ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, August 24, 2012

ගැලරිද ? ඕඩීසී ද ?

Photo courtesy : http://www.inmagine.com/phins094/phins094178-photo


අද මේ කාලෙ නම් හෝම් තියටර් සිස්ටම් ඩීවීඩී සහ බ්ලූරේ තැටි වගේම අඟල් 60 විතර මහ තඩි ටීවී සෙට් තිබුනට ඒ කාලෙ හෝල් එකකටම යන්න ඕනි හිතෙ හැටියට ෆිල්ම් එකක් ඒ විදියට සවුන්ඩ් එක්ක බලන්න. මේ තාක්ශනය ගෙදරටම ආපු නිසා වෙන්න ඇති අද ෆිල්ම් බලන්න යන පිරිස අඩු වෙලා තියෙන්නෙ. 

හේතුව නම් මොකද්ද මන්දා මට අපේ කාලෙ ෆිල්ම් බලන්න ගිහින් වෙච්ච සිද්ධි කීපයක්ම මතක් උනා..

80 ගනන් වල මන් මුලින්ම බලපු ෆිල්ම් එක තමයි මුවන්පැලැස්ස ඒත් අම්මා අක්කා සහ ගෙදර කට්ටිය එක්ක ගියේ කහවත්ත ඔය තොරන් ගහන ග්‍රවුන්ඩ් එක සහ හොස්පිටල් එක ළඟ තියෙන ෆිල්ම් හෝල් එකට..දැන් නම් ඒක තියෙනවද මන්දා ? ඊට පස්සෙ අයියා  එක්ක ඒකෙම ෆිල්ම් ගනනාවක් බලන්න ගියා. ඒත් අයියා බැන්දට පස්සෙ නම් අක්කා එක්ක ගියා මිසක් මාව එක්කන් ගියේ නෑ. ඕලෙවල් කරලා ඒ ලෙවල් කරන්න පටන් ගත්තට පස්සෙ නම් ටියුශන් පංති යන්න අහල පහල තියෙන ටවුන් වලට ගියාට පස්සෙ ඒ ටවුන් වල වල බැහලා ෆිල්ම් බලන්න සෙට් උන වාර නම් අනන්තයි. ඔය කාලෙ හොඳ  ෆිල්ම් හත අටක් යන කොට වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක් විතර දුවනවා ඕවයෙ. අපිත් ඉතින් ගෙදරට ක්ලාස් යනවා කියලා ගිහින් සෙට් එක එක්කම හොරෙන් පනිනවා ඔය ෆිල්ම් බලන්නත්. ටිකට් කවුන්ටරේ එකාට වැඳලා වගේ ටිකට් ගන්නෙ මොකද එතකොට යාන්තම් 18 ලැබුවට 18ක් කියලා පෙනෙන්නෙ නැහැනෙ. ඊටත් වඩා හෝල් එකට ගියාට පස්සෙ ගමේ කාට හරි අහු උනොත් ගෙදරට ආරංචි වෙයි කියන බයත් තිබුනා. 

ඔහොම එක සෙනසුරාදාවක හෝල් එකේ ලයිට් නිවුවටත් පස්සෙ අපි රිංගා ගත්තා හෝල් එකට. ඒක වැඩිහිට්යන්ට පමණයි ගහපු දෙමල චිත්‍රපටියක්. චිත්‍රපටිය පුරාවටම තිබ්බෙ කිතු දහමට අනුව මිනිසා සහ ගැහැණිය බිහි වෙච්ච හැටි සහ ආදම් සහ ඒව අර සර්පයගේ පලතුර කාලා සාමාන්‍ය මිනිස්සු වෙන විදිය වෙනකම්. ඒකෙ මොකද්ද වැඩිහිටියන්ට පමණයි වෙන්නෙ. ඔය චිත්‍රපටිය පුරාවටම ආදම් ඇඳ ගෙන හිටියෙ ගහකින් කඩපු ලොකු කොළයක් සහ ඒව නම් ලොකු කොළ තුනක් ඇඳ ගෙන හිටියා. ෆිල්ම් එකේ ඉන්ටවල් එකේදි අපි සෙට් එක හොරෙන්ම එහා පැත්තට වෙලා හිටියා කාටත් නොපෙනෙන්න. ඉන්ටවල් එකෙන් පස්සෙ ෆිල්ම් එක ටිකක් වෙලා යනකොට අපේ එකෙක් හයියෙන් කියාපි ,

"යකෝ මේ ෆිල්ම් එක ෆෙබරවාරි පෙන්නුවනම් ඉවරයිනෙ"

කියලා.

කවුද ඇහුවා .

"ඇයි බන් ?"

"ඇයි අහන්නෙ ෆෙබරවාරි කොළ හැලෙන කාලෙනෙ..ඒ කාලෙ උනා නම් අර කොළ තුනත් හැලෙනවනෙ බන් අපරාදෙ අපේ සල්ලි"

ඔය කතාවට සෙට් එකම බක ගාලා හිනා වෙන්න ගත්ත හින්දම හෝල් එකේ අනිත් උනුත් අපි දිහා බලන්න ගත්තා. කවූරු හරි එකෙක් අපේ සෙට් එක මැදට ආවා අපේ හිටිය එකෙකුට සට පට ගාලා කනට ගහනවා.

"මොකාද යකො කිශාන්තට ගහන්නෙ ?"

