ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, August 10, 2012

මා දුටු ලියන්නා


මා දුටු ලියන්නා සිතුවමට ඇඳ එවූ සියල්ලන්ටම මාගේ හද පිරි සතුට පිරි නමන අතර.. තවමත් මෙම ඇබෑර්තුව විවෘතව ඇති බව මා හද පිරි ප්‍රීතියෙන් යුතුව මෙයින් ප්‍රකාශ කර සිටිමි..






La flaneur විසින් එවනු ලැබු  මෙම චිත්‍රය.. මා තවමත් ඇය\ඔහු කවුදැයි නොදනී.. මා යැවූ මේලයටද තවම පිළිතුරක් නැත..නමුත් චිත්‍රය නම් කදිමය..
\\i

I just saw my little piece of art in your post today. Thanks for publishing it .

Nope, am not any of your friends. But a huge fan of your blog. I love your writing (and your art too ). Keep it up dude, all the best!\\

මීට වඩා සතුටක් තවත් කොයින්ද ?



මේ අපේ මාධව ජයරත්න මලයා විසින් එවනු ලද්දකි..ඔහු බයිසිකලයේ සිට මා ඈතින් දැක ඇති අයුරු මනාවට සිතුවමට නගා ඇත..





අපේ කල්හාර මල්ලිගේ දු විසින් අඳින ලද්දකි. පොඩ්ඩි මාව දැක්කෙ සයිබර් උලෙලෙදි තමා පලමුවෙනි සැරේට..


මේ අපේ රාමා විසින් අඳින අද සහ නිර්මානය කරන ලද සිත්තර දෙකයි...මේ ෆොටෝ එක නම් ගත්තෙ චින්තක එදා BMICH එකේ Hitel Show 2012 දී..රාමත් අපේ අම්මගේ මල ගෙදර ආපු නිසා රැවුල ඇඳලා තියේ..


මෙය සමීර අළුත්ගෙදර මලයා විසින් එවන ලදී..මන් හෙළුවැල්ලෙන් අර ඉස්සෙල්ලා කොප්පෙ ගහපූ එකද මන්දා ඇඳලා තියෙන්නෙ.. කොටු කොටු ටිකක් දමනවද කියලා හිතලත් පස්සෙ ඒක නෙවෙයිම කියලා සහතික උන නිසා චිත්‍රෙ එහෙම්මම තියෙන්නෙ ඇරියා..



මේ වඩා පහසුව සඳහා බොහෝ කොටස්  නම් කොට චිත්‍රය ඇන්ඳේ අපේ සිහින මලයායි..මගේ යාළුවොයි මායි මේකට හිනා වෙච්ච තරමක්..



මෙම චිත්‍රය ක්සැන්ඩර් එවා තිබුනි..හැබැයි ක්සැන්ඩර්ට සිත්තරේ එව්වට පස්සෙ තමයි රැවුල මතක් වෙලා තිබ්බෙ.. ඕන් කකුල කඩන් හරි සයිබර් ෆෙස්ටිවල් එකට ආවනම් මතක හිටී රැවුල..

මෙම චිත්‍රය ඇනොනිමස් චිත්‍රයකි..මට හිතෙන්නෙ මේ පෑන්ටීස් වැලක් යට  හෙ**ද මන්දා ඉන්නෙ ???



මා වෙත ලද සිය දහස් ගනනාවක් අතරින් මෙම චිත්‍ර පමණක් තෝරා පබ්ලිස් කර ඇති බව කරුණාවෙන් සලකන්න.

මීට අමතරව ඔබ නොදුටු ලොවක් සහ නවම් මාවත සිත්තර එවා ඇති බවට පැවසූවත් ඒවා මා වෙත නොලද බැව් ඇඬූ කඳුලින් දහ අතේ දිවුරමින් ප්‍රකාශ කර සිටිමි.

ප.ලි 
"අඩෝ බොරු කියන්ඩෙපා සිය දහස් ගනනක්...ඔච්චරමයිනෙ ආවෙ ඒ මදිවට අර ඇනෝ..

"කට කට කට.. කෑ නොගහ හිටු ..ඒක මමයි උඹයි විතරයිනෙ දන්නෙ. මේක බලන්ඩ එන අය දන්නෙ නෑනෙ"


Wednesday, August 8, 2012

සිත් ගන්නා සුළු පඩියකට...


