ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, August 31, 2011

සරුංගල් ඇරීම සහ කෙට්ටු වීම

මේ දිනවල සරුංගල් අරින කොල්ලෝද, කොල්ලන් පසුපස එලවා යන බල්ලොද අඩුවක් නොමැත.
පහු ගිය දිනකදී කොල්ලෙක් සරුංගලයක් අත දවටා ගෙන දුව ගෙන එයි.. සරුංගලයද එකසිය ගනනකට කූරියා ගසයි. මූද කූරිය ගසන සරුංගලය දෙස ආපසු හැරෙමින් බලමින් දුව ගෙන විත් හැපුනේ මගෙ ඇඟේය.. වාසනාවකට කිසිම අනතුරක් නැත.. නමුත් කොල්ලා
 "බලන්නකො අංකල් පාර බලා ගෙන යන්නකො.ඇඟේ හැප්පුනායින්මගෙ සරුංගලයක් බිම වැටුනා"
 යි කියමින් මට තගක් දමන්නට ආවේය
"ආ ඒ සරුංගලයක්ද ? මන් හිතුවෙ හුලං පෙත්තක් කියල" මමත් සෙකන්ඩ් නොවූයෙමි

ඊළඟ දිනයේ මන් මගෙ පාඩුවෙ පාරේ යන විට කොල්ලො දෙදෙනෙක් කෑ ගසමින් මා පසු පස එයි
"පොඩ්ඩක් ඉන්න අංකල් ..පොඩ්ඩක් ඉන්න අංකල් "
කියමින් මුන් දෙන්නාගේ සරුංගලයේ තිබු නූල් මගෙ කකුලෙන් ගලවන්නට විය. සිදු වී තිබුනෙ පාර මැද තිබූ නූල මගේ සපත්තුවෙ පැටලී එයත් සමඟම මා ටික දුරක් ගමන් කොට තිබීමය..මට කේන්ති ගියේ නූල කකුලේ පැටලීම නිසාද නැතහොත් මා වැනි තරුණ ගැටයෙකුට අංකල් කියා ඇමතීමද යන්න ගැන තවමත් නිශ්චිතව හිතා ගත නොහැක.

අද දින නිවාඩු නිසා මමද නිවාඩු
සුවයෙන් කාමරයට වී සිටියෙමි.. වෙලාව දහවල් 10ට වන්නට ඇත..

ශූශ්ශ්ශ්ශ්ශ්ස්ස්ස්ස්ස්ස්... යන ශබ්දයක් සමඟම කිසිවකුත් කෑ ගසන හඬක් සමග මා මිදුලට පැමිණියෙමි..

නිවාස අයිතිකාර හිමිගේ නිවස තට්ටු දෙකකි. එහි වහලට ඇස්බැස්ටස් දමා රස්ණය අඩු කර ගැනීමට උළු දමා ඇත.. වහල උඩම සිට කොල්ලෙක් කෑ ගසයි..ඒ සමඟම මා දුටුවේ බියකරු දසුනකි. තව කොල්ලෙක් වහලයේ කෙළවරේ වතුර බැස යාමට ඇති පීල්ලේ එල්ලී නැවත වහලට නැගීමට දරන උත්සාහයකි.. මා සිතුවේ කුමක්ද යන්න මතක නැත
"දඟලන්නෙ නැතුව ඉන්න පුතා ඔහොමම.. "
මගෙ අතට ඉනිමඟක් ආවේ කෙසේදැයි මම නොදනිමි. හැකි ඉක්මනින් ඉනිමග බිත්තියට තබනවාත් සමඟම.. ඔහු එල්ලී සිටින පීල්ල ගැලවී ගියේය.. නමුත් ඔහු මා තැබු ඉනිමඟ දුටු නිසා වහා ඉනිමඟට කකුලක් තබා බිත්තියට වාරු විය..මා හෙමිහිට ඔහුව බිමට බැස්සුවෙමි. අත පය හිරී ඇති මුත් වෙන කිසිඳු හානියක් නැත. නිවාස හිමිකරුද පැමිණි පසු ඔහුට වතුර එකක් බීමට දී විස්තර ඇසුවෙමු.



