සාහිත්‍යය මාසය එළඹ ඇත...
සහිත්‍යය සඳහා මාසයක් වෙන් කර ඇත්තේ අනිත් මාස වලට සාහිත්‍යය කන්නදැයි මට සිතේ..නමුත් මවට පියාට ලෙස පටන් ගෙන සියලුම දේට දින වෙන් වෙන්කටගෙන අනුස්මරණය කරන කාල වකවානුවක සාහිත්‍යය සඳහා මාසයක් වෙන් කිරීම ගැන මසිත තුටු පහටු වන බව නම් නොඅනුමානය.
ලියන්නෝ සාහිත්‍යය මාසය වෙනුවෙන්ම ලියති.
මසිත වද දෙන්නේ මා ද සාහිත්‍ය මාසය වෙනුවෙන් යමක් නොලියන්නේ මන්ද යන පැනයෙනි.
සාහිත්‍ය යන්න සහිත බව යනුවෙන් අරුත් නංවා ඇති සැටියක් සිහියට නැගේ. සහිත වන්නේ කුමකින්ද ? ඒ රසයෙනි. සාහිත්‍ය රසය දැනෙන්නේ සහෘද සිතකටය. රස නවාකාරයක් ගෙන දැක්වේ. නව නළු රස - ශංගාර, හාස්‍යය, කරුණා, භිබත්ස්ය,අද්භුත,ශාන්ත, රෞද්‍ර, වීර, භයානක ලෙස නම් වූ මෙම රසයන් උත්පාදනය කර සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යාම සාහිත්‍යයෙහි අරමුණ වේ.
අන් අය මෙන්ම මා ද රස වෑහෙන නිර්මාණයක් කල යුතුය යන දැවෙන අවශ්‍යතාවයෙන් පෙළෙන්නට වීය. මේ දහවලට ගිනි ගහන කොන්ක්‍රීට් ගොඩනැගිලි අතරෙහි රැඳෙමින් කල හැකි නිර්මාණය කුමක්ද ? ඒ සඳහා මා යා යුත්තේ මා ඉපදුණු ඒ සුන්දර ගම්මානයටයි.
දින පහ හයක නිවාඩුවක් ගෙන මා ගම වෙත පියඹා යාමට ලක ලෑස්ති වූයෙමි.
ඇඳුම් කීපයක්, ජංගම පරිගණකය සමඟ එයට අදාළ අනිත් උපකරණ සහ කැමරාව බෑගය වෙත අසුරා ලෑස්ති වූයේ ඊට පෙර දින සිටය..
දුරකථනය නාද වේ.
"දැන් ඔයා ගමේ ගියහම ඒ කාලෙ යාළු වෙලා හිටි කෙල්ලො එහෙම මීට් වෙලා අපිවත් අමතක වෙයි නේ "
ඇය තොඳොල් වේ..
"අපොයි එහෙම වෙන්නෙ නෑ..මම යන්නෙ මේ ටවුමෙ තියෙන කන්දොස්කිරියාවෙන් මිදිලා නිවී හැනහිල්ලෙ දවස් දෙක තුනක් ගත කරන්න නේ..ඇයි කතා කළේ ?"
"අරයා දවස් දෙකකට ගෙදර නෑ. අද එන්නකෝ මෙහෙ..හෙට උදෙන්ම මෙහෙ ඉඳලම ගෙදර යන්න බැරියෑ"
"ම්ම්ම්ම්ම්ම්ම්...."
\
"අනේ එන්ඩ එන්ඩ..ඔය කොච්චර කාලෙකට පස්සෙද ? එන්න එහෙනම් මම දැම්මම කාගිල්ස් එකට යනවා ඔයා ආසම තිබ්බොටු බැදුම හදලා තියන්නම්..බියර් ගේන්න එපා මම අරගෙන එන්නම්. ඔන්න ඔයාට තියෙන්නෙ එන්න විතරයි..හා ...නේ ?කියන්ඩකෝ.."
"හ්ම්"
කුලී නිවසේ සිට උදෑසනින්ම යාමට ඉටා ගත්තත් පසු දින ඊටත් දුර වූ නිවසේ සිට ඈගෙන් සමු ගන්නා විට උදෑසන නවයත් පසු වී තිබිණි.
ගෙදර ගිහින් අද රෑට නම් හොඳට නිදා ගන්ඩෝනි..යන සිතුවිල්ලත් සමඟම මා බසයට නැගුනෙමි.
ගමේ හන්දියෙන් බැස්ස තැන සිටම හතර වරිගයේම හමුවන මුළු ගමම නෑයන් වූ සියල්ලෝම සමඟ ආගිය විස්තර කතා කරමින් ගෙදරට යනවිට ලොකු අක්කා අළුවා සාදා තේ වත් කර තිබුණි.
"දැන් පැය කීයකට ඉස්සරද මන්දා හිච්චි නැන්දා කිව්වා මල්ලි බස් එකෙන් බැස්සා කියලා"
"ඔව් හිච්චි නැන්දත් මම ආපු බස් එකේ එහා ටවුමෙදි නැග්ගෙ..මග දිගට සේරමල්ලා එක්ක කතා කර කර එනකොට වෙලාව ගියා දැනුනෙම නෑ"
අළුවා කෑල්ලක් කටට කඩා ගත් විගසම එහි වූ පැණි රසයත් සමඟ දිව මත සිසිලසක් ග්නේ දෙමින් දිව යයි..මෙවන් මෘදුවට අළුවා සෑදීමට මා දන්නා තවත් අයෙක් වී නම් ඒ අම්මා පමණි. තේ උගුරකින් මුව සනහා ගත් මා..
"පුතාලත් ඉස්කෝලෙ ගිහින් එනකොට හවස් වෙයි. මල්ලි ඇඟ පත හෝදා ගෙන එන්න . මම දවල්ට උයන්නම්"
පාළුවට ගිය වෙල් යායම අල ගාලකින් වැසී ඇත..තැනින් තැන වූ ලියැද්දක් දෙකක් රන්වන් පැහැයෙන් බබළයි.. ඒ මත්තේ වී කුරුල්ලෝ රංචුවක් මනරම් රටා අඳිමින් පියඹයි. කුඹුක් ගස් සෙවණේ වූ ළිඳෙන් ගත් වතුර බාල්දිය හිස හලා ගනිද්දී මා ගත පමණක් නොව සිතද වහා නිවී ගොස් සැනහුනේ..ක්ෂණයකිනි.
"මට ආරංචි උණා උඹ ආවා කියලා"
උඩුකය නිරුවත්ව සරම් කොටයක් ගසා ගෙන අල ගාල දෙබෑ කරමින් පියල් පැමිණෙන්නේ මුව පුරා සිනහවකින් යුතුවය.
"ඔව් බන් මේ දැන් ආවෙ. තේ එකක් බීලා නා ගන්න ආවා"
"නා ගනින් නා ගනින් උඹලා නාන්නෙම කැකෑරිච්ච වතුරනෙ එහෙ. මේ ඒක නෙවෙයි අන්න සුමනදාස මාමා ආයි ගලක් කපනවා උඹ නාගෙන වරෙන් අපේ ගෙවල් පැත්තෙ අපි බලන්න යමු"
ඉතින් බන් මාමා අපිට පේන්න ගලක් කපයිද ?"
මම සිනහා සෙමින් ඇසුවෙමි.
"උඹලට සේරම කුණුහරුප ටවුමෙ උන්නෙ. උඹ දන්නවද උඹ ගිය සැරේ ඇවිත් යද්දි කපපු ගලෙන් මොකද්ද හැදුවෙ ඒක කීයට විකුන්නද කියලා?"
"නෑ"
"ඒ ගල අලියෙක් කරා. අන්තිමේ රුපියල් විසි දාහකටද කොහෙද විකුන්නෙ. මම යනවා එහෙනම්"
"හා මම එන්නම් එහෙනම්"
නැවතත් අක්කාගේ තේ එකක් බී පියල්ගේ නිවස දෙසට ගියෙමි..පියල්ගේ නිවසේ අය සමඟ ටිකක් කතා බහ කොට අපි සුමනෙ මාමා ගේ නිවෙස වෙත පිය නැගුණෙමු.
ගමේ උන් හොඳම ගල් වඩුවෙක් වූ සුමනෙ මාමා කාලයක් පන්සල් වලට තම ශෛලමය නිර්මාණ පූජා කළත් ආර්ථිකමය ප්‍රශ්න හමුවේ තම නිර්මාණවලට මිලක් නියම කල ගැමියෙකි..අදටද යම් පූජ්යස්ථානයකින් ඉල්ලුමක් ලැබේ නම් තම ශ්‍රමය හා කාලය එය සඳහා වෙන් කරන්නෙකි.
අප යන විටද සරම් කොටයක් ඇඳ ගෙන විශාල ගල් පර්වතයක් සමඟ හෙට්ටු වන මේ අපූර්ව මිනිසා දෙස අපි මදක් බලා සිටියෙමු. ඉහේ සිට දෙපා දක්වාම සුදු ගල් කුඩු වලින් නෑවී උන් මේ ම්නිසා අපි එතනට පැමිණි බවක් නොදත්තේ ඔහුගේ ධ්‍යානයට සම වැදී සුවිශාල ශෛලමය පර්වතයකින් බුදු රුවක් නෙලමින් සිටියේය.
