑ.."

සැමදා මැදියමේ මා නිවසට ගෙනයන ත්‍රීරෝද රියදුරු ගේ වදන් මගෙ දෙසවන දෝන්කාර දේ..

මිනිසා කෘතීමව සැකසූ විලේ මැද ගොඩැල්ලේ තනිවූ ගස අදුරේ ම මා දෙස දුකින් බලා සිටිතැයි මට සිතේ..

අතරමගදි ලියන බ්ලොග්

එක තැනකට වෙලා..බොහොම සීරු මාරුවට ඉදගෙන ලියවෙච්ච , ලියන්ඩ බලාපොරොත්තු වෙච්ච බ්ලොග් එක කනෙන් අල්ලලා පාරට ඇදලා දාන්ඩයි හැදුවෙ..

Saturday, April 25, 2015

නුවර එළි සංචාරේ...අතරමඟ කලබැගෑනි.. Tour to Nuwa Eliya - Troubles on the way

අප්‍රේල් මාසෙ ඉතින් යනවා නම් යන්ඩ ඕනි නුවර එළියෙම තමයි කියලා හැමෝම කියන නිසාම මමත් පෙරුම් පුරලා පෙරුම් පුරලා තමයි මේ ගමන යන්න සේරම සැලසුම් හැදුවෙ...

මේ වගේ සංචාරෙකට පස් මහ බැලුම් ම බලන්ඩ වෙන නිසා...ඒ කිව්වෙ ඔෆිස් එකෙන් නිවාඩු ගන්ඩ ඕනි..වැඩ බලන්ඩ කෙනෙක් දමන්න ඕනි..අප්‍රේල් මාසෙ හැමෝම නිවාඩු වැඩියෙන්ම ගන්න මාසෙ හින්දම..මේක හරි අමාරුයි..නුවර එළියෙ නවාතැන් අප්‍රේල් මාසෙ හොයන එක ට වඩා ලේසියි ඉබ්බන්ගෙන් පිහාටු හොයන එක..අවුරුදු පස්සෙ දින 3ම මම වැඩ කරන්නම් කියලා ඔෆිස් එකේ අනිත් අයව යොමු කළා මම නිවාඩු ගන්න දවස් දෙකට.. ඒක හරි

දැන් නවාතැන් ?

අපේ ඔෆිස් එකේ නවාතැන උණත් ඉතින් බොහොම බරපතල විදියට පාවිච්චි වෙන්නෙ අප්‍රේල් මාසෙ..හැමෝම වෙන් කරගන්න දඟලන මාසෙනෙ...වාසනාවකට වගේ ආයතනය තීරණය කරලා තිබුණා නවාතැන වෙන් කිරීමේදී ආයතනයේ අයට ප්‍රමුඛතාවය දෙන්න. ඒ නිසාම මට අවශ්‍ය දින දෙක අප්‍රේල් 18 සහ 19 දෙක මම මුලින්ම වෙන් කර ගත්තා. දැන් ගමන යන්න ඉන්න අනිත් අය ගැන බලන්නත් ඕනිනෙ..අක්කයි ඒ අයගේ පවුලයි, මල්ලියි ඒ අයගෙ පවුලයි..සේරම 8 දෙනෙක්.. ඒ අයගෙත් නිවාඩු සේරම සැලසුම් කරගෙන...ඒ අය නම් පිටත් වෙන්නෙ ඉස්සෙල්ලා බණ්ඩාරවෙල, බදුල්ල අනිත් ඥාතින්වත් බලලා කරලා එන්නයි ලෑස්තිය දැන්..මම හිටියෙ සෙනසුරාදා මෙහෙන් පිටත් වෙලා ඒ අයට එකතු වෙන්න..

ඒත් අන්තිම මොහොතේ වෙච්ච එක සිදුවීමක් නිසා අපිට සිද්ධ උණා අපේ සංචාරය තව දවසක් එහාට තල්ලු කරන්න. ඒ කියන්නෙ 19 සහ 20.. ඒකත් අමාරුවෙන් හරි එහෙ මෙහෙ කර ගත්තා කියමුකො...

මට යන්න වෙන්නෙ එක්කො බස් එකේ නැතිනම් ට්‍රේන් එකේ..

කෝච්චි කාල සටහන් බලද්දි මුල්ම එක 5.55 ට පටන් ගත්තහම උදේ වරුවෙ 7 කුත් ගානට සහ 8 කුත් ගානට තව දෙකක් තිබුණා. යනවා නම් 5.55 එක නැතිනම් බෑ කියලා හිතුණ නිසා බස් එකේ යන්න තීරණය කළේ ඔච්චර උදෙන් නැගිටින්ඩ පුළුවන් කාටද කියන නොරිස්සුම් සිතුව්ල්ලත් එක්කම තමයි..