කියලා අපිත් ඌට නෙලන්න සෙට් උනා විතරයි.

ක්‍රිශාන්තයා කෙඳිරි ගගා වගේ අපිට කියනවා ඇහුනෙ,

"මචන් අපේ අයියා"

කියනවාෆිල්ම් එකේ එතනින් එහාට උනේ මොනාද කියලා අපි දන්නෙ නෑ.. අපිම කියලා නොදැන හිටියත් ගෙවල් වලින් අපිවත් සැක කලා එතන අපිත් යන්න ඇති කියලා. 

ක්‍රිශාන්තලගේ තාත්තා ක්‍රිශාට විතරක්ම නෙවෙයි තලලා තිබුනෙ.. අයියටත් පයින් එකක් ගහලා..ඇයි ඌත් ගිහින් තියෙන්නෙ ඒ ෆිල්ම් එක බලන්නමනෙ.. 

ටික කාලයක් යනකම් ක්‍රිශා හරි උගේ අයියව හරි අපේ සෙට් එකට ආවෙ නෑ.

අපි කැම්පස් පළවෙනි අවුරුද්දෙ ඉන්න කාලෙම තමයි මී හරකා ෆිල්ම් එක ආවෙ. නුගේගොඩ අපි බැලුවට පස්සෙ අපි එක්ක ඉන්න කෙල්ලො සෙට් එකටත් ඕක බලන්න යන්න ඕනි උනා. අපිට මොකෝ අපිත් උන්ගෙ ආධාර වලින් ආයි ගියා බලන්න..ඔය ෆිල්ම් එක බලන්න එන අනිත් උන් අපි කොල්ලො තුන්දෙනයි කෙල්ලො පස් දෙනයි දිහා බැලුවෙ නිකන් අමුතු විදියට... අද කාලෙ නෙවෙයි ඔය 93 අවුරුද්දෙ... අර සුමිත් කියන්නා වගේ කාලෙට සාපේක්ශව බලන්ඩලකො...ඒකෙත් ෆිල්ම් එකේ අන්තිම බාගේ යද්දි අපේ පේළියට පිටි පස්සෙ හිටපු අයියලා දෙන්නා අපේ කෙල්ලො දෙන්නෙක්ගෙ පස්සට කකුලෙ ඇඟිලි වලින් මසාජ් එකක් දෙන්න ගිහින්..මොකද ෆිල්ම් එකේ මුල හරියෙ පොඩ්ඩක් ටච් එකක් දැම්මා කියලා උන් කීව හින්ද අපි කිව්වා..අපි බලා ගන්නම් කියලා. එහෙම කියලා එකෙක් හරි ආයි ටච් එකක් දැම්මොත් අපිට දන්වන්න කියලා අපි කීවා..එහෙම කරලා අපි තුන්දෙනා අපේ පස් දෙනා අතරින් එකෙක් ඇර එකෙක් විදියට ඉඳ ගත්තා. අපි සෙට් එකම මුකුත් නොදන්න තාලෙන් හිටියෙ.. මන් ළඟ හිටි සුනීතා මට කකුලෙන් ඇන්නා..මන් දන්නවා වැඩේ හරි කියලා. මන් හෙමිහිට සුනීතගේ පුටුව පස්සෙන් අත දැම්මා.මූ මුළු කකුලම සුනීතගේ පස්සෙ තියන්..හෙමිහිට කකුල අතගෑවා..මූ තව ටිකක් කකුල දුන්නා.. කකුලෙ අහුවෙන මයිල් පදාසයක් ගලවා ගත්තා.. මූ කෙඳිරි ගානවා ඇහුනත් එක්කම නැගිටලා යන්ඩ ගියා.. අනිකත් එතනින් එලිය ගියා. අපේ සුනිල් උගේ බාටා එක ගලවගෙන..

ඕක ගැන අපි හිනා වෙච්ච තරමක් ඉතුරු අවුරුදු තුනේම..

අපි ලව් කරන කාලෙ අද වගේ නෙවෙයි.. මාස ගාණක් බිත්තර තම්බලා තම්බලා.. වදෙන් පොරෙන් අහලා ලව් එකත් මාස හත අටක් ගියාට පස්සෙ තමයි උලත් එකයි පිලත් කේයි කියලා හිතලා ෆිල්ම් එකක් බලන්ඩ යන්ද කියලා අහන්නෙ.. 

ඒකට අද නම් අද ඇහුවා හෙට රෙස්ට් හවුස් එකක කාමරේට ගියා හෙට සේරම වැඩ ඉවරයි දෙන්නා වෙන දෙන්නෙක් සෙට් කරන්.. නැත්නම් කොල්ලා බැඳපු එකෙක්.. කෙල්ල කඳුළු බිබී සාප කර කර ඉන්නවා. 

