ඇවිද්ද පය දහස් වටී නම් ඉතින් මගේ කකුල් දෙක විකුණලා සෑහෙන ගානක් ගන්ඩ තිබ්බත්..ඒ කියමනේ හරය වෙන්නෙ අපි ඇවිදින තරමට තමයි අපේ සෞඛ්‍යය රැකිලා තියෙන්නෙ කියන එකයි කියලයි මට නම් හිතෙන්නෙ. එහෙම හිතෙන්න සාධාරන හේතුවක් වෙන්නෙ ඔෆිස් එකටම වෙලා ඉඳගෙන ඉඳලා ඉඳලා හොර වෙලා තියෙන ශරීරෙට වෙන කිසිම ව්‍යායාමයක් නොලැබෙන්න වග බලා ගන්න මට ලැබෙන එකම ව්‍යායාමය තමයි මේ ඇවිදීමෙන් ලැබෙන ටික. ඒ නිසාම කම්මැලි නැතුව ගම වටේ රවුමක් ඇවිදලා එන්න උදේ පාන්දරම මන් එළියට බහින්නෙ බොහෝමත්ම චිත්ත ප්‍රීතියෙන්ම තමයි.
පදිංචිය අළුත් නිසාමත් සහ තාම බිස්කට් එකක්වත් දීලා යාළු කරගන්ඩ බැරි වෙච්ච නිසාමත්ම පාරෙ ඉන්න ගෙවල් වල ඇති කරන බළු නඩේ නම් තාමත් මට බුරනවා..
"ගමේ මිනිස්සු නොදන්නවා උනාට සතා දන්නවා මිනිහා කවුද කියලා ඒකයි උන් බුරන් පනින්නෙ "
කියලා කට කැඩිච්ච කතාවක් කීවෙත් අපේ ඔෆිස් එකේ එකෙක්ම තමයි,
ඔන්න... අපි නම් ගනන් ගනී ඔය ලෝකයා කියන කතන්දර !
අපි පොඩි කාලෙ ඉඳන්ම ඇවිදින්න නම් කම්මැලි නෑ. ඒකට එක හේතුවක් වෙන්න ඇති. ඒ කාලෙ ඒ කීවෙ 1980 ගනන් වල මුල සහ 70 ගනන් වල අග භාගයේ අපේ ගමට යන්න එන්න බස් එකක් තිබ්බෙ නෑ. ළඟම තිබ්බ ටවුන් තමයි ඕපනායක , පැල්මඩුල්ල සහ කහවත්ත කියන්නෙ. ඒ ටවුන් වලින් දුරම ටවුන් එක වෙච්ච කහවත්තට ගමේ ඉඳන් හැතැප්ම තුනක් විතර තිබ්බත්..තේ වතු මැදින් තියෙන පාර වල් දිගේ අපි පයින්ම යනවා ටවුන් එකට. ඔය ත්‍රස්තවාදී කරදර නොතිබ්බකාලවල කහවත්තෙ තිබ්බ ගුරුගේ තොරණ හරි ප්‍රසිද්ධයි. දවස් හතක් සංගීත සංදර්ශන හතක් එක්ක වගේම එදිනෙදා එහෙන් මෙහෙන් පත්තු කරන මල්වෙඩි වගේම අන්තිම දවසේ මහා මල් වෙඩි සංදර්ශණ නිසාම ඔය දවස් හතෙන් දවස් 3-4ක් වත් ඔයවා බලන්න අපි පයින්ම යන්න පුරුදු වෙලා හිටියා.
රෑ හතට විතර යන්න පිටත් උනහම රෑ 8 අට හමාර වෙනකොට කහවත්තෙ. සංගීතෙ හරි මල් වෙඩි සංදර්ශනේ හරි ඉවර වෙන්නෙ පාන්දර ජාමෙ 2-3ට විතර.. නිදි මරගාතෙ වැනෙ වැනී ආයිමත් පයින්ම ගෙදර එනවා. පහු වෙනිදා ඉස්කෝලෙ ගිහින් තමයි භාගෙට නිදි කිර කිරා පංතියෙ ඉන්නෙ. ටීචර්ස්ලත් එමම නිසා එච්චර අවුලක් නෑ හැබයි ටිකක් කරදඬු උස් මහත් වෙලා.. තනියෙන්ම කොල්ලෙ සෙට් එක එක්ක යන වයස එනකොට ත්‍රස්තවාදී කලබල ඇති වෙලා මල් වෙඩි සංදර්ශන තහනම් කරලා තිබ්බා. ඒ කාලෙ ගම මැදින් යන්න බස් එකකුත් දැම්මා..ඒ එක්කම 88-89 කාලෙ කලබල ආපු නිසා..අර ඇවිදින කතන්දරේ ටික ටික අඩු උනා..
ඊළඟට ඇවිදින්න සෙට් වෙන්නෙ අපි ඒ ලෙවල් ක්ලාස් යන කාලෙ.. ක්ලාස් එකේ සර්ලා නැති උන ගමන්ම කරන්නෙ පැල්මඩුල්ල ටවුන් එකේ ඉඳන් යනවා කිරිඳි ඇල්ල බලන්න. ඔය තේ වතු මැදින් යන පාර අපේ ජිංජි මලයා රාමා මලයා එහෙම හොඳටම දන්නවා..දුම් දමා ගෙන බීපු සිගරැට් කොට පස්සෙන් හැලි හැලී කන්ද නැගලා ඇල්ල ළඟට ගියහම සේරම විඩාව අහවරයි. ඒ කාලෙ එච්චරම සෙනඟ නැති නිසා හෙලිකොට්ටෙන්ම නාලා අවුවෙන් ඇඟ වේලා ගෙන ඇඳුම් ඇඳ ගෙන ආපහු ගෙදර එන්නෙ ක්ලාස් එකේ හිට්ටා වගේ..