කොල්ලො දෙන්නාගේ සරුංගලය නූල කැඩී පාවී විත් රැඳී ඇත්තේ මෙම වහල උඩය. මුන් දෙන්න අල්ලපු වත්තේ තාප්පය දිගේ විත් වහලට නැග සරුංගලය ගැනීමට යාමේදී.. වහලය මත වූ උළු කැට මත ලිස්සා විත් පහලට වැටෙන්නට පෙර.. පීල්ල අල්ලා ගෙන ඇත. වැරදීවත් පහල වැටුනා නම් විශාල අනතුරක් වන්නට ඉඩ තිබුනි. ඔවුන්ගේ දෙමව්පියන් ගෙන්වා විස්තර කියාදී කොල්ලාව භාර කලේය. තුවාල කෙසේ වෙතත් පියා ගෙන් හොඳ ටොකු පාරක් නම් වැදුනි. කෙසේ වෙතත් ඔහු නොසැලකිල්ල පිළිබඳ පාඩමක් ඉගෙන ගත්තා නම් ඒ හොඳටම ඇතිය.

මේ සිද්ධියත් සමඟම මගේ මතකය ආවේ අප කුඩා කාලයේ සරුංගල් ඇරපු ආකාරයයි. අපේ ගම වට කර තිබුනේ තේ වතු සහිත කඳු ගැට රාශියකිනි. පාසල් නිවාඩු කාලයේ උදෑසන ආහාරයෙන් පසුව මෙම කඳු ගැට උඩට සරුංගල රැගෙන යන අප ආපසු එන්නේ හවස ජාමයේය.. සරුංගල් උඩට යවා ඒවායේ නූල් තේ වත්තෙ ගිනිසීරියා - අපි කියන්නෙ ලාඩප්පා - ගස් වල බැඳ අප මුළු තේ වත්ත පුරාම රවුම් ගසයි.. අහල පහල ඇති කැලෑවල ඇති ගඩා ගෙඩි දවල් ආහාරයයි. එහෙමත් සුන්දර කාලයක්..

දැනට මම ඉන්නා මේ ප්‍රදේශයේ ළමයි තට්ටු නිවාස වල උඩම කොන්ක්‍රීට් ස්ලැබ් වලට වී සරුංගල් යවන ආකාරය දකින් විට මට නම් ඇති වන්නෙ දුකකි.

යම් කාලයකට පෙර සරුංගල් අරිනව යන්නට වෙනත් තේරුමක්ද ඇති බව දැන ගත්තේය. කොල්ලො රංචුවක් එකතු වූ විට මොකෝ බන් ඔච්චර කෙට්ටු උඹ හැමදාම සරුංගල් අරිනවද කියා ඇසුවහොත් .මේ සරුංගල් ඇරීම සහ කෙට්ටුව අතර ඇති සම්බන්ධතාවය හිතා ගත නොහැක..

Tuesday, August 30, 2011

බයිට් කතා

1.)
ලියන්නා - මෙලනි මට සිංගප්පුර් යන්න වෙලා..ඔයා මට විස්තර ටිකක් කියන්නකො

මෙලනි - මන් කවද්ද සිංගප්පුර් ගියේ ? හීනෙකින්වත් ගියේ නැහැ

ලියන්න - බොරු කියන්න එපා..ඒ දවස්වල නිව්ස් වල හරියට ගියේ ඔයාව මොනවද ටෙස් කරන්න යැව්වයි කියල

මෙලනි - ච්චක් !ඒ මෙලනින් අයියෝ.. මන් මෙලනි නේ !!


2.)
ලියන්නා - ගුඩ් මෝනිං මෙලනි කොහොමද වීක් එන්ඩ් එක?

මෙලනි - ඕන්න ඔහෙ ගෙවුනා ලියන්නා..ඔයාට කොහොමද?

ලියන්නා - මන් ඊයේ වෝටර් මෙලනි ගෙඩියක් කෑවා.. හම්මා නියම රහයි අනේ..රෑට කෑම කෑවෙත් නැහැ..එච්චරටම බඩ පිරුනා

මෙලනි - වෝටර් මෙලනි නෙවෙයි අයියෝ.. වෝටර් මෙලන්..මොනවද ඔයාගෙ ඉන්ග්ලිස්
ඈ ???