ඉස්සර වෙලා වාහනේක ගිය අක්කලා නිසා මගේ මගේ ගෙනියන්ඩ තිබුණු ඇඳුම් කැඩුම් බොහොමයක් වාහනේම පටවලා ඇරපු නිසා මට ගෙනියන්ඩ තිබුණෙ කැමරා බෑග් එකයි තව පොඩි පොඩි කළමනා කීපයකුයි විතරයි... රෑ නිදියනකොට උණත් හිතුවෙ බස් එකේ තමයි යන්නෙ කියලා..මගදි කන්නයි බොන්නයි කියලා බිස්කට් පැකට් එකකුයි අර ශක්ති ජනක පානය කෑන් දෙකකුයි දමා ගත්තා. බස් එකේ යන නිසා උදෙන්ම නැගිටින්ඩ ඕනි නැහැනෙ එලාම් එක තිබ්බා උදේ හයට..

පාන්දර ඇහැරුණා...හය වෙන්ඩ ඇති කියලා හිතුවත් හත් වලාමයි පාන්දර හතරයි..අනිත් පැත්ත හැරිලා නිදියන්න හිතුවත්..ම්ම්හ්හ්හ් නින්ද නම් පැත්ත පළාතකටවත් එන්නෙ නැහැ..හතර හමාරට නැගිටලා මූණ කට සෝද ගෙන ලෑස්ති උණා..4.45 යි. පාරට බැස්සා..හයිලෙවල් පාරට එනකොටම බස් එකක් තිබුණා. කොටුව ස්ටේෂන් එකට එනකොට 5.30 යි...එතකොට මතක් උණා කෝච්චිය තියෙන්නෙ 5.55 ට කියලා. වෙනස් කළා තීරණය මෙන්න කොල්ලා කෝච්චියෙ දෙවැනි පංතියෙ..

අසුන් බොහොමයක ජනේලෙ ළඟ අසුන පිරිලා තිබුණත් අනිත් අසුන හිස්...මමත් හොයලා හොයලා එක අසුනක ඉඳ ගත්තා එතන ජනේලෙ ළඟ අසුනෙ හිටිය තරුණයා නුවරින් බහිනවා කිව්ව නිසා මට එතනට යන්න පුළුවන් කියන සිතුවිල්ලත් තිබුණා..ඒත්...

කෝච්චිය අදින්න ඔන්න මෙන්න තියා මෙන්න හාමුදුරු නමක් වඩිනවා බොහොම වේගයෙන් සීට් හොය හොයා...අනේ සුපිංවතුණි මගේ ළඟ හිටිය හාදයගේ බුද්ධාලම්බන ප්‍රීතිය ඔද වැඩිලා දුන්නා කියහංකො අර සීට් එක හාමුදුරුවන්ට..දුන්නා නෙවෙයි පූජා කළා ...

මට එසැනින්ම මතක් උණේ දුමියගෙ කට කහන කතාව..හෆොයි පස්ස උස්සලා බෙල්ල අනිත් පැත්තට කරකවලා බැලුවා පිටිපස්සෙ සීට් එකක් වත් හිස් නෑ..මගේම වෙලාව.. ඕ.පු කියලා හිත ශ්‍රද්ධාවෙන් පුරවා ගෙන මමත් ආයිමත් මගේ ආසනේ වැඩ හිටියා..වැඩ හිටියා නෙවෙයි ඉන්ද උණා...

මහත්තයා වඩින්නෙ කොහාටද ?

මම නානු ඔයට හාමුදුරුවො යන්නෙ ?

මම නම් නුවරට

හම්මේ ආයිමත් හිත නිවුණා...ඕනි එකක් නුවර විතරයිනෙ කියලා හිත හදා ගත්ත මම.. කොයිකටත් කියලා දන්න ධර්ම කරුණු සියල්ලම මතකෙට ගත්තෙ..එන ඕනිම ප්‍රශ්නෙකට නොබියව මුහුණ දෙනවා කියලා..කරුමෙයක් තියේ නම් ගෙවෙන්නම එපාය...

ඔය අතරේ තමයි මගේ අහෝසි කර්මය පල දෙන්න ගත්තෙ...

අර හාමුදුරුවන්ට සීට් එක දීපු...දීපු නෙවෙයි පූජා කරපු හාදයා එක්ක හාමුදුරුවො අල්ලාප සල්ලාපයක් පටන් ගත්තා. අර හාදයා මම ළඟ හිට ගෙන මගේ උරහිස්සට හේත්තු වෙලා,  ..හාමුදුරුවො මගේ අනිත් උරහිස්සට හේත්තු වෙලා.හේත්තු වෙලා නෙවෙයි සැතපිලා  .....ගිරේට අහු වෙච්ච පුවකෙ වගෙ..හාමුදුරුවො රට රට වල් වල ගිය - ගිය නෙවෙයි වැඩපු - විස්තර අර තරුණයට කියනවා. ඒ හාදයත් නිකන් ඉඳලා නෑ. රට වටේ වැඩපු , වැඩපු නෙවෙයි ගිය විස්තර කියවනවා..නරකමත් නෑ..මමත් සමහර සමහර කරුණු හිතේ ධාරණය කර ගනිමින් හිටියා...

