ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, July 6, 2012

නිශාචර ඡායාරූප සහ යථාර්තය ..ආච්චිගෙ රෙද්ද..

මේකෙ පළමු වෙනි කොටස මෙතනින්...

තුන් රෝද රියේ අඳුරු පසු  පස අසුනෙන් හනි හනික බැස ගත් දෙදෙනා සමඟම තුන් රෝද රිය පසු කරමින් අප ඉදිරියේම බ්‍රාස් යන හඬින් නැවැත්වූ රිය දුටු විගස මා වික්ශිප්ත වනවාත් සමඟම මාගේ අත අල්ලා  ගෙන සිටි නන්නාඳුනන තරුණිය තවත් මා තුරුලට ආවේ මන්දැයි ඒ වෙලාවෙ නොදත්තෙමි..ත්‍රී වීල් රථයෙන් බැස ගත්තේ පොලිස් නිළධාරීන් දෙදෙනෙකි. මා අසල නැවැත්වූයේ පොලිස් ජිප් රථයකි.


 මා කිසිම වරදක් නොකලා වූවත්.මහ රෑ දහය හමාරට පමණ අඳුරු මාර ගසක අඳුරේ සිට ත්‍රීවීල් රථයකට අත පාන තරුණ ළඳක් හා මැදිවියේ අයකු පිළිබඳව පොලීසිය කුමක් අදහා ගන්නවාදැයි තේරුම් යනවාත් සමඟයි මා ගත සීතල වූයේ...


නැවැත්වූ ජිප් රථයෙන්ද පොලිස් නිළධාරීන් කිහිප දෙනෙක් හනිකට බැස ගත්තේය.


"හහ් උඹට කී සැරයක් කිව්වද ඔය බිස්නස් කිරිල්ල නවත්තන්න කියලා"


එසේ ගුගුලේ එක පොලිස් නිළධාරියෙකි. මා තුශ්නිම්භූතව ඈ දෙස බැලුවෙමි. ඈගෙන් කිසිම හැඟීමක් පල නොවිනි.


"අනේ සර් මේ අයියා තමයි"


"වහපන් කට..මේ සැරේ නම් උසාවි දමලා යනවා අවුරුදු හතරකට පහකට.."


"අනේ සර් මන් මේ ගෙදර යනකොට මේ අයියා කතා කලේ.."


එක් පොලිස් නිළධාරියකු මා දෙස පිළිකුලෙන් බලන්නට වූයේ...


"පොඩ්ඩක් ඉන්ඩ රාළහාමි මන් මෙතනට එනකොට මේ ළමයා පිළියන්දලට යන්ඩ හිටියා අර ගාමන්ට් එක ඇරිලා එනවා කීවා..මට කීවා රෑ නිසා බයයි..ත්‍රීවීල් එකක් නවත්තලා දෙන්නයි කියලා..මන් මේ පාරෙ යන කෙනෙක් විතරයි ..මාව මේකට ගාව ගන්න එපා.."


මා එතනින් යන්නට උත්සාහ දැරීය..


"කොහෙද කොහෙද යන්නෙ?.. කොහෙ යන්නද ? මේක උසාවියෙන් කෙළවර වෙන කේස් එකක්"


අනිත් නිළධාරීන් දෙදෙනා මාගේ මඟ හරස්කර ගත්තේය..


"අපි දැක්කා දෙන්නා හිටි හැටි මාර ගහ අස්සෙ ගැරඬි වගේ වෙලිලා"


එක නිලධාරියෙක් සිනහ වෙමින් කීවෙ අන් අයත් එයට එක් වීය..


වසලා හමාරයි..මෙගා ටෙලි නාට්‍යයක මෙන් නුදුරු වර්තමානයේ සිට අනාගතය දක්වා මට සිදු වන දේ සියල්ලම මා ඉදිරියේ දිස් වන්නට වූයේ..


"ඇත්තමයි මන් කියන්නෙ මන් අහිංසකයි මෙතන..මට යන්ඩ දෙන්න"


"කොහෙ යන්ඩද ? කොහෙද තමුසෙ වැඩ කරන්නෙ?"


"මන් වැඩ කරන්නෙ ක්ලීනින් සර්විස් එකක..එතන වැඩ සුපර්වයිසර් ජොබ් එක කරන්නෙ"


මා ඇත්තම කීවේ කුමන හෝ බොරුවක් කීවොත් එය වැසීමට තවත් බොරු රාශියක් කීමට සිදු වන නිසාය.


"මේ මනුස්සයා අහිංසකයෙක් අපි මිනිහව යවමුද අයිපී?"


තරුණ නිළධාරියා තම වැඩිමහල්ලාගෙන ඇසීය..
මටත් යම් තරමක සැනසුම් සුසුමක් හෙලිනි.


"යවමු මේ තමුසෙ මොකද්ද ඉස්සෙල්ලා කීවෙ..මේ මිනිහා තමුසෙව අල්ලා ගන්න හැදුවා කියලා නේද ?"


ඔහු අර තරුණියගෙන් ඇසීය..


"අනේ ඔව් සර් මන් මෙතන ගෙදර යන්නයි හිටියෙ.. ඉස්සෙල්ල සැරේ අහු උනාට පස්සෙ ආයි මේ ජොබ් එක කරන්නෙ නෑ සර්..අද කඩේ සෙනඟ නිසා රෑ උනා.. මේ සර් තමයි කීවෙ එයා ඉන්නෙ පාමංකඩ ඇනෙක්ස් එකක තනියම..එන්ඩ කියලා"


මේ ප** වේ*..ඉතුරු කරන්න වටින්නෙ නෑනෙ මේ කියන් කතාවට..මන් මනුස්සකමට උදව් කරන්න ගියාම මේකි දැන් මාව උගුලට ..අහු කරලා දීලා බේරෙන්නයි යන්නෙ..


නැවතත් මා දෙස හැරුනු පොලිස් නිලදරුවා..


"ඔය පේන්නෙ අහින්සකයගෙ තරම "


"තමුසෙ කොහෙද ඉන්නෙ?"


"පාමංකඩ"


"ඇනෙක්ස් එකක තනියම?"


"ඔ ඔ ඔ ව් සර්"


"තමුසෙ බැඳලද? "


"නෑ සර් ඔව් සර්"


"ඔව් සර් නෑ සර්...සාජන් දානවා දෙන්නම ජිප් එකට පොලීසියට ගෙනිහින් දෙක දෙනකොට ඇත්තම කියවෙයි"


හැඩි දැඩි අතකින් මාගේ අත තරයේම අල්ලා ගත් විගසම මාගේ පෙර වාසනාවකට මෙන් පහුගිය දවස් කීපයේම මෙන් හාත්පස අඳුරේ ගිල්වමින් එක්වරම විදුලි බලය ඇන හිටියේය..


මේ අවස්ථාව දැක්වෙන සිත්තරයක් පාඨක සමූහයාගේ සිත සුව පිණිස ඇඳීමට මා සිතා ගත්තෙමි. එය පහත අයුරින් වේ.. වැඩි විස්තර සඳහා ප.ලි. බලන්න..