ප.ලි.

සති කීපයක් සයිබර් අවකාශයෙ නොදුටුවහොත් කරුණාකර කොළඹ හදිසි අනතුරු වාට්ටුවෙ පරීක්ෂා කර බලන්න..මේ යන විදියට ගුටි කෑමට ඉතා ආසන්න බව මගෙ සියළුම මිතුරන්ගේ අදහසයි..

Monday, August 29, 2011

කෑවද ? පාර්ට් 2 (තවත් පාට් දමනවද ඉතින්? ආයිනම් ඉවසන්නෙ නැහැ ඕන්න..!@#$$%)

මෙන්න තව තැනක කස්ටිය පොර කනව කන්ඩ..මමත් ලංවෙලා බැලුව..ඊට ඉස්සෙල්ල ඔය ෆොටෝ කෑල්ල ගහ ගත්ත..



පේනවනෙ සෙනඟ..පොඩි පහෙ ෆයිට් එකක් දීලා ගත්ත පේපර් ප්ලේට් එකකට මොනවද මන්ද සුදු පාට කෑලි කැලි ටිකක්.. හුටා..බැලින්නම් මස් වලින් හදපු කෑමක්..එලවලු විතරක් කන (ඈ කරෝල, හාල්මැස්සො, බිත්තරත් එතකොට එලවලුද???) මම ඔය ජරා මස් ජාති කන්නෙ නැහැ. ඒ ටික ලඟ ඉන්න කෙනෙකුට දීල කිව්ව විස්තරෙත්.. මිනිහ නම් රහ කර අර කෑව..

මෙන්න එතනම තියෙනව චොකලට් ඇල්ලක්.. හැබැයි කුඩා පරිමාණයෙ එකක්..



ජුජුබ්ස් එකක් ටූත් පික් එකක ඇනල ඒක මේ චොකොලට් ඇල්ලට අල්ලල දෙනව.. හ්ම්ම්ම් මාරම මාර රහයි.. තුන් සැරයක් ඇවිත් ගත්ත..ඊළඟ සැරේ ආවනම් එහෙම එතන හිටිය කහ ටී ශර්ට්  හාදය මොනවහරි කියන සයිස් එකක් තමයි තිබුනෙ..

මෙන්න ඊළඟට ඊජීබී ස්ටෝල් එක.. මින්චි නැත්නම් පාස්ලි කොල බ්ලෙන්ඩ් කරල.. අයිස් කැට එක්ක ජින්ජර් බියර් එකක් දුන්න..රහ නම් ලොවෙත් නැහැ..කොහොමද මේක හදන චූටි දුවාලාගෙ අපූරුව..



ඊළඟ පෝලිම තිබුනෙ තවත් අමුතුම කෑමකට තමයි.. නම තමයි පොඩ්ඩක් "කචල්" නම "අයිස් කචල්" මේ ප්‍රදර්ශන වලට එන අය දැකල ඇති මේක.. මේ ෆොටෝ එකේ තියෙන්නෙ මේ අයිස් කචල් හදන මැශින් එක..සහ හදන හැටි.. ක්‍රශ් වෙලා එන අයිස් ටික එක ශේප් එකකට පිඟානකට දමනව.. ඊට උඩින් පාට පාට සරුවත් වගෙ එව්ව.. තව පලතුරු කෑලි ටිකක් දමනව.. ඒක කන්න පුලුවන්.. මමත් එකක් අරන් කෑවා.. නරකම නැහැ..අන්තිම ටික තමයි එච්චර රහ නැත්තෙ..ඒ උනාට මාර ඉල්ලුමක් තිබුනා.. මේ ගොල්ලො මේ මැශින් එක තමයි මාර්කට් කරන්නෙ ස්වයංරැකියාවක් විදියට කරන්න පුලුවන් කියලයි කියන්නෙ..