අතරමඟදි බිස්කට්, කෑම බීම වගේ දේවලුත් හුවමාරු උණා. මම පුරුද්දක් විදියටම යන ගමන් බිමන් වලදි අනුන් දෙන කෑම නොකන නිසා ස්තූති පූර්වකවම ඒවා ප්‍රතික්ෂේප කළා...

කොහොමින් කොහොමින් හරි අට හමාර වෙනකොට කෝච්චිය නුවරට වැඩියා. වැඩියා නෙවෙයි ගියා. හාමුදුරුවො එළියට  ගියාද වැඩියද ? අනේ මන්දා !. මට අයිනෙ අසුන හිමි උණා. ..මම ළඟ කවුරු හරි ඉඳ ගන්නවා දැනුනත් මම හොඳ නින්දක් ගහන්ඩ හිතා ගෙන ..

මේ මහත්තයා අර අතෙන්ට යන්ඩ බැරිද ?

නිකන් අණ දෙන ස්වරූපයකින් ආපු කටහඬ එක්කම මගේ අත අල්ලපු නිසයි මම ඇහැරලා බැලුවෙ..මම ළඟ හිඳ ගත්ත හාදයා මට කියනවා..කියනවට වඩා ඒක අණ දීමේ ස්වරූපයක් තිබ්බෙ. මිනිහගෙ පෙම්වතිය විය හැකි තරුණියක් ඉස්සරහ අසුනෙ ජනේලෙ ට මෑතින් තිබුණු අසුනෙ ඉඳන් මට ඔරවනවා..

සොරි

එහෙම කිව්ව මම ආයිමත් ඇහැ කන පියා ගෙන මගේ අසුනෙ හොඳට හරි බරි ගැහුණා...

මම සාමාන්‍යෙන් එහෙම කරන කෙනෙක් නොවුණත් ඒ තරුණයගෙ කට හඬේ තිබ්බ අකාරුණික බව නිසාමයි මම එහෙම කළේ..

පැයක් දෙකක් යන කොට මිනිහා බූරු ඇඳ දිගෑරියා වගේ කකුල් දෙක ඈත් කර ගෙන නිදි. එක කකුලක් මගේ සීට් එකේ සීමාවෙන් පැනලා මගේ කකුල උඩ..මම දෙසැරයක් මගේ කකුල අයින් කර ගත්තත්...වෙනසක් නෑ..කියනවද නැද්ද ... මේ හලෝ ඔය බූරු ඇඳ අකුල ගන්නවද මගේ සීට් එකෙන්...

ඕනි නෑ..තව වැඩිම උණොත් පැය දෙකයි...කියලා හිතා ගත්තු මම... බිස්කට් එකක් කාලා අතට ගත්තා අර මගේ ශක්තිජනක පානය..වෙන මොකක් වත් නෙවෙයි බන් රෙඩ් බුල් කෑන් එකක්...අම්මපා මගේ පාඨකයො හිතන්නෙම හරහට නෙ...

කෝච්චියෙ සෙලවි සෙලවි ඇවිල්ලද කොහෙද..මේක විවෘත කරන්න ගිහින් සූස්..ගාලා හැළුණා කලිසමෙ...අර තරුණයත් ඇහැරලා බලනවා මම දුටුවා ඇස් කොනින්...

මම ලේන්සුව අරගෙන ඒක පිහිදලා අනිත් ටික බීලා...වේගයෙන් පහු කර ගෙන යන කඳු, නිම්න මිටියාවත් දිහා බලාගෙන උන්නා. පට්ටිපොළ ට ඉස්සෙල්ලා හරියෙ ස්ටේෂන් එකක කෝච්චිය තරමක වැඩි වෙලාවක් නවත්තලා ඉන්නවා. ඔය අතරේ මම දකිනවා ගේ කුරුල්ලො ජෝඩුවක් එතන බැම්ම උඩ ඉඳන් දාන සෙල්ලම්...බැම්මත් එකම පාට..කුරුල්ලත් එකම පාට..

උකුළෙ තිබ්බ කැමරා බෑග් එකෙන් කැමරාව ගත්තා..සැකසුම් ටික හදා ගෙන අවශ්‍ය ඡායාරූප 2-3ක්ම ගත්තා. අරගෙන පස්සෙ පොඩ්ඩක් බලන් කොට..