මද වෙලාවකින් සුමනෙ නැන්දා කහට කෝප්පයක් අතැතිව පැමිණියේ අප දුටුවාය..
"ආ මේ පුතාත් ඇවිත් තියෙන්නෙ ..කවද්ද පුතේ ආවෙ?"
සුමනේ මාමද තම දැහැනින් මිදුණෙ අප දෙස බැලුවේය. රැවුල පුරා රැඳි ගල් කුඩුද කට දෙපැත්තෙන් බේරෙන රත් බුලත් කෙළ පාර නිසා විකට ස්වරූපයක් ගත් මාමගේ මුවේ ඇඳුනෙ ලෙංගතු සිනහවකි.
"මම මේ අර පූර්වාරාමෙට පිළිමයක් ඉල්ලුවා ඒක එක්ක ඔට්ටු උණා පුතේ..ලබන පෝයට ඕනිලුනෙ"
"අර හෝටලේට ඉල්ලුව ටික හැදුවද දූලගේ තාත්තෙ ? ඊයෙත් කෝල් කරලා ඇහුවා..ඔයි පිළිම නෙලුවට නම් ඉතින් මුදලක් අතට ලැබෙනවයැ? ඉන්න මම පුතාලටත් තේ එකක් හදන්නම්"
"ඔයි හෝටලේ එව්වට වඩා මෙක ඉස්මනට දෙන්න ඕනි..හෝටල් කාරයො කී සැරයක් නම් කේවල් කරලද ඕක ගන්නෙත්..මේ පිළිමෙට සල්ලි හම්බ වෙන්නෙ නෑ කියලා කී සැරයක් දොස් කිව්වද දැන් ?දවසක මම මේ සල්ලි වලට හදන එක නවත්තලම දානවා"
මාමා නුරුස්සමෙන් කිවූ,
"ඉතින් මොනවද පුතේ අළුත් තොරතුරු ?"
අසමින්ම ඔහු නැවත ගල් කටුව අතට ගත්තේය.
බුදු රුවේ මුහුණ සෙමින් සෙමින් බොහොම සීරුවෙන් කොටන ආකාරය දවසක් වූවත් බලා සිටිය හැක. අපද නිහඬව එදෙස බලා සිටියේ මේ උතුම් මිනිසාගේ දැහැන බිඳීමේ අකමැත්ත නිසාය.
රළු ගලකට සිතුම් පැතුම් කවමින් හැඟුම් උත්පාදනය වන ආකාරයට සකසන මොහු ගැන මට ඇති වන්නේ කිව නොහැකි තරමේ ගෞරවණීය හැඟීමකි. ඉතා සීරු මාරුවට ගලට හේත්තු වී බුදු රුවේ දෙ ඇස යට ඔප මට්ටම් කරන ආකාරය ඉතා ශාන්ත හැඟීමක් ඇති කරයි...වරුවක් පමණ මේ දෙස බලා සිටි අපි දෙදෙනා ඔහුගෙන් සමු ගත්තෙමු.
"වැඩක් කරන වෙලාවට ඔය මනුස්සයා අපි එක්ක වත් වචනයක් කථා කරන්නෙ නෑ පුතේ"
"නැන්ද අපි ආවෙ මාමා වැඩ කරන හැටි බලන්න මිසක් කතා කරන්න නෙවෙයි"
පියල්ගේ ගෙදර ගොස් දහවලට බත් සමඟ අල ගොබ මාළුව සහ තිබ්බටු මැල්ලුම සප්පායම් වූවත් නැවත ගෙදර එනවිට අක්කා කොහෙන්දෝ ගැට පොලොස් ගෙඩියක් සොයා ගෙන උයා තිබූ නිසා නැවතත් කෑවෙමි. හවස් වරුවම පුතා සමඟ ඔහුගේ පරිගනක පම්පෝරි සියල්ලටම ඇහුම් කන් දෙමින් හවස් වරුවම ගත කලෙමි.
රාත්‍රිය හොඳින් නිදියනවා යැයි සිතා ආවත් අහල පහළ ගෙවල් වලට ගොස් පැය හමාර කතා බහ කර නින්දට යෑමට නිවසට පැමිණෙන විට මධ්‍යම රාත්රියද පසුවී තිබුණි. ඒ වනවිටද අක්කාගේ පුතා පරිගණකය අසලට වී නවතම පරිගණක ක්‍රීඩාවක නියැලෙමින් සිටියේය..ඔහු හා එදිනෙදා දේ ගැන කතා බස් කරමින් තවත් හෝරාවක් හමාරකින් මා නින්දට වැටුණේ පසු දින ඔහු සමඟ මස්සිනාගේ අක්කාගේ නිවසේ පැවැත්වීමට නියමිත පිරිත් සජ්ගායනාවකට සහභාගී වීමේ පොරොන්දුව පිටය.
පසු දින අවදි වූයේ සිය ගණනක් වූ සියොතුන්ගේ හඬ මධ්‍යයේය. නිවසට පැමිණි විට උදෑසනම මා විඳින ඉතා මිහිරි සිත නිවන අත්දැකීම එයයි. ඇඳෙහි වැතිරීම හඬ නගන සියොතුන්ගේ එක් එක් හඬක් තනි තනිවම අසා එය හඳුනා ගැනීමේ අසාර්ථක වෑයමක යෙදුණු මා නැගී සිටියෙමි.
"ඔන්න මාමේ අද රෑ පිරිත් ගෙදර..අමතක කරනවා හෙම නෙවෙයි"
පෙරදින ශාන්ත වූ ගල් කැටයම නෙළන අයුරු දැහැන් ගත වී බලා සිටි මට දැනුණු සිතුවිලි සමූහය බල කර සිටියේ මෙම පිරිත් සජ්ගායනාවට අනිවාර්යෙන්ම සහභාගි විය යුතු බවයි.
උදෑසන දහවල සහ හවස ආහාර කිස නිමවීම හැර එම දිනය තුළ කල කිසිම වැඩක් දැනට මතකයට නගා ගත නොහැකිය. ගම පුරා කරක් ගසමින් ගමෙන් භාගයකටත් වඩා වූ නෑ පිරිස් වල ගෙවල් වලට ගොස් ඔවුන් හා මොහොතක සංවාදයකට යොමු වෙමින් සිටියදීම මා දෑස ඉදිරිපිටම දිනය හැකිළී ගියේය..
මා පැමිණියේ කුමකටද ? බෑගය තුළ වූ පරිගණකය ඉවතට ගත්තේවත් නැත.
එදින රාත්‍රිය පුරා තුබු ගිහි පිරිතෙන් නගරයේ විවිධ ඝෝෂාකාරී සංගීතයෙන් ඔද්දල් වූ සිත නිවා ගත් මා.. එම පිරිතෙන් පසු ඔවුන් සංවිධානය කර තිබූ වැඩිහිටි නිවාසයේ දානමය කටයුත්තකට සහභාගී වූයෙමි.
කාන්තා පාර්ශ්වය ඉවුම් පිහුම් කටයුතු කරද්දී..පිරිමි අප දිවියේ අවසන් අදියරක ඉසුඹු ලන වැඩිහිටි පිරිමි අය කීපදෙනෙකුගේම රැවුල් කොණ්ඩ කපා..නහවා පිරිසිදු කළෙමු. පරණ වී ගිය ඇඳුම් සෝදා ..සමහර අය හට නව අළුත් ඇඳුම් මිල දී ගෙන ඇන්දවූයෙමු..අපගේ සැලකිලි මත්තේ සමහර වැඩිහිටියන් අඬා වැළපුණේ ඔවුන්ගේ අතීතය මතක් වීමෙන් බව ඔවුන් පුන පුනා කීවෝය..දිවීයේ අබල දුබල බව හමුවේ ඔවුන් සිතින් ගත කළේද දුප්පත් මානසික තත්වයකිනි. අපගේ කාරුණික වදන් හමුවේ ඔවුන් සුළු මොහොතක් වූවත් සුවපත් වන්නට ඇතැයි සිතෙන ම සිත අදද පිරී යන්නේ මහත් ආහ්ලාදජනක සිතුවිලි ගොන්නකිනි.
"සෝමෙ ඇවිත්..අපි යමුද උන්ගෙ හේන බලන්න අද රෑ..මේ දවස් වල අස්වැන්න නෙලන්න ළඟ කාලෙ හින්දා මිනිහා රෑ පැල් රකිනවා"
කපිලගේ මේ යෝජනාවෙන් මා සිත පිරී ගියේ එය නම් අනගි අදහසක් බව හඟිමිනි. මන්ද යත් කාලෙකින් මා රාත්‍රිය ගොවි පලක පැලක ගත කර නැත.
සෝමෙ හම්බෙගමුව ප්‍රදේශයේ සාර්ථක හේන් ගොවිතැන් කර්න්නෙකි. කෙසෙල්, මිරිස්, අල මෙන්ම එළවළු කීපයක්ද කුඹුරු යායක්ද අස්වද්දන ඔහු එයින්ම ජීවිකාව රැක ගත්තෙකි.
