ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, April 20, 2013

මතකද අවුරුද්දකට ඉස්සෙල්ලා...


සයිබරයේ සිහින අවුරුදු උළෙල 2012 - මතකයෙන් අංශු මාත්‍රයක්...



සිහිනයක් නොවූ මුත් සොඳුරුම සොඳුරු සිහිනයක මතකයක් හිත මුල රන්දලා තියලා අවසන් වුනත් අවසන් නොවුනු ප්‍රීති ප්‍රමෝදයෙන් පිරුනු හෝරා නවයක් දහයක්...

හඳුනා ගන්න...එකම එක වචනයක් හරි කතා කරලා හිත සතුටු කර ගන්න තිබ්බ ඒ හෝරා කීපය නම් ඊළඟ අවුරුද්ද වෙන කම්ම අමතක වෙන්නෙ නෑ..

ගත වෙන හැම තත්පරේම සිදු වන සොඳුරු නිමේශය කැමරා කාචයේ රඳවාගන්න උත්සාහ දරපු මට හොඳටම විශ්වාසයි ගොඩාක් අය එක්ක දොඩමලු වෙන්න බැරි වුනු බව..

ෆොටෝ බලද්දි හිතෙන්න පටන් ගන්නවා අනේ මේ මල්ලියා..පුතා ..නංගියා..දුවා එක්ක වචනයක් කතා කලේ නෑ නේද කියලා..

හිනා වෙන්න නම් ඇති...ඒත්..අර මුලින් කීව සතුට මැද්දෑවෙ ගුලි ගැහෙන්නෙ පොඩිම පොඩි දුකක්..
මන් කැමරාව නොගෙනිච්චනම් හරි කියලා නොහිතෙනවමත් නෙවෙයි..ඒත්..

කැමරා කාචය හරහා මතක පතේ රැඳිලා තියෙන ජායාරූප 564 න් එකක කොහේ හරි ඔබ රැඳිලා ඉන්නවා...

සමාවෙයල්ලා.....
මට එකම එක වචනයක් හරි කතා කරන්න බැරි වෙච්ච සහෘදයිනේ..මට දුකයී ඒ ගැන දැන්..

ප.ලි.(2013/04/20) - මෙදා පාර නම් හැමෝම එක්ක කතා කරන්නත් ඕනි...ෆොටෝ ගන්නත් ඕනි...පස්සෙ මඩකට හරි කියලා ඉතුරු වෙන්නෙ ඔහොම ගන්න ෆොටෝ ටික තමයි ඕන්..

Thursday, April 18, 2013

3D නයා මේන්.... කෝ පෙනේ ????


කාලෙකින් අර පැත්තෙ ගියේ නෑ නේද කියමින් සිටි නයා අවුරුද්දත් ඉවර වෙච්ච එකේ ඕන් ඔහේ යනවා කියලා හෙමිහිට හෙමිහිට ඒ පැත්තට ඇදිලා ගියා..

හුහ් අළුත් බඩු ගොඩක් ඇරන් තියෙන්නේ..දැන් තියෙන්නෙ ඉතින් මේ එකින් එක උඩින් බඩ ගාලා යන එක විතරයි කියලා හිතපු නයා මේස කකුල දිගේ මේසෙ උඩට බඩ ගාලා යනකොටම පැටලුනෙ එතන තිබ්බ රිමෝට් කන්ට්‍රෝල් දෙකක දඩ බඩාන් ගාලා ඒ දේකත් එක්කම නයා ආයිමත් බිම !

රිමෝට් දෙක බිම වැටෙන කොට හරි නයාගේ නැට්ට හැප්පිලා හරි මේන් මේසෙ උඩ තිබ්බ තඩි ටීවී එක වැඩ කරන්න ගත්තා..

නයාට හොඳට හුරු පුරුදු සංගීතයක් එක්ක...

අප්පට සිරි නාගීනා නේද ?

කියලා ටීවී එකේ තිරයට ඇස් දෙක යොමු කලත්..හෆොයි මහ බොඳ වෙච්ච දර්ශණ පෙලක් නොවැ ඒකෙ යන්නෙ !

රිමෝට් කන්ට්‍රොල් දෙක තිබ්බ පොතත් බිමට වැටිලා මේන් ඒක උඩ දරන ගහ ගන්න කොටයි නයා දැක්කෙ...

අප්පට සිරි 3D ටීවී එකක මැනුවල් එකක් නෙ මේ...

ආයිමත් මේසෙ උඩට බඩගාලා එතන තිබ්බ 3D බ්ලූරේ ප්ලේයරය උඩ තිබ්බ 3D කන්නාඩි කූට්ටමත් අරන් ආපහු ඉස්සරහ තිබ්බ පුටුව මත දරන ගහ ගත්ත නයා පොඩ්ඩක් ඇහැ දුන්නා ටීවී එකට අර කන්නාඩි කූට්ටම අස්සෙන්..

අප්පට සිරි..ශ්‍රී දේවී නයි රෑනක් එක්ක ටීවී ස්ක්‍රීන් එකෙන් එලියට ඇවිත් සාලෙ මැද නටනවා නේද ???