කැමරාව මොකද්ද කැනන් ?

අර හාදයා..

බලාගෙන යද්දි මෙයා කුරුණෑගල පැත්තෙ මඟුල් ඡායාරූප ශිල්පියෙක් වෘත්තිය ඒක..එහා පැත්තෙ අසුනෙ ඉඳලා තියෙන්නෙ බිරිඳ..
මම නම් පොඩ්ඩක් ඡායාරූප ශිල්පය ඉගෙන ගත්ත..වෘත්තිය වෙන ක්ෂේත්‍රයක් වෙන විනෝදාංශය ඡායාරූප ගැනීම වෙන අයකු කීවට පස්සෙයි මිනිහා තමන්ගෙ වෙඩිං ෆොටෝ ගැන කියන එක නැවැත්තුවෙ...

නානු ඔයෙන් බැහැලා පරිසරයට විනාඩියක් කරලා එන්ඩ ගිය හින්දම නුවර එළියට යන්න තියෙන බස් එක මිස් උණා මගේ වාසනාවකට..
තුන් සක රියක් කුලියට ගත්ත මම..මෙන්න නුවර එළියට ඔන්න මෙන්න කියලා වහලා තියෙන පාරක් ඉස්සරහ හෝරාවක් විතර ටැග් ගැහෙන්ඩ සිද්ධ උණා. මෝටර් රේස් තරඟ නිසා බොහොමයක් පාරවල් වහලා. විඩින් විඩේ තමයි පාරවල් විවෘත කරලා වාහන වලට යන්න ඉඩ දෙන්නෙ . පැය බාගෙන් එන්න තියෙන ගමනට පැය එක හමාරක් වැය කරලා...තුන් සක රිය හිමියගෙ ඈඬියාව නවත්තන්න තව රු. 200කුත් වැඩියෙන් ගෙවලා..මම බැස්සා මගේ නවාතැනින්..එතන මොන තරම් සුන්දරද ? ඔය තියෙන්නෙ සාක්කි..

නවාතැනේ මිදුලෙ සිට පිටත දර්ශනය...ඉස්සරහ තියෙන්නෙ ග්‍රෙගරි වැව






අදට ඔය මදැයි..ඊළඟ කොටසින් බලමුකො මහ රෑ...නුවර එළිය ටවුන් එකේ බඩු හොයපු...පොලීසිය කන ළඟින් ගියපු තවත් රස බර විස්තර ටිකක්...

Friday, April 10, 2015

ප්‍රශ්ණ, ඔබට ප්‍රශ්ණයක් වන තුරු ප්‍රශ්ණ , ප්‍රශ්ණ කර ගත යුතුද ?

බ්ලොග් යනු පෞද්ගලික අදහස් ප්‍රකාශනයක්, එයට වචන, රූප, වීඩියෝ හෝ හඬ යොදා ගෙන කළ හැකියි. එහි සුවිශේෂත්වය එය කියැවීමෙන් පසු අදහසක් එක් කිරීමේ (කමෙන්ටුවක් දැමීමේ ) අන්තර් ක්‍රියාකාරී බවයි.

බ්ලොග්කරණය කිසිවකුගෙන් අවසර නොපතන, හිතෙන වෙලාවට ස්වේච්ඡාවෙන්  කරන කාරියක්, එසේම බ්ලොග් රචකයන් ප්‍රසිද්ධිය සොයා නොයන, සමහර විට ආරූඨ නම්වලින් ලියන අය නිසා මේ ක්ෂේත්‍රයේ කවුරුන් කුමක් කෙසේ කරනවාද යන්න හරි හැටි තක්සේරු කිරීම ලෙහෙසි නැහැ.



බ්ලොග් ගැන උනන්දු වන කාටත් මා කියන්නෙ මෙයයි.ඉඩ ඇති පරිදි බ්ලොග් අවකාශයේ සැරි සරන්න. නූතන යුගයේ සයිබර් කැඩපත් පවුරක් වැනි එහි විචිත්‍රත්වය සහ ගති සොබා හඳුනා ගන්න. එසේ ප්‍රමාණවත් අවබෝධයක් ලැබූ පසු පමණක් ඒ ගැන නිගමන වලට එළැඹෙන්න.

උපුටා ගැනීම - සයිබර් කැඩපත් පවුරේ ලියන අපේ බ්ලොග් ලේඛකයෝ. - සිවු මංසල කොලුගැටයා, නාලක ගුණවර්ධන, රාවය, 2015.04.12 පිටුව 06.