"පුතේ උඹත් බොරුවට දඟලන්නෙ නැතුව ඔය බුද්ධි ලමයා, හැන් රො ලමයා සඳරූ ලමයා වගේ කා හරි ගනින් පඩියට සිත්තර අන්ඳව ගන්ඩ උඹේ ඔය බොගද මොකද්ද එකට"

ආච්චි මගේ ඔළුව අත ගාමින් ආදරයෙන් පවසන්නීය..

"කවුද ආච්චියෙ ඉතින් මගේ එකට එහෙම චිත්‍ර ඇඳලා දෙන්න එන්නෙ?"

"මන් දන්නෙ නෑ පොඩ්ඩක් කියලා බලහන්කො..නැත්නම් මෙතන උඹ ඕක ගැන චුරු චුරු ගාලා මගේ සංසාර ගමනත් කෙටි කරනවා බන්..මට මේ බණක් භාවනාවක් කර ගන්නත් නෑ උඹලගෙ පුරස්න හින්දා" 

මාගේ ආදරණීය ආච්චිගේ මහාර්ඝ සංකල්පය අනුව සිත මෙහෙයවූ මා හටද පෙනී ගියේ මා සිත්තර ශිල්පියකු සිත් ගන්නා සුළු පඩියකට බඳවා ගත හොත් මාගේ මේ දැවෙන සුළු ප්‍රශ්නයට විසඳුමක් ගෙනෙනු ඇති බවයි. වහාම සහි අන්ත පත්තර ටික ගෙන කියවන්නට වීමි. බොහෝ දැන්වීම් තිබුනේ සිත් ගත් තරුණිය , පෙම්වතා හෝ පෙම්වතිය වශී මඟින් පැය ගනනකින් දෙපතුල ළඟට ගෙන්වා දීමේ වෙළඳ දැන්වීම් තිබූ නමුත් ප්ලෑන් බී සඳහා එම දැන්වීම් කපා වෙනම ෆයිල් එකකට එකතු කර ගතිමි. මුල් ප්‍රයත්නය අසාර්ථක වූවොත් පමණක් වශි වැනි ගුප්ත විද්‍යා වූවද යොදා ගැනීමේ අවස්ථාවන් ඇති බැව් දැන ගැනීම නිසා මාගේ සිතට මහත් අස්වැසිල්ලක් ගෙන දෙන්නට වීය.

මේ අදහස තවත් පිරිපහදු කර ගැනීමේ අටියෙන් යුතුව මා මාගේ මිතුරන් කීප දෙනෙකුට සහ දුරකතනයෙන් අහඹු ලෙස කීප දෙනෙකුටම ඇමතීම් ගන්නා ලදී.

1. "එදා වේල හොයා ගන්ඩ මහන්සි වෙන අතරෙ උඹේ කරදරෙන් බේරෙන්න වගේ බ්ලොග් එක කියවනවා නම් තමයි..ඒත් මචන් මට නම් චිත්‍ර අඳින්න වෙලාවක් නෑ"

"එහෙම කියන්ඩ එපා මශන් ඔය පේන්ට් ප්‍රොග්‍රෑම් එක අරන් මොනා හරි ඉරි දෙක තුනක් හරි ඇඳලා එවපන්.. මේක ගොඩ දාගන්නත් එපාය"

2. "අනේ මන්දා බන් උඹලගෙනුත් තියෙන කරදර හැබෑටම"

3. "මොකද්ද බන් මන් උඹව දැකලත් නෑ.. උඹේ බ්ලොග් එක කියවලත් නෑ.. ඉතින් මන් මොනාද අඳින්නෙ?"

4. "අර උඹ අමනාප වෙයි කියලා මෙච්චර දවසක් මොලෝ රහක් නැති එව්වත් කියවලා කමෙන්ට් එක දැම්මා තමයි.. මේ අද ඉඳන් උඹෙයි මගෙයි තියෙන යාළු කම් ඉවරයි.."

5. !@#$$%^&&%^%$#@#@$^&**^%$ චිත්‍ර නෙවෙයි මන් අඳින්නෙ උඹේ @#$#%^%$# දවසක ඇවිත්

දඩාස් හඬින් දුරකතනය තබන හඬ ඇසිනි.

ඒ මා ඇමතුම් දුන් මිතුරන් කීප දෙනෙකුගේම කටහඬයි..

මා නැවතත් කල්පනාවේ නිමග්න වූයේ මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්නෙ කෙසේදැයි කියාය.. ප්‍රශ්න නැති කාලවලට තමන්ම මෙවන් ප්‍රශ්න සාදා ගෙන අවුල් වියවුල් ගොඩක් සාදා එයට විසඳුම් දීම යනු ජීවිතය නොවේදැයි මට විටෙක සිතේ.