පොලිස් නිලදරුවන් සියල්ලම කුටු කුටු ගාන්නට වූයේත් මා දෙනෙත පාරෙන් එහා පැත්තේ වූ වෑන් රථය වෙත යොමු වූයේත් එක් විටමය. වෑන් රථය තුල යමක් ආලෝකයෙන් බබලමින් තිබූ අතර ඒ තුල කීප දෙනෙක්ම වීය.. 


"කවුරුවත් ළඟ සර්ච් ලයිට් එකක් නැද්ද?"


සර්ච් ලයිට් එකක් වත් නැති පොලීසියක්...???
ඒ හාම නැවත විදුලිය පැමිනියේ..


"හා දමා ගමු දෙන්නවම ජීප් එකට සාජන්"


"පොඩ්ඩක් ඉන්න රාළහාමිලාගේ අයිඩෙන්ටී කාර්ඩ් පෙන්නන්ඩ මට පොඩ්ඩක්"


"මාව ඇරෙස්ට් කරන්න ඉස්සෙල්ලා ඇයි මාව ඇරෙස්ට් කරන්නෙ කියලා අහන්න මට අයිතියක් තියෙනවා..මන් මෙතනින් අඩියක් හෙල්ලෙන්නෙ නෑ අයිඩෙන්ටි කාඩ් පෙන්නනකන්"


මා ඔවුන්ගේ අතින් මිදී අඩියක් පමණ පාර දෙසට පැමිණෙනවාත් සමඟයි මා ඔවුන්ගේ නිල ඇඳුම දෙස නෙත් යොමු කලේ. .මන්ද යත් මොනා නැතත් මේ නිළධාරීන්ගේ අංක ටික මතකයේ තබා ගත යුතු බව මගේ සිත මට මතක් කර දෙන්නට වීය..


නැවතත් මා ඇඟ සීතල වූයේ එම දර්ශණයක් සමඟයි..එක් අයකුගේවත් නිලඇඳුමේ තිබිය යුතු අංකය නැත.. මා මෙතරම් මෝඩ වූයේ කෙසේද ? මෙය මා කලයුතුව තිබූයේ මීට පෙරය. තවත් අඩියක් පසු පසට තැබූ මා ක්ශණිකව මාගේ දුරකතනය අතට ගෙන එහි වූ හදිසි ඇමතුම් අංකය ක්‍රියාත්මක කරන්නට දී තිබූ තනි අංකය මත ඇඟිල්ල තබා හතිමි.


"තමුසෙලා කවුද ? තමුසෙලා පොලීසිය නෙවෙයි..මන් 119 එකෙන් ගෙන්නවනවා එකෙක් වත් ඉන්න තැන් වලින් හෙල්ලෙන්න එපා.."


මාගේ උපාය වූයේ එක් අයකු හෝ මා අල්ලා ගැනීමට ඉදිරියට ආවොත් අඩු තරමේ පාර දිගේ දුවන ගමන්ම හදිසි ඇමතුමට කතා කිරීමටය. එක් අයකුවත් සෙලවුනේවත් නැත. 


නමුත් අර තරුණිය තම හඬ අවදි කලාය. 


"හරි හරි අයියෙ අපි මේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්නෙ.. අයියා කලබල වෙන්න එපා 119 කතා කරන්නත් එපා" 


ඈ තම ආයතනික හැඳුනුම්පතක් මා වෙත දික් කලාය.මා තවත් අඩියක් පසු පසට ගොස් එය පිරික්සීයේ අනිත් සියළු දෙනා වෙත පිරික්සුම් බැල්මක් හෙළුවේය.


"ඔව් අපි මේ මීඩියා ආයතනයේ අර රියැලිටි ටීවී ප්‍රෝග්‍රෑම් එකකට තමා මේක කලේ..වෑන් එකේ කට්ටිය සේරම රෙකෝඩ් කලා"


එකවරම මගේ ඔළුවට යක්ශයා ආරූඨ වීය..


'මඟුලක් කරනවා මන් මෙතන ප්‍රෙශර් හැදිලා මැරෙන්නයි ගියේ"


ඒ හාම මට මතක් වූයේ පිටරට ටීවී ප්‍රෝග්‍රෑම් වල ඇති සමහර ප්‍රෝග්‍රෑම් පාරෙ යන අයව අපහසුවට පත්කරමින් කරන ඒවා රෙකෝඩ් කර විකාශය කරන අන්දමයි..


මගේ ඒ ගැන එතරම් අකමැත්තක් නැතත්..එවන් වැඩ සටහන් පිළිබඳව එතරම් ප්‍රසාදයක්ද නැත.


"හරි හරි සර් අකමැති නම් මේක අපි ටෙලිකාස්ට් කරන්නෙ නෑ"


"ටෙලිකාස්ට් නෙවෙයි මොන මඟුල කලත් කමක් නෑ..හැබැයි ඔය මාව අපහසුතාවයට ලක් කරලා ගත්ත ටික එහෙම මගේ අවසරය නැතුව දමලා තිබ්බොත් මන් නඩු යනවා"


තදින් නොවූවත් තරමක තිර හඬින් කිවූ මා ඔවුන්ගෙන් සමු ගත්තේ..එදිනට මාගේ රාත්‍රී ඡායාරූප ගැනීම නවතමිනි.


රියැලිටි ටීවී ප්‍රෝග්‍රෑම හරි මොන මඟුල හරි කමක් නෑ කලාට ඒවා ඔය බටහිර නාලිකා වල පෙන්නන ඒවා ගෙඩිය පිටින්ම මෙහෙ ගෙනත් ඒකම කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් අපේ සමාජයට හරියන විදියට වෙන්ස් කම් කරලා..


මේ සිද්ධියත් එක්කම මගේ හිත පතුලට කිඳා බැස්සෙ ඔය වගේ අදහසක් තමයි..හැබැයි මට හිතෙන ඒවා නිවැරදියි කියලම නම් මන් හිතන්නෙත්.. නෑ..


 ප.ලි.
ඉහත සිත්තරයේ ඇති ඇති එකම ආලෝකය එක් පොලිස් නිළධරයෙකුගේ අතේ වූ ජංගම දුරකතනයේ වූ එලියයි..මෙය මහපාරක් අසල වූ දෙයක් නිසා ඔය කහ පාටට තිබෙන්නේ ඈතින් එන වාහනයක එලියයි.
සයිබර් අවකාශයේ කොතරම් සිත්තරුන් සිටියත් මා තරම් පාඨකයන්ට හිත පිණිස මෙසේ අඳින ලද සිත්තරය පිළිබඳව වැඩි විස්තර නොදමන බව ඔබ දැක ඇතැයි සිතමි..හ්ම්ම් අපි එහෙමයි පාඨකයන්ට සලකන්නෙ..

Wednesday, July 4, 2012

පිස්සු හැදෙන සඳ...