 බ්ලොග් කියවීම සඳහා අළුතෙන් පැමිණේ යැයි සිතන නව පාඨකයන් සඳහා හොඳ ආරම්භයක් ප්‍රවේශයක් මේ ලිපිය හරහා ලැබෙනවා. මොකද රාවය පුවත් පත කියවන  පාඨකයන් සමූහය බ්ලොග් වෙත ආකර්ෂණය වේ යැයි උපකල්පනය කරමු. 

බ්ලොග් රචකයන් මේ පාඨකයන් බ්ලොග් කියවීම තුල රඳවා ගැනීමට සූදානම්ද ?


නව පාඨකයන් හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නා සේ බ්ලොග් තුල ඇති හොඳ දේ පමණක් උකහා ගනීද ? 


බ්ලොග් වල ඇති සහජ ගති ලක්ෂණ සහ ජීවමය ගුණය මේ නවාගමනය නිසා රැකෙයිද ?


වැඩියෙන් හිට්ස් ලැබෙන , ජනප්‍රිය වේ යැයි සැක හිතෙන බ්ලොග්, කමෙන්ට් දමා අල කිරීමට නිදා සිටින ඇනෝ සෙට් එක නැවතත් පැමිණෙයිද ???

සංවාදය සඳහා විවෘතයි..
බලන්න සහෘදය ඇඟිල්ල දෙස නොව සඳ දෙස... !






Thursday, April 9, 2015

අයිස් කියුබ් වලට ලෑලි...

මේ සිදුවීම් මාලාවම උණේ රටේ බොහොම ප්‍රසිද්ධ, කවුරුත් ක්ෂේත්‍රය කිව්වහම හොඳින්ම නම දන්නා අයෙක් ආශ්‍රිතව තමයි..විශේෂත්වය වෙන්නෙ අර වී කරල මෝරන්න මෝරන්න නැවෙන්නෙ බිමට කියන්නැහේ මේ සුවිශේෂී චරිතය ප්‍රසිද්ධ වෙන්න ප්‍රසිද්ධ වෙන්න..තව තව නිහතමානි වෙන එක ! මීට වඩා හොඳ කියන්ඩ ගිහින් වැඩ අධිකව තිබුණත් මේ සටහන ඇහැ ගැටුනොත් අනිවාර්‍ය්යෙන්ම කියයි..
ගුණ කථන කියන්ඩ එපා බොලව් මල ගෙවල් මතක් වෙන්නෙ
කියලා..



විටෙක දෙමව්පියන්ට වඩා අපිට ආදරේ...විටෙක එක බඩ වැල කඩාගෙන ආපු සහෝදරයෙකුටත් වඩා ලෙන්ගතු..විටෙක හොඳම යහළුවෙකුටත් වඩා මිතුරු...අපූරු මනුස්සයෙක් ! මගේ වාසනාවකට කොහෙන්දෝ මන්දා ඔහුගෙ සෙවනෙ ඉන්න මම පින් කරලා තිබුණා...


ඔයිට වඩා මම කියන්නෙත් නෑ..ඒ කවුද කියලා කියන්නෙත් නෑ..
කියවලා බලන්ඩකෝ මේ සිදුවීම් කීපය...


ඊළඟට මම සර් කියලා කියන්නෙ මේ අපූරු මනුස්සයට තමයි !
දවසක් හැන්දෑවෙ මමයි තව යාලුවෙකුයි සරුයි යනවා සුපර් මාර්කට් එකට..ඔන්න ඔය බීම වගයක් හදන්න අඩුම කුඩුම ටික ගන්ඩ..අවශ්‍ය බඩු ටික අරගෙන එහෙම..


අපි දෙන්නා දැන් අයිස් කැට හෙවත් අයිස් කියුබ්ස් හොයනවා.. ෆ්‍රීසර් දෙකේම හෙව්වත් හොයා ගන්න බැරි උණා..තියෙන්න පුළුවන් හැම තැනම බැලුවත් ම්හ්හ්හ්..


මොනවද බලන්නෙ කෝ අයිස් කියුබ්ස් ?
සර් අයිස් කියුබ්ස් නැහැ වගෙයිනෙ


අපි අහල බලමු වෙළඳ සහයක කෙනෙක් ගෙන්..


අයිස් කියුබ්ස් හෙව්වට වඩා හොයලා ඕන් වෙළඳ සහයක කොළුවෙකුත් හොයා ගෙන අපි ඇද ගෙන ආවා ඌව..


අයිස් කියුබ්ස් නැද්ද ?


අපි හොයපු හැම අස්සක් මුල්ලක්ම හොයපු මූ අන්තිමේ පරාජය පිළි අරගෙන..


අයිස් කියුබ්ස් නම් නැහැ වගේ සර්


මමයි යාලුවයි දෙන්නා දැන් සොරි ඩොට් කොම් වෙච්ච දෙන්නෙක් වගේ ඉන්න අතරේ සර් අර වෙළඳ සහයකගෙන් අහනවා
ලෑලි තියෙනවද ?