මේ වගේ නානාප්‍රකාර මැශින් ගොඩාක් තිබුනා..මමත් ඉතින් ඔය වෙලාව වෙන කොට කාලා බීලා ඇවිදල මහන්සි නිසා එහෙම්මම ගෙදර ආවා.
 මොනව උනත් රු 40 ට පාඩු නැහැ ගිය ගමන..

Sunday, August 28, 2011

කන්න ගියා.. ඉතින් කෑවද ??? (පාට් 01 - කවුද ඩෝ පාට් දමන්නෙ?)

ටිකක් වෙනස් විදියේ ලිපියක් තමයි මේක..

පහුගිය සිකුරාදා ඉඳන්
BMICH එකේ තිබුනා ෆූඩ් ගැන ප්‍රදර්ශනයක්.ProFood Propack. සහ කෘශිකාර්මික ප්‍රදර්ශනයක් AgriBiz.. දෙකම එකට තිබුනෙ. අද ඉරිදා හවස් ජාමෙ ඉන්න ගමන් ඕකට යන්න මන් පැලෑනක් ඇඳ ගෙන්මයි තිබුනෙ.. කොහොමත් එතන තියෙන සේරම වගේ ප්‍රදර්ශන බලන්න මම යනව. එක හේතුවක් තමයි.. මගෙ වැඩ කරන තැනට අල්ලපු වැටේ නෙ පොට් එක.. ඉතින් ඔෆිස් අහවර වෙලා මන් යනව එතෙන්ට..ඒත් සිකුරද හෝ සෙනසුරද යන්න බැරි උන නිසා..තමයි අද යන්නෙ සෙට් උනෙ..

එතන සේරම වගෙ ප්‍රදර්ශන බලන්න යන එක ගැන මගෙ සෙට් එක කියන්නෙ
"උඹට නම් ඉතින් යන්න බැරියැ..දවස් ගානෙ උනත් උඹලගෙ ඔෆිස් එකේ ඉඳන් පය පැටලිල වැටුනත් වැටෙන්නෙ BMICH  එකටනෙ.. "

ඒ කතාව ඇත්ත තමයි.
BMICH එකයි අපේ ඔෆිස් එකයි වෙන් වෙන්නෙ මලලසේකර මාවතෙන්..

ඇතුල්වීමේ ටිකට් එක නම් රු40ක්.. ඒ උනත් ඒ ගාන පාඩු නැහැ කියල ඉස්සර ගිය ප්‍රදර්ශන වලින් අත්දැකීම් තියෙනව.. යන තැනම තිබුනෙ කෘශි ප්‍රදර්ශනෙ...බීජ වර්ග, පොහොර, රසායනික සහ යන්ත්‍රෝපකරන.. ඔය තියෙන්නෙ එතන තිබුනු පිපිඤ්ඤා සහ තව භෝග වගාවන් සමග නරඹන සෙට් එකක්..




මීට අමතර විශාල වශයෙන් මල් හා විසිතුරු ගස් වැල් විකුනන්න තිබුනා..මන් එව්වත් බලා ගෙන යනකොට.. මේන්න යන්ත්‍රෝපකරන..එව්ව එක්ක හිටිය කට්ටිය තමයි ඔය..




ඔය ට්‍රැක්ටර් එකේ ඉන්න බබාගෙ තාත්ත ඉන්නව ඒත් ඔතන මැද තියෙනකණුවට වැහිලයි ඉන්නෙ.. ෆොටෝ එක එඩිට් කරද්දි තමයි දැක්කෙ මෙකෙ නිකන් පෙනෙන්නෙ.. මේ පොඩ්ඩව දඩාර ට්‍රැක්ටරේ නග්ගල තියල අම්ම තාත්ත කොහේ හරි ගිහින් වගෙයි කියල.. ඇත්ත ඒක නෙවෙයි..

ඊ ලඟට යන තැනම කෑම උයන ශෝ එකක්..ඕන්න නියම තැන..



මමත් පුටුවක් උඩ වාඩි වෙලා උයන හැටි කියල දෙනව බලා හිටියා.පැස්ට හදනව හෝ ගාලා..හ්ම්ම්ම්ම්.. ශෝ එක ඉවරයි..මෙන්න හදපු පැස්ට බෙදා ගෙන බෙදා ගෙන යනව ..