ගෙදර ඉඳන් 3D ටීවී බලන්න හිතන් ඉන්න අය ඉන්නවා නම් මන් වැටිච්ච අමාරුව සහ ඒක ගොඩ දාගන්න දඟලපු විදිය ගැන පොඩ්ඩක් කියන්නම්..කාට හරි ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා...
තාම ලංකාවෙ තියෙන්නෙ කන්ණාඩි දාලා බලන්න පුළුවන් 3D ටීවී විතරක් නිසා...ඒවයෙ ජාති දෙකක් තියෙනවා. එකක් තමයි අර කන්ණාඩිය ඕන් කරලා බලන්න ඕනි Active Shutter 3D system ජාතිය සහ සාමාන්‍ය අව්කන්ණාඩි යුගලක් වගේ වගේ තියෙන එක පාවිච්චි කරන  Passive or polarized 3D system  ජාතිය.. ඔය ජාති දෙකෙන් කොයි එකද ගන්න හොඳ කියලා ඇහුවනම්  ඔය දෙකේ තාක්ෂණික පැත්ත පැත්තකින් තියලා බැලුවොත් කියන්නෙ නම් දෙකටම ආවේනික වෙච්ච හොඳ සහ නරක තියෙනවා කියලයි..මුල්ම ප්‍රශ්නෙ තමයි තමුන් කොයි තරම් වෙලාවක් 3D ෆිල්ම් බලන්න හිතන් ඉන්නවද කියන එක ..හ්ම්ම්ම්ම් සෑහෙන්න වෙලාවක් තියේ නම්..හොඳ පෝලරයිස්ඩ් එකට යන එක තමයි..මොකද ඒකේ ඇක්ටිව් ශටර් ග්ලාස් වල තියෙන වීඩියෝ ෆ්ලිකර් වෙන සීන් එක නැති නිසාත්..අඳුරු ගතිය නැති නිසාත්ය කියලයි කියන්නෙ..මන් ළඟ තියෙන්නෙත් මේ ජාතිය..කන්ණාඩි කූට්ටම හරිම සැහැල්ලුයි..බැටරි නෑ..චාර්ජ් කිරිල්ලක් නෑ..දැම්මා බැලුවා..

ඒත් මේකේ තියෙන අවුල මොකද්ද ? 
එහෙනම් ඇයි අනිත්වාත් හදන්නෙ ? 

මේකෙ තියෙන තාක්ෂණය නිසා කියන්නෙ වීඩියෝ වල ගුණත්වය අඩුයි කියලයි කියන්නෙ..අර ඇක්ටිව් ශටර් වල හයි ඩෙෆිනිශන් කියන එක උපරිමයට තියෙනවා..මොකද ඇස් දෙකට වෙන වෙනම එන පින්තූර දෙකම 1920 x 1080p නිසා..පෝලරයිස්ඩ් ඒවායෙ එන්නෙ ඒකෙන් භාගයයි කියලයි කියන්නෙ..

Active shutter glasses


Polarized glasses




අනේ මන්දා ටීවී විකුනන්න තියෙන තැන් වල මම චෙක් කරන කොට නම් ඔයි කියන තරම් කොලිටියෙ ලොකු වෙනසක් නම් පෙනුනෙ නෑ..හැබැයි පෝලරයිස්ඩ්  ඒවයෙ වීඩියො ඇහැට මෘදුයි..ආලෝකය වැඩී..අනිකෙ අඳුරු ගතිය වැඩී..එච්චරයි දැනුන වෙනස නම්..

ටීවී එකේ ස්ක්‍රීන් සයිස් එක නම් තමන්ගෙ බජට් එකේ යන්ඩ පුළුවන් උපරිමයට ගියා නම් හොඳයි  ඉතින්..අඟල් 32 ඉඳන් ඔය තියෙන්නෙ..
LCD සහ  LED කියන දෙකින් කොයිකට ගියත් කමක් නෑ කියන්ඩ බැරි උනත්..LED වලට යන්න පුළුවන් නම් සෑහෙන්න හොඳයි..සාපේක්ෂව ගාන නම් වැඩී හැබැයි...

හරි ඉතින් ටීවී එකක් ගත්තා කියමුකො..කෝ ඉතින් බලන්න 3D චිත්‍රපටි..හොඳම දේ තමයි පෙන් එකක් අරන් ගිහින් ටීවී එක ගන්න තැනින්ම ඒ ගොල්ලො ළඟ තියෙන 3D චිත්‍රපටි පුළුවන් තරම් කොපි කරලා ඉල්ලා ගන්න. මතක ඇතුව එතන 3D  ඩිමෝ ක්ලිප් ටිකත් දාගන්න..මොකද ඒ ටික තමයි හොඳම...

ඊට අමතරව තමන් ළඟ තියෙන ඕනිම හයි ඩෙෆිනිශන් ෆිල්ම් එකක් කොපි කරලා ටීවී එකට ගහලා ඒකෙ 2D වල ඉඳන් 3D  වලට පරිවර්තනය කරලා බලන්නත් පුළුවන්..ඒවයේ සහ චිත්‍රපටි වල ලොකු වෙනසක් තියෙනවා.

අපි පරිවර්තනය කරපු චිත්‍රපටියක ගැඹුර පේන්නෙ ටීවී තිරයේ ඉඳලා ඇතුලට. 3D විදියටම හදපු චිත්‍රපටියක විතරයි අර සමහර අදාල සිදුවීම් වෙන්නෙ රූපවාහිනි තිරයෙන් ඉස්සරහ කියලා පේන්නෙ..