මමයි යාළුවටයිත් වඩා තුෂ්ණිම්භූත වෙච්ච වෙළඳ සහයක දහ අතේ කල්පනා කරනවා ලෑලි කොහෙද තියෙන්නෙ කියලා වෙන්ඩ ඇති...මමයි යාලුවයි කල්පනා කරනවා..බීම හදන්ඩ ලෑලි මොකටද ? තව අඩු...අයිස් කැට විතරයිනෙ..


සර් ගෙ මූණ දිහා බැලුවත්...ම්හ්හ්හ් අර උගන්වන කොට තියෙන සීරියස් මූනම තමයි...විහිළුවක් කරලත් නෙවෙයි...


කුතුහලය වැඩි වෙච්ච තැනම මම සර්ගෙන් ඇහුවා


මොකටද සර් ලෑලි ?


අර වෙළඳ සහයකත් සැනසුම් සුසුමක් හෙළුවා ඇහුණා..


අයිස් කැටයක් නැති මේ මඟුල වහලා දාන්ඩ !


කිව්ව සර් යන්ඩ ගියා..මටයි යාළුවටයි හිනාව නවත්තා ගන්න පුළුවන් උණේ සල්ලි ගෙවපු කවුන්ටරෙත් පහු කළාට පස්සෙ..අර වෙළඳ සහයක කොලුවට නම් සෝපාහාසය තේරුණාද මන්දා...


ඔය වගේ බොහොම දුර දිග බලලා අමුතු විදියෙ කතාවල් කියන නිසාම අපිත් සමහර වෙලාවට සර් ඉන්න වෙලාවල් වලට කරන කතාවල් අහගෙන ඉන්න ආසයි..


ඔන්න අනිත් සිදුවීම උණේ..


මහ රෑක සුහද හමුවක් තිබිලා..රෑ ජාමෙ දොළහට විතර දැන් බලා ගෙන ඉන්නවා ටක්ශියක් හරි ත්‍රී වීල් හරි එකක්..එකක් කිව්වට එකක්ම නෙවෙයි..දෙක තුනක්ම එනකන් බලාගෙන ඉන්න අතරෙ..අපේ එක් කෙනෙක් තමන්ගෙ අතේ තිබුණු ෆෝන් එකෙන් කැබ් සර්විස් එකකට කතා කළා...වෙලාවෙ හැටියට පාරෙ වෙන ත්‍රී වීල් ඇත්තෙත් නැති නිසා..ඒක හොඳ විකල්පයක් නිසාත් හැමෝම දැන් තම තමන් දන්න කැබ් සර්විස් වලට කතා කරනවා..


සරුත් දැන් කතා කරනවා..පොඩ්ඩක් කතා කරලා මේන් එක සිය ගානට බනිනවා..මෙන්න මෙහෙම..


වහලා දාන්ඩ කියනවා ඔය කෑබ් සර්විස් එක..කැබ් තියෙන්න ඕනි රෑකට මිනිස්සුන්ට යන්න මිසක් වෙන මොකටද ...
වගේ ඒවා කිය කියා..


අපි තේරුම් ගත්තා ෆෝන් එකේ අනිත් පැත්තෙ ඉන්න කෙනා මොනා හරි ජල්බරි උත්තරයක් දීලා තමයි කියලා..පස්සෙ ඇහුවහමයි සර් කිව්වෙ..


එහා පැත්තෙ හිටපු කෙනා කියලා මේ මහ රෑ නම් කැබ් එකක් එවන්න බෑ කියලා..හැබැයි සර් ගෙ උත්තරේ ඇහැව්වට පස්සෙ නම් කැබ් සර්විස් එකේ අය ඒ උත්තරේ නම් ආයි එන කෝල් වලට දෙන්න නැතුව ඇති...
ඊළඟ සිද්ධිය නම් තව කීප තැනකමත් කියවෙලා තිබුණා..


ඔහොම ආයි දවසක..සුහද හමුවක් තිබිලා..අපි ආපහු එනවා තුන් ශක රියක..පොලිස් මුර පලක් කිට්ටු වෙන්ඩ එන කොටම...සර් කෑ ගහනවා පොලිස් කාරයින්ට..


ඒයි හූ හූ..අපි බීලා ඉන්නෙ..ඔය ඇල්ලුවදෝ..හූ හූ...


මගේ නම් ඇඟේ ලේ වතුර වෙලා හිටියෙ..මූලග්ගය තියෙන පොලිස් මාමා කෙනෙකුට හෙම ඕක ඇහුණා නම්..වීල් එකෙන් මුලින්ම ඇදල අරගෙන සලකන්නෙ සර් ට නෙවෙයි..මට නිසයි... 