රසට හදල තිබුනා..ඒක කාල ඉවර වෙලා..මම පොඩ්ඩක් ඇවිදල බැලුව හැමතැනම
ආයිමත් ඇවිල්ල බලන්න ඕනි තැන් ටික නෝට් කර ගනිමින්ම..

මේකට වියදම් කරපු රු. 40 පාඩු කර ගැනත් බැහැනෙ..
 මෙන්න එඩ්නා එකේ ස්ටෝල් එකේ ප්‍රොමෝශන්
එකක්.. හැම එකක්ම 10%ක් අඩුවෙන්.. රු.300 ට වඩා ගත්තහම තෑග්ගක් අනිවා දෙනව.. ටී ශර්ට්, මග්, අරව මෙව්ව... මන් කලේ ගත්ත ඩාක් චොකලට් එකක්..ඒක ලබන සතියෙලු මාර්කට් එකට දමන්නෙත්..රු300 වෙන්න ගත්ත තව පොඩි චොකලට් කීපයකුත්..දැන් ඉන්නව තරගෙට පෝලිමෙ
ඔය අතරෙ මගෙ ඇතුලෙ ඉන්න එකා මට කියෝනව..

පෙරේත කමට ගත්ත වගෙ නෙවෙයි ඔය ටික සේරම තනියෙන් හෙම කනව නෙවෙයි

ඇයි

හැයි ගාන්නෙ.. හිතා ඉන්නෙ කොල්ල කියල දැන් හතලිහයි..ඔව්ව කාල සීනි එහෙම වැඩි කර ගන්නව නෙවෙයි

හරි හරි මන් බෙදා හදා ගෙන කන්නම්කො

කා එක්කද

කවුරු හරි එක්ක

එහෙම තමයි ඊයෙ අඹ ගෙඩි 10ක් ගත්තෙත් අන්තිමෙ

ච්චක්..ශට් අප්

මන් එහෙමයි ඒකව සරෙන්ඩර් කරල තියා ගන්නෙ..නැත්නම් මට ඕනි විදියට ඉන්න දෙන්නෙම නැහැ..ඇඟිලි ගහනව වැඩියි දැන් ලඟක ඉඳල මගේ නිදහසට..

මට ඉස්සර වෙලා හිටියෙ අම්මෙක් තාත්තෙක් සහ දරුවො තුන් දෙනෙක්.. පොඩි එකා අත දමල ගත්ත ඒ ගොල්ලන්ට අදාල තුන්ඩුව.. සර්වියට් පැකට් එකක් තෑග්ග..තාත්තගෙ මූන ඇඹුල් උනා..

"මන් කිව්වනෙ එපා කියල .. අපරාදෙ සල්ලි"

අර පොඩි උන් තුන් දෙනායි අම්මයි ත් මූන චොර කරගෙන එතනින් එලියට ගියා. සල්ලි අපරාදෙ නැහැ..චොකලට් ටික තියෙනවනෙ..අපරාදෙ අර මිනිහ තව හතර දෙනෙකුගෙ හිත කැඩුව වචන හයකින්.. මටනම් මොක තිබ්බත් සතුටින් භාර ගන්නව.

"ගන්න සර්"

හිනා මුහුනින් මට කියල ප්ලාස්ටික් භාජනයක් පෙන්නුව..එකේ චූටිවට රෝල් කරපු තුණ්ඩු ගොඩාක්..මමත් එකක් අත දමල අර ගත්ත..

මෙන්න මට ලැබිච්ච තෑග්ග..නරකම නැහැ


පොඩි ඇඩ්වර්ටිස්මන්ට් පාරක් වගෙ යනව මේ පෝස්ට් එකනම්.. කමක් නැහැ.. සිද්ධ උනදේනෙ..

මේ ප්‍රදර්ශනෙ වෙච්ච තව දේවල් ටිකක් තියෙනව ඒක තව සැරයකට තමයි දමන්න වෙන්නෙ..මොකද පොඩ්ඩක් බිසි වෙන්න වෙලා තියෙනව.. ඒ නිසා.. ආයිමත් හම්බ වෙමු..

