ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, September 10, 2012

කකුල් දෙකේ වටිනාකම



ඇවිද්ද පය දහස් වටී නම් ඉතින් මගේ කකුල් දෙක විකුණලා සෑහෙන ගානක් ගන්ඩ තිබ්බත්..ඒ කියමනේ හරය වෙන්නෙ අපි ඇවිදින තරමට තමයි අපේ සෞඛ්‍යය රැකිලා තියෙන්නෙ කියන එකයි කියලයි මට නම් හිතෙන්නෙ. එහෙම හිතෙන්න සාධාරන හේතුවක් වෙන්නෙ ඔෆිස් එකටම වෙලා ඉඳගෙන ඉඳලා ඉඳලා හොර වෙලා තියෙන ශරීරෙට වෙන කිසිම ව්‍යායාමයක් නොලැබෙන්න වග බලා ගන්න මට ලැබෙන එකම ව්‍යායාමය තමයි මේ ඇවිදීමෙන් ලැබෙන ටික. ඒ නිසාම කම්මැලි නැතුව ගම වටේ රවුමක් ඇවිදලා එන්න උදේ පාන්දරම මන් එළියට බහින්නෙ බොහෝමත්ම චිත්ත ප්‍රීතියෙන්ම තමයි.

පදිංචිය අළුත් නිසාමත් සහ තාම බිස්කට් එකක්වත් දීලා යාළු කරගන්ඩ බැරි වෙච්ච නිසාමත්ම පාරෙ ඉන්න ගෙවල් වල ඇති කරන බළු නඩේ නම් තාමත් මට බුරනවා..

"ගමේ මිනිස්සු නොදන්නවා උනාට සතා දන්නවා මිනිහා කවුද කියලා ඒකයි උන් බුරන් පනින්නෙ " 

කියලා කට කැඩිච්ච කතාවක් කීවෙත් අපේ ඔෆිස් එකේ එකෙක්ම තමයි,
ඔන්න... අපි නම් ගනන් ගනී ඔය ලෝකයා කියන කතන්දර !

අපි පොඩි කාලෙ ඉඳන්ම ඇවිදින්න නම් කම්මැලි නෑ. ඒකට එක හේතුවක් වෙන්න ඇති. ඒ කාලෙ ඒ කීවෙ 1980 ගනන් වල මුල සහ 70 ගනන් වල අග භාගයේ අපේ ගමට යන්න එන්න බස් එකක් තිබ්බෙ නෑ. ළඟම තිබ්බ ටවුන් තමයි ඕපනායක , පැල්මඩුල්ල සහ කහවත්ත කියන්නෙ. ඒ ටවුන් වලින් දුරම ටවුන් එක වෙච්ච කහවත්තට ගමේ ඉඳන් හැතැප්ම තුනක් විතර තිබ්බත්..තේ වතු මැදින් තියෙන පාර වල් දිගේ අපි පයින්ම යනවා ටවුන් එකට. ඔය ත්‍රස්තවාදී කරදර නොතිබ්බකාලවල කහවත්තෙ තිබ්බ ගුරුගේ තොරණ හරි ප්‍රසිද්ධයි. දවස් හතක් සංගීත සංදර්ශන හතක් එක්ක වගේම එදිනෙදා එහෙන් මෙහෙන් පත්තු කරන මල්වෙඩි වගේම අන්තිම දවසේ මහා මල් වෙඩි සංදර්ශණ නිසාම ඔය දවස් හතෙන් දවස් 3-4ක් වත් ඔයවා බලන්න අපි පයින්ම යන්න පුරුදු වෙලා හිටියා. 

රෑ හතට විතර යන්න පිටත් උනහම රෑ 8 අට හමාර වෙනකොට කහවත්තෙ. සංගීතෙ හරි මල් වෙඩි සංදර්ශනේ හරි ඉවර වෙන්නෙ පාන්දර ජාමෙ 2-3ට විතර.. නිදි මරගාතෙ වැනෙ වැනී ආයිමත් පයින්ම ගෙදර එනවා. පහු වෙනිදා ඉස්කෝලෙ ගිහින් තමයි භාගෙට නිදි කිර කිරා පංතියෙ ඉන්නෙ. ටීචර්ස්ලත් එමම නිසා එච්චර අවුලක් නෑ හැබයි ටිකක් කරදඬු උස් මහත් වෙලා.. තනියෙන්ම කොල්ලෙ සෙට් එක එක්ක යන වයස එනකොට ත්‍රස්තවාදී කලබල ඇති වෙලා මල් වෙඩි සංදර්ශන තහනම් කරලා තිබ්බා. ඒ කාලෙ ගම මැදින් යන්න බස් එකකුත් දැම්මා..ඒ එක්කම 88-89 කාලෙ කලබල ආපු නිසා..අර ඇවිදින කතන්දරේ ටික ටික අඩු උනා..

ඊළඟට ඇවිදින්න සෙට් වෙන්නෙ අපි ඒ ලෙවල් ක්ලාස් යන කාලෙ.. ක්ලාස් එකේ සර්ලා නැති උන ගමන්ම කරන්නෙ පැල්මඩුල්ල ටවුන් එකේ ඉඳන් යනවා කිරිඳි ඇල්ල බලන්න. ඔය තේ වතු මැදින් යන පාර අපේ ජිංජි මලයා රාමා මලයා එහෙම හොඳටම දන්නවා..දුම් දමා ගෙන බීපු සිගරැට් කොට පස්සෙන් හැලි හැලී කන්ද නැගලා ඇල්ල ළඟට ගියහම සේරම විඩාව අහවරයි. ඒ කාලෙ එච්චරම සෙනඟ නැති නිසා හෙලිකොට්ටෙන්ම නාලා අවුවෙන් ඇඟ වේලා ගෙන ඇඳුම් ඇඳ ගෙන ආපහු ගෙදර එන්නෙ ක්ලාස් එකේ හිට්ටා වගේ.. 