ඔයිට අමතරව ඉතින් තවත් බ්ලූරේ  චිත්‍රපටි බලන්න ඕනිම නම්..ගන්න 3D බ්ලූරේ ධාවන යන්ත්‍රයකුත්..ඒක ගනිද්දි බලන්න ඕනි කාරනා කීපයක්ම තියෙනවා..ඒක එක්ක  HDMI කේබල් එකක් දෙනවද නැතිනම් තවත් රු. 1000ක් විතර දීලා වෙනම ගන්න වෙයිද කියන එක..

තමන් ගන්න ටීවී එක ස්මාර්ට් ටීවී එකක් නෙවෙයි නම්..ඒ කියන්නෙ සාමාන්‍ය ටීවී එකකට වඩා අන්තර්ජාල සම්බන්ධායක් ලබා දීලා අන්තර්ජාලය හා සම්බන්ධ වෙන්න හැකියාව තියෙන එකක් නෙවෙයි නම්..එහෙම ස්මාර්ට් ටීවී එකක් කරගන්න ඕනි නම්..ඒ පහසුකම තියෙන බ්ලූරේ ධාවකයක් ගන්නත් පුළුවන් මන් කලා වගේ..

ඊළඟට තමන් ළඟ තියෙන සවුන්ඩ් සිස්ටම් එක මේකට සම්බන්ධ කිරීම තමයි එන ප්‍රශ්නෙ..මන් ළඟ තිබුනෙ..ලොගිටෙක් Z623 සවුන්ඩ් සිස්ටම් එක. දැනට බ්ලූරේ එකෙන් එන සාමාන්‍ය සවුන්ඩ් අවුට්පුට් එක දුන්නට..තාම හරිහමන් Optical out එක අරන් Aux in  එකට දෙන්න පුළුවන් කේබල් එකක් හොයා ගන්න බැරි උනා..ඊළඟ සතියෙවත් හොයලා බලන්න ඕනි..එතකොට තමයි ශබ්දය හරියටම අහන්න පුළුවන් වෙන්නෙ..දැනට එන එකත් එච්චරම අවුලක් නැති උනත්...


ඊළඟට එන්නෙ 3D බ්ලූරේ තැටි හොයන එක..දැනට මෙහෙ  තරමක එකතුවක් තියෙනවා..ඒත් එක තැනකදි එන ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි සිනවියා එරර් Cinavia error එක එන එක..ඒ මක්කැයි ? කොපි රයිට් කරපු තැටි හොරෙන් කොපි කරපුවනෙ මෙහෙ තියෙන්නෙ වැඩියෙන්ම..ඔව්වයේ විනාඩි 10-15ක් විතර ගියතැන ශබ්දය නැතිවෙනවා ඊට පස්සෙ ඉතින් ඒ ෆිල්ම් එක බලන්න බෑ..ඒක තමයි සිනවියා එරර් එක..තියෙන එකම ක්‍රමේ තමයි එහෙම තැටියක් තියේනම්..විනාඩී කීපෙකට නවත්තලා ආයි නවත්තපු තැන ඉඳන් බලන්න ගන්න එක..අයි ටික වෙලාවකින් එනවා ලෙඩේ..ඔහොම නවත්ත නවත්තා තමයි බලන්න වෙන්නෙ..ඒ නිසා තැටි ගන්න තැනින් අහලා බලන්න සිනවියා එරර් එකක් එන තැටියක්ද කියලා ගන්න ඉස්සෙල්ලා...ගාන රුපියල් 300 උනාට ඉතින්...





ඉතින් එහෙනම් ඔන්න ඔහොම ඉඳගෙන බලන එකයි ඇත්තෙ..
අම්මට සිරි නාගිනා බල බල ඉඳලා නයාටත් පුටුව උඩම නින්ද ගිහින් නේද ???


පලි..
ලබන ඉරිදා ඒ කියන්නෙ 21 වෙනිදා සයිබර් සැනකෙලියට -  සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්මට -   එන්න..අපි නම් ඉන්නෙ හරිම ආශාවෙන් එන අයව මුන ගැහිලා වචනයක් දෙකක් හරි කථා කරන්න..




ඊළඟ ඉරිදා 28  එන්න වැල්ලවත්තෙ  අපේ අන්තිම පේලියෙන් සංවිධානය කරන  ඔබා අයියා සිහි කරලා ලේ දන් දෙන වැඩේට සහයක් දෙන්න..




Friday, April 12, 2013

වර්ණභේද වාදය අස්සෙ සිංහල අවුරුදු


වර්ණභේද වාදය සෑහෙන කාලයක් තිස්සේ ලෝකයම කම්පිත කරවන්න පුළුවන් වෙච්ච සිද්ධියක් තමයි. හම කළු අය සහ තමන් ඉහලයි කියලා හිතපු සුදු ජාතිකයො අතරෙ වෙච්ච ගැටුම..පීඩිතයන් වෙච්ච කළු ජාතිකයන් කාලයක් තිස්සේ තමන් සුදු ජාතිකයන්ටත් වඩා ඉහලයි කියලා ලෝකෙටම පෙන්නපු අතීතයක් තිබ්බ අපේ ලෝකෙ..අන්තිමේ ලෝක පොලිස් කාරයා වෙච්ච ඇමරිකාවෙත් ලොක්කා දැනට කල්ලෙක්නෙ..