ඉතින් මන් මෙතන කියන්නෙ නෑ.. අඩේ අපේ කාලෙ පට්ට, නියමයි, සදාචාරේ රැකුනා.. අපි ඔව්වා කලේ නෑ..අපි හරී හොඳයි කියල නම්..ඒ වෙනුවට කියන්නෙ උඹලට හොඳ නම් ඕනි මඟුලක් කර ගනියව්.. ඉතින් අපිට පාන්ද ? හැබැයි නංගිලා... දූලා.. වැඩේ කොරවා ගෙන බොරුවට අපි බබ්බු කියලා ඔය බලෙන් ඇද ගෙන ගිහින් කොරා කියලා පොලෝසි පොත් පුරවන්නයි, පත්තර, එෆෙම් නාලිකා පුරවන්නයි ඉස්සර කල්පනා කොරහල්ලා.. එච්චරයි. කොල්ලන්ටත් කියන්නෙ නිකන් විරහා ඔළුවෙන් ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙන්න හරි නැත්නම් අරකි මරලා තමන්ගෙ ජීවිතෙත් විනාශ කර ගන්නෙ හරි නැතුව කොරන මඟුලක් කර ගත්තට අපිට මොකෝ ඕන්.. 

අන්තිමේ අපිටයි මල කරදරේ ඔව්වා මීඩියා වලින් යනකොටයි නැත්නම් අනේ මන් බබා මට මේ සේරම කෙලි උනේ ලව් කොරන්ඩ ගිහින්ය කියලා කඳුළු පෙර පෙරා අපේ කාලෙත් කන්ඩ එනකොටයි උන්ගෙන් අහන්නෙ වෙන්නෙ යකෝ අපිට කියලද ඔව්වා කොරේ කියලා තමයි..මල පයින්නෙ කෙල උනහම චරු චුරු ගාන්ඩ එනකොට තමයි..

මහ පඳුරක් නොවැ තැළුවෙ.. කෝ කතාව ?

ඉතින් ඔහොම බොහොම අමාරුවෙන් කැමති කරවා ගෙන හෝල් එකකට එක්කන් ගිය ළමයව තමන්ගෙ අම්මටයි තාත්තටයි අතටම අහු උනහම කොහොමද තියෙන සනීපෙ ? හැබැයි ඒ අම්මයි තාත්තගෙයි මෝඩ කමට ඕක ගමේම ලීක් වෙලා ආයි ඒ කෙල්ලට තව කොල්ලෙක්ව හොයා ගන්න බැරි උනාට නම් පෙම්වතා වග කියන්ඩ ඕනියැ ? ඒ සිද්දිය උනේ මගේ හොඳම යාළුවෙකුට.. අන්තිමේ අර ගර්ල් රට ගියා ගියාමයි..ගමට ආවෙවත් නෑ. ගම්පහ පැත්තෙන් බැඳලා ඉන්නවා කියලා තමයි මේ ළඟදි මන් ඒ ගොල්ලන්ගෙ ගෙදර ගියහම කිව්වෙ. අර මගේ යාළුවා ටවුන් එකේම හොඳ බිස්නස් කාරයෙක්. ඒ මහ දෙන්නා අදටත් පසු තැවිලි වෙනවා ඒ දෙන්නා කරපු නාඩගමට. මොකද අපිත් ඒ කාලෙ හැදුවෙ ඒ සිද්ධිය ලීක් නොවී ගොඩින් බේරන්ඩයි. ඒ අම්මගේ යාළුවෙක්ගෙ පණ්ඩිත කමට මේ ළමයව ඩොක්ටර් කෙනෙක් ළඟට එක්කන් ගිහින් කන්‍යා පටලය තියේද කියලා චෙක් කරලා. අර උපදෙස් දීපු යාළුවම පස්සෙ ඕක ප්‍රචාරය කරලා ගමේ. ප්‍රශ්ණයක් වෙලා නෑ..කියලා..

ෆිල්ම් හෝල් වල වෙච්ච කිව හැකි වගේම කිව නොහැකි කතාත් ගොන්නක් මතකෙට ඇදී ගෙන ආවත් තව කොටසකින් ඒ ටික කියන්නම්...

Saturday, August 18, 2012

මා දුටු ලියන්නාගේ - 2

නිවැරදි කිරීම් : -  මෙම ලිපියේ මාතෘකාව මා දුටු ලියන්නා - 2 ලෙස නිවැරදි විය යුතු බව කරුණාවෙන් සලකන්න.


මෙම චිත්‍රය ඇනොනිමයකු විසින් එවා ඇත.


මේ අපේ ජනු නඟා විසින් එවා ඇති සිත්තරයයි..මේ අර ඉන්ටවීව් එකේ වෙච්ච ඇබැද්දිය නේද ?
මේ දිමුතු මාව අපේ ඔෆිස් එකේ මන් දවල් කෑම කන වෙලවෙදි කෑම අක්කලා දෙන්න එක්ක දැකලා.. ඒත් ඇවිත් කතා කලේ නම් නෑ තාම..

මේ අපේ මාල් සොයුරිය (දුවණිය ?! ) එවූ චිත්‍රය



මේ තියෙන්නෙ අපේ මඩිස්සලේ නිශාන් මලයා එවපු චිත්‍රය.. කවුද අප්පේ මේ ලස්සන ගෑණු දරුවෙකුත් ඉන්නෙ..
මේ තියෙන්නෙ අපේ සයිබර්යායේ හැමෝම දන්න සිත්තරාගේ චිත්‍රය තමයි.. දක්ශයාට ටැබ්ලට් මොකටද ..? පැනක් තිබ්බත් මදැයි කියලයි මට නම් හිතුනෙ...