යම් කාලයකට පෙර පාඨකයන්ට චිත්‍ර ඇඳීමට අවස්ථාව ලබා දී ඔවුන්ව කුළුප්පවා, අවුස්සවා උත්තේජනය කර පසුව මසකට වරක් පැමිනෙන පුන්සඳ මෙන් එන අරයාගේ උපක්‍රමය අමු අමුවේම කොප්පයක් නොගසන්නේ මන්දැයි මාගේ අත්දැකීමෙන් පරිනත සිත මාගෙන විමසීය.

සිකේ රෙද්දක් ඇඳගෙන ඔය වැඩේ කරතහැකිද? සිතේ සුදු පැත්ත විමසයි. හරි රෙදි ඇඳගෙනනෙ කරන්න බැරි.. 

කාමරයේ දොර වසා ගත්තෙමි..ජනේලද යම්තම් සුලං එනසේ අඩවල් කලෙමි.. මිදුලේ කිසිවකුත් නොමැති බවද පසක් කලෙමි..

හ්ම්ම්ම්ම්...

--------------------------------------------------------------------------
දැන්වීමයි..
යුගයේ ජනප්‍රිය ,
 ශ්‍රී ලාංකික දේශයේ ජනගහනයෙන් අඩකටත් වඩා කියවන
 ප්‍රසිද්ධ
 බ්ලොග් රචකයකුගේ
 බ්ලොග් පෝස්ට් සඳහා චිත්‍ර ඇඳීමට සුදුසුකම් ඇති ඔබ සඳහා මේ ආරාධනාවයි..
ඔබ සඳහා සිත් ගන්නා සුළු පඩියක් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැක.
තෝරා ගැනීමේ පරීක්ශනය දැන් පැවැත්වේ.
මූලික වටයේ පරීක්ශන සඳහා ඔබගේ වයස සමඟ මෑතකදී ගත් ඡායාරූපයක් පහත ඊ මේලයට එවන්න.
weniwel@gmail.com
පුරුශ පක්ශයේ අයදුම්කරුවන් ඡායරූප එවීම අනවශ්‍ය බව සලකන්න. 
ඔබ විසින් 
"මා දුටු ලියන්නා" 
යන මාතෘකාව යටතේ ක්ෂනිකව අඳිනු ලැබූ චිත්‍රයක් එවීමට කාරුණික වන්න.

-------------------------------------------------------------------
"ඉතින් මචන් උඹ හිතන්නෙ දැන් කවුරුවත් ඕකට චිත්‍ර එවයි කියලද ? 

මේ පෝස්ට් එක කියවූ මා මිතුරු මාගෙන් විමසයි.. 

"බලහන් කවුරුවත් චිත්‍ර නො එව්වොත් උඹ ආපු එව්වා කියලා මොනාද ඊළඟ පෝස්ට් එකේ උඹ පබ්ලිශ් කරන්නෙ?. මන් නම් කියන්නෙ ඔය උඹ විහින් නෝන්ඩි වෙන වැඩක්"

මා සිතද ගතද  කෝපයෙන් වෙව්ලයි..

"පලයන් බන් යන්ඩ උඹ හැම වෙලාවෙම උදැල්ලම තමයි දාන්නෙ කවුරුවත් නො එව්වොත් ද.. කවුරුවත් නො එව්වොත් මොකද කරන්නෙ කියලනෙ උඹ අහන්නෙ ? චිත්‍ර මම්ම අඳිනවා ඇඳලා ඇනොනිමස් එව්වෙ කියලා  චිත්‍ර 10ක් පාලහක් පබ්ලිස් කොරනවා..එහෙම නොකලොත් මන් ලියන්නා නෙවෙයි ඕන්.. 
මොකද  බන් උඹ හිනා වෙන්න ගත්තෙ ? මන් මොනාද දැන් කිව්වෙ ? 
ඈ කියහන්කො .. 
මට මතක නෑ"


Monday, August 6, 2012

සර්පයා දුටුවාද ?




"කොච්චර දැනුවත් කලත් වැඩක් නෑ..සර්පයෙක් කෑවහම කාපු සර්පයාව මරාගෙන එන්න ඕනි..එතකොට අපිට කෑවෙ මොකාද කියලා අඳුරා ගන්න පුළුවන්. ඊළඟට ඉන්ජෙක්ශන් දෙන්න ලේසි."