දඩ බඩාස්...
ගාන සද්දෙකින් මාව එකපාරටම ඇහැරුනත් එක පාරටම හිතා ගන්ඩ බැරි උනා මොකද්ද ඒ සද්දෙ කියලා නම්. ඊළඟ ක්ශනයේදී මගේ හිත කීවෙ අර පාහර මීයා ආයි ඇවිත් ..අයියෝ මගේ මේ වෙනකම් කපලා ගිය ඇඳුම් ටිකයි..පොත් පත් ටිකයි..අඳුරේම නැගිටලා අතපතා ගාලා ලයිට් ස්විච් එක දමන ගමන්ම මන් ළඟ තිබ්බ කොස්ස අතට ගත්තා. මේ යකා මෙච්චර පෙරලි කරන්නෙ මගේ අනිත් කාමරෙ. ඒකෙ දොර අරින කොටමත් ඌ ආරක්ශිත පියවර අරන් ඌ හැමදාම හැන්ගෙන තැනට ගිහින්...


මාව ඇහැරෙව්ව එකේ කේන්තියත් එක්කම ඒ කාමරෙ ලයිට් එක නිමලා ආයි නිදිය ගන්න කාමරේට යන්න ගියත් පිරිලා තිබ්බ තව අවශ්‍යතාවයකින් නිදහස් වෙන්න මන් ආයිමත් ගෙයින් පිටත තිබ්බ නාන කාමරය වෙතට ගියා. ඉස්සෙල්ලා දවසෙ සුට්ටක් වෙන්න පානය කරපු මධු විතේ බලපෑම තාම ඔළුවෙ ..යන්තම් ඔළුව රිදෙනවා. ඔව් පෝය දවසෙ බිව්වහම පව වැඩිලු..ආච්චි කීවෙ නම් මාමලා බීලා ආපු දවසට මාව ඔඩොක්කුවට අරන් ආදරණීය විදියට ඔළුව ආත ගාන ගමන්..ඒ වගේම බොන අය අපායට ගියහම කටේ ලෝදිය වක්කරනවා කියලා කියන ගමන්මයි.. පවක්ය..කියන අදහස ඔළුවෙ තිබ්බත් සොඳුරු මිත්‍රයෙක් ආපු වෙලාවක ඔහුත් එක්ක දොඩමළු වෙන්න..පොඩ්ඩක් බොන මදු විතෙන් ඇරඹෙන කතා බහ කොයි තරම් නම් සොඳුරු ඉසව්වන්ට ඇදිලා යනවද කියලා අපිට සීමා මායිම් පනවන්න බෑ..හමුව පුරාවටම කතා කලේ අහල පහලම වෙච්ච සොඳුරු මල් කැකුලක් තලා දමලා ඈව මරා දමපු නරුමයො හතර දෙනෙක් ගැන උනත්..තාම පොඩියක් ඔළුව රිදෙනවා සහ කැරකෙනවා හැඟීම නිසා ඔන්න ඔහේ උණුවට ප්ලේන්ටියක්ම බීලා නිදා ගන්ඩ ඕනියි කියලා හිතුවෙ නාන කාමරයේ ලයිට් එක නිවන ගමන්මයි..මන් නිදන පුන්චි නවාතැනේ මිදුල හරහා යන්ඩ වෙච්ච නාන කාමරය..ආපහු එනකොට හොඳට නිදා ගෙන හිටපු ලැසීත් ඔළුව ඔසවලා බලලා මාත් එක්ක නැට්ට වනලා හිනා වෙනවා..තාම නිදිමතයි..අතපය දිග ඇරලා..ඔළුව උස්සලා මන් හිතේ හැටියට ඈනුමක් ඇරියේ මගේම වාසනාවකට..


හඳ මෝදුවීගෙන එන දවස් වල මෝදුවී ගෙන එන පිස්සුව පුන් පෝ දාට උච්ච වෙනවළු..පිස්සු හැදෙන සඳ..අඹ ගහේ අතු රිකිලි අස්සෙන් මගේ නෙත් මානයට අහු වෙච්ච සඳ කැරලි නිසා මන් ඒ ක්ෂනයකින් පිස්සු හැදුනා කීවොත් නම් බොරුවක් නෙවෙයි.අහල පහල වලාකුළු කැටි කීපයක්ම තිබ්බත් මෙන්න ඈ මා එක්ක මුව පුරා හිනා වෙනවා.. අනේ වළාකුළු අතරෙ හැංගිලා යන්න නම් එපා..මන් හිතින් ආයාචනා කරමින්ම කාමරේට ආයිමත් දිව්වා..දුවපු වේගෙට බාගෙට වහලා තිබ්බ දොරේ හැන්ඩ්ල් එකේ පැටලිච්ච සරම නිසා බෙල්ල කඩා ගන්න ගියා උනත් ඊට වඩා හදිසියක් මට තිබ්බෙ..තුන් පාදය සහ මගේ ආදරණීය කැමරාව අරන් අඹ අතු රිකිලි..පොල් අතු ..දිවුල් ගහේ සිහින් කොල අතරින් බේරිලා මාව හොයන් එන සුමුදු සඳ රැස් අල්ල ගන්න මන් පැයක් විතරම දත කෑවා..දන්න සේරම ශිල්ප ක්‍රම දාල සේරම දමලත් අල්ල ගත්ත ඈගේ සඳ රැස් ඔන්න මන් මගේ සහෘදයො එක්ක බෙදා ගන්නයි හිතුවෙ











මේ ෆොටෝ ටික ගනිද්දි වෙලාව අද (04) උදේ පාන්දර හතර හමාරයි..


..ආයි ආයි ෆොටෝ ටික බලද්දිත් හිතුවෙ සඳ කුමාරිය මිනිස්සු පිස්සු වට්ටන එක ගැන පොඩ්ඩක්වත් පුදුම වෙන්න ඕනි නැහැයි කියලයි..අල්ල ගන්ඩ බැරි තරමක දුරකින් ඉඳන්..ලස්සනට හිනා වෙවී ඉන්න ඈ ගැන හිතන කොට එච්චර වෙලා තිබ්බ නිදි මත කොහේ ගිහින්ද මන්දා ? ආයි මොකටද ප්ලේන්ටි ? ආයි කාමරේට ආපු මන් බැලුවෙ මීයා රිංගපු උගේ ප්‍රියතම සැඟෙවෙන තැන දිහා..කිසිම හැලහොල්මනක් නෑ..එලියට ඇදලා අරන් චීස් කෑල්ලක් කටෙ ඔබන්න තිබ්බනම් කියලා නොහිතුනාමත් නෙවෙයි..