මේක එව්වෙ මාරයා මල්ලි.. එව්වා කිව්වට මූනු පොතේ හැංගිලා තිබිලා එලියට ඇද්දා.. ඊ මේල් එක එව්වෙ නැත්තෙ අපිට ඒ මේල් ඇඩ්ඩස් එක අහුවෙලා ලියුම් එවයි කියලා බයට වෙන්ඩැති..හිටුකො ඕක හොයා ගෙන හැක් කරන්න...


මෙම චිත්‍රයද ඇනොනිමසියකු.. ඇනෝ ස්ත්‍රීලිංග පදය එසේ වෙතැයි සිතමි. මන්ද සිත්තරය සමඟ
අනේ සුදු අයියෙ, මට ඔයාව හරියටම මතක නෑ. මතක් කරගන්න මං ඇස් දෙක පියාගෙන කල්පනා කලා.. එතකොට මට මතක් වෙච්ච ටික තමයි මේ ඇඳලා එව්වෙ..
යනුවෙන් ලියා එවා තිබුනාය.

මෙම චිත්‍රයද එක්තරා ඇනෝ කෙනෙකු විසින් එවා ඇත.


බීටල් විසින් එවනු ලැබූ මෙම සිත්තරය මා අතින් අත්වැරදීමකින් ගිලිහී ගොස් ඇත.. ඔහු මා හට සමාව භාජනයකට දමා දෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි..


Friday, August 17, 2012

උඹ පොන්නයෙක් !


පින්තූරය ගත්තේ...
http://www.featurepics.com



"උඹ නපුංසකයෙක්"

දිනා ගත නොහැකි වාදයක සුදත් තම අනිතිම තුරුම්පුව විය හැක්ක මා වෙත දමා ගැසුවේය.

මාගේ ශරීරය පුරා ලේ ගමන වැඩිවී කන් රතු වෙනවාත් සමඟම හිඳි අසුනෙන් නැගිට්ටුනේය..

අප සාකච්ඡා කරමින් සිටියේ දේශපාලනය පිළිබඳවයි. රටේ පැවති, පවතින සහ පැවතිය යුතු දේශපාලනය පිළිබඳ අප කීප දෙනා පැය ගනනාවක් සාකච්ඡා කරමින් සිටි අතර වාරයේ බියර් බඳුන් කීපයක්ද බෝතලයක්ද හිස් වෙමින් තිබුනි. 

සුදත් ගේ වදන් හමුවේ අන් සියල්ලෝම වහා නිහඬ වූයේත්..මුවඟට මද සිනා නගා ගත්තේත් ඊළඟ නිමේශයේ කුමක් වේදැයි යන්න පිළිබඳව සිතා ගත නොහීය. 

"උඹ පොන්නයෙක්"

මන් නපුංසකයෙක් නෙවෙයි පොන්නයෙක් නෙවෙයි  කියලා පෙන්නන්න නම් මෙතනම එක්කෝ කලිසම ගලවලා පෙන්වන්න ඕනි. නැත්නම් මූට මෙතනම .... ඕනි එහෙම උනොත් මෙතන කොළු කාරයෙක් වෙනවා.. නැත්නම් මුගේ ගෑනිට මහ වැඩේ කරලා පෙන්නන්න ඕනි. නැත්නම් ඒක එහෙම නෙවෙයි කියලා කොහොමද ඔප්පු කරන්නෙ?

මේ වෙනතෙක් අප කතා කරමින් සිටි මාතෘකාව ගැන මගේ  සාමාන්‍ය ප්‍රතිපදාව වූ නිහඬත්වය රකිමින් ඔවුන්ගේ ගැටෙන, බිඳෙන , ගොඩනැගෙන සහ යලි බිඳෙන තර්ක විතර්ක සියල්ල අසමින් ඒ ගැන සිතමින් නමුත් කිසිම විනිශ්චයකට නො එළඹෙමින් මේ සම්පූර්ණ කාලයම ගත කලෙමි. ඉඳහිට ඔවුන් පවසන අතීත සිදුවීමක නියම වර්ෂය හෝ පුද්ගලයකුගේ නියම නාමයක් මතක් කර දීමක් හැර මාගෙන් මෙම සාකච්ඡාවට එකතු වූ යමක් නොවීය. 

අතීතයේ දිනයක නම් මාත් මෙවන් සාකච්ඡා වලට ප්‍රබලවම සම්බන්ධ වූවත් පසුගිය වර්ශ කීපයේ සිටම මාගේ පුද්ගලික හේතුවක් නිසා දේශපාලනය යන මාතෘකාව මාගේ නිතර හිතන , පතන කථා කරන ජීවිතයෙන් බොහෝ දුරින් දුරස් වූයේ එම කාලය තුල මා වෙතින් විවිධ දේශපාලන මති මතාන්තර දරන සහෘදයන් තව තවත් මා ජීවිතයට ලං කරවමිනි. සජීවී ඇහුම්කන් දීම හැර මගේ කියා දේශපාලන මතයක් නොමැතිව සිටීම මා වඩාත් ප්‍රිය කලේ අතීතයේ මෙන් මාගෙන් දුරස් වන බොහෝ යහළුවන් වෙනුවට එම තත්වයේ හාත්පසින්ම වෙනස් වූ ප්‍රියජනක මිතුරු සමාගමයකට මා ඇද දැමීමට එය මහත් රුකුලක් වන නිසාය. ගොවියකු වූ මා පියාද සැමවිටම කියා සිටියේ කුමන දේශපාලන මතය දැරුවත් අපි මහන්සි වී අපේ ජීවිකාව සකසා ගතයුතු බවය. සමහර විට කුඩා කල සිටම එම හුරුව වෙනස් වෙමින් වෙනස් වෙමින් අද සිටින මෙම තත්වයට බලපාන්නට ඇත. 