ඒ ලෙවල් කරලා උනත් තවත් අවුරුදු තුනක් ගෙදරට වෙලා කැම්පස් පට ගන්නකම් හිටි කාලෙ නම් ජීවිතේ ආයිමත් හම්බ නොවෙනම ජාතියේ දිගම දිග නිවාඩුව හම්බ වෙච්ච වෙලාවෙ නම් එච්චරම ඇවිද්දෙත් නැති තරම්. මොකද ඒ වෙනකොට ඔළුවෙ තිබ්බෙම අස්පට් වෙලා තිබ්බ කඩ්ඩ හදා ගන්න එක නිසා. කැම්පස් අවුරුදු හතරෙත් රට වටා ඇවිද්දා..ඔය ඇවිදිල්ල දැන් මතක් වෙනකොට හිතෙන්නෙම දෙයියනේ ආයි ඒ කාලෙ එනවනම් කියලයි..


"ඇත්තටම උඹට නම් ඔය පිට්ටනියෙ බෝල ගහද්දි අංඩක් කැඩෙන්නම ඕනි ගෙදර දවසක් රඳවා ගන්න නම් ..නැත්නම් කොයි වෙලාවෙ බැලුවත් ගෙදර රැඳෙන්නෙ නම් නෑ"

අම්මගෙ ආඩපාලිය හැමදාව ඔය වගෙයි.

"ඇයි අම්මෙ කන බොන වෙලාවට නම් ඉවෙන් වගේ ඔය ගෙදරට දුවන්නෙ"

චූටි අක්කා ගෙ පෝර දැමිල්ල.

ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන්ම කාලා ගම්මැද්දෑවෙ රෝන්දෙ ගහලා ගහලා ආයි ගෙදර එන්නෙ. රෑ කෑමට තමයි. අයියගේ සහ තාත්තගෙ ගෝරනාඩුව අඩු කාලවල අපි සෙට් එකම නිශාචරයො තමයි. රෑට නිදියන්නෙ කොයි ගෙදරද , කොයි පතල් වාඩියෙද , කොයි කුඹුරෙ පැලේද කියන්න හරියටම දන්නෙ නෑ නිදිමත වෙලාව එනකම්ම..
88-89 කාලෙදිත් අපේ ගේ ළඟම දමපු හමුදා කඳවුරත් එක්ක රෑ ගමන් බිමන් අඩු උනත්..රෑ කාලෙ ගෙදර නිදියැව්වෙ නම් නෑ..

හැබැයි කොයිතරම් ඇවිද්දත් විභාගයක් ළඟට එන කාලෙ නම් කකුල් වල ගෙදර බිමට හයි කරන් පාඩම් කරන්නත් අමතක කලේ නෑ..


"ආයි ආයි...පුතා හරි හරි..බබා එන්ඩ එන්ඩ මේ අම්මා ළඟට එන්න..මේ මේ.."

අල්ලපු ගෙදර ඉන්න පොඩ්ඩ දන ගගා ඉඳලා පළමු අඩිය තියන්න උනන්දු කරවන ඒ ජෝඩුව..පොඩ්ඩා ඇවිදිනවා ෆොටෝත් ගහලා..හරිම සන්තොසෙන් ඒ ගැන යන එන අයත් එක්කත් කතා කරන්නෙ.. "ඔයාගෙ මල්ලිගෙ වැඩේ රවුම් ගහන එකමයි..ඔයාවත් කියන්ඩකො ටිකක්...හොම ඇවිදලා ඇවිදලා නරක් උනොත් එහෙම අම්මලගෙන් තාත්තලගෙන් දොස් අහන්ඩ වෙන්නෙත් අපිටමයි" ඒ ගෙදර සහෝදරී තමන්ගෙ සැමියගෙ මල්ලිගෙ ඇවිදිල්ල ගැන දෝස්මුරයක් කනේ තියන්නෙත් ඔය එක්කමයි..මේ පරස්පර විරෝධී කතාවල් දෙකටම මට හිනා ගියත් නොකර සද්ද හිටියා...


"උඹලයෙ කන් කරච්චලේ ඉවසිල්ලක් නම් නෑ අම්මපා මන් යනවා ඔළු හැරිච්ච අතක.."

අපේ අඩෝවැඩියක් ඉවසගන්න බැරුව තාත්තා එහෙම කියලා ගෙදරින් එළිය බැහැලා ගියත් ආපහු ආවහම අම්මා ඔළොක්කුවට කියන්නෙ..

"ඔළුව හැරෙන්ඩ ඇත්තෙ කුඹුරටද නැත්නම් හේනටද දන්නෙ නෑ?"

කියලයි. අපේ කිචි කිචිය ඇහිලා තාත්තා ලැජ්ජාවෙන් වෙන්ඩැති සද්ද නැතුව ඉන්නවා.

මගෙත් තියෙන එක හීනයක් තමයි දවසක ගෙයින් එළියට බැහැලා ඔළුව හැරිච්ච හැරිච්ච අතක යන එක. ඕකට ටිකක් එක ළඟ වගේ වැටිලා තියෙන නිවාඩුවක් අල්ලලා කරන්ඩයි හිතා ඉන්නෙ. මොනා නැතුවත් කැමරාව නම් අරන් යන්ඩෝනි..






Thursday, September 6, 2012

ඇඟිල්ල ගහ ගත්ත ගමන්මද ඉන්නෙ ?





"මන් දැන් ඔය ඇඟිල්ල කපනවා පිහියක් අරන් ..කොච්චරවත් කටේ ගහ ගත්ත ගමන්මයි"

දවසකට ඔය කතාව කී සැරයක්නම් අම්මගෙ කටින් පිට වෙනවද මන්දා ? පස්සෙන් පහු වෙනකොට අක්කටත් ඔය ලෙඩේම බෝ උනා. ඒකට චූටි අක්කා නම් කලේ ,

"අම්මේ මෙන්නෝ ඇඟිල්ල..."