දොස්තර මහතා නුරුස්නා ලීලාවෙන් පවසමින් තමන් ලියූ තුණ්ඩුව හෙදි සොයුරිය අතට දුන් අතර නින්දෙන් අවදිවීම පිළිබඳ තවමත් අපහසුතාවයෙන් සිටි ඇය වහා යම් එන්නතක් ගෙන එය මා හට දුන්නාය. සර්පයා කෑ ස්ථානය තවමත් පිළිස්සෙන සුළු වේදනාවක් ගෙන දෙමින් ඇදුම් කයි


."ලෙඩා ළඟ කවුරුවත් නවතින්න ඔනි නෑ. උදෙන්ම එන්න බලන්න"


හෙදියගේ නියෝග නොතකා අදාල වාට්ටුවේ ඇටෙන්ඩන්වරයකුට යම් ගතමනාවක් ලබා දී මාගේ මිතුරකු මාළඟ නැවතීම මා  හට ගෙන දුන්නේ ඉමහත් සහනයකි. 


යහළුවකුගේ මල ගෙදරකට ගොස් ආපසු එනවිට කැලෑබද පාරේ සිටි යම් සර්පයකු දෂ්ඨ කිරීම නිසා  මා අසල පිහිටි ආණ්ඩුවේ රෝහල වෙත ගෙන ආවේ මධ්‍යම රාත්‍රියද පසු වී මොහොතක් ගත වූ විටය..


"නිදා ගන්ඩ බලහන් මචන්.. තාම රිදෙනවද ?"


 මාගේ මිතුරා කකුල අතගාමින් මාගේ ඇඳේ අසලම වාඩි වී සිටී.


"බය වෙන්ඩ එපා.. ඉන්ජෙක්ශන් එක ගහලා තියෙන්නෙ..විස බහී සුටුශ් ගාලා" 
ඔහ් මා සනසන්නට කියයි.


"තාම ටිකක් රිදෙනවා මචන්..උඹත් ඔහොමම ඔය පුටු ඉඳන් නිදා ගනින්"


මාද වේදනාව සිතින් සමනය කර ගැනීමට උත්සාහ ගනිමින් කීවෙමි..
මාගේ සිතුවිලි මාගේ ළමා කාලය වෙත පියඹා යයි. ඒ පාසලේ හය වන පන්තියේ ඉගෙන ගන්නා කාලයයි. මගේ සගයා වූයේ අපගේ ඥාති සොයුරකුගෙ පුතෙකි. ඔහු මට වඩා අවුරුදු තුනක් පමණ බාලය. අප දෙදෙනා ඔවුන්ගේ නිවසේ සෙල්ලම් කරමින් සිට..අසල වූ කුඹුරු යායේ නියර මත හිඳ සරුංගල් ඇරීමට පටන් ගත්තා මතකය. නමුත් සරුංගලයඋඩට යැවීමට තරම් සුළඟක් නොතිබූ බැවින් අප දෙදෙනාටම එය එපා වී තිබුනි.


 "අපි බතල පුච්චලා කමු"


අදහස මාගෙනි. කුඹුරු යායේ සශ්‍රීක ලියැදි මෙන්ම පාළුවට පුරන් වී තිබූ ලියැදි කීපයක්ම තිබුනි. ඉබේම වැල ගොස් ලියැදි  කීපයක්ම වැසී ගොස් තිබුනේ බතල ගාලකිනි. මීට පෙර කීප වතාවක්ම අප මෙම බතල ගාලෙන් සමහර දිනක අපහේ කකුල් තරමේ විශාල බතල අල හාරා ගිණි ගොඩක් දමා පුළුස්සා කා ඇති නිසා අප දෙදෙනාම සරුංගල් පසෙක දමා නතල සෙවීමේ කාර්යයට අවතීර්ණ වීමු.බතල අල කීපයක් හාරා තිබියදීම එක් විටම මාගේ කකුල පිලිස්සී යන තරමේ වේදනාවක් ඇති වූයේ හාම මා කකුල දෙස බැලූයේ කකුල දිගේ සර්පයකු ඇදී එයි. කෑ ගසා ගෙන ඉවතට දිවූ මුත් ඒ වනවිටත් ඌ මාගේ වලලුකර සමීපයට දල පහර කීපයක්ම එල්ල කර ඇත. අපගේ ඥාති සොයුරා මා හනික ගෙදර රැගෙන ගියේ එසැනින් අම්මා බුලත් අතක්ද ගෙන සර්ප වෙද මහතා හමුවන්නට ගියාය. ඔහු ගමේම ප්‍රසිද්ධ සර්ප වෙද මහතාගේ බාල පුතායි.. ඒ වනව්ටත් මා උවමනාවෙන්ම සර්පයා අල්ලා කවා ගෙන ඇති නියායෙන් මා හට බැන වදිමින් සිටි තාත්තා දෙස බැලූ  වෙද  මහතා