එම නිසාම මෙම මගේ මිතුරු කල්ලිය මේ දක්වා කථා කල කොල , රතු නිල් , දම් දේශපාලනය පිළිබඳ මා හට ප්‍රකාශ කිරීමට කිසිම ස්ථාපිත මතයක් නැත.  උඹ මහ පොන්නයෙක් යනුවෙන් සුදත් හඬ නගා කියූවේ ඔහු නැගූ ප්‍රශ්නයකට මා දුන් අතර මැදි පිළිතුර නිසාය. සමහර විට ඔහු ඔහුගේ මතය සාධාරනීකරනය කරන පිළිතුරක් බලාපොරොත්තු වන්නට ඇත.

පොන්නයා හෝ නපුංසකයා යන්නෙන් හඳුන්වන්නේ ස්තී හෝ පුරුෂ නොවන එයට අතරමැදි තත්වයක සිටින කෙනෙකි. ඔහු ස්ත්‍රී හෝ පුරුශ කියා වෙන් කල නොහැකිය.

මද පමණින් මත් වූවද මා සිතට නැගුනේ සුදත් කී දෙය සම්පූර්ණ සත්‍යයක් නොවන්නේද යන්නයි. සැබවින්ම මා ගතින් එලෙස නොවූවත් දේශපාලන මතිමතාන්තර පිළිබඳව පොන්නයෙකි. පැහැදිලිව මේ යැයි කීමට යමක් නැත. සංකල්පීය වශයෙන් මෙතැනට මීට වඩා හොඳ වචනයක් නොමැත්තාසේය.

මේ සියළුම සිතුවිලි සිතට නැගුනේ ඇසි පිය හෙලන නිමේශයෙනි. මා දෙපැත්තේ හුන් දෙදෙනා මා නැගී සිටි හාම ඔවුන්ද යම් පහසු ඉරියව්වකට පැමිණියේ මා සුදත්ට පහර දේවියැයි සිතා වන්නට පුළුවන. මාගේ මුවඟට සිනාවක් නැගුනා මතකය. 

"මචන් ඔය බයිට් එක දීපන් මෙහාට.. ඕකෙ සේරම කජු ටික උඹලා කෑවද?"

බයිට් පිඟාන අතට ගනිමින් සිනාමුසු මුහුණින් මා සුදත් දෙසට හැරුනෙමි.

"මචන් සුදත් උඹ හරි මන් පොන්නයෙක් තමයි. ඇයි බන් මට කිසිම දේශපාලන අදහසක් නෑ ඒක එක පැත්තකින් පොන්න කමක් නේන්නම්"

සියල්ලන්ගේම සිනා හඬත් සුදත්ගේ විමතිය දනවන මුහුණත් මා අබියස තවමත් මැවේ.. මෙයම මීට වසර දහයකට උඩදී වූවානම් මෙම මිතුරු හමුව මෙතනින් අවසන් වන්නට ඉඩ තිබුනි. 

මා ගැන මටම පුදුමය. 

Thursday, August 16, 2012

සැදැහැ සිතින්..




සුදුම සුද හැඳ ගත් බහුතරයක් මහළු වියේ මෙන්ම සුළුතරයක් තරුණ හා ළමා ළපැටියන්ද දෑස පෙනෙන මානයට යනතෙක්ම පේළි දෙකකට සෑදී සෙමින් සෙමින් ඉදිරියට ඇදේ. ගැඹුරු හඬින් වූවද සිතට ශාන්ත හැඟුමක් එක් කරන නමුත් විදෙස් ඌරුවකින් බුදුන් දහම් සඟුන් සරණ යන ගාථා සමුච්චය සවනත වැකේ. ඉදිරියේ පැනවූ අසුන් මෙන්ම බිම එලාගත් පැදුරු, ඉටිකොළ මත හිඳ ගෙන දෑත් එක් කර ගෙන මහාත්වූ ශාන්තියකින් යුක්තව විටෙක් අහස බලමින්ද විටෙක ඉදිරියේ වූ පිළිම වහන්සේ දෙස බලමින්ද යමක් මුමුණන මහා පිරිසකි. සියල්ලන්ගේම දෑස් යම් බලාපොරොත්තුවක ආලෝකයකින් දිදුලයි. සිත ශාන්තියෙන් යුතු බව සියළුම ඉරියව් වලින් ප්‍රකට කෙරේ. 

ලොව පාශාණයකින් කරන ලද විශාලම බුදු පිළිමය මේ දිනවල එළඹෙන 19 වනදා තෙක්  BMICH හි ප්‍රදර්ශනය කෙරෙන අතර ඉහත කී දෑ මා නිරීක්ශනය කලේ එහිදීය.

ජේඩ් පාශාණයෙන් නිමවූ මෙය විශ්ව සාමය සඳහා කෙරෙන බවක් කියැවේ. 