සතියෙ මැද දවසක එන නිවාඩුවක් උනත් මට නිවාඩු තියෙන්නෙ ඉරිදා විතරක් නිසා..කවදා ලැබෙන නිවාඩුවක් උනත් මගේ හිත රැවටෙනවා අද ඉරිදාය කියල..අයියෝ ඊයෙ ඉරිදා නම්..මට ලොකු අමතක වීමක් උනා කියන පසුතැවීල්ලත් එක්කම..ආයිමත් මතක් උනා ආ...ඊයෙ බදාදානෙ කියලා..ඔන්ලයින් චැට් එකකදි එක දවසක සිහින මල්ලි කීවා...මට මතක නෑ මොන පෝස්ට් එක ගැනද එයා කීවෙ කියලා..මගේ ඒ පෝස්ට් එක කියවද්දි මල්ලිට මතක් උනේ රෑ ඉරපාන කියලා..මන් ලියන රටාව ඒක කරන බන්ධුල අයියගේ වගෙයි කියලයි කීවෙ..මන් කීවා පිස්සු කියවන්න එපා මල්ලි..මන් කොහෙද එච්චර ශ්‍රේෂ්ඨ..ඉස්තරම් විදියට ලියන්නෙ කියලා..ඒ තරම් ගේය පදවැල් රචකයකුගේ පා දූවිල්ලක් තරමෙවත් ලිවීමෙ හැකියාවක් මට තියෙනවා කියලා මන් හිතන්නෙ නම් නෑ.. ඒත් ඒ තරමට ලියන්න පුළුවන් නම්...කොයිතරම් හොඳද කියලා නම් හිතුව වාර ගාන අනන්තයි. හැමදාම රෑ ඉරපාන අහන මන් සමහර විට ඒක කොපි කරනවා වෙන්න පුළුවන්. කමක් නෑ..බැරි කමට හොඳ දෙයක්නෙ කොපි කරන්නෙ..ඒකට කවුරුවත් අමනාප වෙන එකක් නෑ..ඉතින් ඉරිදාකට මට අමතක වෙන්න පුළුවන් නරකම දේ තමයි හවස හතේ ඉඳන් ගෙදර ඉන්න බැරි වීම තමයි..ඩීවීසී, අන්තර්ජාලය , රූපවාහිනිය අතරෙ අතරමං වෙලා හිටි මාව ආයිමත් රේඩියෝ වැඩසටහන් වලට ආශක්ත කලේ රෑ ඉරපාන කීවොත් බොරුවක් නම් නෙවෙයි..වෙළඳ පරමාර්ථ තියෙන මාධ්‍ය ආයතන වල අනික් වැඩසටහන් ගැන කොයිතරම් විවේචන තිබ්බත් ..හොඳ දේ අනිවා හොඳයි..


මේ පෝස්ට් එක දමන එක ගැන මගේ හිත මට හොඳටෝම දොස් කියනවා.. හැමෝම බලන් ඉන්නෙ අර නිශාවර ජායාරූප ගන්න ගිහින් මට උනේ මොකද්ද කියලා කියවන්නයි..ඒ අස්සෙ මේ මොකද්ද මේ කියලා සමහරෙක් අමනාප වෙන්න බැරි නෑ.. ඔය පොඩි පොඩි සොඳුරු අමනාපයන්..වැඩි කාලයක් තියෙන එකකුත් නෑ...මාව සාඪාරනීකරනය කරන්න මන් මටම කියා ගත්තා..සිකුරාදා හවස් වෙනකොට අනිවාරයෙන්ම ඒ කතාව දමන්න ඕනි කියලා මටම ස්තීර කර ගත්ත මම මවුස් පොයින්ටර් එක Publish කියන බට්න් එක ළඟ අරන් ගියා...



Saturday, June 30, 2012

නිශාචර ජායාරූප...Night photography


ජායාරූප ගැනීම එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් ෆොටෝග්‍රැපි,  කරන එක මට නම් මගේ විනෝදාංශයක්ම විතරයි. මොකද ජායාරූපකරනය තමන්ගේ වෘත්තීය ජීවිතය වෙච්ච කොට්ඨාශයක් ඉන්න නිසාම මම ඇයි ෆොටෝ ගහන්නෙ කියන එකට මමම දීලා තියෙන පැහැදිලි උත්තරය ඒක තමයි. මේක විනෝදාංශයක් වීම නිසාම තාමත් මන් අරගෙන තියෙන්නෙ ෆොටෝ දෙතුන් සීයයි .වගේම ඒ ෆොටෝ අතරින් මගේ හිතට අල්ලපු සහ මූනු පොතේ දමපුවහම එන කමෙන්ට් වලින් වගේම මගේ මේ විනෝදාංශයට අත හිත දීපු කෙනාගෙ අදහස අනුව තියෙන්නෙ ෆොටෝ 3-4ක් විතරයි හොඳ ෆොටෝ කියන ගොන්නට දමන්න පුළුවන් ඒවා තියෙන්නෙ..


ඔව් ඒ ෆොටෝ 4-5න් මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..සමහර විට ඒ වෙලාවෙ ගන්නකොට තේරුනෙ නැහැ..මේ වෙලාවට මේ සෙටින්ංග්ස් තමයි හොඳම කියල නම්..ෆොටෝ ගත්තට පස්සෙයි දැක්කෙ හොඳයි කියලා..ඒ නිසා ඒ ෆොටෝ 3-4 අහඹුවට වැදිච්චා කියමුකො..


ෆොටෝ ගන්න අය එක එක කැමති අනු අංශත් තියෙනවනෙ ඔය එක්කම..


මාත් කල්පනා කලා දැන් මන් ගන්ඩ යන්නෙ මොනාද කියලා..මල්ද ? සමනලයොද ? ගස් කොලද ? මිනිස්සුන්ද ? අනේ මන්දා ? ඔහොම කල්පනා කර කර ඉන්න කොට මන් දවසක් දැක්කා ලස්සන රාත්‍රී දර්ශන ටිකක් තියෙන ෆොටෝ වගයක්..හ්ම්ම්ම් අහල පහල වනාන්තර නැති නිසා ගස් වැල් ගන්ඩ බෑ..මේ කොන්ක්‍රීට් වනන්තරේ එහෙන් මෙහෙන් දැන් නම් ගහක් කොලක් මලක් තියෙනවා උනාට ස්වාභාවික හෝර්ටන් තැන්න වගේ නෙවෙයිනෙ..ඒ උනාට රෑ වෙන එක කොහෙටත් පොදුයි..මොකෝ වෙන්නෙ රෑ ජාමෙ ෆොටෝ ගත්තොත්..
ඔහොම හිතපු මන් තීරණය කලා රාත්‍රී ජායාරූප ගන්නවයි කියලා..ඉතින් ඒක සාර්ථක උනාද ?


කෝකටත් තෛලය වගේ ගියා අන්තර්ජාලෙට..කියෙව්වා තිබ්බ ලිපි කීපයක්ම..හෆොයි හිතුවට වඩා දරුණුයි..මහා දිග හොම්බක් තිබ්බට කැමරා ලෙන්ස් එකේ f/4.5  පටන් ගන්නෙ ඉඳන්..සාමාන්‍යෙන් කියන්නෙ f/ 3.5 තමයි හොඳම රාත්‍රී ජායරූපවලට කියලයි..ඔය සේරම හරි යන්ඩ බෑ..ඕන් ඔහෙ තියෙන එකෙන්ම ගන්නවා කියලා හිතලා..මාත් වැඩේට බැස්සා..