ඒ ලෙවල් කරලා උනත් තවත් අවුරුදු තුනක් ගෙදරට වෙලා කැම්පස් පට ගන්නකම් හිටි කාලෙ නම් ජීවිතේ ආයිමත් හම්බ නොවෙනම ජාතියේ දිගම දිග නිවාඩුව හම්බ වෙච්ච වෙලාවෙ නම් එච්චරම ඇවිද්දෙත් නැති තරම්. මොකද ඒ වෙනකොට ඔළුවෙ තිබ්බෙම අස්පට් වෙලා තිබ්බ කඩ්ඩ හදා ගන්න එක නිසා. කැම්පස් අවුරුදු හතරෙත් රට වටා ඇවිද්දා..ඔය ඇවිදිල්ල දැන් මතක් වෙනකොට හිතෙන්නෙම දෙයියනේ ආයි ඒ කාලෙ එනවනම් කියලයි..
"ඇත්තටම උඹට නම් ඔය පිට්ටනියෙ බෝල ගහද්දි අංඩක් කැඩෙන්නම ඕනි ගෙදර දවසක් රඳවා ගන්න නම් ..නැත්නම් කොයි වෙලාවෙ බැලුවත් ගෙදර රැඳෙන්නෙ නම් නෑ"
අම්මගෙ ආඩපාලිය හැමදාව ඔය වගෙයි.
"ඇයි අම්මෙ කන බොන වෙලාවට නම් ඉවෙන් වගේ ඔය ගෙදරට දුවන්නෙ"
චූටි අක්කා ගෙ පෝර දැමිල්ල.
ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන්ම කාලා ගම්මැද්දෑවෙ රෝන්දෙ ගහලා ගහලා ආයි ගෙදර එන්නෙ. රෑ කෑමට තමයි. අයියගේ සහ තාත්තගෙ ගෝරනාඩුව අඩු කාලවල අපි සෙට් එකම නිශාචරයො තමයි. රෑට නිදියන්නෙ කොයි ගෙදරද , කොයි පතල් වාඩියෙද , කොයි කුඹුරෙ පැලේද කියන්න හරියටම දන්නෙ නෑ නිදිමත වෙලාව එනකම්ම..
88-89 කාලෙදිත් අපේ ගේ ළඟම දමපු හමුදා කඳවුරත් එක්ක රෑ ගමන් බිමන් අඩු උනත්..රෑ කාලෙ ගෙදර නිදියැව්වෙ නම් නෑ..
හැබැයි කොයිතරම් ඇවිද්දත් විභාගයක් ළඟට එන කාලෙ නම් කකුල් වල ගෙදර බිමට හයි කරන් පාඩම් කරන්නත් අමතක කලේ නෑ..
"ආයි ආයි...පුතා හරි හරි..බබා එන්ඩ එන්ඩ මේ අම්මා ළඟට එන්න..මේ මේ.."
අල්ලපු ගෙදර ඉන්න පොඩ්ඩ දන ගගා ඉඳලා පළමු අඩිය තියන්න උනන්දු කරවන ඒ ජෝඩුව..පොඩ්ඩා ඇවිදිනවා ෆොටෝත් ගහලා..හරිම සන්තොසෙන් ඒ ගැන යන එන අයත් එක්කත් කතා කරන්නෙ.. "ඔයාගෙ මල්ලිගෙ වැඩේ රවුම් ගහන එකමයි..ඔයාවත් කියන්ඩකො ටිකක්...හොම ඇවිදලා ඇවිදලා නරක් උනොත් එහෙම අම්මලගෙන් තාත්තලගෙන් දොස් අහන්ඩ වෙන්නෙත් අපිටමයි" ඒ ගෙදර සහෝදරී තමන්ගෙ සැමියගෙ මල්ලිගෙ ඇවිදිල්ල ගැන දෝස්මුරයක් කනේ තියන්නෙත් ඔය එක්කමයි..මේ පරස්පර විරෝධී කතාවල් දෙකටම මට හිනා ගියත් නොකර සද්ද හිටියා...
"උඹලයෙ කන් කරච්චලේ ඉවසිල්ලක් නම් නෑ අම්මපා මන් යනවා ඔළු හැරිච්ච අතක.."
අපේ අඩෝවැඩියක් ඉවසගන්න බැරුව තාත්තා එහෙම කියලා ගෙදරින් එළිය බැහැලා ගියත් ආපහු ආවහම අම්මා ඔළොක්කුවට කියන්නෙ..
"ඔළුව හැරෙන්ඩ ඇත්තෙ කුඹුරටද නැත්නම් හේනටද දන්නෙ නෑ?"
කියලයි. අපේ කිචි කිචිය ඇහිලා තාත්තා ලැජ්ජාවෙන් වෙන්ඩැති සද්ද නැතුව ඉන්නවා.
මගෙත් තියෙන එක හීනයක් තමයි දවසක ගෙයින් එළියට බැහැලා ඔළුව හැරිච්ච හැරිච්ච අතක යන එක. ඕකට ටිකක් එක ළඟ වගේ වැටිලා තියෙන නිවාඩුවක් අල්ලලා කරන්ඩයි හිතා ඉන්නෙ. මොනා නැතුවත් කැමරාව නම් අරන් යන්ඩෝනි..