Saturday, August 27, 2011

නිරුවත් සබන් භූතයා

ආආආආආආආආ හ්

ඊ ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ හ්...




අයි පොඩ් එක කනේ ගහ ගෙන හෙමිහිට නට නටා පඩි පේලිය උඩ තට්ටුවෙ ඉඳන් ආපු දුව කෑ ගහගෙනම පඩි පෙල උඩ ඉඳ ගත්තා..

මගෙ ඇනෙක්ස් එක අයිතිකාරය එයාලගෙ ගෙදර ලොකු අළුත්වැඩියාවක් පටන් අරන්..ඒක නිසාම මගෙ පැත්තෙ ඉස්සෙල්ල තිබුනු සාමකාමී, නිහඬ බව නැත්තටම නැතිවෙලා ගිහින්. මොකද කියනවනම්..ඒ පැත්තෙ කඩල බිඳල දමන එව්ව අරන් යනකම් මගෙ පැත්තෙ මිදුලෙ තමයි ගොඩ ගහල තියෙන්නෙ.දූවිලි පිරිල..ඊයෙ පෙරේද වැස්ස නිසා ඒ ප්‍රශ්නෙ නම් ඉවරයි.. දැන් මඩ පිරිලා..ඔය ෆොටෝ කෑල්ලෙ තියෙන්නෙ..



මගෙ ඇනෙක්ස් එකයි අයිතිකාරයගෙ ගෙයයි වෙන් වෙන්නෙ අඩි 10ක් විතර උස  තාප්පෙකින්.. ඔය තාප්පෙ කඩල..ඒ ගොල්ලන්ගෙ පැත්ත ලොකු මිදුලක් කරන්න ඕනි කියල.. තාප්පෙ තිබුනට වඩා මගෙ පැත්තට අල්ලල ආයිමත් බඳින්නයි යන්නෙ..ඒකෙන් වෙන්නෙ මගෙ පැත්තෙ තිබුනු විශාල මිදුල තව ටිකක් කුඩා වෙන එක තමයි.. මගෙ ඇනෙක්ස් එකේ තියෙන හොඳම දේ තමයි මේ මිදුල.. බල්ලො ටික එක්ක රේස් තියන්න.. යාලුවො ටික එක්ක සෙට් වෙන්න නියම ඉඩ කඩ.. ඒක ටිකක් අඩු වෙනව මේ සීන් කෝන් එකෙන් පස්සෙ
. මේ වැඩේ කරන බාස්ල සහ ගෝලයො ටිකත් මහ ඇණට් ටිකක් එක වෙලාවකට.. මන් ලඟ තියෙන ගැජමැටික් දැක්කහම උන්ට පාඩම් කියල දෙන්න වෙනව වෙනමම..වෙන ගැජමැටික් නෙවෙයි පී.සී එකයි, ලැපයි, සවුන්ඩ් සිස්ටම් එකයි, දෙතුන් දාහක ඩීවීඩී ටිකයි.. (මෙන්න නයෙක් යනෝ...!)

ඊයෙ උදේ නැගිටල ඉව්ව.. මේ දවස් ටිකේම මන් උයා පිහා ගෙන ඔෆිස් යන නිසා උදෙන්ම නැගිටල කරන්නෙ උයන එක තමයි..උදේට ඉව්වහම බ්‍රෙක්ෆස්ට්.. ලන්ච් ඇන්ඩ් ඩිනර් සේරම රෙඩි.. රෑට ගෙදර ඇවිත් තව එක කරියක් හදා ගන්නව...ඉතින් මන් ගියා නා කියා ගන්න.. ශවර් එක යට විනාඩි පහක් හිටියා.. සබන් ගෑවා.. ආයිමත් නාන්න ශවර් එක ඇරියා