ඔහොම බැහැලා ගත්ත ෆොටෝ ටිකක් තමා මේ තියෙන්නෙ..









රාත්‍රී  ජායාරූප  ඉතින් දවල්ට ගන්න ඇහැකියැ ..මේකෙ තියෙන වාසිය තමයි ඔෆිස් ඇරුනහම මට කෙලින්ම වැඩේට බහින්න පුළුවන්..හැබැයි ආරක්ශාව අතින් එච්චර හොඳ නැති හරියවල් වල නම් මේක කරන්න බෑ.ඒ නිසා මන් කරන්නෙ ජනාකීර්න නගර වලයි..එහෙම නැත්නම් අහලක පහලක පොලීසියෙන් ඉන්නව නම් බහිනවා ගේමට..නැත්නම් ඔහේ මගේ පාඩුවෙ යනවා.


පහු ගිය දවසක මන් ඔහොම රෑ 10ට විතර ඇති බැස්සා බඩු ටිකත් අරන් එලියට..දැන් ටවුන් එකේ ෆොටෝ 2-3ක් අරන්..හෙමින් හෙමින් ඉස්සරහට ගියා..හඳ පළුවෙන් එන එලියයි..විදුලි ආලෝකයෙන් එලිය උනු අවට පරිසරයේ රූස්ස ගොඩනැගිලි වල පාදාන්තයේ සිට කේශාන්තය දක්වාම බලමින් මන් යනවා මගේ ගමනෙ..හෙමිහිට නැවතී නැවතී..


තරමක් පාළු, අතඇරලා දමපු බිල්ඩින් එකක්.... සහ දැනටමත් අළුතින් හදන බිල්ඩිමක්..හරියටම ඔය මැද අතු පතර විහිදිලා ගිය මාර ගහක්..විදුලි එලිය බිඳක් නැති පාළු බිල්ඩිම හඳ එලියෙන් බබලනවා..අළුතින් හදන බිල්ඩිමේ විදුලි එලිය අර මාර ගහේ අතු අතරින් පෙරිලා ඇවිත් ලස්සනට රටා වලට හෙවනැලි ඇඳිලා..මගේ හිත එකපාරටම කීවෙ..ටොප් ෆොටෝ එකකට හොඳම තැන කියලයි..ඉස්සරහට ගීයා..ආපහු ආවා..බැලුවා කැමරා ඈන්ගල් කරන්න හොඳම තැන..මේ එලියට හරියන්න සෙට් කරන්න ඕනි සෙටින්ග්ස් ගැන හිතමින්ම..


"ස්ස්ස් ....ස්ස්ස්ස්..."


මගේ දැහැන බිඳුනා සැනකින්ම...


මාර ගහ යට පාළු අඳුරෙන් මෑත් උනේ ජායාවක්..එලියයි අඳුරයි අතරේ මාරුවෙන් මාරුවට පුළුල් තීර විදියට ඇහැ යොමු කරපු මට මේ පුංචි රුව දෙනෙතට හසු කර ගන්න මදක් අපහසු උනා..ඒ කාන්තා රුවක්.. මගේ හිත මට කිව්වා..


"අනේ එක්ස්කියුස් මී අයියෙ.. මගෙ පර්ස් එක මග වැටිලාද කොහෙද ..අතේ සල්ලි නෑ කීයක්වත් ගෙදර යන්න.. තියෙනව නම් මට රුපියල් 150 දෙන්න අයියෙ.ලොකු උදව්වයි.."


මිහිරි හඬකින් ඈ කීවා.. අනේ පව්.. මේ රෑ..කරදරේ වැටිච්ච ළමෙක්..මගේ බඩ පපුව දාලා ගියා.


"නංගි කොහෙද ඉන්නෙ"


"පිලියන්දල ඉන්නෙ අයියෙ..මන් අයියට මගේ ෆෝන් නම්බර් එක දෙන්නම් ..ණයට දුන්නා කියලා හිතා ගෙන දෙන්න අයියෙ.. මන් ආපහු ගෙනත් දෙන්නම්"


ගින්දරට අහු උන වෙඬරු පිඬක් වගේ මගේ හිත ආයිමත් උනු උනා..තාමත් උඩ බිම බලලා නිලංකාර වෙච්ච ඇස් හරී ගියේ නැති නිසාත්. මේ තරුණිය ඉන්නෙ ආලෝකයට පිටුපාලා නිසාත්.. මට ඈගෙ රුව හරියටම පෙනෙනෙ නෑ..


"රුපියල් 150 ඇතිද නංගි මෙතන ඉඳන් ත්‍රීවිල් එකක පිළියන්දලට යන්න?"


මන් මගේ පර්ස් එකේ තියෙන සීයෙ කොල හය හිතින් ගනිමින්ම ඇහුවා.. ඔන්න ඔහේ 200කම දීලා දාපන් කියලයි මගෙ හිත දැන් කියන්නෙ..


"ඇති අයියෙ වෙනදටත් බස් නැති උනහම මේ හරියෙන් මන් ත්‍රීවීල් එකේ යන්නෙ රුපියල් 150ටම තමයි.."


"ආ අංගි වැඩ කරන්නෙ මේ ළඟමද ? හැමදාම යන්නෙ මේ වෙලාවටද ?"


"ඔව් අයියෙ..නෑ අයියෙ..මන් වැඩ කරන්නෙ අර එහා ගාමන්ට් එකේ.. අද නයිට්  එක ඉවර උනේ මේ වෙලාවෙ. අයියත් ඉන්නෙ මේ ළඟමද?"


"ඔව් මන් ඉන්නෙ අර ටවුන් එකෙන් ටිකක් ඇතුලට  හැරිලා යන්න ඕනි"


මන් පර්ස් එක අදින ගමන්ම කීවා
"මන් ළඟ පනහෙ කොල නම් නෑ.. දෙසියක්ම දෙන්නම්..ඔයා පොලියත් එක්ක ආයි හම්බ උනහම දෙන්නකො"


මන් හිනා වෙවී කීවා..


"අයියෙ ත්‍රී වීල් එකක් එනවා වගේ..පොඩ්ඩක් ඉන්න මන් ඒක නවත්තනකන්.. තනියෙන්ම ඉඳන් ත්‍රී වීල් වලට නගිනවට වඩා අයියා එක්ක ඉඳන් නැග්ගහම ආරක්ශාවට හොඳයිනෙ අයියෙ"


මම පිටුපාලා ඉන්න පැත්තෙන් මට ඇහුනා ත්‍රීවීල් එකක් එන සද්දෙත් මන් ඒ පැත්තට ඔළුව හරවනවාත් එක්කම..නංගි මගේ ඇඟේ ගෑවී නොගෑවී මාව පහු කරන් අඩි 2-3ක් ඉස්සරහට යන කොටයි දැක්කෙ..ඈ සැබවින්ම සුරූපී තරුණියක්..මේ වෙලාවෙ ත්‍රීවීල් එකක තනියෙන් යනවා කියන්නෙ මෑගේ ..මට මගේ මනසේ මැවිලා පෙනුනෙ ටීවී එකේ , පත්තර වල තියෙන දහසකුත් එකක් අපරාධ..මට තාම පේනවා ත්‍රී වීල් එක ඈතින් එනවා..