"පරිස්සමින් මල්ලි ඔව්වයෙ සත්තු සරුපයොත් ඉන්නවා..සෝමෙගෙ මල්ලිට මැලේරියාව හදා ගත්තෙත් ඔහෙ ගිහිල්ලා"
අක්කා මදුරු දඟර කීපයක්ම මා රැගෙන යාමට නියමිත බෑගයට ඔබමින් තම අකමැත්ත පවසන්නීය. අක්කාගේ පුතන්ඩියා පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කළත්..මාගේ අකමැත්ත නිසා ඔහු මා සමඟද තරහ වී කාමරයට වැද ගති..
"ඔන්න මඤ්ඤොක්කා තම්බලා හොඳ කොච්චි මිරිසක් තලා ගම්මු රෑ කෑමට. ඔය කොළඹ වගේ නම් රහට නැති වෙයි"
සෝමෙ විස්සෝප වෙයි.
ප්‍රකෘති ස්වභාවයේ සිට ඉතා විකෘති කර ඉන් පසු නැවත ප්‍රකෘති රස ගැනීමට කෘතීම රසකාරක සහ වර්ණ යොදා පිසින කොළඹ කෑම බඩගින්න නිවා ගැනීමක් නොවේ නම් මයෙ බල්ලටවත් එපා යන ආකල්පයෙන් සිටින මට සිනහා එයි.
"මොකෝ බන් උඹ නක්කලේට වගේ හිනා වෙන්නෙ?"
"නෑ බන් මට හිනා ගියේ කොළඹ උන් පරිප්පු කන්නෙත් කුකුල් මස් රහට..උඹ මඤ්ඤොක්කා තම්බන්නෙ මොන රහටද ?"
"හහ් හහ් හා..මාත් දුටුවා ඔය විකාර වෙළඳ දැන්වීම්..මම මඤ්ඤොක්කා ඒ රහටම හදන්නම් බන්"
ගමේ සිදුවී බොහෝ දෑ පිළිබඳව සෝමෙ සහ කපිල මා යාවත්කාලීන කල අතර මා ද කොළඹ සන්නි බොහෝමයක් ඔවුන්ට පවසා හිතේ හැටියට සිනා සුණෙමු.
වනාන්තරය පාමුල අක්කර ගණනාවකින් යුක්ත වූ ඉඩමක ඔහුගේ ගොවිපළ පිහිටා තිබුණි. රැහැයියන්ගේ අතොරක් නැතුව දෙසවන් පිරෙන හඬින් යම් ව්‍යාකූලත්වයක් මනසේ ගොඩ නැඟුණද..ඊළඟ මොහොතේ එම හඬට හුරු වූ දෙසවන් එය අනිත් කාර්යයන්ට බාධාවක් නොවිණි.
රාත්‍රී හත පමණ වන විට හොඳ මඤ්ඤොක්කා හැළියක් තම්බා කොච්චි මිරිස් තලියක් අඹරා ගත්තෙමු. උණු උණුවේම තැම්බෙන විට මඤ්ඤොක්කා කෑලි කිහිපයක් කා අප තිදෙනාම අසල වූ ළිඳට ගොස් ඇඟ පත හෝදා ගත්තෙමු.
"පාවිච්චියක් නෑ බන්"
මගේ අකමැත්ත ඉස් මුදුනින් පිළි ගත් කපිල ඔතා ගත් සිගරැට්ටුවේ දුම් ගුලි ගුලි පිට කරන්නට වීය..
"මාත් ගහනවා බන් මේ දවස් ටිකේ අල වැල් ටිකේ කොළ කහ වෙලා හොඳ අස්වැන්නක ඇති..ඉත්තෑවොයි..උරොයින්ගෙන් බේර ගන්න බෑ..පොඩ්ඩක් සද්දයක් ඇහුණොත් ඒ පැත්තෙ රවුමක් ගහන්න ඕනිනෙ ඒකයි"
සෝමෙ අයියාද අහක් වූ නිසා කපිල
"මම එහෙනම් තනියම ගහලා බුදියා ගන්නවා"
යි සිනහා වෙමින් කියයි.
"හා තනියම ගහපන් හැබැයි අපි දෙන්නට වාතයක් වෙනවා හෙම නෙවෙයි."
සෝමෙ අයියා තුවක්කුව ගෙන පතුරමක් ඇතුල් කරමින් පවසයි.
"ඕකෙන් උඹ මොකෙක්වත් මරලා නැද්ද බන් ?"
"නෑ කාලයක් අලින්ගෙන් කරදර තිබ්බා..ඒකයි පරිස්සමට අර ගත්තෙ. එක එකා නම් දඩයමේ යන්න ඉල්ලනවා මම දෙන්නෙම නෑ..මර්ඩර් එකකට හරි රොබරියකට හරි අර ගත්තොත් මාවනෙ බන් මාට්ටු වෙන්නෙ"
කපිලයා මොහොතකින් චන්ද්‍රයා වෙත සංක්‍රමණය වන ලකුණු පෙනුණෙන් අප දෙදෙනා ආගිඅය් විස්තර කතා කළත් සුමනෙ නිතරම අවධානයෙන් තම දෑස් සහ දෙසවන් පෙනෙන නොපෙනෙන අඳුර අතර යොමමින් සිටියේය. මා හට නම් අඳුර ඉරා දෙසවන් මත පතිත වන රැහැයියන්ගේ සහ තවත් නොහඳුනන සතුන්ගේ මුර ගෑම හැර වෙනසක් නොදැනිණි..
"අල යායට ඌරො පැනලා..උඹලා දෙන්නා හිටින් මම එනකන්"
"මම එන්නම්"
විදුලි පන්දම අතට ගත් මා ඔහු පස්සේ වැටුණෙමි.
"සද්ද නොකර වරෙන් "
ඔහු තුවක්කුවද කර තබා ගෙන ඉස්සර වීය.
මීටර් පන්සියයක් පමණ ඇවිද ආ අපට පෙනුණේ එකිනෙකා පරයමින් උඩට නැගුණ පන්දම් වල එතී පහළට වැටෙනා අල යායකි..කීප වරක්ම අල යාය තුළ ගමන් කළත් අප හට කිසිදු ඌරකු හමු නොවීය..
"ඔය ටෝච් එක දියන් මෙහාට..මේ තුවක්කුව අල්ලා ගනින්"
සෝමෙ ටෝච් එක ගෙන අල යායට එහා වූ අකුල වෙතට අල්ලා පිරික්සන්නට වූයේ මා තරමක් ඈතට වී හති හලන්නට වූයෙමි. පොඩ්ඩක් ඇවිද්දත් හතිය එන්නෙ..දැන් නම් වයසට යනවානෙ යන සිතුවිල්ලත් සමඟම මා දුටුවේ ඔහු ඇල්ලූ ටෝච් එළියට අඳුරු අකුලක දිදුලන ටීක් බෝල දෙකක් වන් වූ ආලෝක ගුලි දෙකකි..සෝමෙ මදක් නැවතී එදෙස විමසිල්ලෙන් බලන බැවි තරමක් මෑතින් සිටි මා හට පෙනුණේ මේ වනවිට මා දෑසද තරමක් අඳුරට හුරු වී ඇති බැවිනි.
එක් වරම අර දිලිසෙන ටීක් බෝල දෙක සෝමෙ වෙතට එනවා හාම,
"දුවපන් "
කෑ ගසමින් ඔහු මාගේ දෑස් මානයෙන් අතුරුදහන් වීය..
කොහේ දුවන්නද ..? අඳුරට හුරු වෙමින් තිබූ දෑස හමුවේ අන්ධකාර ගුලියක් මා වෙත පැමිණෙන බව මට වටහා ගත හැකි විය. මදක් පසුපසට වූ මා..ඒ වනවිටත් සෙල්ලමට මෙන් කුරුමානම් අල්ලමින් සිටි තුවක්කුව අර අඳුරු ගුලිය දෙසට යොමු කර කොකා ඇද්දේය..
අත උරහිසින් ගැලවෙන්නට වූ තරමේ වේදනාවක් සමඟම මා හුන් තැනින් වැටුණේ මහා වෙඩි හඬින් මාගේ කන් අගුල් වට්ටවමිනි.
බිම වැටුණු මා බිම අත පත ගාන විට තුවක්කුව අත ගැටුණත්..එය අතට ගැනීමට බිය වීමි..ජීවිතයේ මුල් වරට මා සතකුට ගිනි බිඳ තිබුණි නම් ඒ මොහොතකට පෙර බව මා හට අවබෝධ වන්නාත් සමඟම මා නැවතත් අර අඳුරු ගුලිය පැමිණි දෙස බැලිණි. කිසිත් හැලහොල්මනක් නැත.
සෝමෙ විදුලි පන්දම රැගෙන එන තෙක් මා මෙතනම සිටිය යුතුය.
හූ...හූ..හූ..
මොහොතකින් අවටින් සෝමෙගේ හඬ ඇසුණි. මාද හූවකින් ප්‍රති උත්තර දුන්නද..තව මොහොතකින් අවට ආලෝකමත් කරමින් විදුලි පන්දම් එළිය මා සිටි දෙසට එන්නා හාම නහයට දැනුණු දුගඳ ඉහිලුම් නැති වන්නට වීය.
විදුලි පන්දම ලං වත්ම ලං වත්ම වැඩි වන දුඟද..