කියලා ගෙදර හරි වත්ත හරි එහෙම නැත්නම් වත්තෙන් පිට ගියා නම් ගම හරි දෙවනත් වෙන්න කෑ ගහපු එක තමයි. ඒ වගේමයි ...

"කෝ ගෙනාපල්ලා ඔය පිහියක් මේක කපලා දාන්න"

කියලා අම්මා කී සැනින්ම චූටි අක්කගෙ අතට පිහියක් එන්නෙ කොහොමද කියලා නම් මට අදටත් හිතා ගන්න බෑ.. 

"අම්මෙ මේකත් කපලම දාන්න"

කියලා ඉනෙන් පහලට වැටෙන සහ විනාඩියකට සැරයක් ඉන හරියෙන් අල්ලලා මමම උඩට ඇද ගන්න කලිසම් කොටේ දනිස්සෙනුත් පහලට ඇදලා දමලා මගෙන් ගුටියක් නොකා ඈතට දුවන්නත් චූටි අක්කා හරි සමතා ඒ කාලෙදිම..

මන් මතක ඇති කාලෙ ඉඳලා ඇඟිල්ල උරන පුරුද්ද තිබ්බා.. කොහොමින් කොහොමින් හරි බය කරලා තර්ජනය කරලා ඇහැරලා ඉන්න වෙලාවලට ඔය පුරුද්ද නැති කලත්... රෑට නින්ද යනකොට ඉබේම ඇඟිල්ල කටේ ! ඒත් එකදවසක මන් ඇහැරුනෙ කටට ආපු අමිහිරි තිත්ත රහක් එක්කමයි.. මන් අඬා ගෙන නැගිට්ටත් අම්මලා අක්කලා අයියලා හිනා වෙවී උන්නා යස අගේට... ඔට සංසිද්ධිය දවස් කීපයක් උනාමත් හරි ඇඟිලි උරන පුරුද්ද මගෙන් ඉබේම මඟෑරිලා ගියා. ඇත්තටම සෑහෙන කාලයක් යනකම් මගේ වැඩ ගැන සුවර් නැති නිසා වෙන්න ඇති අම්මලා මන් උරන ඇඟිල්ලේ කොහොඹ තෙල් ගාලා තිබ්බ එකයි...කිරි දත් එන කාලෙ ඕසෙට ඇඟිල්ල උරපු එකේ ප්‍රථිඵලය උනේ නම් අදටත් තියෙන මගේ බොල්ලෑ දත් සෙට් එක.. මන් බය වෙලා හිටියේ ඒ කාලෙ අර එක චිත්‍ර කතා පත්තරේක.. මට මතක හැටියට සිත්තර පත්තරේද කොහෙද..ගිය කතාවක නෙල්ලි කැලේ බුරියගෙ වගේ මගේ දත් ටික එයි කියලයි..එහෙම වෙනවාමයි කියලයි අපේ චූටි අක්කා කියලා තිබ්බෙ.. 

ඔය වගේම මට බෝ වෙලා තිබ්බ අප්‍රසන්න පුරුද්දක් තමයි පොතක හරි පත්තරයක හරි පිටු පෙරලනකොට ඇඟිල්ල දිවේ ගාන එක.. ටික කාලයක් යනකොට මන් පවිච්චි කරපු පොත් අඳුරගන්න පුළුවන් අනන්‍යතා ලක්ශනයක් උනේ කොලේ උඩ කෙලවරේ කුණු සලකුණක් තියෙන එක... පස්සෙ නම් ඒ පුරුද්ද නැති උනේ පොත් පත්තර කියවන්න තියෙන ආසාව නිසාම වෙන්න ඇති. කාලයක් වතුර කෝප්පයක් අරන් ළඟ තිබා ගෙන කියවන්ඩ පටන් ගන්නවත් මතකයි..
මේ ඇඟිලි උරන , කෙල ගාලා පොත් පෙරලන අතීතය අද මතකෙට ආවෙ බස් එකදි වෙච්ච සිද්ධියක් නිසාමයි. මන් දැන් අළුත් තැන ඉඳන් පැය භාගයක් විතර බස් එකේ එන නිසා..ඒ වෙලාව මන් යොදා ගන්නෙ කියවන්න බැරි වෙච්ච බ්ලොග් කියවන්න..සහ එව්වට ලියන්න කමෙන්ට් හිතන්නයි.. 

ඉතින් බස් එකේ මොකෝ උනේ..මගේ කියලා ළඟ හිටි සුරූපී නංගිගෙ ඇඟිල්ලවත් උරන්න ගියාද ?

නෑ පිංවතුනි මෙන්න මේකයි උනේ..මන් සල්ලි දීලා කොන්දොස්තර දිහා බැලුවෙ ටිකට් එකක් ඉල්ලනයි. මොකද බස් එකෙ යන අන්තිම කෙළවරටම යම නිසාඔය අතරෙ චෙකර්ස්ලා පැන්නොත් එහෙම.. 
මිනිහා කලේ මොකද.. ඇඟීල්ල දීවේ ගෑවා කැඩුවා ටිකට් එක මගේ අතට දුන්නා..මන් ටිකට් එකේ අග කෙළවරින් අල්ලලා ගත්තත් එක්කම මන් දැක්කෙ මිනිහා අල්ලා ගෙන හිටි කෙළවරේ කෙළ තප්පයක්..
හිතට එක පාරටම ආවෙ අප්‍රසන්න බවක්..ටිකට් එක ගන්න උස්සපු අත එහෙමම තියන් මන් කීවා බොහෝම හෙමිහිට මිනිහට ඇහෙන්න විතර සද්දෙන්..