"නංගි ඔයාට තනියෙන් ත්‍රීවීල් එකේ යන හොඳ නෑ වගෙයි. මන් ඔයාව ගෙදරට ගිහිල්ලා අරලවන්නම්..මට ආපහු එන්න බැරියැ"


"අනේ අයියා හරිම හොඳයි. නන්නාදුනන මට සල්ලිත් දුන්නා..මන් කොහොමද තව ඒ වගේ උදව් ඉල්ලන්නෙ අයියගෙන් කියලයි මන් එහෙම ඇහුවෙ නැත්තෙ"


ඈ මට තවත් ලංවෙමින් කීවා.. ත්‍රී වීල් එක අපිට වඩා අඩි 50ක් විතර ඈතින්..ඊට ඉස්සර වෙලා ආපු වෑන් එකක් පාර අයිනෙ නැවැත්තුවත් කවුරුවත් බැස්සෙ නෑ..


"අනේ අයියෙ එහෙනම් මාව ගේ ළඟට ගිනින් දමලා එන්න අයියෙ..මට ඇත්තටම බයයි..මේ වෙලාවෙ ත්‍රීවීල් එකට නගින්න තනියෙන්ම" 


ඈ මගේ අතින් අල්ලා ගත්තා..නහය කඩා ගෙන යන තරමෙ උනත් ඉමිහිරි සුවඳක් මගේ නාසය තුලට රිංගුවා...


ඈ ත්‍රී වීලයට අත දැම්මා.. බ්‍රාස් ගාලා ඒක නැවැත්තුවෙ අපි හිටි තැනට අඩි දෙක තුනක් ඉස්සරහින්...


ඈ මගේ අත තවත් තද කරලා අල්ලා ගනිමින්ම මාත් එක්කම මාර ගහේ අඳුරු සෙවනැලි වලින් අර හදමින් තිබ්බ බිල්ඩිමේ එලිය වැටිච්ච ආලෝකමත් උනු ප්‍රදේශයට ආවා..


පාරෙන් එහා පැත්තෙ තිබ්බ වෑන් එකේ පැත්තක වීදුරුව ඇරෙනවා එක්කම යම් රතු පාට අඳුරු දීප්තිමත් ආලෝක තිතක් ඒ තුලින් මන් දැක්කෙ මගේ ඇහේ කොනකින්..මෙච්චර වෙලා හොඳ ප්‍රානවත්ව මගේ සිරුරේ සමබරතාවය රඳවා ගෙන හිටි කකුල් දෙකේ ප්‍රධානම පුරුක දනිස් දෙක පණ නැති උනේ ත්‍රී වීල් එකේ පිටි පස්සෙ අඳුරු සීට් එකේ ඉඳලා අපි හිටපු ඉස්සරහට බැහැපු දෙන්නා දැක්ක විගසමයි. ඒ එක්කම ත්‍රී වීල් එක ඔවර් ටේක් කරලා නවත්තපු ලොකු වාහනෙ දුටුවහම මන් රෑට කාපු කෑම පවා දිරවන එක නවත්තලා බඩ ඇතුලෙම කැරකෙන්න උනා..


"අනේ අයියේ.."


හොඳටම බියපත් උනු මුව පොව්වෙක් වාගේ ඈ මගේ අත තවත් තදින් අල්ලා ගෙන මාව තුරුල් කර ගත්තා අනිත් අතින්...


------------------------------------------------------------------
මතු සම්බන්ධයි...
ලියන්නා තව දුරටත් තම විනෝදාංශය කර ගෙන යයිද ?

Friday, June 29, 2012

භූමි කම්පා...


පොඩි කතන්දර දෙකක් හදිසියෙම කොටන්න හිතුවෙ පහු ගිය දවස් ටිකේම නිඔහිතුව විදියට මට පට්ට බිසි වෙන්ඩ උනු නිසාමයි. මන් සාමාන්‍යයෙන් මෙච්චර බිසි වෙන්නෙම නෑ..ඒත් ළඟ ළඟම වැඩ ගොන්නක්ම ඩෙඩ් ලයින්ස් එක්කම ආපු නිසාද මන්දා..
මේ කතන්දර දෙක තුනම භූමි කම්පා ගැනමයි..


ඉතාලිය කියන්නෙ පහු ගිය දවස් කීපය පුරාවටම භූමි කම්පා නිසා හෙලවෙච්ච රටක් වෙච්චි..අපේ ආදරණීය සොයුරියක් ඉන්නවනෙ එහෙ..චැට් කරන වෙලාවට අපි කියන්නෙ අනේ පරිස්සම් වෙන්ඩ දෝනා කියලයි..ඒතකොට එය කියන්නෙ අපි ඉන්නෙ උඩ තට්ටුවක කොහෙ පරිස්සම් වෙන්ඩද මුලින්ම කඩන් වැටෙන්නෙ පහලට බහින්න තියෙන තරප්පු පේලි තමයි කියලයි..අපේ ඇඟත් කිලිපොලා යනවා ඔය වෙලාවට මොකද බලලා තියෙන ච්ත්‍රපටි වල තියෙන සීන් එහෙම මතක් වෙලා..අනෙ මන්දා මන් ප්‍රාර්ථනා කරන්නෙ දන්න කියන අය විතරක් නෙවෙයි..කාවවත්ම මොනම විපතකටවත් පත් වෙන්න එපා කියලයි..
ඉතින් ලංකාවෙත් පොඩි පොඩි භූමි කම්පා 2-3ක්ම ඇති උනානෙ පහුගිය දවස්වල බිල්ඩින් වල හිටි අයට දැනුනලු.. ඔය කියන වෙලාවල් වල මන් හිටියෙ බස් වල.. ඉතින් කොහෙ දැනෙන්නද?



ඉතින් ඔය අපේ ඉතාලි සොයුරිය ලංකාවට ආපු මේ දවස් ටිකේම එක දවසක අපේ හමුවක් තිබ්බා.. හරිම සොඳුරු හමුවක්..සොයුරි සොයුරියො ටික තව පොඩ්ඩෙන් ගාළු මුවදොර භූමි කම්පාවක් කරන්න ගිය වගක් තමයි ආරංචෙ වෙන්නෙ..




එතෙන්දි අපිට තෑග්ගක් විදියට ලැබිච්ච ග්‍රීන් එක තාමත් මන් ළඟ සුරක්ශිතව තියෙනවා..හැබැයි කොයි කාලෙකටද මන්දා ?ඉවසුම් නැතුව මන් ළඟදිම ඕක ඕපන් කරනවා..