ඔහොම ඉන්න තැනක අපි සිහියකින් පතකින් හිටියොත් ඉතින් කතා සාගරයක් මැවෙන හමුවක් තමා තියෙන්නෙ.. අපේ අවාසනාවට ඉතින් අපිත් ඉන්නෙ ඔයවා ඇහුනත් ඒ වෙලාවට හිනා වෙලා ආතල් එකක් ගන්නවා මිසක් හිතේ රඳා පවතින තරමේ සිහියකින් නොවන නිසා...
ඒ කතා සරිත් සාගරයෙන් දැනට මතක් වෙන්නෙ ඔච්චරයි ආයිබොවන්ඩ

Wednesday, April 8, 2015

වසන්තයට පෙට්ටි කතා ...

වසන්තය නෙවෙයි ඉතින් වසන්ති ආවත් කෝ ලියන්ඩ වෙලාවක් කලාවක්..තේමාවක්...අනික ලියන එක කොලිටියටම ලියන්ඩත් ඕනිලුනෙ..

ඕන් පටන් ගත්තා අදත් බැරි බැරියාවෙන්ම..

එහෙම නෙවෙයි ඔන්න අපිත් දැන් කෝච්චි වල යන්ඩ පටන් ගත්ත හින්දම එදිනෙදා හිරවෙලා මිරිකිලා තෙරපිලා යන අතරතුරේ සිදු වන..ඇහෙන දකින දේවල් කීපයක්ම බෙදා හදා ගන්ඩයි හිතුවෙ...ඇයි හැබෑටම බස් වල ගිහින් ගිහින් හිටපු ගමන්ම කෝච්චි වලට මාරු උණේ ?


මෙහෙමනෙ බස් වල ගාන අඩු කළත්..දවසකට රුපියල්ම 80 කට කිට්ටු වෙන්ඩ පර්ස් එකෙන් පූජා කරන්ඩ වෙන නිසාමත්ම..

සහ....

බස් වල යන්ඩ ගියහම එන්ඩ එන්ඩම ට්‍රැෆික් බ්ලොක් එක වැඩි වෙලා දවසෙන් බාගයක්ම බස් වලම ගත කරන්ඩ වෙන නිසාමත්ම,

බස් වලට වඩා ට්‍රේන් එකේ කිටි කිටියෙ හිර වෙලා...යන්ඩ... එක්කො ඒක ඕනි නැහැ..

මුල්ම කතාව පහු ගිය කාලෙ අර ඕනිම කෙනෙක්ගෙ මුවග මුවග රැඳෙන වචනයක් උණේ වෙලේ සුදා කියන එක..ආන්න එහෙම වෙච්ච කාලෙක උණ දෙයක්..

දැන් කෝච්චිය පෙට්ටියක අපි පොල් පැටෙව්වා සේ හිර වෙලා යන අතරෙ...

නාවින්න පහු කරලා උඩහමුල්ල ස්ටේෂන් එකට කෝච්චිය නැවැත්තුවහම මතක අයට මතක ඇති බොහොම ලස්සන වෙල් යායක්, කිව්වට වෙල් යායක්ම නෙවෙයි එළවළු එහෙ
ම වවපු වෙලක් මැද ලස්සන විශාල බෝඩ් එකක් තියෙනවා බුදු හාමුදුරුවන්ගෙ..ඒක එතනට කොයිතරම් ගැලපෙනවද මන්දා..අර ගමයි පන්සලයි හැමදාම ඇහැ ගැටිච්ච මට නම් ඒක බොහොම සුන්දර දසුනක්...


දැන් පහුගිය දවසක ඔහොම හිරවෙලා, මිරිකිලා තෙරපිලා චූන් එකේ යන අතරතුරේ ඔතන ස්ටේෂන් එක පහු කරපු ගමන්ම එතන හිටි තලතුනා වයසෙ මහත්තයෙක් එකසිය ගානට බනිනවා...බනිනවා බනිනවා..බනින්නෙ එතන හිටිය කොල්ලො සෙට් එකට..මුන්ට හැදියාවක් කියලා එකක් ඇත්තෙම නෑ..ආගමක් දන්නෙ නෑ..දහමක් දන්නෙ නෑ...එක අඳොවැඩියාවයි...බොහොම අමාරුවෙන් තනි කකුලෙන් හිටගෙන..උස්ස ගත්ත අත පහළට දාන්න වත් බැරුව ඔහොම යන කොට වෙනසකටත් එක්ක ඔය වගේ සීන් බොහොම විනෝදය සපයන එව්වා වෙනවා..