"උඹට අවුලක් නෑනේ..වෙඩි සද්දෙට බයේ ඌරා පැනලා දුවන්න ඇති..මම දුවන කොට කක්කුස්සි වළේ අඩිය තියලා ඒකට ඇඳන් වැටුණා බන්. කකුලත් උලුක්කු උණා.."
ඉහින් කණින් ජරාව පෙරා ගත් සෝමෙව පිළිකුල මැඩගත් සිතින් යුතුව වත්තන් කර ගෙන ළිඳට ගොස් නා කියා ගෙන පැලට ගියෙමු. මතක් වන විටත් අප්‍රිය හැඟීමක් ඇති කරන එම සිද්ධිය දැනටද මට ගෙනෙන්නේ අපුලකි.
මඤ්ඤොක්කා කෑම එපාම වීය.නමුත් සුපුරුදු ලෙස සෝමෙ කා බී කපිලවද ඇහැරවා කන්නට දුන්නේය.
"මදැයි උඹ ආපු දවසෙම වෙච්ච දේ"
සෝමෙ විස්සෝප වේ..
"මට තේරෙනවා උඹලට මේ දුෂ්කර ජීවිතේ ගත කරන්න බෑ..හෙට උදෙන්ම ගෙදර යන්"
පසුදා උදෑසන කපිලගේ හිනා හඬ මැද්දේම අපි අසල වූ වෙද මහත්තයාගෙන් සෝමෙගේ කකුලට බෙහෙත්ද ගෙන ආපසු නිවස වෙත පැමිණියෙමු.
කෙසේවෙතත් මා ජීවිතයේ පළමු වරට තුවක්කුව පාවිච්චි කල හැඟීම වීරත්වයක් ලෙස කීප වාරයකම ඉස්මතු වූවත් එම වෙඩි පහරට ඌරා ලක් වූයේ නම් මට ඇති වන්නේ පසුතැවිල්ලක් බව නම් නිසැකය.
අක්කාගේ දෝස්මුරයට ඇහුංකන්දීමට සිදු වන නිසා මා ඒ පිළිබඳව කිසිවක් නොකීවෙමි. පුතාද තම නුරුස්සනා හැඟීම ඉවත් කර ගෙන මා හා දැවටෙමින් විවිධ දේ පවසන්නට වීය..
දහවල වනවිට මුළු ඇඟම රිදී ගෙන මා හට උණ සැදුනි. තුවක්කුව ගැස්සීම නිසා ගැස්සුනු ඉරහිස ළඟින් අත සෙලවීමටවත් නොහැක. දෙනෙත යටින් හිස ගිණි ගනිමින් වේදනා ගෙන එයි. අක්කා ඕඩිකොලෝන් වතුර සමඟ කලවම් කර රෙදි කඩක් පොඟවා නළලේ එළුවාය. අමාරුවෙන් වූවද දෑස පියා ගත්තත් නින්දත් නොනින්දත් අතර මා හෝරා කීයක් ගත කලාද මතක නැත. යාම්තම් ඇස පියවී ගෙන එනවිට අශූචි වලක් තුල ලැග හිඳින ඌරෙක් මා පසු පස එළවා ගෙන එනවා පෙනේ..
නින්දත් නොනින්දත් අතර රාත්‍රිය විය හැකි කාලයක මා කැඳ බොනවා මෙන්ම එය වමනය කරනවාද මතකය.. පසුදා දහඩිය වලින් නැහැවී මා අවදි වීය.
මා වඩාත් බියපත් වූයේ බිය රැඳි අක්කාගේ දෑස දුටු විටය..කෙමෙන් කෙම්නෙ ඇඟපත වේදනාව පහව යන නමුත් ඔවුන්ගේ පෙරැත්තය මත මා වෛද්‍යවරයකු හමුවී ඖෂධ ගෙන ආවෙමි. ඉතිරි දින දෙක ගෙවී ගියේ මා ඇඳ මත හොවමිනි..
"බෙඩ් රෙස්ට් කියන්නේ බෙඩ් රෙස්ට්"
වෛද්‍යවරයාගේ අණ කඩ කිරීමට සොයුරිය කිසි සේත්ම ඉඩ නොදුන්නාය.
සියල්ලන්ගේම උවටැන් ලබමින් එම දින දෙකද ගත කල මා අද (ඉරිදා) යළි කොළඹ නිවෙස වෙත ආවෙමි. හෙට සඳුදා සිට නැවතත් කාර්යාලයට..මා පිළිබඳවම කේන්තියත් ඇතිවේ..
පරිගණකය ගෙන ගියා සේම ආපසු එලෙසම ගෙන ආවෙමි..
ඉසුඹුවක් ලද ඇසිල්ලේ මා නැවතත් ආවර්ජනය කලේ මා මෙම නිවාඩුව ගත්තේ ඇයිද යන්නට හේතු කල්පනා කිරීමටය.
මට අවැසි වූයේ නවනළු රසයෙන් පිරි යම් නිර්මාණයක් ගමේ සිහිල් සෙවනේ හිඳිමින් අකුරු කිරීමටය..
එසේ මුත් සිදු වූයේ විවිධ අලකලංචි වලට මුහුණ දී හිස් අතින්ම නැවත පැමිණීමටය..
මෙවන් විටෙක ආච්චි සිටියා න
ම්
"බොට නොකෙරෙන දීගෙට හෙවනැල්ලත් ඇදයිනෙ"
කියමින් ලොඹු කට පෙන්වා සිනහා සෙනු ඇත..
සීයාද
"බැරි වැඩ නොකරන් අබරෝ කියන්නෙ මේ වගේ වෙලාවට තමයි"
කියනු ඇත. වාසනාවට දෙදෙනාම මෙළොව හැර ගොස් බොහෝ කල්ය.
සාහිත්‍යය මාසය ඔහේ ගියාවෙ..මට කල නොහැකි දේ වලට මුල පුරා මෙසේ පසුතැවිලි වීම් වලට හේතු භූත නොවන්නට තරයේම ඉටා ගතිමි..
ඉදිරියේ එන මහා පොත් ප්‍රදර්ශනය හා ඒකාත්මික වෙමින් තව තවත් කියවන්නට සහ කියවන්නට එන අය කියවන්නටත් කැමරා කාචයේ සිත්තම් කර ගන්නටත් ඉටා ගනිමින් මා නිමවන්නට තැනූ නිර්මාණය නොනිමවූ දුක මදකට අවම කර ගතිමි..
මාගේ අතින් නොනිමවූ ඒ නිර්මාණය පිළිබඳව මාගේ ආදරණීය සහෘද කැල සුපුරුදු ලෙස මට සමාව දෙනු ඇත..එය නිසැකය
ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Sunday, September 8, 2013
Thursday, September 5, 2013
ඉස්සර පල උණු බයිට් කතාවක්..හෙවත් රත් උණු තැටියේ කතා වස්තුව !
අද වෙනකොට මෙගා බයිට් එකක් කියලා දස වද දීපු නළුවෙක්ගෙ කතාව අන්තර්ජාලය තුල පැතිරෙනවා..
මේ තියෙන්නෙ මම 2012 ජූනි ජූලි මාස වලදි මම මුහුණ දීපු අත්දැකීමක් ඒ කාලෙ අකුරු කරපු හැටි..
මේක අද වදයක් වෙලා තියෙන හැටි පේනවනෙ !
පළමු වන දිගහැරුම..
ජායාරූප ගැනීම එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් ෆොටෝග්‍රැපි, කරන එක මට නම් මගේ විනෝදාංශයක්ම විතරයි. මොකද ජායාරූපකරනය තමන්ගේ වෘත්තීය ජීවිතය වෙච්ච කොට්ඨාශයක් ඉන්න නිසාම මම ඇයි ෆොටෝ ගහන්නෙ කියන එකට මමම දීලා තියෙන පැහැදිලි උත්තරය ඒක තමයි. මේක විනෝදාංශයක් වීම නිසාම තාමත් මන් අරගෙන තියෙන්නෙ ෆොටෝ දෙතුන් සීයයි .වගේම ඒ ෆොටෝ අතරින් මගේ හිතට අල්ලපු සහ මූනු පොතේ දමපුවහම එන කමෙන්ට් වලින් වගේම මගේ මේ විනෝදාංශයට අත හිත දීපු කෙනාගෙ අදහස අනුව තියෙන්නෙ ෆොටෝ 3-4ක් විතරයි හොඳ ෆොටෝ කියන ගොන්නට දමන්න පුළුවන් ඒවා තියෙන්නෙ..
ඔව් ඒ ෆොටෝ 4-5න් මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..සමහර විට ඒ වෙලාවෙ ගන්නකොට තේරුනෙ නැහැ..මේ වෙලාවට මේ සෙටින්ංග්ස් තමයි හොඳම කියල නම්..ෆොටෝ ගත්තට පස්සෙයි දැක්කෙ හොඳයි කියලා..ඒ නිසා ඒ ෆොටෝ 3-4 අහඹුවට වැදිච්චා කියමුකො..
ෆොටෝ ගන්න අය එක එක කැමති අනු අංශත් තියෙනවනෙ ඔය එක්කම..