ඔය බෝතලේ ගැන මන් මගෙ යාළුවො ටිකක් එක්ක කියෙව්වා..ළඟදි දවසක,


"මචන් අර ග්‍රීන් එක ගහමුද?"


"බෑ බෑ ඒක ගහන්න වෙනම සෙට් එකක් ඉන්නවා"


"ඉතින් බන් උන්ට කියමු ඒ බෝතලෙ බිම වැටිලා බිඳුනා කියලා"



"පිස්සුද බන් එහෙම කවුද විශ්වාස කරන්නෙ ?"


"මොකෝ නැත්තෙ අර බෝතල් දෙකට උන විදිය මතකද ?"


"ඒ මොකද්ද බන්?"


කට්ටිය හිනා කනවා..සිද්ධිය මතක් වෙලා.. මන් දන්නෙ නෑ එහෙම බෝතල් ඩෙකකට වෙච්ච දෙයක් ගැන..


"කියකො කතාව"


"අර පාටිය ඉවර වෙලා බෝතල් දෙකක් ඉතුරු උනා"


"ඉතින්?"



"ඒ ඉතුරු වෙච්ච දෙක ගැන ඇහුවා මේ ළඟදි ..මන් කිව්වා අර භුමි කම්පාව වෙච්ච වෙලාවෙ මේසෙ හෙල්ලිලා ඒක වැටිලා බිඳුනා කියලා"


"ඇත්තටම එහෙම උනාද ? එච්චර හෙල්ලුනෙ නෑනෙ බන්"


"පිස්සුද බන් ඒ වෙනකොට ඒවයෙ මූඩිවත් ඉතුරු වෙලා තිබ්බෙ නෑ ආන්න ඒවගේ හොඳ පිලි ගන්න පුළුවන් උත්තරයක් දෙමු බන් උඹගෙ යාළුවන්ට"


ඔහොම භූමි කම්පා කතාව යන අතරේ තව එකෙක් ඇහුවා..






"අර භූමි කම්පාවට බෙහෙත් බීපු කතාව දන්නවද ?"



"නෑ.. මොකද්ද වෙලා තියෙන්නෙ?"


"ඔය මිස් හිටියෙ ඒ වෙලාවෙ තුන් වෙනි තට්ටුවෙ..භූමි කම්පාව වෙලා..ටිකකින් හැමෝම කලබල වෙලා තම තමන්ගෙ සෙක්ශන් වලට ගිහින්.. මෙයාගෙ යාළුවෙක් යන කොට මෙයා බෙහෙත් බොනවළු..යාළුවා අහලා ඇයි බෙහෙත් බොන්නෙ කියලා.. එයා කියලා අනේ මාව විසික්වෙලා යනව වගේ කලන්තයක් ආවා..ඒකයි මන් බෙහෙත් බීවෙ කියලා"


හැමෝම හිනා කනවා..


"වෙලා තියෙන්නෙ අර කම්පනයට එයා වීසි වෙනවා දැනිලා තියෙන්නෙ එයාට කලන්තයක් හැදිලා විසි උනා කියලයි"


ඔහොම කියලා හිනා වෙලා අපි ආයිමත් අපි කරමින් හිටි අපේ වැඩ ගොඩ දිහාවට  හැරුනා..


හම්මේ හොඳ පණ යයි මේ ටික ඉවර වෙන කොට...




Wednesday, June 27, 2012

තහනම් ෆොටෝ ගැහිල්ල.. තහනම් නැත..


මගේ සිත්තර වලටත් තියෙන ඉල්ලුම වැඩි වෙන නිසා ඕන් අදත් ඇන්ඳා අද කතාවට සරිලන එකක්..






ඔයිට ඉස්සෙල්ලා දවසක මන් දැක්කා බත්තරමුල්ල හරහා යනකොට ඔය දියවන්නා හරියෙ හොඳ ලස්සනට හදලා බංකු හයි කරලා හවස් ජාමෙ ගත කරන්න කදිමට සකසලා තියෙනවා. ඔතන දකින කොටම මට මතක් උනේ කාලෙකට ඉස්සර ඔය හරියෙ ගොල්ෆ් ගහන්න පිට්ටනියක් හැදුවා..ඊට පස්සෙ පෙම් උයනක්දෝ මොකද්ද එකකුත් කරලියට ආවා.. දැන් හරි ගස්සලා තියෙන්නෙ ඒ පෙම් උයනමද මන්දා..පෙම්වතුන් පෙම්වතියන් නම් වැහි වැහැලා තරමෙ බංකු අත් පත් කරන් ඉන්නෙ ඔය හැම වෙලාවෙම ඉතින් මට මෙතන පහු කරන් යනකොට හිතුනා දවසක හවසක එන්ඩ ඕනි මෙතනට... පෙම් කෙලින්ඩ කියලද නෑ පිංවතුනි..ෆොටෝ ටිකක් ගන්ඩ කියලා.. අපි ඔහොම පෙම් කෙලිය කාලෙ ගියා නොවැ..කබාය ඉරිලා කවුරු දකින්නද මා දැන් මහලු වියේ ..කිය කියා ඉන්න අතරෙ ඉතින් දැන් හොඳ ෆොටෝ ගන්න තමයි මේ වගේ තැන්..ඉතින් මමත් කැමරාව සහ ට්‍රයිපොඩ් රාජයාත් එල්ල ගෙන ගියා ඔතනට.. බංකු නම් ගොඩාක්ම වගේ හිස් මොකද එතකොටත් එතන අව්ව නිසා..මන් දැන් අවට තියෙන දේවල් මට වැඩක් නැති ගානට..ෆොටෝ ටිකක් ගන්නවා..


"කොහෙද ඉන්නෙ ?"


කියලා මගෙන් අහන සද්දෙකට මමත් ඔළුව උස්සලා බැලුවා. හෆ්ෆට සිරි පොලීසියෙ මල්ලි කෙනෙක් Environment Pilice Unit.. කියලා කබායකුත් දමා ගෙන..මන් ඉන්නෙ කොහෙද කියලත් මට අමතක උනාද මන්දා.. 


"මන් ඉන්නෙ අහවල් තැන ..."


කියලා කීවා. 


"ෆොටෝ ගන්ඩ අවසර අරන්ද තියෙන්නෙ ?"


හුටාහ් මෙතන මේ පොදු ස්ථානයේ ෆොටෝ ගන්ඩ අවසර ගන්නත් ඕනිද කියලා හිතපු මන්..


"නෑ..මෙතන ෆොටෝ ගන්ඩ අවසර ගන්ඩ ඕනිද ?. මන් දන්නෙ නෑ..කාගෙන්ද අවසර ගන්ඩ ඕනි?"