විශ්ව සාමය සඳහා නම් කලයුත්තේ බලය පිළිබඳ රට රටවල නායකත්වයේ සහ ජාතියේ තිබෙන කෑදරකම නැති කිරීම විනා මෙවන් පිළිමයක් සමඟ පන්සලක් තැනීමද යන්න මගේ මෝඩ මොළයට පැමිණියත් හැකි ඉක්මනින් වට පිට බැලුවේ එය කාට හෝ දැනී මාගේ හොම්බ තැලීමට පැමිනෙන්නේදැයි කියාය..

මා හට මෙය කරවන අය පිළිබඳ  උපේක්ෂාව  හැර කිසිදු හැඟීමක් නොමැති නිසා මාගේ සිතට නැගෙන සිතුවිලි සියල්ල යටපත් කර ගනිමින් මද වෙලාවක් එතැන රැඳුනෙමි.

පහු ගිය දින කීපය පුරාවටම ලංකාව දසතින් ලක්ශ ගනනක් බැතිමතුන් මෙය බලා වන්දනාමාන කර ගැනීමට පැමිනෙන්නට ඇත. 
ජේඩ් පාශාණය වාසනාව සෞභාග්‍ය කැන්දන පාශානයක් ලෙස පැළඳීමට යොදා ගන්නා බව මා දන්නේ මා හටද ලැබී ඉඳ හිට පළඳින මාලය නිසාය. 

මා තවත් හොඳින් නිරීක්ශනය කලෙමි. සැමට පොදු වූයේ සුදුවත පමණි. 
එක් වයසක නෝනා මහත්මියෙක් මහත් ශෝකයෙන් මෙන් තමා සමඟ පැමිනි තරුණිය අමතයි. 

"උඹ නොවෙන්න මමත් දමන් එනවා මගේ පවුම් පහේ මාලෙ.. බලහන් අනිත් මිනිස්සු අතකර වැහෙන්ඩ රත්තරන් පොරවන් ඇවිත් ..මන් විතරයි මෙතන මොකාද වගේ අත කර පාළුවෙන් ඇවිත්.."

ඔවුන් දෙදෙනා මාගේ මානයෙන් ඉවත් වෙයි..මා නැවතත් බැලුවෙමි. ..
සැමටම පොදු සුදු වත පමණි..ස්වර්ණාභරන තරඟයක්දෝහෝයි මට සිතුනි. 
සුළුතරයක් පමණක් ඉතා චාම්ව සිටිනු පෙනේ. 

මා හට නැගෙන සිනහව මෙම පරිසරයට නොගැලපෙන බැවින් මා ඉක්මනින් මෙයි ඉවතට ඇඳුනෙමි.

මේ සියල්ලම හරි හෝ වැරදි යැයි කියන්නට මට නොහැකිය. මන්ද යත් මේ පිළිබඳව යම් විනිශ්චයකට එළඹෙන්නට තරම් මා පරිපූර්න අයකු නොවන නිසාත් එවැනි දේතුලින් හිස හා හිත පුරවා අනීවාරතේ දුක් විස්සෝප වනවාට වඩා උපේක්ශා සහගත හැඟීමකින් සිත් පුරවා ගැනීම මා සෑමවිටම ප්‍රිය කරන නිසා වනට පුළුවන. අපද කය දුබලවී සිත එඩි බිඳෙන විට කුමක් කරයිද යන්න ගැන කීමට කා හටත් නොහැකිය. 
සියළුම සැදැහැවතුන් පාහේ තම පොකැට්ටුව ඇද තමන් සතු මුදල් ප්‍රතිමාවට පූජා කරන අතර අසල පින් පෙට්ටියක්ද විශ්ව ශාන්ති බුද්ධ මන්දිරයක් සෑදීමට දායක වීමේ කර්තව්‍යක්ද , සමරු මිලදී ගත හැකි කඩ පෙලක්ද දඹදිව සංචාරයන්ට ලියා පදිංචි වන අයට වට්ටම් සහිතව ලබා දෙන මිල ගණන්ද පසෙකින් වේ. 

මාද පොකැට්ටුව හැර රුපියල් සියයේ කොල හතර අතර වූ පනහේ කොලය අසල වූ පෙට්ටියට එබුවේ උතුරා යන ශාන්තියකිනි.
තරුණ මදයෙන් ( තරුණ ??? ) මත් ව මෙහි වන්නේ ලේසියෙන් විකුනන්නට හැකි ශ්‍රද්ධාව ලෙසටම මාකට් කිරීම නොවේදැයි මාගේ මෝහයෙන් පිරුණු සිතට නැගෙන සිතුවිලි නැවතත් මර්ධනය කර ගත්තෙමි. 

මාද බොහෝ අය මෙන් මෙම විශ්ව  සාමය සඳා වූ ජේඩ් බුද්ධ ප්‍රතිමාව් වැඳ පුදා ගතිමි යන මහත් වූ ප්‍රමෝදජනක සිතුවිල්ල සමඟින් කාලය ගත කරමි. 

ලෝභ දෝශ, මෝහ දුරලා සිත, කය, වචනය සංවර කර සම්මා දිට්ඨියෙන් අරඹා සම්මා සමාධියෙන් යුක්තව නිවන් දක්නා ගමනක් පිළිබඳව මද දැනුමක් ඇති මාගේ පෘතග්ජන සිතුවිලි වලින් යමෙකුගේ සිත රිදුනේ නම් ඒ පිළිබඳ කමත්වා !