"මට වෙන ටිකට් එකක් දෙන්න"

"ඇයි ඒ මොකද ? බොරැල්ලට රුපියල් තිහයි.. ඔය තිහේ ටිකට් එකක් දීලා තියෙන්නෙ"

කියලා මිනිහා ටිකක් හය්යෙන් කීවෙ බස් එකටම ඇහෙන්න වගෙයි. මන් සාමාන්‍යෙන් කෙනෙක්ව අපහසුතාවයට පත් වෙන විදියට කතා කරන්න අකමැති උනත් මට ඇල්ලුවෙ නෑ මිනිහගෙ ටෝන් එක...මිනිහා හෙමිහිට ඕක කීව නම් මාත් ශේප් එකේ කාරනෙ කියනවා. 

"බලන්ඩ කටේ ඇඟිල්ල ගහලා ටිකට් එක කඩලා දුන්නා. ටිකට් එකේ තියෙන කෙළ තලිය.. මෙකත් එක්ක මට කියන්නෙ සාක්කුවට දමා ගන්න කියලද?

මමත් මිනිහට නොදෙවෙනි සද්දෙකින් ඇහුවා. කොරන්න දෙයක් නෑ..මිනිහට හෙන අප්සට්.. ඇදලා ගත්තා ඒ ටිකට් එක ..ආයිමත් පුරුද්දට වගේ ඇඟිල්ල කටට යන්නත් ගිහින් අමාරුවෙන් ඒක නවත්තගෙන මට ටිකට් එකක් දුන්නා.. බස් එකේම ඉන්න අය වගේ මිනිහා දිහා බලලා පිළිකුලෙන් වගේ තමන්ගෙ ටිකට් දමා ගත්තෙ කොහෙද කියලා වෙන්න ඇති බලන්න ඇත්තෙ..

අද වෙනකොට ගොඩක් බස් වල ටිකට් කඩන මැශින් තියෙන නිසා මේ ප්‍රශ්නෙ එච්චරටම නැති උනත්.. අර ලෑල්ලක ගහන් ඉන්න කොන්දොස්තර මහත්තුරු ටිකට් දෙනකොට බලන්න වෙනවා ඒ ගොල්ලො කොහොමද ටිකට් එක කඩන්නෙ කියලා,..

ලෙඩක් දුකක් උනහම කෙනෙක් ජරාජීර්ණ උනහම එයාව අතපත ගාලා සුද්ද කරන්න පිරිසිදු කරන්න කැත හිතක් කොහොමත්ම එන්නෙ නැති උනාට මේ වගේ සිද්ධියකදි අප්‍රසන්න හැඟීමක් එන එක වලක්වා ගන්න නම් අමාරුයි.. 

Wednesday, September 5, 2012

අහල බලමුද ?



එක එක කාලෙට, එක  එක තාලෙට, එක එක මූඩ් එකට අපි අහන්නෙ එක එක සින්දු තමයි. අද හොඳ සින්දුව හෙට එච්චර ගතියක් නෑ නෑ වගේ වෙන්නෙ ඔය අපේ තියෙන මූඩ් වෙනස් වෙන නිසා වෙන්න ඇති. 
සංගීතය සහ සින්දු කාලෙන් කාලෙට එක එක ආරට හැදෙන්නෙත් ඔය යුගයේ අවශ්‍යතාවය කියලා හඳුනාගත්ත යම් යම් සාධක හරහා නොව.. අද කාලෙ නිතර ඇහෙන ඝෝෂාකාරී සංගීතය සහ මහා ලොකු තේරුමක් නැති ජනප්‍රිය සිංදු මන් නම් අහන්නෙ නෑ කීවොත් පට්ට් පල් බොරුවක්. හැබැයි සැරයක් දෙකක් අහයි. ආයි ආයි පස්සෙන් පන්නගෙන අන්තර්ජාලෙ හොයන් ඩවුන්ලෝඩ් කරගෙන එහෙම නැත්නම් සීඩී එකක් හොයාගෙන අහන්න පෙළඹෙනවානම් අඩුයි.

එහෙම හොයලා අහන්න තරම් දෙයක් ඒවායෙ නැති නිසා වෙන්න ඇති. 
මට මතකයි අර මගේ පුංචි රෝස මලේ අමරසිරි පීරිස් ශූරින් ගයන ඔය සිංදුව තිබ්බ සීඩී එක නිල් කැට වැස්ස ආපු කාලෙම මන් හොයන් ගිය ගමනක්. අන්තිමේ රෙකෝඩ් බාර් කීපයකම ඔත්තුවකින් පස්සෙ ගියා නුගේගොඩට. එහෙත් කීපපොලකින් පස්සෙ තමයි සුපර් මාකට් එකෙන් තැනක් ගැන කීවෙ. ඕන් ඔතනටත් ගිහින් තමා ඒකෙ ඔරිමජිනල් සීඩී එක හොයා ගත්තෙ. අද නම් ගොඩාක් සිංදු අන්තර්ජාලයෙන් හෝ යූටියුබ් එකෙන් ගොඩ දාගන්න පුළුවන්. ඒත් ඔය මගේ පුංචි රෝස මලේ වීඩියෝ එක ආවෙත් මුල් සිංදුව ඇවිත් ටික කාලෙකට පස්සෙ තමයි. එච්චර මහන්සි වෙලා හොයා ගත් නිසාම වෙන්න ඇති අදටත් ඒ සීඩී එක මන් ළඟ තියෙනවා සහ විවේකෙන් ඉන්න වෙලාවලට ඒක අහනවත් එක්ක. 

මේ තරම් සියුමැලිද කළු ගල් සිංදුව නම් අන්තර්ජාලෙන් හොයා ගන්න පුළුවන් උන නිසා එච්චර දුකක් වින්ඳෙ නෑ..