මන් ඇහුවා,


"ඔව් නාගරික සංවර්ධන අධිකාරීයෙන්" 


ඒ එක්කම මට මතක් උනා ඔය හරියෙ මොකද්ද බෝඩ් එකක් ගහලා තිබ්බා නාගරික සංවර්ධන අධිකාරියේ අයිතිය ප්‍රකාශ කරල නම් නමුත් ඒ බෝඩ් එකේ ෆොටෝ ගැනීම තහනම් කරලා නම් තිබ්බෙ නෑ..


"මන් ඒ වගක් දන්නෙ නෑ. මන් විනෝදාංශයටයි ෆොටෝ ගන්නෙ..මන් හිතුවෙ ඔය පාර්ලිමේන්තුව අවට වගේ ගන්නවනම් තමයි අපිට අවසර ගන්ඩ ඕනි කියලයි. මොකද මන් ඊළඟ දවසෙ එන්න ඉන්නෙ ඒ හරියට..මන් හොයලා බලන්ඩ හිටියෙ ඒ හරියෙ ෆොටෝ ගන්නවනම් ආරක්ශක දෙපාර්තමේන්තුවෙන් අවසර ගන්න ඕනිද කියන එක. මේ හරිය පොදු තැනක් නිසා මන් හිතුවෙ අවසර ගන්ඩ ඕනි නෑ කියලයි"


මන් කියෝනවා..පොලිස් මල්ලි අහන් ඉන්නවා..


"මන් වැඩ කරන්නෙ අහවල් තැන මන් හොයලා බලන්නම්".


"අනික මෙච්චර ලස්සන තැනක් දැක්කහම අපරාදෙ ෆොටෝ ගන්ඩ අවසර ගන්ඩත් වෙලා තියෙන්නෙ.. බලන්ඩ අවුරුදු ගානකට ඉස්සෙල්ලට වඩා මෙතන පරිසරය කොය්තරම් ලස්සනද ?"
 මන් උවමනාවෙන්ම එයාගෙ පරිසර කබාය දිහා බලනවා පෙන්නුවා. 


"මන් දැන් ෆොටෝ ගන්ඩ එපාද ?"


මන් අන්තිම තුරුම්පුව ගැහුවා,


"නෑ ෆොටෝ ගන්ඩ ආයි ගන්න කොට අපිට කියලා ගන්ඩ "


බළලා මල්ලෙන් පැන්නා එලියට.. 


"ඕ මන් දැක්කෙ නෑ ඉස්සෙල්ලා..මේ ලස්සන වලාකුලු ටික නිසයි මන් ටක් ගාලා ෆොටෝ ගන්ඩ හිතුවෙ" 


එයා ගියා..මන් මගේ ෆොටෝ ටික අරන් ආවා ගෙදර..


එන ගමන් සහ මේ වෙනකම්ම මට මතක් උනේ ලංකාව කියන්නෙ ලස්සනම රටක්..හැමදාම දකින කුකුලගෙ කරමලේ වගේ අපිට ඕකෙ ලස්සන පේන්නෙ නෑ. ඒත් පිටරට ඉඳලා මෙහෙ එන අය කියන කතා කියද්දි සහ ඒ අයගේ ඇහෙන් ඒ ලස්සන දකින්න උත්සාහ කරද්දි අපිට පේනව ඒ ලස්සන කොයිතරම්ද කියලා. ඒත් මේ ලස්සන අපිට ජායාරූප ගන්න තනම්ද ? මේක අපේ රට අපි ලාංකිකයො විදියට මේ ලස්සන ගැන ආඩම්බර වෙනවා. ඒ ආඩම්බරෙ හිඳෙන්නෙ මෙන්න මේ වගේ වෙලාවට තමයි. ත්‍රස්තවාදී කලබල තිබුනු කාලවලදි අධි ආරක්ශිත කලාප වල ෆොටෝ ගත්ත එක තහනම් උන එක හරියි කියමුකො. ඒත් දැන් ? 
සමහර විට තාම ආරක්ශක අංශ ඉන්නෙ සැකෙන්ද මන්දා ? එහෙනම් ඒ සැකේ ඉවත් කර ගන්ඩ දැන් හොඳටම කාලෙ ඇතිනෙ කියලත් තිබුනා..රටේ ලස්සන තැනක් දැක්කහම ෆොටෝ ගන්ඩ පොලීසියෙන් අවසර ගන්න ඕනිද කියන නීතිමය තත්වය හොයලා බලන්ඩ ඕනි..හැබැයි එතකොටත් තව ගෑණු ලමයි දෙන්නෙක් සාමාන්‍ය කැමරාවකින් ඒ අයගේ ෆොටෝ ගන්නවා මන් දැක්කා. ඒ අයත් අවසර අරන්ද එහෙම කලේ ? මන් ආවටත් පස්සෙයි ඒ අය ෆොටෝ ගත්තෙ . සමහර විට අර කට්ටිය කියනවා වගේ මගේ පොල් රැවුලයි ද්‍රවිඩ ජාතිකයකුගෙ තියෙන පෙනුමයි නිසා එහෙම උනාද කියන්න බෑ. ඒත් එහෙම නම් ඒක පට්ට අසාධාරනයි.  කොහොම උනත් එතන මාත් එක්ක කතා කල පොලිස් නිළධාරියා බොහොම ආචාරශීලීව කතා කල බව නම් නොකියාම බැහැ. ඒ නිසාම කීව කතාව එච්චරම සැරට මට දැනුනෙත් නෑ. ඒත් අවට ස්වභාව සෞන්දර්‍යය ජායාරූප ගත කරන්න පොලීසියේ අවසරය ඕනිද කියන ප්‍රශ්නය මගේ හිත ඇතුලෙ කැකෑරෙනවා තදටම...


ඉතින් ඔන්න එතෙන්ට ගිහින් ගත්ත ෆොටෝ 2-3කුත් ..











බලන්ඩකෝ..හවසක නිවාඩු පාඩුවෙ බංකුවක් උඩ ඉඳ ගෙන ඉන්ඩ කියාපු පොට් එක..


ප.ලි. 
මන් මේ ගැන ඇහුවා පොලීසියෙ ඉහල නිළධාරියකුගෙන් ඔහු කීවෙ ඒ ප්‍රදේශය ගැන ටිකක් ආරක්ශාව අතින් තදයි..ඒ නිසා ඔයා එතන හිටිය අයට පොඩ්ඩක් කතා කලා නම් ඒ අයට වැටහෙනවා ඔයා ෆොටෝ ගන්නෙ මොකටද කියලා. අරමුණ පැහැදිලීයි දෙගොල්ලන්ටම.. එතන අවසර ගන්නවා කියන අර්ථය නෙවෙයි තියෙන්නෙ..දෙගොල්ල අතර හදා ගන්නවා කියන එකයි..මගේ වැරැද්ද එහෙම නැත්නම් අතපසු වීම උනේ එතන..ඒක නොවුන නම් පෝස්ට් එකක් ලියන්න දෙයක් උනත් නැති වෙනවා..ඊළඟ සැරේ මන් දන්නවා කොහොමද පටන් ගන්න ඕනි කියලා..