පැමිණ වන්දනාමාන කිරීමට නොහැකි බැතිමතුන් මෙම ඡායාරූපවලින් වත් සිත සනහා ගනිත්වා..
















Monday, August 13, 2012

මා ඉතින් යන්න යනවා...


මා දුටු ලියන්නා මාතෘකාව යටතේ තවමත් සිත්තර ලැබෙමින් පවතින බැවින් එම සිත්තර සියල්ලම  සති අන්තයේ පල කිරීමට තීරණය කලෙමි.


තැනකින් තවත් තැනකට යනවා කියන එක හැමවිටම තරමක් අමාරු කාර්‍යයක්. මෙතනදි තමන්ගෙ වැඩ කරන කාර්යාලය වෙන්න පුළුවන් නැත්නම් තමන්ගෙ පදිංචි වෙලා ඉන්න ස්ථානය වෙන්න පුළුවන්. මං තුමා මේ දවස්වල මූණ දීලා ඉන්නෙ ඒ අමාරුතම කාර්යයට තමයි. අවුරුදු 5ක් විතර එකම තැන රැඳිලා හිටි ඇනෙක්ස් එක ආයිමත්  නිවාස හිමියට ඕනි කියලා කිව්වහම මන් දන්න කියන හැමදෙනාටම කීවා තැනක් තියේ නම් කියන්න කියලා..පණිවිඩේ දුටු විගසම දුරකතනයෙන් කතා කරලා තමන් දන්න තැන් කීව අය සහ හොඳ තැනක් සොයලා දෙන්න උනන්දු වෙච්ච අය බොහෝයි. ඒ අය වෙනුවෙන් කෘතඥතා පූර්වක හැඟීමක් හිත ඇතුලෙ තියෙනවා ඕන්..ඉතින් එහෙම පණිවිඩ ආපු කීප තැනක්ම බලන්ඩත් ගියා.

ඒ අතරින් මන් කාලෙකට ඉස්සර ආර්ථික අතින් උනත් දැනට වඩා අමාරුකම් තීබ්බ කාලෙක  අවුරුදු තුනක් විතරම  නැවතිලා හිටි තැනට එන්නයි කියලා මගේ මිතුරෙක් කීවා. ඇත්තටම මට ඒ ප්‍රදේශය හරියට ගම වගෙයි. ඇත්තටම ගමක අසිරිය තාමත් රැඳිලා තියෙනවා.ඒ වගේමයි නෑදෑයෙක් ඥාතියෙක් නොවන යාළුවෙක් වෙච්ච ඒ පවුලෙන් මට ලැබිච්ච සැලකිල්ල..අද වගේ මතකයි. ඒ කාලෙ වෙන කොටත් මගේ තාත්තා නැති වෙලා නමුත් අම්මා හිටියත් මන් මේ යාළුවගේ අම්මටයි තාත්තටයි කතා කලේ අම්මෙ , තාත්තෙ කියලයි.. පුදුම ආදරණීය බැඳීමක් තිබුනා..ඒ සහෝදර සහෝදරියොත් ඇත්තටම මාව සැලකුවෙ ඒ අයගෙම සොයුරෙක් විදියටම තමයි. ඒ කල්දිමත් මන් හිතුවෙ සංසාරෙ කොයියම්ම කාලෙක හරි මන් අපි හැමෝම එක පවුලක ඉන්න ඇති. නැතිනම් එහෙම වෙන්නෙ කොහොමද ? ඉතින් ඒ වගේ තැනකට ආයි යන්න ලැබුනහම හිත හිතා ඉන්නෙ කවුද ?

නමුත් අපිට තැනකින් තැනකට යන කොට මේ දැනෙන හිතේ අමාරුව මොකද්ද ? ඒ තමයි ඉන්න තැන ගැන අපේ හිතේ තියෙන  මිහිරි  මතකයන්..මාව බලන්න තමන්ගෙ පවුලට එකතු කර ගත් අළුත් සාමාජිකයාත් එක්ක ආපු මගේ යාළුවො දෙන්නට කීවෙත්

"මට මෙතන දාලා යන්න දුක නෑ.. ඒත් මේ ලැසී, කුකී , බ්‍රවුනි බල්ලො ටික දාලා යන්ඩ වෙන එක තමයි දුක" 

කියලයි. ඊට අමතරව මේ අවට ඉන්න යාළුවො යෙහෙලියො.. මගේ බ්ලොග් පෝස්ට් වලට අමුද්‍රව්‍ය සපයපු මේ සියල්ලන්ගෙන්ම මන් ටිකක් ඈතකට යනවා කියලා හිතෙන කොට හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් ලොකු හුස්මක් පපුවට ඇදෙන්නෙ නොදැනුවත්වමයි.. ඒත් කවදා හරි මෙහෙම යන්ඩ වෙනවාමයි.. ටික කලයක් එතන ඉන්නකොට ඒ පරිසරයට මාව දියවෙලා පත්තියම් වෙයි.. ආයිමත්.. මේ පරිසරයේ ඉඳන් ලීවා වගේම සිය දහස් ගානක් ලිපි වලට අමුද්‍රව්‍ය ඒ පරිසරයේ තියේවි..