අදටත් ගෙදර විවේකෙන් ඉන්න වෙලාවල් වලට මන් සින්දු අහන්න ඕනි උනහම ඔය FM මීටරයක් අල්ලගෙන ඒකෙන් ඇහෙන සින්දු අහන් ඉන්න එක තමයි කරන්නෙ.  සින්දු වගේම ඇඩ් ඇහෙනවා ඔය අතරෙ කතන්දර හරියට ටෙලිනාට්‍යය වගේ යනවා..නිවේදක නිවේදිකාවො අසන්නන් එක්ක හුරතල් වෙනවා..එකම විකාරයයි කියලා ලියන්න හිතලත් ආයි හිත වෙනස් කර ගත්තා එකම රස සාගරයයි කියලා ලියන්න ඕනියි කියලා. මොකද ඒවා විවේචනය කරන්න නම් නෙවෙයි මන් මේ සැරසෙන්නෙ..ඒකට මට කොහෙත්ම සුදුසුකමක් නෑ.. වර්තමානයේ ඉන්න සුන්දර තරුණ තරුණියන්ගෙ අවශ්‍යතාවයන්ට සරිලන හැටියට නොවැ එව්වා හැදිලා තියෙන්නෙ..ඉතින් මට පාන්යැ ඔව්වායෙ වැරදි හොයන්න හෝ හරි ගස්සන්න.දැන් මැදිවියේ හිටියට මාත් අද තරුණ වියේ හිටිය නම්  සහ අද තරුණ තරුණියන් අනාවරණය වෙච්ච පරිසරයට මාත් අනාවරණය උනානම් මාත් ඒ අය වගේම ඉඳී..එච්චරයි...සහ එච්චරම සරලයි..කියලා හිතලා මන් ඔය පරම්පරාව එක්ක ගැටුම් ඇති කරගන්න නම් කැමතිම නෑ..

ඉතින් මොකද්ද මේ කිය කියා හිටියෙ..සින්දු ඇඩ් සහ නාට්‍ය.. FM වල යන..රෑ ඉරපාන අහන්න පුළුවන් හැමවිටම ඒ වෙලාවෙම ඇහුවා..බැරි වෙච්ච ඒවා පස්සෙ ඩවුන්ලෝඩ් කරන් හරි ඇහුවා..

ඔහොම මෙන්න මේ මීටරේම තමයි මන් අහන්නෙ කියලා සීමා වෙලා ඉන්නෙ නැතුව මන් නම් එක එක මීටරේ අහ අහ ඉන්න කොට අහු උනා ..හොඳ නාලිකාවක්..මේ නාලිකාව සැරින් සැරේ ටික ටික අහලා තිබ්බත්...පහු ගිය දවස් කීපෙම දිගටම ඇහුව නිසා..මගේ හිතට ටිකක් වැදුනා..ආයි මොකටද බොක්කටම වැදුනා..සමහර විට ටිකක් ඔය ශාස්ත්‍රීය වගේ සින්දු සහ 60 ඉඳන් 90 දශකය අග වෙනකන් ඇහිච්ච සින්දු වලට කැමති අය  මේකට කැමති වෙයි... 

ඇඩ් උනත් යන්නෙ හරි අඩුවෙන්..මන් මේක යාළුවෙකුට කීවහම මිනිහත් අහලා මට කීවෙ ,

"උඹ ඕකට කැමති වෙන එක පුදුම වෙන්න දෙයක්යැ. ඒකෙ වැඩියෙන්ම යන ඇඩ් එක අර වෙනිවැල් ඇඩ් එකනෙ"

කියලයි. පස්සෙ මිනිහත් පිළි ගත්තා ඇත්තටම ඒ නාළිකාව මිනිහගේ ටේස්ට් එකට යනවා කියලා. මන් දන්නවා මේක පොඩි පහේ ඇඩ් එකක් වෙයි කියලා ..කමක් නෑ අනිත් අයත් ඇඩ් දමන එකේ..මන් මේක රස විඳලා තනියෙන් තියා ඉන්නෙ ඇයි ..ඕන් ඔහෙ බෙදා හදා ගන්නවා කියලා හිතලයි මේක ලියන්න තීරණය කලේ.

මොකද්ද නාළිකාව ?

FM 103.6 යන VIP 

කියන නාළිකාව තමා මේ. ආ ඕකම තමයි අපිත් අහන්නෙ කියලා හිතපු අයට .. කියන්නෙ 2011 පටන් ගත්තත් මන් නම් අහන්න ගත්තෙ මේ ළඟදි ඉඳලයි කියලයි. මේක මූණු පොතේ පේජ් එකකුත් තියෙනවා..

ආආආආ අපේ යාළුවො කීප දෙනෙකුත් දැනටමත් මේ ලයික් දමන් ඉන්නෙ.. ඒකේ නමටම හරියන සම්භාව්‍ය අසන්නන්ගෙ රේඩියෝව කියන එක නම් තාමත් හරි කියලයි මට නම් හිතෙන්නෙ
නිකම් වගේ අහලා නැති අයත් පොඩ්ඩක් අහලා බලන්නකෝ.. සමහර විට ඔය ගොල්ලන්ගෙ ටේස්ට් එකට අල්ලලා යාවි..
මෙන්න මූණු පොතේ ලින්ක් එක

http://www.facebook.com/pages/VIP-Radio/238693139534324

ඔන් ලයින් අහන්නත් පුළුවන්නෙ..ඒත් ඉතින් අද කාලෙ හැම ෆෝන් එකේම  FM Radio පහසුකම තියෙද්දි ඕකට ආයි ඩේටා පුච්ච ගන්නෙ මක්කටෙයි ?

http://www.vipradiosl.com/

මේ ලින්ක් වලින් ගිහින් බැලුවහමයි මතත් තේරුනෙ ඇයි වෙනිවැල් ඇඩ් එක නිතර යන්නෙ කියලා..මේක ඒගොල්ලන්ගේ රේඩියො විකාශනයක්නෙ..