හරි මොකටද මෙතනට මේ කළු අය ගැන කතාන්දරයක්..?

මන් කියන්නෙ කළු අයට ඉන්න තැන මූනට හිනා වෙන්න හොඳ නෑ..අපි වගේ තළ එළළු අය..ඒක හරිම කැත පුරුද්දක් කියලයි මට හිතෙන්නෙ..හරි ඉන්න තැන මූනට හිනා වෙන්න හොඳ නැති උනාට රටේ දීපංකරේ අහල පහල නැත්නම්..මෙන්න මෙහෙම සිද්ධ උනු දෙයක් කියලා හිනා උනාට මක්කා වෙනවද අප්පා ?!

මේ හාදයා කොයිතරම් කළුද කියනවා නම් හිනා වෙන කොට සුදු දත් ටිකෙන් තමයි මෙයා ඉන්නවා කියලා පෙනෙන්නෙ...මෙහෙම කියන කොට අපේ බ්ලොග් ලියන මූනු පොතේ අයට තව හාදයෙක් මතක් වෙයි අර ලාංකීය එක කරන...ඒ කාලෙ බ්ලොග් එකක් ලිව්ව නිකං වැප්නි වගේ නමක් තියෙන හාදයෙක්ව...මේ ඒ හාදයාට වෙච්ච දෙයක් නෙවෙයි.. 

මතකද අපේ ඉතිහාසයේ මහ කළු ගල් උස්සපු සිංහලයො හිටියා කියලා...මේ ඊයෙ පෙරේදා වගේ අතීතයේ මහ කළු ගල් පර්වත උස්සන්න ගිය හාදයෙක් වගේ කාට හරි මතකයක් තියේ නම් එයාට තමයි මම මේ කියන සංගදිය වෙලා තියෙන්නෙ !  තමයි..මෙහෙම කියලත් තේරෙන්නෙ නැති ටියුබ් ලයිට් ඉන්නවා නම් කොස්සෙන් ඇනලා පත්තු වෙන්නෙ නෑ..

බොහොම මෑතකදි මේ හාදයට උණ, ඔළුවෙ කැක්කුම, ඇඟේ අමාරුව වගේ දහසක් ලෙඩ හැදිලා රාත්‍රී ජාමෙ ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න ගිහින්. හාදයගේ ආදරණීය ඇඹේනීයත් එක්කමලු ගිහින් තියෙන්නෙ.. 

වෙලාව කියන්නෙ ඔය වෙලාවෙම විදුලි බලය ඇන හිටලා..පැත්ත පළාතම කට්ට කළුවරයිලු..ඒත් ඩොක්ටර් ඉන්නවලු ඉටිපන්දමකුත් පත්තු කර ගෙන ඒ එළියෙන් තමන්ගෙ රාජකාරිය කරමින්.. එන ලෙඩ්ඩුන්ට බෙහෙත් දිදී..දැන් මෙයාගෙ වාරෙ ආවහම බිරින්දෑත් ඉස්සර කරගෙන ඩොක්ටර් ළඟට ගිහින් ලෙඩ්ඩු ඉන්දවන පුටුවෙ ඉඳගෙන බිරිය ලෙඩ විස්තරේ කියනවලු..මොකද මේ වෙලාව වෙනකොට මේ හාදයට කොයි තරම් අමාරුද කියනවා නම් කටක් ඇරලා වචනයක් කතා කර ගන්නත් බැරි සයිස් එකක්ලු තියෙන්නෙ..

ඔව් ඔව් "ලු" ප්‍රත්‍යයෙන් තමයි කියන්ඩ වෙන්නෙ..නැතුව මං එතන ඉඳන් බලන් හිටියෙ නෑනෙ..එතන හිටි නර්ස් නෝනා තමයි කිව්වෙ..

"ඩොක්ටර් දැන් ඊයෙ ඉඳන්ම ඔළුව රිදෙනවා..ඇඟ රිදෙනවා..උණ කන්ඩ අප්පිරියයි කියලා දවසම නිදා ගෙන හිටියෙ ඩොක්ටර්"

බිරිඳ මෙහෙම කියනකොටම සීරියස් ලුක් එකක් ගත්ත ඩොක්ට උණ කටුවක් අරන් එබුවලු අර බිරින්දෑගේ කටේ..ස්ටෙතස් එක අරන් ,

"හා හොඳට හුස්ම ගන්ඩ.."

කියලා දීපව... සොරි සොරි මේ අර බිරින්දෑව චෙක් කරන්ඩ ගත්තලු...

"ම්හ්හ්හ්හ නෙහෙයි දොත්ට.."

"ච්ච්චක්..ඔය උණ කටුව කටේ තියා ගෙන කථා කරන්ඩ එපා ළමයා පොඩ්ඩක් ඉන්න චෙක් කරන කන්.."

ඩොක්ට පොඩ්ඩක් සැරෙන් කියන කොටම,

උණ කටුව කටෙන් එළියට අරගෙන මෙයා කියනවලු,

"ඩොක්ට මට නෙවෙයි ලෙඩ තියෙන්නෙ මෙයාට . මේ මගේ හස්බන්ඩ්"

කියලා අර හාදයව පෙන්නුවලු..