මාත් කල්පනා කලා දැන් මන් ගන්ඩ යන්නෙ මොනාද කියලා..මල්ද ? සමනලයොද ? ගස් කොලද ? මිනිස්සුන්ද ? අනේ මන්දා ? ඔහොම කල්පනා කර කර ඉන්න කොට මන් දවසක් දැක්කා ලස්සන රාත්‍රී දර්ශන ටිකක් තියෙන ෆොටෝ වගයක්..හ්ම්ම්ම් අහල පහල වනාන්තර නැති නිසා ගස් වැල් ගන්ඩ බෑ..මේ කොන්ක්‍රීට් වනන්තරේ එහෙන් මෙහෙන් දැන් නම් ගහක් කොලක් මලක් තියෙනවා උනාට ස්වාභාවික හෝර්ටන් තැන්න වගේ නෙවෙයිනෙ..ඒ උනාට රෑ වෙන එක කොහෙටත් පොදුයි..මොකෝ වෙන්නෙ රෑ ජාමෙ ෆොටෝ ගත්තොත්..
ඔහොම හිතපු මන් තීරණය කලා රාත්‍රී ජායාරූප ගන්නවයි කියලා..ඉතින් ඒක සාර්ථක උනාද ?
කෝකටත් තෛලය වගේ ගියා අන්තර්ජාලෙට..කියෙව්වා තිබ්බ ලිපි කීපයක්ම..හෆොයි හිතුවට වඩා දරුණුයි..මහා දිග හොම්බක් තිබ්බට කැමරා ලෙන්ස් එකේ f/4.5 පටන් ගන්නෙ ඉඳන්..සාමාන්යෙන් කියන්නෙ f/ 3.5 තමයි හොඳම රාත්‍රී ජායරූපවලට කියලයි..ඔය සේරම හරි යන්ඩ බෑ..ඕන් ඔහෙ තියෙන එකෙන්ම ගන්නවා කියලා හිතලා..මාත් වැඩේට බැස්සා..
ඔහොම බැහැලා ගත්ත ෆොටෝ ටිකක් තමා මේ තියෙන්නෙ..
රාත්‍රී ජායාරූප ඉතින් දවල්ට ගන්න ඇහැකියැ ..මේකෙ තියෙන වාසිය තමයි ඔෆිස් ඇරුනහම මට කෙලින්ම වැඩේට බහින්න පුළුවන්..හැබැයි ආරක්ශාව අතින් එච්චර හොඳ නැති හරියවල් වල නම් මේක කරන්න බෑ.ඒ නිසා මන් කරන්නෙ ජනාකීර්න නගර වලයි..එහෙම නැත්නම් අහලක පහලක පොලීසියෙන් ඉන්නව නම් බහිනවා ගේමට..නැත්නම් ඔහේ මගේ පාඩුවෙ යනවා.
පහු ගිය දවසක මන් ඔහොම රෑ 10ට විතර ඇති බැස්සා බඩු ටිකත් අරන් එලියට..දැන් ටවුන් එකේ ෆොටෝ 2-3ක් අරන්..හෙමින් හෙමින් ඉස්සරහට ගියා..හඳ පළුවෙන් එන එලියයි..විදුලි ආලෝකයෙන් එලිය උනු අවට පරිසරයේ රූස්ස ගොඩනැගිලි වල පාදාන්තයේ සිට කේශාන්තය දක්වාම බලමින් මන් යනවා මගේ ගමනෙ..හෙමිහිට නැවතී නැවතී..
තරමක් පාළු, අතඇරලා දමපු බිල්ඩින් එකක්.... සහ දැනටමත් අළුතින් හදන බිල්ඩිමක්..හරියටම ඔය මැද අතු පතර විහිදිලා ගිය මාර ගහක්..විදුලි එලිය බිඳක් නැති පාළු බිල්ඩිම හඳ එලියෙන් බබලනවා..අළුතින් හදන බිල්ඩිමේ විදුලි එලිය අර මාර ගහේ අතු අතරින් පෙරිලා ඇවිත් ලස්සනට රටා වලට හෙවනැලි ඇඳිලා..මගේ හිත එකපාරටම කීවෙ..ටොප් ෆොටෝ එකකට හොඳම තැන කියලයි..ඉස්සරහට ගීයා..ආපහු ආවා..බැලුවා කැමරා ඈන්ගල් කරන්න හොඳම තැන..මේ එලියට හරියන්න සෙට් කරන්න ඕනි සෙටින්ග්ස් ගැන හිතමින්ම..
"ස්ස්ස් ....ස්ස්ස්ස්..."
මගේ දැහැන බිඳුනා සැනකින්ම...
මාර ගහ යට පාළු අඳුරෙන් මෑත් උනේ ජායාවක්..එලියයි අඳුරයි අතරේ මාරුවෙන් මාරුවට පුළුල් තීර විදියට ඇහැ යොමු කරපු මට මේ පුංචි රුව දෙනෙතට හසු කර ගන්න මදක් අපහසු උනා..ඒ කාන්තා රුවක්.. මගේ හිත මට කිව්වා..
"අනේ එක්ස්කියුස් මී අයියෙ.. මගෙ පර්ස් එක මග වැටිලාද කොහෙද ..අතේ සල්ලි නෑ කීයක්වත් ගෙදර යන්න.. තියෙනව නම් මට රුපියල් 150 දෙන්න අයියෙ.ලොකු උදව්වයි.."
මිහිරි හඬකින් ඈ කීවා.. අනේ පව්.. මේ රෑ..කරදරේ වැටිච්ච ළමෙක්..මගේ බඩ පපුව දාලා ගියා.
"නංගි කොහෙද ඉන්නෙ"
"පිලියන්දල ඉන්නෙ අයියෙ..මන් අයියට මගේ ෆෝන් නම්බර් එක දෙන්නම් ..ණයට දුන්නා කියලා හිතා ගෙන දෙන්න අයියෙ.. මන් ආපහු ගෙනත් දෙන්නම්"
ගින්දරට අහු උන වෙඬරු පිඬක් වගේ මගේ හිත ආයිමත් උනු උනා..තාමත් උඩ බිම බලලා නිලංකාර වෙච්ච ඇස් හරී ගියේ නැති නිසාත්. මේ තරුණිය ඉන්නෙ ආලෝකයට පිටුපාලා නිසාත්.. මට ඈගෙ රුව හරියටම පෙනෙනෙ නෑ..
"රුපියල් 150 ඇතිද නංගි මෙතන ඉඳන් ත්‍රීවිල් එකක පිළියන්දලට යන්න?"
මන් මගේ පර්ස් එකේ තියෙන සීයෙ කොල හය හිතින් ගනිමින්ම ඇහුවා.. ඔන්න ඔහේ 200කම දීලා දාපන් කියලයි මගෙ හිත දැන් කියන්නෙ..
"ඇති අයියෙ වෙනදටත් බස් නැති උනහම මේ හරියෙන් මන් ත්‍රීවීල් එකේ යන්නෙ රුපියල් 150ටම තමයි.."
"ආ අංගි වැඩ කරන්නෙ මේ ළඟමද ? හැමදාම යන්නෙ මේ වෙලාවටද ?"
"ඔව් අයියෙ..නෑ අයියෙ..මන් වැඩ කරන්නෙ අර එහා ගාමන්ට් එකේ.. අද නයිට් එක ඉවර උනේ මේ වෙලාවෙ. අයියත් ඉන්නෙ මේ ළඟමද?"
"ඔව් මන් ඉන්නෙ අර ටවුන් එකෙන් ටිකක් ඇතුලට හැරිලා යන්න ඕනි"
මන් පර්ස් එක අදින ගමන්ම කීවා
"මන් ළඟ පනහෙ කොල නම් නෑ.. දෙසියක්ම දෙන්නම්..ඔයා පොලියත් එක්ක ආයි හම්බ උනහම දෙන්නකො"
මන් හිනා වෙවී කීවා..
"අයියෙ ත්‍රී වීල් එකක් එනවා වගේ..පොඩ්ඩක් ඉන්න මන් ඒක නවත්තනකන්.. තනියෙන්ම ඉඳන් ත්‍රී වීල් වලට නගිනවට වඩා අයියා එක්ක ඉඳන් නැග්ගහම ආරක්ශාවට හොඳයිනෙ අයියෙ"
මම පිටුපාලා ඉන්න පැත්තෙන් මට ඇහුනා ත්‍රීවීල් එකක් එන සද්දෙත් මන් ඒ පැත්තට ඔළුව හරවනවාත් එක්කම..නංගි මගේ ඇඟේ ගෑවී නොගෑවී මාව පහු කරන් අඩි 2-3ක් ඉස්සරහට යන කොටයි දැක්කෙ..ඈ සැබවින්ම සුරූපී තරුණියක්..මේ වෙලාවෙ ත්‍රීවීල් එකක තනියෙන් යනවා කියන්නෙ මෑගේ ..මට මගේ මනසේ මැවිලා පෙනුනෙ ටීවී එකේ , පත්තර වල තියෙන දහසකුත් එකක් අපරාධ..මට තාම පේනවා ත්‍රී වීල් එක ඈතින් එනවා..