නිකමට වගේ ඕන් නිකම්ම නිකම් දෙන රේඩියෝව අහලා බලන්ඩකෝ එහෙනම් !

හරි යන්නෙ නැත්නම් ඕන් ආයි ඕගොල්ලො අහ අහා හිටි එව්වම අහන්ඩලා අනේ !

Monday, September 3, 2012

#### තියෙනවද ???


දඩි බිඩි දවස් ගනනාවකින් පස්සෙ වැස්සක් වැහැලා පෑව්වා වගේ ආයිමත් ජීවිතේ සාමාන්‍යකරනය උනා විතරයි...දින තුනකට විතර සැලසුම් කරපු නුවර එළිය සංචාරයත් දින දෙකකින් ආපහු කොළඹට පිටත් උනා..අපි ගිය ක්‍රිකට් තරඟාවලියෙ අපිට සෙල්ලම් කරන්න තිබුනු අනිත් ටීම් එකට අපි දුන්නා තරඟයක් දුම් විසිවෙන්න.. ප්‍රශ්නෙ ආවෙ ඒ අය අපිට වඩා දක්ශයන් වීම විතරයි. ඒ ඇරෙන්න අනිත් සියල්ලම සාර්ථක උනා. අපි සිකුරාදා හවස එහෙන් පිටත් වෙලා සෙනසුරාදා හිමිදිරි පාන්දර 2 වෙනකොට මෙන්න ගෙදර.. 

යන එනකොට සිද්ධ වෙච්ච දේවල් සේරම කියන්න ගියොත් මන්  වසලා හමාරයි මේකෙ..කීප සැරයක්ම,

"ශාහ් මේක නම් බ්ලොග් එකේ ලියන්නත් මරු"

 කියලා කියනකොට මට ආපු මරණීය තර්ජන වලින් මන් ඒ වෙලාවෙ සැලුනෙ නැතත් එව්වා ලියන්න හිතන වෙලාවලදි නම් හිත කීරි ගැහිලා යන එක වලක්වන්න නම් බෑ.

කොහොමින් කොහොමින් හරි අපි කතා උනා යන ගමන් රෑ නවාතැනට යන්ඩ ඉස්සෙල්ලා කොහෙ හරි ග්‍රවුන්ඩ් එකකට ගීහින් ටිකක් ප්‍රැක්ටිස් කරලම යමු කියලා. ඉතින් දවල්ට කෑම කාපු තැනින් අපිට සෙට් කරලා දුන්නා නවලපිටිය ග්‍රවුන්ඩ් එක. එතනින් අපිට කීවා එතන  බලා කියා ගන්නෙ හමුදාවෙන්ය..නමුත් ප්‍රශ්නයක් නෑ අපිට රැක්ටිස් කරන්න පුළුවන් කියලා. අපේ අයත් ඉතින් ඉක්මන්ට නවාතැනට ගියත් වෙන කරන දෙයකුත් නෑනෙ කියලා කැමති උනා එතනට යන්න. වැහි පොද දෙක තුනක් වැටුනත් .. අපි හරියටම ග්‍රවුන්ඩ් එකට යනවා එක්කම වැස්සෙ නැද්ද ධාරානිපාත වර්ෂාවක්..

"මොන ක්‍රිකට් ගැහිල්ලක්ද මේ  වර්ෂාවෙ.."

කියලා  දැන් අපි ඉන්නවා වෑන් එකට වෙලා. අපේ අනිත් කට්ටිය වෑන් එකෙන් බැහැලා ගිහින් කතා කරනවා හමුදාවෙ අය සහ එතන ඉන්න අයත් එක්ක.

"දැන් මචන් කොහොමත් මේ වැස්සෙ ක්‍රිකට් ගහන්නත් බෑ..දැන් මෙතනින් පිටත් උනාට..ඉක්මනට රෑ නවතින තැනට ගිහින් වෙන කරන්න දෙයකුත් නෑ..මේකෙ ඉන්ඩෝ ගේම් මොනාවත්ම නැද්ද දන්නෙ නෑ නේද ?"

අපේ එකෙක් යෝජනා කලා. 

"ඒක නම් ටොප් මොනා හරි ඉන්ඩෝ ගේම්ස් තියේ නම් ටොප් තමයි"

අපි දැන් වාහනෙ ඉඳන් ඈතින් පැවිලියන් එක යටට වෙලා එතන කතා කර කර ඉන්න අයට අපේ යෝජනාව කියන්නත් ඕනි. වාහනෙයි පැවිලියන් එකයි අතරෙ දුර මීටර් සීයක් විතර නිසා කතාකලාට ඇහෙන්නෙත් නෑ. වැස්සෙ එතෙන්ට තෙමී ගෙන යන්නත් බෑ. තියෙන එකම විසඳුම තමයි හස්ත සඥා භාශාව.

"මචන් කොහොමද බන් අහන්නෙ?"

"අහපන් මචන් බිලියඩ් තියෙනවද කියලා අතින්?"

"කොහොමද ඒක අහන්නෙ?"

"මෙහෙම මෙහෙම කරලා අහපන් බන්"

අපේ එකා හයියෙන් අප්පුඩියක් ගහලා පැවිලියන් එකේ ඉන්න අපේ සෙට් එකේ අවධානය ගත්තා. ඒ වෙලාවෙ පැවිලියන් එකේ හිටි හමුදාවෙ සේරමත් ඒ අප්පුඩියෙ සද්දෙට ඒ අපි දිහා බලන් ඉන්නවා..

අපේ එකා අතින් පෙන්නුවා බිලියඩ් කියලා. ඇතුලේ කියන්නත් දබර ඇඟිල්ල දික් කරලා බිල්ඩිම ඇතුලෙ පෙන්නුවා. ඊට පස්සෙ ඔළුවෙන් ඇහුවා තියෙනවද කියලා..