"ඈහ්..කෝ මෙතන තව කෙනෙක්...මට පේන්නෙ නෑනෙ.."

ඩොක්ට කන්නාඩි කූට්ටම හොඳට පිහදමලා බැලුවලු ලෙඩා වාඩි වෙලා ඉන්න පුටුව දිහා..

"ඩාලිං පොඩ්ඩක් හිනා වෙන්නකො මේ ඩොක්ටට ඔයාව පේන්නෙන් නෑනෙ"

මල පැනපු හාදයා කියනවලූ..

"මට හිනා වෙන්න තරම් සනීපයක් නැති නිසානෙ මෙතනට ආවෙ..යන් යන්ඩ අපි ලයිට් තියෙන ඩොක්ටර් කෙනෙක් ගාවට"

කියලා එතනින් එලියට ආවලු..

වෙලා තියෙන්නෙ අර යාන්තම් අඳුර මකන්ඩ තිබ්බ ඉටිපන්දමේ එළියට මේ වයසක ඩොක්ටට මේ හාදයව පෙනිල නෑ...හිතා ගන්ඩකො කොයිතරම් කළුද කියලා.

ඔය වගේ සිද්ධීන් ගනනාවක්ම තියෙනවා..

එක දවසක සංචාරයක් ගිහින් මහ රෑ ජාමෙ වෑන් එකේ හැටට හැටේ එනවලු (ඔව් ඔව් ගාමිණි අයියෙ ඒ වෑන් එක තමයි...) ..අතරමඟ ට්‍රැෆික් පොලිස් දෙන්නෙක් අර වේගය මනින ගැජට් එකක් පාරට දික්කරගෙන බලන් ඉන්නවලු..

"අම්මට සිරි 80යි ස්පීඩ් එක අත දාපන් අත දාපන් නවත්තපන් වෑන් එක"

ට්‍රැෆික් පොලිස් තමන්ගෙ සගයට කිව්වලු..

ඊට තත්පර ගනනාවකට පස්සෙ වෑන් එකේ දෙබස මෙහෙමයි..

"ඇයි අනේ අර රාලහාමි වැන් එක නවත්තන්න කියලත් ආයි යන්ඩ කියලා සිග්නල් එක දීලා දෙන්න එක්කම දිව්වෙ..ඔයා හයි ස්පීඩ් ආවත් එක්කනෙ"

"අනේ මන්දා අපේ ලක් එක වෙන්ඩ ඕනි"

හති දම දමා දුවන පොලිස් රාලහාමි පස්සෙ දුවන අනිත් රාලහාමි,

"ඇයි බන් නවත්තන්න කියලත් ආයි යන්ඩ කියලා සිග්නල් දීලා උඹ දුවන්න ගත්තෙ?...අර @##$%^$ හයි ස්පීඩ්නෙ ආවෙ"

"හ්හ හ්හ...හ්හ...උඹ දැක්කද ඩ්‍රයිවිං සීත් එකේ කවුද ඩ්‍රයිවිං කරන් ආවෙ කියලා?"

"නෑහ්"

"ඒකම තමයි යකෝ මන් යන්ඩ කියලා දිව්වෙ...වාහනෙ 80 ට පාගලා ආවට ඩ්‍රයිවිං සීට් එකේ කවුරුත් හිටියෙ නෑ..අනිත් සීට් එකේ හිටියෙ සුදු ලස්ස්න නෝනා කෙනෙක්..පහු කරන් ආවෙ අර ප්‍රසිද්ධ කනත්තනෙ බන්"

මේක අහපු අනිත් රාලහාමි තමන්ගෙ සගයත් පහු කරන් දිව්වලු..
පව් අඩ අඳුරෙ ඩ්‍රයිවිං සීට් එකේ හිටපු අපේ සගයව පෙනිලා නෑ රාලහාමිලා දෙන්නටම..ඒ දෙන්නා පවු නේද ?

තව දවසක මේ හාදයා තමන් උගන්වන පාසලේ ළමයින්ට ඉංග්‍රීසි උගන්නවලු..අර අපේ සිංහල වල තියෙන්නෙ හිම වගේ සුදු...අයිස් වගේ සීතල..වගේ වාක්‍යාංශ..ඉංග්‍රීසියෙන් ඔය සිමිලීස් කියන්නෙ අන්න ඒවා ඔව්වා ගැන උගන්වලා

"හා ළමයි එහෙනම් කියන්ඩ මන් මේ කියන ඒවට උත්තර වෙන්න ඕනි මොනාද කියලා"

Teacher : - As big as ?

Students : - An elephant.

Teacher :- As blind as ?

Student :- "a bat"

Teacher :- As white as ?"

Students :- "Snow"

Teacher :- As Black as"

Students :- "our Henry sir !"