"නංගි ඔයාට තනියෙන් ත්‍රීවීල් එකේ යන හොඳ නෑ වගෙයි. මන් ඔයාව ගෙදරට ගිහිල්ලා අරලවන්නම්..මට ආපහු එන්න බැරියැ"
"අනේ අයියා හරිම හොඳයි. නන්නාදුනන මට සල්ලිත් දුන්නා..මන් කොහොමද තව ඒ වගේ උදව් ඉල්ලන්නෙ අයියගෙන් කියලයි මන් එහෙම ඇහුවෙ නැත්තෙ"
ඈ මට තවත් ලංවෙමින් කීවා.. ත්‍රී වීල් එක අපිට වඩා අඩි 50ක් විතර ඈතින්..ඊට ඉස්සර වෙලා ආපු වෑන් එකක් පාර අයිනෙ නැවැත්තුවත් කවුරුවත් බැස්සෙ නෑ..
"අනේ අයියෙ එහෙනම් මාව ගේ ළඟට ගිනින් දමලා එන්න අයියෙ..මට ඇත්තටම බයයි..මේ වෙලාවෙ ත්‍රීවීල් එකට නගින්න තනියෙන්ම"
ඈ මගේ අතින් අල්ලා ගත්තා..නහය කඩා ගෙන යන තරමෙ උනත් ඉමිහිරි සුවඳක් මගේ නාසය තුලට රිංගුවා...
ඈ ත්‍රී වීලයට අත දැම්මා.. බ්රාස් ගාලා ඒක නැවැත්තුවෙ අපි හිටි තැනට අඩි දෙක තුනක් ඉස්සරහින්...
ඈ මගේ අත තවත් තද කරලා අල්ලා ගනිමින්ම මාත් එක්කම මාර ගහේ අඳුරු සෙවනැලි වලින් අර හදමින් තිබ්බ බිල්ඩිමේ එලිය වැටිච්ච ආලෝකමත් උනු ප්‍රදේශයට ආවා..
පාරෙන් එහා පැත්තෙ තිබ්බ වෑන් එකේ පැත්තක වීදුරුව ඇරෙනවා එක්කම යම් රතු පාට අඳුරු දීප්තිමත් ආලෝක තිතක් ඒ තුලින් මන් දැක්කෙ මගේ ඇහේ කොනකින්..මෙච්චර වෙලා හොඳ ප්‍රානවත්ව මගේ සිරුරේ සමබරතාවය රඳවා ගෙන හිටි කකුල් දෙකේ ප්‍රධානම පුරුක දනිස් දෙක පණ නැති උනේ ත්‍රී වීල් එකේ පිටි පස්සෙ අඳුරු සීට් එකේ ඉඳලා අපි හිටපු ඉස්සරහට බැහැපු දෙන්නා දැක්ක විගසමයි. ඒ එක්කම ත්‍රී වීල් එක ඔවර් ටේක් කරලා නවත්තපු ලොකු වාහනෙ දුටුවහම මන් රෑට කාපු කෑම පවා දිරවන එක නවත්තලා බඩ ඇතුලෙම කැරකෙන්න උනා..
"අනේ අයියේ.."
හොඳටම බියපත් උනු මුව පොව්වෙක් වාගේ ඈ මගේ අත තවත් තදින් අල්ලා ගෙන මාව තුරුල් කර ගත්තා අනිත් අතින්...
------------------------------------------------------------------
මතු සම්බන්ධයි...
ලියන්නා තව දුරටත් තම විනෝදාංශය කර ගෙන යයිද ?
-----------------------------------------------------------------
දෙවන වන දිගහැරුම..
තුන් රෝද රියේ අඳුරු පසු පස අසුනෙන් හනි හනික බැස ගත් දෙදෙනා සමඟම තුන් රෝද රිය පසු කරමින් අප ඉදිරියේම බ්රාස් යන හඬින් නැවැත්වූ රිය දුටු විගස මා වික්ශිප්ත වනවාත් සමඟම මාගේ අත අල්ලා ගෙන සිටි නන්නාඳුනන තරුණිය තවත් මා තුරුලට ආවේ මන්දැයි ඒ වෙලාවෙ නොදත්තෙමි..ත්‍රී වීල් රථයෙන් බැස ගත්තේ පොලිස් නිළධාරීන් දෙදෙනෙකි. මා අසල නැවැත්වූයේ පොලිස් ජිප් රථයකි.
මා කිසිම වරදක් නොකලා වූවත්.මහ රෑ දහය හමාරට පමණ අඳුරු මාර ගසක අඳුරේ සිට ත්‍රීවීල් රථයකට අත පාන තරුණ ළඳක් හා මැදිවියේ අයකු පිළිබඳව පොලීසිය කුමක් අදහා ගන්නවාදැයි තේරුම් යනවාත් සමඟයි මා ගත සීතල වූයේ...
නැවැත්වූ ජිප් රථයෙන්ද පොලිස් නිළධාරීන් කිහිප දෙනෙක් හනිකට බැස ගත්තේය.
"හහ් උඹට කී සැරයක් කිව්වද ඔය බිස්නස් කිරිල්ල නවත්තන්න කියලා"
එසේ ගුගුලේ එක පොලිස් නිළධාරියෙකි. මා තුශ්නිම්භූතව ඈ දෙස බැලුවෙමි. ඈගෙන් කිසිම හැඟීමක් පල නොවිනි.
"අනේ සර් මේ අයියා තමයි"
"වහපන් කට..මේ සැරේ නම් උසාවි දමලා යනවා අවුරුදු හතරකට පහකට.."
"අනේ සර් මන් මේ ගෙදර යනකොට මේ අයියා කතා කලේ.."
එක් පොලිස් නිළධාරියකු මා දෙස පිළිකුලෙන් බලන්නට වූයේ...
"පොඩ්ඩක් ඉන්ඩ රාළහාමි මන් මෙතනට එනකොට මේ ළමයා පිළියන්දලට යන්ඩ හිටියා අර ගාමන්ට් එක ඇරිලා එනවා කීවා..මට කීවා රෑ නිසා බයයි..ත්‍රීවීල් එකක් නවත්තලා දෙන්නයි කියලා..මන් මේ පාරෙ යන කෙනෙක් විතරයි ..මාව මේකට ගාව ගන්න එපා.."
මා එතනින් යන්නට උත්සාහ දැරීය..
"කොහෙද කොහෙද යන්නෙ?.. කොහෙ යන්නද ? මේක උසාවියෙන් කෙළවර වෙන කේස් එකක්"
අනිත් නිළධාරීන් දෙදෙනා මාගේ මඟ හරස්කර ගත්තේය..
"අපි දැක්කා දෙන්නා හිටි හැටි මාර ගහ අස්සෙ ගැරඬි වගේ වෙලිලා"
එක නිලධාරියෙක් සිනහ වෙමින් කීවෙ අන් අයත් එයට එක් වීය..
වසලා හමාරයි..මෙගා ටෙලි නාට්‍යයක මෙන් නුදුරු වර්තමානයේ සිට අනාගතය දක්වා මට සිදු වන දේ සියල්ලම මා ඉදිරියේ දිස් වන්නට වූයේ..
"ඇත්තමයි මන් කියන්නෙ මන් අහිංසකයි මෙතන..මට යන්ඩ දෙන්න"
"කොහෙ යන්ඩද ? කොහෙද තමුසෙ වැඩ කරන්නෙ?"
"මන් වැඩ කරන්නෙ ක්ලීනින් සර්විස් එකක..එතන වැඩ සුපර්වයිසර් ජොබ් එක කරන්නෙ"
මා ඇත්තම කීවේ කුමන හෝ බොරුවක් කීවොත් එය වැසීමට තවත් බොරු රාශියක් කීමට සිදු වන නිසාය.
"මේ මනුස්සයා අහිංසකයෙක් අපි මිනිහව යවමුද අයිපී?"
තරුණ නිළධාරියා තම වැඩිමහල්ලාගෙන ඇසීය..
මටත් යම් තරමක සැනසුම් සුසුමක් හෙලිනි.
"යවමු මේ තමුසෙ මොකද්ද ඉස්සෙල්ලා කීවෙ..මේ මිනිහා තමුසෙව අල්ලා ගන්න හැදුවා කියලා නේද ?"
ඔහු අර තරුණියගෙන් ඇසීය..
"අනේ ඔව් සර් මන් මෙතන ගෙදර යන්නයි හිටියෙ.. ඉස්සෙල්ල සැරේ අහු උනාට පස්සෙ ආයි මේ ජොබ් එක කරන්නෙ නෑ සර්..අද කඩේ සෙනඟ නිසා රෑ උනා.. මේ සර් තමයි කීවෙ එයා ඉන්නෙ පාමංකඩ ඇනෙක්ස් එකක තනියම..එන්ඩ කියලා"
මේ ප** වේ*..ඉතුරු කරන්න වටින්නෙ නෑනෙ මේ කියන් කතාවට..මන් මනුස්සකමට උදව් කරන්න ගියාම මේකි දැන් මාව උගුලට ..අහු කරලා දීලා බේරෙන්නයි යන්නෙ..
නැවතත් මා දෙස හැරුනු පොලිස් නිලදරුවා..
"ඔය පේන්නෙ අහින්සකයගෙ තරම "
"තමුසෙ කොහෙද ඉන්නෙ?"
"පාමංකඩ"
"ඇනෙක්ස් එකක තනියම?"