"බැනලා ලෙඩාව කලබල කරලා ගොඩ ගන්න නම් බෑ මාමා යන්ඩ අහකට"


කකුල හොඳින් පරීක්ශා කර බලා,


"හ්ම්ම් සෙනසුරාදා දල එකහමාරක් වැදිලා තියෙන්නෙ.. කාල තියෙන්නෙ පොලොන් තෙලිස්සෙක් පාටයි" 


දොඩම් කටුවක් ගෙන මා බෙරිහන් දෙද්දීම සර්පයා දෂ්ඨ කල ස්ථානය කඩා දුම්මලා දුම් අල්ලමින් යම් විශ අදින ගලක් තුවාලය මතින් ගෙන ගියා මතකය. මෙය පැය කීපයක් තිස්සේම කල අතර මාගේ කකුලේ වේදනාව අස්සේම මා හට නින්ද ගියේ දුම්මලා සුවඳත්, වෙද මහතාගේ මිහිරි ස්ත්‍රෝත ගායනයත් මැද්දේය.. අම්මා මා ඇහැරවා යම් බෙහෙත් කොල සහිත මැල්ලුමක් හා හොද්දක් සමඟ කෑම කැව්වා මතකයේ තිබෙන අතර ඒ වනවිටත් වෙද මහතා අප නිවසේ අන් අය සමඟ සුහද කතා බහක යෙදෙමින් සිටියේය. යම් පමණකින් අඩු වූවද කකුලින් නැගෙන වේදනාව නිසා කෑම පිරියක් නොතිබුන නිසා මා කෑවේම නැත.. නැවතත් වෙද මහතා තම කාරිය පටන් ගත් අතර මා හට නින්ද ගියේය. වෙද මහතා රෑ මැදියම් වනතුරුම මෙම විශ ගල මඟින් විශ ඇද්දීම කල බව පසුව මා හට කීවේ අම්මායි. සමහර අසාධ්‍ය ලෙඩුන් ළඟ රැය පුරාවටම මෙසේ ප්‍රතිකාර කරන බව ගම්මුන් පවසන්නේ වෙද මහතා පිළිබඳ ඇති ඉමහත් ගෞරවාදර භක්තියකින් යුක්තවය.  දින දෙක තුනක් ඇවෑමෙන් මා හට හොඳින් ඇවිදීමට හැකි වූ අතර.. මා අම්මා සමඟ  වෙද  මහතා හමු වී බුලත් අතක් දී ඔහුට වැඳ නමස්කාර කලෙමි. 


"ආයි එහෙම ඔය බතල ගාල් අස්සෙ රින්ගන්නෙ නෑ"


ඔහු මාගේ හිස අතගාමින් සෙනෙහසින් කී ආකාරය තාමත් මතකය. 
අප දුන් බුලත් අත හැරෙන්නට කිසිම පඬුරක් ඔහු පිලි ගත්තේ නැත. ඒ ඔහුගේ හැටිය. ගමේ අයට වෙද මහතකු වූවත් ඔහු කුඹුරු යායක් අස්වද්දන ගැමියකු වූ බැවින් ඔහුට අඩු පාඩු නොවූ බව අපේ වැඩිහිටියන්ගේ කතා බහ තුලින් මා වටහා ගත්තේය. අද ඔහු ජීවතුන් අතර නැත. ඔහුගේ ඊළඟ පරම්පරාව වෙදකම ඉගෙන ගත්තේද නැත..ඔහු මිය යන තුරුම අහල ගම හතේම සර්ප දෂ්ඨනයට ලක්වූ බොහෝ අය ගොඩ දමා තිබුනි.. නමුත් ආණ්ඩුවේ රෝහල් වලට ඉන්ජෙක්ශන් එකක් පැමිණීමත් හාම.. ගම කැලෑ එලි වී සර්ප වාසස්ථාන නැතිවී ගොස් බෙහෙතකටවත් සර්පයකු සොයා ගැනීමට නොහැකි වීමත් සමඟම ඉහවහා ගිය මනුස්සකමින් පරිපූර්ණ මෙවන් වෙද මහතුන් අපගේ මතකයට පමණක් සීමා වීම සිදු වූයේ කාගේ අවාසනාවටදැයි මා හට තාමත් පසක් කර ගත නොහැක..අදද වෙද මහතකු ඇස ගැටුනහොත් හිඳි අසුනෙන් පවා ඉබේම නැගිට්ටවෙන්නේ මෙම සිද්ධීන්ගෙන් පොහොසත් වූ දිවිය නිසා බව නිසැකවම පැවසිය හැක.