අර ගාමිණි අයියා ගැන කිව්වහම එයාගෙ අර අහිමි වනමං පොතේ තියෙන සිද්ධිය..ඒකත් හැබෑවටම වෙලා තියෙන්නෙ..ගාමිණි අයියා දීපු සිග් සැග් ක්‍රමේට දිව්වහම පස්සෙන් පන්නන් එන අලියෙක්ගෙන් බේරෙන්න පුළුවන් උපදෙසට නෙවෙයිලු මෙයා බේරිලා තියෙන්නෙ..කොටින්ම කියනවනම් තමන්ගෙ හොඬවැල ළඟම හිටපු කෙනාව මේ අලියා දැකලා තියෙන්නෙ..බොහොම පස්සෙ අනිත් අයවත් පන්නලා බය කරලා මේ ගොල්ලො මොනවද කථා කරන්නෙ කියලා එතන තිබ්බ මහ අකුලට වෙලා හැංගිලා බලන් ඉන්න කොටලු..එයාලා ඒ කතාව හක හක ගාලා හිනා වෙවී තමන්ගෙ පැටවුන්ටත් කියනවයි කියන්නෙ..බොරු නම් අහන්න මේ ළඟදි අනාථ වෙලා පින්නවලට ගෙනාපු අලි පැටියෙක්ගෙන්..


මෙච්චර කරුණු කාරනා සාක්ෂිත් එක්කම කියලත්...

"හනේ මූ කෙලින කෙබර !!!!"

කියලා කම්මුලේ අත තියා ගෙන ඉන්න පිංවතුන්ට තමයි මේ ෆොටෝ එක දාන්නෙ..මේ පහු ගිය දොහක අර කීව හාදයා අපේ ඔෆිස් එකට ආපු වෙලාවක මන් ගත්ත ෆොටෝ එකක්...



දැන්වත් පිලිගන්නවනේ ?!!!



ඔහොම තව කතන්දර හැටහුටහමාරක් තියෙනවා..බලමු ආයි වෙලාව හම්බ වෙන වෙලාවට...එන ට්‍රෙන්ඩ් එකත් බලලාම...දෙඥ්ඥං !

එහෙනම් අළුත් අවුරුද්ද සමරන සියළුම දෙනාට..

සතුට සාමය සෞභාග්‍යය පිරි සුබ නව වසරක් වේවා !

Tuesday, April 9, 2013

එක එකා වරෙව්... One by one ! මුහුදේ අසිරිය තවදුරටත්...


ඔබ දන්නවා විටෙක නිසල දිය තලයක් දිහා භාවනානුයෝගියකු ලෙස බලා සිටිමින් කාලය හා අවකාශය අමතක කර දමමින්..දැහැන් ගත වන්නට බහුතරයක් ලැදි බව..

මාත් ඉන් එකෙක්..

එලෙසම ඊට හාත් පසින්ම වෙනස්.. නිමක් නොමැතිව බිඳී බිඳී කැලතෙන, ගැටෙන, රළ ගෙඩි දිහා නෙත් යොමා ගෙන දෙසවන් සිඳුගේ හඬින් පුරවා ගෙන කාලය නොමැති මානයක තනි වන්නටත් මා හට තිබේ නම්..අන් සියල්ල එයට යට වන බැවි ඉඳුරාම දනිමි..

අෂ්ඨලෝක ධර්මයෙන් එන සියළු විඳීම් මදකට හැර දමා මෙසේ දැහැන් ගත වන්නට මා පින් කර ඇති සේය..

පසු ගිය ලිපියෙන් මත්ස්‍ය රංචු දෙස දෑස යොමා සිත සංතර්පනය කල මා..එයින් නොනැවතී..අලංකාර එක් එක් මත්ස්‍යයන් හා ඔවුන්ගේ හැසිරීම් රටා අතරේ ඔවුන් හා ඔවුන්ගේම පරිසරයේ තනි වන්නට වූයේ මෙලෙසිනි..

එන්න මා හා නැවතත් මා ඔබව ගෙන යන්නම් එක්කෝ ඔබ නොදුටු..නැතහොත් ඔබ දැක ඇති ඒ සොඳුරු ලොව වෙත..

මෙවන් වූ අසිරිමත් ජල තලයක් මත මාළුවකු මෙන් ඉතා සැහැල්ලුවෙන් පා වෙමින් මා ගත කල ඒ කාලය...අදටත් මා මනැස වෙත ගෙන එන්නේ කුමන නම් ආහ්ලාදයක්ද ?

මෙන්න මෙයා විතර මාව කුලමත් කරපු වෙන එක්කෙනෙක් වත් නෑ..දවසක්ම පස්සෙන් පාවෙවී හිටියා මෙයා පස්සෙ..එයාටත් ගානක් නෑ..ඔහේ තමන්ගෙ පාඩුවෙ කිසිම ලැජ්ජාවක් බයක් නැතුව ඔය මාත් එක්කම හිටියෙ..බලන්න මෙයාගෙ ලස්සන රටා සහ වර්ණ..





අපේ කතන්දර සූරින්ට මතක් වෙලා තිබ්බ Finding Ni mo ෆිල්ම් එකේ හිටියෙ මෙයා වගේ කෙනෙක්නෙ... මටත් මෙයාව දැක ගන්න වාසනාව තිබ්බෙ නෑ..මගේ මුහුදු ජීවී මාමණ්ඩියා තමයි එකම එක දවසක මෙයාව දැකලා තිබ්බෙ..ඊට පස්සෙ දවස් ගනනාවක් හෙව්වත් ම්හ්...ආඩම්බරකාරයා !