"ඔ ඔ ඔ ව් සර්"
"තමුසෙ බැඳලද? "
"නෑ සර් ඔව් සර්"
"ඔව් සර් නෑ සර්...සාජන් දානවා දෙන්නම ජිප් එකට පොලීසියට ගෙනිහින් දෙක දෙනකොට ඇත්තම කියවෙයි"
හැඩි දැඩි අතකින් මාගේ අත තරයේම අල්ලා ගත් විගසම මාගේ පෙර වාසනාවකට මෙන් පහුගිය දවස් කීපයේම මෙන් හාත්පස අඳුරේ ගිල්වමින් එක්වරම විදුලි බලය ඇන හිටියේය..
මේ අවස්ථාව දැක්වෙන සිත්තරයක් පාඨක සමූහයාගේ සිත සුව පිණිස ඇඳීමට මා සිතා ගත්තෙමි. එය පහත අයුරින් වේ.. වැඩි විස්තර සඳහා ප.ලි. බලන්න..
පොලිස් නිලදරුවන් සියල්ලම කුටු කුටු ගාන්නට වූයේත් මා දෙනෙත පාරෙන් එහා පැත්තේ වූ වෑන් රථය වෙත යොමු වූයේත් එක් විටමය. වෑන් රථය තුල යමක් ආලෝකයෙන් බබලමින් තිබූ අතර ඒ තුල කීප දෙනෙක්ම වීය..
"කවුරුවත් ළඟ සර්ච් ලයිට් එකක් නැද්ද?"
සර්ච් ලයිට් එකක් වත් නැති පොලීසියක්...???
ඒ හාම නැවත විදුලිය පැමිනියේ..
"හා දමා ගමු දෙන්නවම ජීප් එකට සාජන්"
"පොඩ්ඩක් ඉන්න රාළහාමිලාගේ අයිඩෙන්ටී කාර්ඩ් පෙන්නන්ඩ මට පොඩ්ඩක්"
"මාව ඇරෙස්ට් කරන්න ඉස්සෙල්ලා ඇයි මාව ඇරෙස්ට් කරන්නෙ කියලා අහන්න මට අයිතියක් තියෙනවා..මන් මෙතනින් අඩියක් හෙල්ලෙන්නෙ නෑ අයිඩෙන්ටි කාඩ් පෙන්නනකන්"
මා ඔවුන්ගේ අතින් මිදී අඩියක් පමණ පාර දෙසට පැමිණෙනවාත් සමඟයි මා ඔවුන්ගේ නිල ඇඳුම දෙස නෙත් යොමු කලේ. .මන්ද යත් මොනා නැතත් මේ නිළධාරීන්ගේ අංක ටික මතකයේ තබා ගත යුතු බව මගේ සිත මට මතක් කර දෙන්නට වීය..
නැවතත් මා ඇඟ සීතල වූයේ එම දර්ශණයක් සමඟයි..එක් අයකුගේවත් නිලඇඳුමේ තිබිය යුතු අංකය නැත.. මා මෙතරම් මෝඩ වූයේ කෙසේද ? මෙය මා කලයුතුව තිබූයේ මීට පෙරය. තවත් අඩියක් පසු පසට තැබූ මා ක්ශණිකව මාගේ දුරකතනය අතට ගෙන එහි වූ හදිසි ඇමතුම් අංකය ක්‍රියාත්මක කරන්නට දී තිබූ තනි අංකය මත ඇඟිල්ල තබා හතිමි.
"තමුසෙලා කවුද ? තමුසෙලා පොලීසිය නෙවෙයි..මන් 119 එකෙන් ගෙන්නවනවා එකෙක් වත් ඉන්න තැන් වලින් හෙල්ලෙන්න එපා.."
මාගේ උපාය වූයේ එක් අයකු හෝ මා අල්ලා ගැනීමට ඉදිරියට ආවොත් අඩු තරමේ පාර දිගේ දුවන ගමන්ම හදිසි ඇමතුමට කතා කිරීමටය. එක් අයකුවත් සෙලවුනේවත් නැත.
නමුත් අර තරුණිය තම හඬ අවදි කලාය.
"හරි හරි අයියෙ අපි මේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්නෙ.. අයියා කලබල වෙන්න එපා 119 කතා කරන්නත් එපා"
ඈ තම ආයතනික හැඳුනුම්පතක් මා වෙත දික් කලාය.මා තවත් අඩියක් පසු පසට ගොස් එය පිරික්සීයේ අනිත් සියළු දෙනා වෙත පිරික්සුම් බැල්මක් හෙළුවේය.
"ඔව් අපි මේ මීඩියා ආයතනයේ අර රියැලිටි ටීවී ප්‍රෝග්‍රෑම් එකකට තමා මේක කලේ..වෑන් එකේ කට්ටිය සේරම රෙකෝඩ් කලා"
එකවරම මගේ ඔළුවට යක්ශයා ආරූඨ වීය..
'මඟුලක් කරනවා මන් මෙතන ප්‍රෙශර් හැදිලා මැරෙන්නයි ගියේ"
ඒ හාම මට මතක් වූයේ පිටරට ටීවී ප්‍රෝග්‍රෑම් වල ඇති සමහර ප්‍රෝග්‍රෑම් පාරෙ යන අයව අපහසුවට පත්කරමින් කරන ඒවා රෙකෝඩ් කර විකාශය කරන අන්දමයි..
මගේ ඒ ගැන එතරම් අකමැත්තක් නැතත්..එවන් වැඩ සටහන් පිළිබඳව එතරම් ප්‍රසාදයක්ද නැත.
"හරි හරි සර් අකමැති නම් මේක අපි ටෙලිකාස්ට් කරන්නෙ නෑ"
"ටෙලිකාස්ට් නෙවෙයි මොන මඟුල කලත් කමක් නෑ..හැබැයි ඔය මාව අපහසුතාවයට ලක් කරලා ගත්ත ටික එහෙම මගේ අවසරය නැතුව දමලා තිබ්බොත් මන් නඩු යනවා"
තදින් නොවූවත් තරමක තිර හඬින් කිවූ මා ඔවුන්ගෙන් සමු ගත්තේ..එදිනට මාගේ රාත්‍රී ඡායාරූප ගැනීම නවතමිනි.
රියැලිටි ටීවී ප්‍රෝග්‍රෑම හරි මොන මඟුල හරි කමක් නෑ කලාට ඒවා ඔය බටහිර නාලිකා වල පෙන්නන ඒවා ගෙඩිය පිටින්ම මෙහෙ ගෙනත් ඒකම කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් අපේ සමාජයට හරියන විදියට වෙන්ස් කම් කරලා..
මේ සිද්ධියත් එක්කම මගේ හිත පතුලට කිඳා බැස්සෙ ඔය වගේ අදහසක් තමයි..හැබැයි මට හිතෙන ඒවා නිවැරදියි කියලම නම් මන් හිතන්නෙත්.. නෑ..
ප.ලි.
ඉහත සිත්තරයේ ඇති ඇති එකම ආලෝකය එක් පොලිස් නිළධරයෙකුගේ අතේ වූ ජංගම දුරකතනයේ වූ එලියයි..මෙය මහපාරක් අසල වූ දෙයක් නිසා ඔය කහ පාටට තිබෙන්නේ ඈතින් එන වාහනයක එලියයි.
සයිබර් අවකාශයේ කොතරම් සිත්තරුන් සිටියත් මා තරම් පාඨකයන්ට හිත පිණිස මෙසේ අඳින ලද සිත්තරය පිළිබඳව වැඩි විස්තර නොදමන බව ඔබ දැක ඇතැයි සිතමි..හ්ම්ම් අපි එහෙමයි පාඨකයන්ට සලකන්නෙ..
මේ තියෙන්නෙ මිහිර ගේ ඒ කතාව..මෙවන් මාධ්‍යය වල පල්ලට යන එක අහන්න දෙයක්ද ? තව ටික දවසකින් මීඩියා වලින් කිව්වහම මිනිස්සු පොළු වලින් ගල් වලින් ගහලා එලවන කාලයක් ආවොත් පුදුම වෙන්නත් ඕනි නෑ..
http://youtu.be/UpUrugx5rGQ
Tuesday, September 3, 2013
මදු බන්ධනය..
Photo courtesy http://en.wikipedia.org/wiki/Pineapple
කමලුයි, සමනුයි, පාලිතයි මමයි ...හතර දෙනාවම කොස් කඳට තියලා කිටි කිටියේ මදු වැලකින් ගැට ගහලා දාබරේ මාමා කේන්තියෙන් වෙව්ල වෙව්ලා ගේ පැත්තට ගියා..
"අද නම් ඉවරෙටම ඉවරයි"
අපේ කල්ලියේ හිටිය දුර්වලම එකා වෙච්ච සමනා අඬන්න ගත්තා...පාලිත
"&*((&^% අඬන්නෙ නැතුව හිටහන් බලහන් මේ වැල්පට ලිහා ගන්න පුළුවන්ද කියලා"
හතර දෙනාම උත්සාහ කළත් ලණුවක්, කඹයක් වගේ නෙවෙයි මදු වැල හරි හයියයි කඩන්න බෑ කොහෙත්ම..