පසු දින වනවිට මාගේ කකුලේ  වේදනාව පහවී ගොස් තිබුනි.. ඉදිමුම තවමත් පවතී.. තව දින කීපයක් රෝහලේ නැවතී සිටීමට සිදු වන බව පැවසේ.


"ලියන්නා ඩොක්ටගෙන් ලියුමක් අරන් එන්න.. ඉන්සුවරන්ස් ක්ලේම් එක ගත්තහැකි නැවතිලා ඉන්න එක දවසට රු. 1500 ගානෙ ගෙවනවා"


කාර්යාලයෙන් නිවාඩු ඉල්ලීමට ගත් දුරකතන ඇමතුමට නිවාඩු ලිපිකරු මා දැනුවත් කලේය..


කාලය වෙනස්ය..


තාලය වෙනස්ය..


සිතට නිමා නොවන දුකක් දැනෙන්නේ සර්පයා දශ්ඨ කල නිසාම නොවේ..

Saturday, August 4, 2012

මගේ අහවල් එක...



මෙන්න ඔබ පුල පුලා බලා සිටි අරක...


ආ මන් පහු ගිය කාලෙම කිය කියා හිටියනෙ අරක ගැන විස්තරයක් දානවා කියලා. ඔන්න අද තමයි ඒක කෙරෙන් දවස.


මන් ඉතින් අරකෙ ෆොටෝ එකක් අරන් අප්ලෝඩ් කලා බ්ලොග් එකට.. ඔය තියෙන්නෙ පහල ඒක.








ඈහ් මේ මොකද්ද මේ අප්ලෝඩ් වෙලා තියෙන්නෙ???.. ඒකෙ ෆොටෝ එකක් නෙවෙයිනෙ. මේ තියෙන්නෙ අපේ  අබලන් වෙච්ච මහගෙදර උළුවස්සෙ තීයෙන කනෙයි කියන මැස්සන්ගෙ ගුලක්.  මන් කීප වතාවක්ම මේකෙ ෆොටෝ නම් මූණු පොතේ බෙදා හදා ගෙන ලෝකයාගෙන් කයි කතන්දර ඇහුවා තමයි..ඒත් ඕන් මේකම බ්ලොග් එකෙත් දමා ගෙන බෙදා හදා ගන්න හිතුවා..






ඔබ විශ්වාස කරන්නෙ නැති වෙයි මේ ගුලට අවුරුදි 30ත් 32ක් විතර වෙනවා. මන් පොඩිම කාලෙ මේ  ගෙදර  හැදුවෙ.
මට මතක ඇති කාලෙ ඉඳලම බොහොම පොඩියට ඔය කනෙයි මැස්සො  ගුල  තිබ්බා. දැන් තමයි උන් මේ ශේප් එකට හදන් තියෙන්නෙ. ඉස්ස   ඔතන තිබ්බෙ බොහොම පුන්චියට හදපු එකක්.මුන්ට stingless  bees  කියලාත් කියනවා අමු සින්හලෙන්. උන් විදින්නෙ නම් නෑ. වැරදිලාවත් එකෙක් හරි ඇඟේ ගෑවුනොත් උන් හරි ගඳයි..උන් ඒ ගඳ පිට කලහම හෙන ගොඩක් මැස්සො එනවා එතනට. ඌ විදින්නෙ නම් නෑ ඒත් එකා එකා ඇවිත් ඇඟේ ඇලෙන කොට හරි අප්‍රසන්නයි.


මේ කනෙයි වදයක් කොහේ හරි අපේ ඔෆිස් එකේ බැම්මෙත් තියෙනවා කියලා මන් ඔෆිස් ආපු මුල්ම කාලෙ තමයි නෝට් කලේ. කොහෙද කියලා හොයා ගන්න බෑ ඒත් සමහර වෙලාවට ඇවිස්සිච්ච මැස්සො රංචුවක් පියඹ පියඹා ඉන්නවා දකිනවා නම් තමයි...