මෙයාව නම් ගොඩාක් අය දන්නවනෙ..මුහුදු ඉකිරියෙක්..කකුලෙ ඇනුනොත් එහෙම සොරිම තමයි..විසයි ! නමුත් සාමාන්‍යෙන් අපි මුහුදෙ ඇවිදිද්දි මෙයා කකුලෙ ඇනෙන්න වගේ ඉන්නෙ නෑ..සාමාන්‍යෙන් ඉන්නෙම ගල් ඇතුලේ..ඒත් නරක් වෙලාවට මෝල් ගහත් පත්තු වෙන රටේ..පරිස්සමෙන් ඕන්..



මෙයා කොයිතරම් හැඩකාරයෙක් උනත් ඔබ දුටුවෙ නෑ කිව්වොත් මම ඒක විශ්වාස කරනවා..අනේ අම්මේ..මෙයා දවස තිස්සෙම ඉන්නෙ නම් ගල් කුලක් අස්සටම වෙලා තමයි..යාන්තම් පෙඳයක් විතරක් පේන්න එළියට ඇවිත් ආයි ඇතුලට යනවා..ඒත් දවසක් අතටම අහු උනා මෙයා කොයිතරම් හැඩකාරයෙක්ද කියලා බලන්න..ඊළඟ තත්පරෙන් මෙයා ආයිත් අර ගල ඇතුලෙ !


මෙතන නම් ලොකු කතන්දරයක් සිද්ධ උනා..මෙයා අපි අනුමාන කලේ නම් බිත්තර දමන්න වෙන්න ඇතියි කියලයි...මෙතන තියෙන ලොකු ලොකු ගල් කැට සේරම තමන්ගෙ කටින් අරගෙන ගිහින් පූස් ගාලා වෙන තැනකට විසි කරලා එතන සුද්ද පවිත්‍ර කලා වරුවක්ම...අපිටත් ඊට වඩා මෙයා දිහා බලන් ඉන්න බැරි නිසා යන්න ගියා..ඊළඟ දවසෙ නම් හිටියෙ නෑ එතන..මෙයා තරමක ලොකු මාළුවෙක්..අපි වටේම පීන පීනා එයා දිහා බලන් හිටියත් , ෆොටෝ ගැහුවත් එයා නෙවෙයි තමන්ගෙ වැඩේට ඒක බාධාවක් කර ගත්තෙ..

මේ නම් මාත් එක්ක හිනා උනාද කොහෙද !












අපි හිතන් ඉන්නෙ සර්පයො ඉන්නෙ ගොඩබිම කියලා විතරක් නම්...මෙන්න මුහුදු සර්පයෙක්..මෙයාලා විස ඇති මයෙ හිතේ..මට දැක ගන්න වාසනාව නැති උනත්..මෙයා මාමණ්ඩිව දුටු සැනින් මෙන්න මෙහෙම හැංගිල තියෙන්නෙ..
3D නයෙකුත් ඉන්නවා ළඟදි පෙන්නන්න..ඉවසන් ඉන්ඩකෝ... මූනුපොතේ නම් පොඩියක් පෙන්නුවා !





මෙයාගෙන් පොඩියක් පරිස්සම් වෙන්න..මෙයා හපනවා..පාන් දෙන්න ගිය සැරේක අත හැපුවා..අර ගල් කුල අස්සෙ ඉන්න මාළුවන්ව බලන්න ගියහමත් කකුල හැපුවා..ඒ ගල් කුල ඇතුලෙ නම් එයාගෙ පොඩි පැටව් වගයක් හිටියා එයාලව පරිස්සම් කරන්න වෙන්න ඇති එහෙම කරන්න ඇත්තෙ..හැබැයි එයා අනිත් හැම වෙලාවෙම ඔහේ පීන පීනා හිටියා මිසක් පස්සෙන් පන්නා පන්නා හැපුවෙ නම් නෑ..

බලන්නකො මේ ගල ඇතුලෙ හැංගිලා ඉන්නෙ කවුද කියලා එහෙනම්..


මෙන්න සමීප දසුනක් එහෙනම්.. ඔව් කකුළුවෙක් එක්ක මේ ඉන්නෙ ෆයර් ෆිශ්  Fire fish කෙනෙක් එයාත් තරමක් භයානකයි කියලයි කියවෙන්නෙ නම්...

මෙතනින් පේනවනෙ එයා භයානක උනාට කොයිතරම් ලස්සනද කියලත්...


මෙන්න මගේ ප්‍රියතම නිදියන මාළු රංචුවෙන් දෙන්නෙක්..නිදියන මාළු කිව්වෙ මමමයි..එයාලා මුහුදු පතුලටම ඇලිලා වගේ නොසෙල්වී ඉන්නවා ඇත්තටම නිදි නම් නෑ..ඒ උනාට නිදියාගෙන වගේ නිසොල්මනේ ඉන්නෙ..

මාත් එක්ක හිනා උනාද ? මාව දැකලා හිනා ගියාද කියන එකනම් දෙයියො තමයි දන්නෙ !


එහෙනම් අදට ඇතිනෙ..
පහු ගිය කාලෙ අරවා මේවා පෙරල ගෙන අඬලා දොඩලා මල විකාරයක් කරාට..මන් හිටියෙ මේ වගේ සුන්දර ලෝකෙක තනි වෙලා කියලා මට හිතෙන වාරයක් පාසාම මට ඇතිවෙන්නෙ කියන්ඩ බැරි තරමේ සතුටක්..