අපි නාහෙට නාහන වයසක් වෙච්ච කාලයක..හයේ නැත්නම් හතේ පංතියේ හිටියෙ ඔය වෙන කොට...
ගහක කොලක ගෙඩියක් මලක් නට්ටක් පේන්ඩ බෑ වගේම තමයි ගහක් කොළයක් හරකෙක් අතින් කැඩිලා තිබුණත් ඒකටත් අපිට වග කියන්ඩ වෙච්ච කාලයක් තමයි ඒ..
ඇත්තටම අපිත් ඒ කාලෙ එච්චර ශාන්ත දාන්ත තීන්ත කූඩු වගේ නෙවෙයි හිටියෙ..
සරුංගල් යවන කාලෙ උණොත් සරුංගලයක් හදා ගන්න කොළ ගන්න නූල් ගන්න වගේ දේකට කවදාවත් ගෙදරින් සල්ලි හම්බ වෙන්නෙ නැති නිසා අහල පහළ වත්තක තිබ්බ පොල් ගෙඩියක්, කෙහෙල් කැනක් , පුවක් වල්ලක් කපලා කඩේකට විකුණන්න අපි කොහොමත්ම පසුබට උණේ නෑ හැම ඉරිදාවටම දහම් පාසල් ගියත්..
දාබරේ මාමා ගමේ හිටි හොඳ , නොම්බර එකේ ගොවියෙක්..වවපු නැති දෙයක් නෑ..කුඹුරු, තේ පොල් වගේම හොඳ එළවළු පලතුරු ගොවි පොලක්ම තිබුණා..
ඉස්කෝලෙ නිවාඩුව ඉවර වෙන්න දවස් දෙකක් තියා හින්දා අපි හිටියෙ ලොකු හිතේ දුකකින්..මොකද දවස් දෙකකින් බැඳලා දාලා හිටි වහු පැටව් වගේ හිටි අපිව ඉස්කෝලෙට ගාල් වෙන්න වෙනවා කියන එක එච්චරම මිහිරි අත්දැකීමක් නොවුණු නිසා..
ඔය අව් අස්සෙම තමයි පාලිතයා අපිට ගෙනාපු හොඳම නිවුස් එක උණේ..
"දාබරේ මාමගේ අන්නාසි කොටුවෙ ගෙඩි සේරම වගේ පැහිලා සමහර ඒවා ඉදිලත් එක්ක"
අන්නාසි කිව්ව ගාමන්ම හැමෝගෙම කටට කෙළ ඉනුවා එක්කම,
"හැබැයි පුතෝ අහු උණොත් නම් ඉවරයි..දාබරේ මාමා දන්නවනෙ ඉතින් ගිනි පුක් කාරයා"
සමන් කිව්වා
ඒ කතාව සහතික ඇත්ත..අනිත් දේවල් වගේ නෙවෙයි දාබරේ මාමා තමන්ගෙ වගාවට යක් හානියක් වෙනවා නම් හොඳටම කෝප වෙච්ච එක සැරයක් ගාමිණි මාමගේ හරකෙක් කුඹුරට පැනලා කාලා ගාමිණි මාමට කැත්තෙන් කොටන්ඩ ගිය එක්කෙනෙක් තමයි.
ඒත් අපේ හීනෙ හැබෑ උණේ
"දාබරේ මාමා හොඳට ඇඳ පැළඳ ගෙන ගියා දැක්කා ටවුම පැත්තට"
කියලා කමල් අපි දවල්ට කාලා රවුමක් ගහන්නෙ කොහෙද කියලා කතා කර කර ඉන්න වෙලාවෙ කිව්ව එකෙන් තමයි.අපි හෙමිහිට හෙමිහිට දාබරේ මාමගේ ගෙවත්ත එක පැත්තක් මායිම් වෙලා තිබ්බ රබර් වත්තෙ මායිම දිගේ ඇවිද ගෙන ගිහින්..දෙපැත්තම හොඳටම ගස් කොළන් වලින් වැහිලා තිබ්බ තැනකින් කම්බි පොටවල් දෙකක් ඈත් මෑත් කරලා වත්තර රිංගා ගත්තා..
අන්නාසි කොටුව තිබුණෙ මාමලගෙ ගෙදරට ටිකක් උඩින් වෙන්න. මාමලා පදිංචි වෙලා හිටි ගෙය මේ වත්තට ගොඩක් එහා තිබුණු නිසා මේ ගෙදර මාමා නැත්නම් පාළුවට වැහිලා ගිය එකක් නිසා අපි ඒක ගැන එච්චර තැකීමක් කළේ නෑ..
අන්නාසි කොළවලට කකුල් හූරා ගෙන..හොඳ ගෙඩි දෙක තුනක් කඩා ගත්ත අපි ළඟ තිබ්බ කළු ගල පාමුල ඉඳ ගෙන අන්නාසි ගෙඩි ගලේ ගහලා කඩලා කන්න පටන් ගත්තා..ඔහොම අන්නාසි ගෙඩි තුනක් විතර කන්න ඇති..
"එකෙක් හරි දිව්වොත් අන්ඩක් කඩලා තමයි පස්ස බලන්නෙ.."
කන් බීරි කරන තරමේ ගෝරනාඩුවට කකා හිටිය අන්නාසි කෑලි එහෙම්ම කටේ..අතේ තියන් හිටි අන්නාසි කෑලි පස්සට කරගෙන හංගා ගත්තේ පුරුද්දට වගේ..ඒත් අතටම අහුවෙලා ඉවරයි කියලා තේරිලා තිබුණත්..දාබරේ මාමා අපිව රැකවල් ඉන්න අතරේ එයාගේ ලොකු පුතා මදු වැලක් අරගෙන අපිව ගැට ගැහැව්වා එතන තිබ්බ අඹ ගහට..
"කරන්නම් මීට පස්සෙ හොරකන් නොකරන්න හොඳ පාඩමක්"
කියලා ගොරවා ගොරවා තාත්තයි පුතයි ආයිමත් ගේ පැත්තට ගියේ අපිව භීතියෙන් මුසපත් කරමින්..
මෙදා නම් ඉවරයි..අපි හතර දෙනාගේම හිතට ආවෙ එහෙම හැඟීමක්..
"අපිට මොනවා කරයිද බන් ?"
ගහයි !
මරයි !
පොලීසියට භාර දෙයි !
ගෙවල් වලට කියලා මෙතනට එක්කන් එයි !
ගමටම කියයි හොරු අල්ලා ගත්තා බලන්ඩ එන්ඩ කියලා !
එකක් පිට එකක් වෙන්ඩ පුළුවන් දේවල් ඔළුවට එනකොට අපිට කලිසමේම චූ යන සයිස් එකට බය දෙගුණ තෙගුණ උණා..පැය භාගයක් යන්ඩ ඇති..
දාබරේ මාමයි පුතයි දෙන්නම අපි ඉන්න පැත්තට එනවා..අපිට ඇඬෙන්න ඔන්න මෙන්න..අඬලා වැලපිලා හරි මෙතනින් ගැලවෙමු කියලා ඉන්න කොට..
තමයි අපි දැක්කෙ ලොක්කයියා දාබරේ මාමගේ පුතාගෙ අතේ තියෙන ලොකු වට්ටිය..
ෂුවර් එකටම දිමි ගොටු වෙන්න ඇති..ඒ කාලෙ ඒ පැත්තෙ දරුණුම දඬුවමක් උණේ දිමි ගොටු ඇඟට දමලා වේවැලෙන් තලන එක..කාලයක් යන කම් ඒකේ වේදනාව මතකෙ තියෙන නිසා වෙන්න ඇති ඒක පොඩි අපිට මහ ලොකු දඬුවමක් උණේ..
ලොක්කයියා ගල් පොත්ත උඩ වට්ටිය තියලා හති අරිනවා..දාබරේ මාමා අපිව මදු වැල් බන්ධනයෙන් ලිහුවෙ..
"එකෙක් හරි දුවන්න ගත්තොත් අම්මපල්ල කඩනවා අන්ඩක්"
ඒ ගැන නම් අපිට කොහොමත් සැකයක් නොතිබ්බ හින්දා අපි මොනම හේතුවක් වත් නිසාවත් නොදුවන්න හිතා ගෙනයි හිටියෙ ඒ වෙනකොටත්...
"මෙහෙ වරෙල්ලා"
අපිව අර වට්ටිය ළඟට කැන්දෙව්වා..
වට්ටියේ තිබ්බ දේ දුටුවහම අපේ කට ඇරිලා..විස්මයෙන් මුසපත් උණා..
"මෙතන තියෙනවා එකාට අන්නාසි ගෙඩි දෙක ගානෙ ශුද්ධ කරලම..එකෙක් හරි එක කෑල්ලක් හරි ඉතුරු කරලා තිබුණොත් තොපේ මහ එකාලව මෙතනට ගෙන්නලා අච්චු කරවන්නෙ ආයි ජීවිතේට අමතක නොවෙන්න !"
දාබරේ මාමා ගිගුරුවා !
"කාපියව් !
ඔය සිද්ධිය අපේ ජීවිත වල සන්ධිස්ථානයක් උණේ නෑ කියලා කටක් ඇරලා මට නම් කියන්ඩ බෑ...
Subscribe to:
Posts (Atom)
.jpg)