ඉතින් මුලින්ම මන් අරක ගැන කියනවයි කියලා කියන්ඩ පටන් ගත්තෙ මගේ ග්‍රැෆික් ටැබ්ලට් එක. ඇත්තටම මට කවි නිසදැස් ලියන්න බෑ වගේම තමයි චිත්‍ර අඳින්නත් බෑ. ඒක සහජයෙන් එන්න ඕනි දෙයක්ලුනෙ.. ඒ උනාට අඳින්න ට්‍රයි නොකර ඉන්න ඒක කාරණයක් නෙවෙයිනෙ. මමත් කලේ ඉතින් ඇයි මට අඳින්න බැරි කියලා.. ඔය ඩ්‍රෝවින් පොත් කීපයක් එක්කම දියසායම්, පැස්ටල් සහ පාට පැන්සල් පෙට්ටි කීපයක් සහ පින්සල් කීපයක් මුල්නිම ගත්තා. ඕක උනේ අවුරුදි ගානකට කලින් උනත් ඒ ගත්ත බඩු ටික තාම තියෙනවා බැබලි බැබලි..


බොරු නෙවෙයි ඕන් තියෙන්නෙ ඒ ටික..




ඔය බෝල තුන්හුලස් හතරැස් ටිකක් ඇඳලා පාට කරන්නත් මට චිත්‍ර අඳින්න බෑ කියලා තෙරුම් කරලා දෙන්නත් ඔය ටික උදව් උනා නමුත්..
ඔය දිය සායම් වලින් වෙච්ච අනිත් සෙතේ තමයි මේ ඉන්න අපේ ලැසීයගෙ ඔය සුදු පාට පැචස් ටික එක එක පාටින් පාට කරපු එක.. ඒ දවස් වල ගෙදර අයිතිකාරයො හිතුවෙ මේක කරන්නෙ අල්ලපු ගෙවල් වල ලැසී එක්ක සෙල්ලම් කරන පොඩි උන් වෙන්න ඇතියි කියලයි. අදටත් හිතන්නෙ එහෙමමයි මයෙ හිතේ..






ඒත් ඔය කාලෙම ලැසීගෙ ලොම් යන්න ගත්තා.. මට ඇහුනා මෙහෙම..


"මේ ලැසීගෙ ඇඟේ සායම් ගාන අයට කියන්න ඕනි එපාය කියලා ඒවයෙ විසට තමයි එහෙම වෙන්නෙ" 


කියලා ගෙදර අය කතා වෙනවා.. ඒකත් එක හේතුවක් වෙන්න ඇති තමා.. මන් කලේ මගේ මේ මගෝඩි වැඩේ නැවැත්තුවා එසැනින්ම.. මොකද මටත් දුක හිතුනා ලැසී ඊටත් වඩා ලෙඩ වෙයි කියලත්..


ආයි තව ටිකක් කල් යනකොට මටම අමතකයි මට චිත්‍ර අඳින්න බෑයි කියලා.. හිතෙන්නෙම ආයි ඇඳලා පුරුදු වෙන්නමයි..
මේ සැරේ ගත්තෙ ග්‍රැෆික් ටැබ්ලට් එකක්. මේ තියෙන්නෙ ඒක..







මේක එක්ක සොෆ්ට්වෙයාර් ලොට් එකකුත් හම්බ උනා නම් තමයි. ඒත් තාම එව්වා එක්ක සෙල්ලම් කර කර ඉන්නවා ඇරෙන්න හරි හමන් සිත්තරයක් ඇඳ ගන්ඩ නම් බැරි උනා. මේ තියෙන්නෙ කියන Ink-Squared Delux සොෆ්ට්වෙයාර් එකෙන් මගේ බ්ලොග් එක ගැන මගේම කිරි කිරි අකුරින් කරපු සෙල්ලමක් තමා



ඊට අමතරව ෆ්‍රීවට දෙන මෙන්න මේ ටිකත් ගොඩ ගහන් ඉන්නවා ..


Photoscape
MyPaint
InkScape


මේවයින් අඳින්න ග්‍රැෆික් ටැබ්ලට් එකක් ඕනි නෑ.. මවුස්ගෙන් උනත් අඳින්න පුළුවන්..