ඊළඟ පෝස්ට් එකෙන් 3D නයෙක් අරිනවද නැත්නම් තවත් මාළුවන්ව සහ මුහුද පෙන්නවද කියලයි මම හිතුවෙ..

Tuesday, April 2, 2013

මුහුද යට අසිරිය - දෙවැනි කොටස..


කොයි තරම් වයසින් වැඩුනත් අපි තාමත් අපේ බොළඳ කම් වලට ආසයි කියලයි මට හිතෙන්නෙ...මට නම් එහෙමයි..අනිත් අයටත් එහෙම ඇති..
පාට පාට පුම්බපු බැළුන් සිය ගානක් පාවෙවී යද්දි ඒ අතරින් දුවලා යන්න...

දේදුන්නක පාට තියෙන  විවිධ හැඩයෙන් පේන සබන් බෝල දහස් ගානක් මැදින් දුවන්න..

පේන නොපෙනෙන තරමේ දුරට විහිදුනු මල් යායක් අතරේ දුවන් යන්න...

ඔය හීන හැමෝටම තියෙන හින්දා වෙන්න ඇති..චිත්‍රපටි වල එහෙම පෙම්වතා පෙම්වතී එක්ක සින්දුවක් කිය කියා නටද්දී අවට පරිසරය ඔය වගේ විචිත්‍ර නේක වර්න රටා වලින් වැහිලා යන්නෙ.. 


ඔය සේරම හීන නෙවෙයි..හීන වගේ තිබුනට සැබෑ කර ගන්න පුළුවන්..

බලන්නකො සිය දහස් ගානක් වෙච්ච ලස්සන ලස්සන මාළු රංචු අතරින් උන් වගේම පීනා ගෙන යන්න පුළුවන් උනහම හිතට දැනෙන සතුට වචන වලින් විස්තර කරන්න පුළුවන්ද ?

මොහොතක් ඔබට පුළුවන් නම් මේ ඡායාරූප වලින් පෙනෙන පරිසරයේ කිමිදෙන්න..

ඔබට දැනේවි..සහෘදය මා ලද ඒ චමත්කාර අත්දැකීම..







 මේ පරා මාළු රංචුවක්...

ඔව් මේ මාළු රංචු සේරම හික්කඩුවෙ කොරල් පර අතරෙදි දනක් ගැඹුරු මුහුදෙදි ගත්ත ඒවා..බොහෝ තැන් වලට ඔබට ඇවිද ගෙන යන්නම පුළුවන්..පීනන්න දැන ගන්න ඕනි නෑ..මේ මාළු රංචු අතරින් පීනා ගෙන යද්දි ඔබට හිතෙයි මෙයාලගෙ ඇඟේ හැප්පෙයි කියලා..පුදුමය කියන්නෙ කොයිතරම් උත්සාහ කලත් ඔබට මේ එකම මාළුවෙක් වත් අතින් අල්ලන්න බෑ..ඔවුන් වේගවත්..නමුත් ඔවුන් ඔබේ දෑස සමීපයෙන් ඔවුන්ගේ විශාල දෙඇස් ඔබ වෙත එල්ල කරමින් ඔබ වගේම ඔබ අවට පාවෙමින් ඉඳීවී..ගතින් ඈත් වූවත් මා මේ පරිසරයෙන්..අදටත් මගේ මනැසේ ඇඳෙන මේ විසිතුර මට කුමන මිහිරක් ගෙන දේ දැයි ඔබට සිතන්නට බැරි බව දනිමි..

එකවරක් පමණක් දුටු මේ මත්ස්‍යා නම් හරිම අපූරුයි..ඔහු කුඩා එකෙක් බවත් මෙම වර්ගයේ එවුන් මීට වඩා විශාල වන බවත් සමහර උන් කිලෝ 500 පමණ බර බවත් පසුව කොහේ හෝ කියෙව්වා මතකයි..

මෙලෙස මසුන් රංචු හරහා පීනමින් සිටීම පමණක් නොව..හොඳින් හිරු පායා ඇති විටෙක ජල තලය මත වැටෙන හිරු රැස් මෙලෙස මුහුදු පතුලේ අඳින නිමක් නොමැති නේක රටා බලා සිටීම කිසිදා එපා නොවන්නක් උනා..




අද වන විටත් අවසන් කර ගන්න පුළුවන් උන ඡායාරූප මෙපමණයි ඇත්තේ..

ඊළඟ පෝස්ටුවෙන් මා දුටු මසුන් එක් එක් වර්ගයාගේ සමීප රූපත්..ඔවුන්ගේ අපූරු චර්‍යා රටාවනුත් තවත් ලිපියකින් ගල් මල් නැත්නම් කොරල් ලෝකය වෙත ගෙන යන්නට මට ඉඩ දෙන්න..


ප.ලි.

අපේ ආදරණීය සහෘදයෙක් වෙච්ච ඔබා අයියා අනුස්මරණය කරමින් අන්තිම පේලියෙ අපේ සෙට් එක ලේ දන් දීමේ මහඟු කර්තව්‍යයක් කරනවා වැල්ලවත්ත අප්‍රේල් 28 වෙනිදා..

ඔබත් එකතු වෙන්න..

අනේ ඔබා අයියෙ ඔබ අද අපි එක්ක හිටියා නම්..වෙනදාටත් වඩා ඔබ නැති අඩුව අපිට දැනෙනවා අයියෙ...