හුටා.. වතුර නැහැ.. හුචූස් චූස් චූස් ගාලා හුලන් තමයි එන්නෙ ශවර් එකෙන්.. මන් කේශාන්තයෙ සිට පාදාන්තය දක්වා සබන් ගා ගෙන..ටවල් එක ඉනේ පටලව ගෙන.. පොඩ්ඩක් ඔලුව දමල බැලුවා
එලියට.. කවුරුවත් නැහැ.. වැඩකරන බාස්ලා තාප්පෙන් එහා පැත්තෙ වැඩ.
 කොරන්න දෙයක් නැහැ.. ඇයි වතුර නැත්තෙ බලන්න අයිතිකාරයට කතා කරන්න මෙහෙමම එහා පැත්තට යන්න වෙනව..සබන් පෙණ වලින් පිරිච්ච ඇස් දෙක පොඩ්ඩක් පාදා ගෙන මන් එහා පැත්තට එබුනා.. බාස්ල සෙට් එක එතන පයිප්ප්යක් කඩා ගෙන.. වැරදිලා ඉල්ලන්කූරු පාරක් වැදිලා වතුර පයිප්පෙට.. ඉතින් කොහෙද මට වතුර?

"මට නාන්න වතුර නැහැ"

සෙට් එකම බැලුවා මන් දිහා.. ගැස්සිලා හිටල.. සෙට් එකටම කන්ඩ හිනා.. මට එකපාරටම මල පැන්න.. මල පැන්න සැනින් මට මතක් උනා.. මම උන් සෙට් එකේ හිටියනම් එහෙම මම මාව දකින්නෙ කොහොමද.... ඔලුවෙ ඉඳන් දෙපතුලටම සබන් පෙන වලින් වැහිච්ච.. අඩි හතරයි දෙකේ තුවායකින් යන්තම් විලි වහ ගත්ත
හයයි තුනේ පොරක් දැක්කහම...



මටත් බකස් ගාලා හිනා ගියා..මොනා කරන්නද..
" මට වතුර නැහැ... ඔය ගොල්ලො පයිප්ප කඩලා.. ඒකනෙ.. මන් කොහොමද මෙහෙම ඔෆිස් යන්නෙ?"

හිනාව නවත්තල මන් ඇහුවා..එතකොටයි අයිතිකාරය එතනට ආවෙ.. මිනිහත් මාව බලල හිනා වෙලා ලේ පිරිසිදු කර ගෙන එහෙම..

"ඕක හරි ගස්සන්න කොච්චර වෙලාවක් යනවද බාස් උන්නැහෙ?"

"බටේ කුඩුවෙලා .. අලුත් බට කෑල්ලක් පුරුද්දන්න වෙනව.. පැය භාගයක්වත් යනව"

"ලියන්න ඔයා අපේ බාත් රූම් එකෙන් නා ගන්නකො..එච්චර වෙලාව්ක් ඔහොම ඉන්නයැ..ඔය සාලෙ මැදින් යන්න එහා කාමරේට දකුණු පැත්තෙ තියෙන්නෙ බාත් රූම් එක"

සාලේ මැදින් යන්න ආපු මාව දැකපු අයිතිකාරයගෙ දුව තමා අරහෙම කෑ ගහන්න පටන් ගත්තෙ

විනාඩි 2ක් විතර කෑ ගහපු පොඩ්ඩි .. හිනා වෙන්න ගත්ත

"ලියන්න අංකල් දැන් නම් නියම සබන් භූතයෙක් වගෙ"

"එතකොට දුවා කෑ ගැහුවෙ බය වෙලා නෙවෙයිද?"

"මට පිස්සුයැ අංකල්ට බය වෙන්න? මන් දැක්ක උඩ ඉඳන්ම වෙච්ච සීන් එක"

"මමනෙ දැන් බය උනේ මෙතන මෝහිනී වගෙ කෑ ගැහුවහම"

"ආආආආආආආආහ්

ඊඊඊඊඊඊඊඊඊඊඊඊහ්

කියලද මෝහිනී කෑ ගහන්නෙ? "

අයිතිකාරයයි බාස්ලයි ආයිමත් හිනා වෙනවා..

"යන්ඩල සේරම මාවම බයිට් කරන්න හදනව මෙතන"

ඔන්න ඔහොමයි ග්‍රීස් යක්කු, භූතයො අතරට සබන් භූතයෙක් එකතු උනෙ.