එතනින් එහාට වෙච්ච දේ සහ වෙන්න ගිය දේ නම් අතිශෝචනීයයි. අපිට සෑහෙන්න වෙලාවක් ගියා එතනට තුවක්කු පිස්තෝල ඇදගෙන ආපු හමුදාවෙ සහ අවට සිටි අයට අපි ඇහුවෙ බිලියඩ් ඉන්ඩෝ ගේම් එක තියෙනවද කියලා  ඒත්තු ගන්වන්න. 

කොහොමද අපේ එකා මේක ඇහුවෙ ?

දකුණු අතේ මාපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි එකතු කරලා හිලක් හැදුවා.. වම් අතේ දබර ඇඟිල්ලෙන් අර බිලියඩ් පිත්ත වගේ කරලා බිලියඩ් ගහන්නෙ අර කූර වගේ එක පොඩ්ඩක් ඉස්සරහට පස්සට කරලා ඒම් කරලනෙ.. ආන්න ඒ වගෙත් පෙන්නුවා ඊට පස්සෙ ඇතුලෙ තියෙනවද කියලා පෙන්නුවා..එච්චරයි...

http://tato86.deviantart.com/art/biliard-78178503



කට්ටියට මනස් සිත්තරය්ක් ඇඳ ගන්ඩ බැරිම නම් අර බස් එකේ කොන්දොස්තර ටික්කන්ට බස් එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ කියලා කී විදිය පොඩ්ඩක් හිතලා බලන්න. ඊට පස්සෙ බිලියඩ් ගහන හැටි හිතලා බලන්න.

ඕන් ඔහොම හමුදාවෙන් වෙඩි නොකා එතනින් පිටත් උනේ අපේම පෙර කරපු වාසනාවකට වෙන්න ඇති. 

හැබැයි එතනට කාව හරි බස්සන්න ආපු ත්‍රීවීල් එකක කෙනෙක් මේක බලන් ඉඳලා...

"පොට් කීපයක්ම තියෙනවා හැබැයි ගනන් තමයි වැඩි"

කියලා මගේ කනටම කරලා කීවෙ ඇත්තටම බිලියඩ් ගහන්න තැනුත් ඒ හරියෙ තියෙනවා කියලා කියන්නම වෙන්න ඇති.

Tuesday, August 28, 2012

බඳින වයස සමඟ තවත් ප්‍රශ්ණ ??????


ලොකු චූවෙක් ඉල්ලලා අපේ රෙදි ගලවපු පොඩ්ඩා ඔබ මතක ඇතැයි සිතමි.. කාලයාගේ ඇවෑමත් සමඟම ඔහු ඔහුගේ කටකාර කම අඩුකර ගනු ඇතැයි සිතුවත්..ඔහු නැවත නැවතත් අපව අපහසුතාවයන්ට පත් කරන ප්‍රශ්ණ ගොන්නක් අප හමුවේ තැබු බව මට මතක් කර දෙන්නේ මාගේ පරණ දිනපොත් සමූහයයි.. මේ එම දිනපොත් වල තිබූ සටහන් වලින් උකහා ගත් කරුණු කීපයකි..

බිරිඳ තම මනෝවිද්‍යා උපාධිය හරි හරියට එදිනෙදා දහසක් වූ කාර්‍යයන් සඳහා යොදාගත්තද මා නම් ඒ ඒ වෙලාවට ඒ ඒ ආකාරයට සිටියා මිස එතරම් නොදන්නා මනෝවිද්‍යාත්මක රීතී අතර සිරවෙන්නට නොතැනුවෙමි.

"ලියන්නා ඩාලිං අපි පුතාට රියැලිටි එකම තමයි පොඩි කාලෙ ඉඳන්ම උගන්වන්න ඕනි.. නත්නම් එයා එක එක ෆැන්ටසි වල හිරවෙලා අනාගතේම අවුල් කර ගනී"

"ඔව් ඔව් අපි එහෙම කරමු..අපි ඉතින් දැනටමත් එහෙමනෙ කරන්නෙ"

අනගතය පමණක් නොව වර්තමානයද අනාගත නොහැකි බැවින් මා සැමවිටම ආරක්ශිත ලෙස පසු පාදය තබා පන්දුව නිදැල්ලේ යන්නට හැරියෙමි.සාමාන්‍යයෙන් මා යම්තම් හෝ පිත්ත ඉස්සුවානම් අහක යන්නට තිබෙන පන්දුව පිත්තේ දැවටී කඩුල්ල මතට පතිත වන බව මා අත්දැකීමෙන්ම දන්නා බැවිනි.

"ඩාලිං දැන් පුතාට අවුරුදු 10-12 වෙනකොට එයාගේ හිතට සෙක්සුවල් මැටර්ස් ගැන හරියට අදහස් එයි..එයාගේ කුතුහලය නැති කරන්න අපෙන් අහන සේරම ප්‍රශ්ණ වලට අපිට උත්තර දෙන්න වෙන්නෙ ඇත්තම කරුණු කියලා තමයි.. හොඳේ"

"හා ඔන්න මගෙන් එහෙම මොනා හරි ඇහුවොත් මන් ඔයාගෙන් අහන්න කියන්නම්කො.. එතකොට හරිනෙ"

"හාහ්.. පුතාට ඒවා කියලා දෙන්න ඕනි ඔයා.. මම නෙවෙයිනෙ"

ඈ හිඳ සිටි පුටුවෙන් නැගිට්ටේ මා කට වරද්දා ගත්තා දැයි ක්ෂණිකව කී දෙය නැවත ආවර්ජනය කර බැලුවෙමි.