පහු ගිය දවස් ටිකේම බඩු අස් පස්  කරන කොට තමයි මට තේරුනෙ ඇත්තටම මන් කොයිතරම් දේවල් නම් අනවශ්‍ය විදියට ගොඩ ගහන් ඉන්නවද කියලා.. ඇත්තටම ඒ පොඩි පොඩි දේවල් ඒ වෙලාවෙ යම් තැනකට එකතු කරන කොට ඒ වෙලාවෙ ඒ පොඩි දේට ලොකු වටිනාකමක් තිබ්බා.. අද මේ වෙලාවෙ ඒක කුණු ලොරියට පටවන්න සූජානම් කොරලා තිබ්බට.. හොඳම නිදසුන තමයි මගේ මේ සීඩී ගොඩ.. 



පරන ෆිල්ම්, සොෆ්ට්වෙයාර්..ආදී දේවල්.. ( අනේ වැල නෑ...) ඒවයෙ ඒ කාලෙ ලොකු වටිනාකමක් තිබ්බ නිසා එකතු කර ගත්තා.. නමුත් කලෙක්ශන් එක අප්ඩේට් කර ගෙන නම් නෑ.. ඒත් මේ තෑගි ඔතපු කොල, කැඩිච්ච රිමෝට් කන්ට්‍රෝල්.. කම්පියුටර් කෑලි නම්.. අනේ මන්දා ? 

කොහොම හරි සෑහෙන්න කප්පාදුවක් දමලා තමයි ඉතුරු වෙන බඩු ටික අරන් යන්නෙ..දැනටමත් විසි කරන්න ගොඩ ගහපු දේවල් ටිකක් මේ..




 තව පැක් කරන්න දේවලුත් ගොඩක් තියෙනවා.. ටිකින් ටික එකින් එක හෙමිහිට කරනවා. යාළුවො දෙතුන් දෙනෙක්ම උදව්වට එන්න ඇහැව්වත් මට යන්න තව දින කීපයක් තියෙන නිසාමත්.. මට හෙමිහිට මේ තියෙන දේවල් වලින් ඕනිම දේවල් විතරක් නිවීහැනහිල්ලෙ තෝරා ගන්න ඕනි නිසාමත් මම ම වැඩේ කර ගෙන යනවා...

 ඔය අතරේ ඊයේ රෑ නිවෙස් හිමියා තමන්ගෙ තීරනෙ වෙනස් කරලා මට ආයි තව මාස 6කට ඉන්න කියනවා.. අයියෝ සොරි ඩොට් කොම් තමයි...දැන් නම්... මන් දැන් යාළුවට එනවා කීව නිසාත් මන් දැනටමත් පුරුදු වෙන්න මානසිකව ඒ පරිසරයේ සැරි සරන නිසාත් මන් ස්තූතිපූර්වකව ඒ යෝජනාව ප්‍රතික්ශේප කලා. 

"කමක් නෑ ඔයාගෙ කැමැත්තක්. අපි මෙතන වෙන කාටවත් දෙන්නෙ නෑ. ආයි එනව නම් එන්න"

කියපු ගෙවල් අයිතිකාරයා ගැන මට හිතුනෙ අපරාදෙ මට යන්ඩ කියන්ඩ ඉස්සෙල්ලා ඒ ගොල්ලොම තව දුර දිග කල්පනා කලා නම් මොකද වෙන්නෙ.. දැන් පරක්කු වැඩී.. හැබැයි ඒ කතාවෙන් මට තේරෙන්නෙ මන් කොයිතරම් මෙතන හොඳට හිටියද කියලයි. කිසිම ගැටුමක් නැතුව අවුරුදු පහක් එක තැන ඉන්නවා කියන්නෙ..මහ ලොකු දෙයක් නෙවී වෙන්න ඇති..ඒත් මන් දන්නවා ගෙවල් හිමියන් සහ කුලී හිමියන් අතරෙ වෙන ගැටුම්. නමුත් මෙතන ඒ අය මට සැලකුවෙ පවුලෙ අයෙක් වගේමයි. ඒ නිසාම මමත් කිසිම දෙයක අඩුපාඩු හොයන්න ගියේ නෑ, මගේ පාඩුවෙ හිටියා. 

අළුත් තැනට.. අළුත් තැන කීවට මට කාලෙකට ඉස්සෙල්ලා හොඳටම හුරු පුරුදු තැන..ගිහින් ටික කාලයක් යනකන් මෙතන ගැන හීන පෙනෙන එක නවත්තන්න බැරි වේවි.. ලැසියා , කුකියා සහ බ්‍රවුනියා.. රූබියා සහ ස්ට්‍රෙන්ජර්.. බලන්න එනවා නිතරම.. එහෙම හිතා ගත්තා..
ඒත් හිත රිදුම් දෙනවා.. තුවාල වෙලා නම් නෙවෙයි.. 

දැනටමත් ලැසීට තේරිලා මන් යනවා කියලා. මන් බඩු පැක් කරන කොට උළුවස්ස උඩට ඔළුව තියා ගෙන මන් දිහා දුකින් වගේ බලා ඉන්නවා..

මෙහෙම තමයි ජීවිතේ.. එනවා...ඉන්නවා... යනවා... ඉපදෙනවා...ජීවත් වෙනවා... යන්න යනවා.. හැමදේකම තියෙන පොදු ස්වභාවය..ඔය අතරේ දුක් විඳිනවා..සැප විඳිනවා..ඒවත් අතිවිඳිමින් ජීවත් වෙනවා...