ඔයින්ට ඉස්සර දවසකත් ඔහොම කොල්ලො සෙට් එක එතන ජැක ගහ ගෙන ගිය අන්කල් කෙනෙක්ගෙ ඇ* මිරිකලා හයියෙන්..ඔය අන්කලුත් මාර සද්දෙට කොල්ලන්ට බැන්නා..ඉවසගෙන ඉන්න බැරිම තැන ඉස්සරහ හිටිය නන්ගි කිව්වා

"අන්කල් හොඳට හේත්තුව දාගෙන ආවනෙ මෙතනට එනකන්..දැන් සද්ද නොකර ඉන්ඩ"

 
කියලා..අපිත් මුලින් හිතුවෙ ඒ වගේ සීන් එකක්වත්ද කියලා..

මෙන්න ඊළඟට බුද්ධ දේශනාවක් ඇදලා ගත්තා මේ මනුස්සයා..එතකොටයි මම ළඟම හිටි කොල්ලගෙන් ඇහුවෙ

"මොකද මල්ලි සීන් එක ?"

කියලා..

"නෑ අයියෙ අර වෙල මැද හයි කරලා තිබ්බ බුද්ධ පිළිමෙ දැකපු මේ අපේ සහනයා ගත්ත කටටම කිව්වනෙ
ආන් වෙලේ සුදා ! "

කියලා

ඒකටයි ඔය අන්කල් සද්දෙ දාන්නෙ කියලා..

ආම්මපා අද හැදෙන කොල්ලන්ගෙ කටවල් තමයි කියලා කේන්තියක් හිතට ආවත්..මටත් හිනා ගියා..මුන්ගෙ වැඩ කියලා නම්...



ඔය සිද්ධියෙන් පස්සෙම මෙතනින් එන හැම දාකම මට මතක් වෙන්නෙ ඔය සීන් එකම තමයි...අනිත් සිද්ධිය උණේ අපේ ඔෆිස් එකේ නන්ග් කෙනෙකුට..

එයාලා ඔෆිස් එන කෝච්චිය අපිටවත් වඩා දරුණුවට සෙනඟ..රඹුක්කන ඉඳලා එන එක...සාමාන්‍ය සිරිත ඉතින් පොඩි දරුවො සෙනඟ අතරෙ හිර වෙලා ඉන්න කොට වැඩිහිටි අය ඒ අයව උකුලට ගන්න එක...විශේෂයෙන් ලේඩිස්ලා තමයි මේක කරන්නෙ..මොකද පොඩි දරුවෙක් සෙනඟ අතරේ හිර වෙලා ඉන්න කොට මුලින්ම හිත උණු වෙන්නෙ ඒ අයගෙ නිසා...

ඔහොම දවසක මෙයාට පේනවලු පොඩි දරුවෙක් සෙනඟ අතරේ මිරිකිලා තෙරපිලා ඉන්නවා.. හිත උණු වෙච්ච පාර සෙනඟ අතරේ කකුල් අස්සෙන් අතදමලා ඇදලා අරගෙන අර පොඩි එකාව උකුළෙ වාඩි කර ගත්තලු..


අතින් අල්ලලා අදිද්දිම වෙනසක් දැනුනත්...අහල පහළ අයගෙ ප්‍රතිචාර එක්ක ආයිමත් මෙයා අර උකුළෙ වාඩි කරවා ගත්ත කෙනා දිහා හොඳින් බලන කොටළු දැක්කෙ..


හුටා..මේ හොඳට වැඩිච්ච..කුරු පිරිමි කෙනෙක් කියලා...


දැන් ඔනවා කරන්නද මේ මනුස්සයත් හොඳට වාඩි වෙලා යනවලු..මෙයා කරලා තියෙන්නෙ අනේ නැගිටලා එහෙනම් ඔයා වාඩි වෙන්න කියලා හෙමිහිට ඉස්සරහට යන එක තමයි..


ඕන් ඔහොම වෙන්නෙ..


ඔය උඩ තිබෙන ෆොටෝ එක ඉස්සුවෙ නම් දමින්ද ප්‍රසන්ගිකා...

"ඈ ප්‍රසන්ගිකා ??? කවුද බන් ඒ ලස්සන කෑල්ලක්ද ? උඹත් ලස්සන කෑලි වල එව්වා උස්සන්න.."


"කෑල්ලක් නෙවෙයි බන් ප්‍රසන්ගික මල්ලි ?"


"කවුද බන් ඒ ඩයල් එක ?"


"අර බුකියෙ ඉන්නෙ බන්..ඌව නොදන්න එකෙක් නෑ  කෝච්චියා කියන්නෙ ?"


"ඌව නම් දන්නවා...අම්මට සිරි උගේ නම දමින්ද ද ?"


"ඔව් ඇයි ?"


"මම හිතුවෙ උගේ උප්පැන්නෙ නම කෝච්චියා වෙන්න ඇති කියලා..."