"මන් සේරම දේවල් කියලා දෙන්නම් දුවෙක් ඉන්න කාලෙක. පුතාගෙ වගකීම ඔයාට"

ඈ කියවමින් සිටි මනෝ විද්‍යා සඟරාව කනප්පුව මතත දැමුවාය..

"ඉතින් දුවෙක් හදන්න කාලෙ "

"මොකක් කතා කරන්න එපා..මන් මේ ඩිග්‍රිය ඉවර කරනකන් ඒ ගැන නම් හිතන්නවත් එපා ඕන්"

ඈ පරාජය පිලිගෙන කුස්සිය දෙසට පසු බැස්සාය.


අප සිතුවා සේම අප පුතන්ඩියාද විවාහය පිළිබඳව ප්‍රශ්ණ රාශියක් ගෙන මා හමුවට පැමිණියේ  අපගේ ඥාතියකුගේ විවාහ උත්සවයකට ගොස් පැමිණි පසුදාය.

බොරු සුරංගනා කතා කියලා ළමයගෙ ඔළුව එහෙම නරක් කරනවා නෙවෙයි ඕන්..යන්න මුළු ගතින්ම කියු මා ආදරණීය බිරිඳ ගොළුවතින් පරිගණකය වෙත පියමැන්නේ ඈගේ වසර අවසාන නිබන්ධනයට අවශ්‍ය කරුණු සෙවීමටයි.

"ඩඩා බඳින කොට කොයි කෙනාව බඳිනවද කියලා හරියටම දැන ගන්නෙ කොහොමද "

මා බෙල්ල මුලටම හිර කරන ප්‍රශ්ණ වැලකට මා මූණ දිය යුතු බව මා හට ඉදිරිය දක්නා ඥානයට දැනෙන්නට වීය.. මාද සටන අත නොහැරියෙමි.

"හා පුතාම කියන්න දන්නවනම් ඒ කොහොමද කියලා?"

මදක් කල්පනා කල ඔහු,

"දෙන්නම එකම දේවල් වලට කැමති වෙන්ඩ ඕනි.. හරියට ඩැඩා ක්‍රිකට් වලට කැමති නම් මමාත් ක්‍රිකට් වලට කැමති වෙන්ඩ ඕනි වගේ"

"හ්ම්ම් හරියට හරි"

තවත් මදක් කල්පනා කල ඔහු,

"නෑ  දෙයියො තමයි බඳින කෙනාව තෝරලා දෙන්නෙ.කොහොමත් පස්සෙන් පහු දෙන්නටම ජීවිත කාලෙම හිර වෙලා ඉන්ඩ වෙන්නෙ එකම ගෙදරනේ...එහා ගෙදර අක්කා කීවෙ එහෙමයි ඩඩා"

හ්ම්ම් අසල්වාසී කතෝලික ආගමික පවුලේ සිටින දැරියගේ අදහසද ඔහු ඔළුවට ගෙන ඇති බව පෙනේ..

මා නැවතත් අතැති පත්තරය වෙත නෙත් යොමු කලෙමි.

"බඳින්න හොඳම වයස මොකද්ද ඩඩා?"

"පුතා හිතන්නෙ කීය කියලද ?"

"මොන වයසකවත් බඳින්න හොඳ නෑ...ඒක මෝඩ වැඩක් මන් හිතන්නෙ"

මා නිවස තුලට එබී බැලුවේ පුතාගෙ පිළිතුර බිරිඳගේ කන වැකුනිද යන්න සැක හැර දැන ගැනීමටයි. මා මදක් විස්සෝප වූයේ මේ නුවණ ඒ කාලයේ මට නොතිබ්බේ මන්ද යන්න පිළිබඳවයි.

"ඩඩා දෙන්නෙක් බැඳලා කියලා දැන ගන්නෙ කොහොමද ?"

"පුතා කොහොමද හිතන්නෙ?"

"දෙන්නම එකම එක පොඩි එකෙක් පස්සෙම එලෝ එලෝ නිකන් ඉන්න දෙන්නෙ නැතුව අරක කරන්ඩ.. මේක කරන්ඩ... අරක කරන්ඩ එපා.. මේක කරන්ඩ එපා.. කිය කියා ඒ පොඩි එකාටම වද දෙනව නම් ඒ දෙන්න බැඳලා ඉන්නෙ කියන්ඩ පුළුවන්.."


හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්
යනුවෙන් මා පවසා නිහඬ වූයෙමි.

බඳින එකද වැඩිය හොඳ නැත්නම් බඳින්නෙ නැතුව ඉන්න එකද ? 
හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් මා නැවතත් මේසය මත වූ වෙනත් පුවත් පතක් අතට ගත්තෙමි. 

"ආ ඩඩා මමමද දැන් ඒ ප්‍රශ්නෙටත් උත්තර දෙන්න ඕනි ඈ?"

පොඩි එකා ටිකක් ඇඬුම්බර මුහුණකින් විමසයි.

"නෑ පුතා ඔය ප්‍රශ්ණ ටික ඔහොම්මම ගිහින් අම්මගෙන් අහන්න. හැබැයි මන් ඇහුවා කියන්න එපා. ඒ වෙනුවට කියන්ඩ තාත්තගෙ උත්තර දන්නවා ඒත් අම්මගෙ පැත්තෙනුත් දැන ගන්ඩයි ඕනි කියලා.. තේරුනානෙ ?"


ප.ලි. 30 වෙනිදායින් ආරම්භ වන  ක්‍රිකට් තරඟාවලියක් සඳහා නුවර එළිය බලා යාමට සිදුවන බැවින්ද මෙම තරඟාවලිය දින තුනක් පුරා පැවැත්වෙන බැවින්ද එම දින කිහිපයේ සයිබර් අවකාශයේ සැරිසැරීමට ලැබෙන කාලය සීමිත වනු ඇතැයි මට සිතේ..