මොක තිබ්බත් මට නම් තාම හරි හමන් සිත්ටරයක් ඇඬ ගන්ඩ බැරි උනා වගේමයි මන් පොඩි කාලෙ ඉඳලම බැරි වැඩක් උනත් කරන්න දඟලලා දඟලලා තමයි ඕන් බෑයි කියලා අතාරින්නෙ.. තාමත් ඒ වගේමද මන්දා තාම ඉඩ් වලින් එහාට යන්ඩ බැරි උන ගානයි ඕන්...




"බැරි වැඩ නොකරන් අබරෝ කියලා තියෙන්නෙ කට කහනවට නෙවෙයිනෙ අපේ පැරැන්නො"


කියලා මාමා හිටිය නම් කියයි.



"ඉතින් ඔබේ චිත්‍ර ඇඳීම ගැන තියෙන අනාගත බලපොරොත්තු මොනාද ?"


කියලා කෙනෙක් අහන්න පුළුවන්


"ඔව් මන් තාමත් චිත්‍ර අඳින්න ඉගෙන ගන්න එක අතෑරියේ නෑ.. මන් දන්න බ්ලොග් සිත්තර ශිල්පීන් කීපදෙනෙක්ම ඉන්නවානෙ.. එක්කො වෙන්නප්පු යනවා නැත්නම් මෝල්ඩිව්ස් යනවා.. මාසයක් දෙකක් නැවතිලා ඉන්න කොට චිත්‍ර ඉගෙන ගන්න පුළුවන්..බැරිම උනත් හොඳට කාලා බීලා ඇඟ හදා ගෙන එන්න හරි බැරියැ.."

Wednesday, August 1, 2012

පිස්සු පෙති...


වීදි පහන් කණු සියල්ලම ලැජ්ජාවෙන් මුකුලිතව බිම බලා ගත් වනම සිටින්නේ වෙනදාට තම අවට රජ කරන  අඳුර පලවා හැර තම ආලෝක බල පරාක්‍රමය පතුරුවන්නට තමන් සමත් නමුත් අද නම් ඊටත් වඩා ලෝකයටම ආලෝකය දීමට සැදී පැහැදී සිටින සඳ රාජිනිය තම කිරණ දසත විහිදන බැවිනි. විටින් විට සඳ රාජිනියගේ කදම්බ රැස් සැඟවීමට පහන් කණු වල ඔවදන් අසා වලාකුළු රැසක් පාව ආවත් සඳට ආදරය කරන සුළං රැල් අඳුරු අළු පැහැ වලා කැටි සඳවතින් ඉවතට තල්ලු කරමින් තව තවත් වීදි පහන් කණු වලට සම්ච්චල් කරන්නේදැයි සිතුනි.






 හොඳ පාවහන් යුගලය පිළිබඳ ඇති කරගත් ලෝභ මූලික සිත නිසා පැළඳ ගෙන ගිය කසි කබල් සෙරෙප්පු දෙක සිතේ සැනසිල්ලෙන් ගලවා පසෙකට දමා තැබූ මුල්ම අඩිය..


මදක් රත්වූ සිහින් වැලි කැට නිරුවත් පාදයේ ස්නායු අග කිතිකවමින් ලැබෙන මෙම ආහ්ලාදජනක වින්දනයට තව තවත් සිත පොළඹවන්නට වූයේ මෙය විඳින්නෙ කලකට වරක් බැවිනි. සුදෝ සුදු වතින් සැරසී විවිධ වයස් කාණ්ඩවලට අයත් ස්ත්‍රී පුරුශයන් ශාන්ත දාන්තව ඔබ මොබ යද්දී මාද සෙමින් සෙමින් පියගැට පෙල වෙත පිය නැගුවෙමි.


 බෝ ගසේ සිලි සිලිය සවනට ගෙන එන්නේ සුවදායී  හඬකි. අසල වූ ශබ්ද විකාශණ යන්ත්‍රයෙන් ජීවිතයේ යථාර්ථය පිළිබඳ බෞද්ධ විග්‍රහයක් ඇසේ. විහාරය, චෛත්‍ය හා බෝධිය වැඳ ගැනීමෙන් අනතුරුව මා සෙමින් විශාල චෛත්‍යය ගැබ තුලට යාමට වූ පිය ගැට පෙල දිගේ උඩට ගියෙමි. එය තුල දෝංකාර දෙමින් සවනට ගලා ආවේ එහි වූ සැදැහැතියන්ගේ මුවින් පිටවන ගාථා සහ කවි වල මිහිරි නමුත් යම් ශාන්තමය ශබ්ද රසයකි. කුඩාවුන් ඒ තුල වූ දෝංකාරය නිසා ඇතිවන අපැහැදිලි ශබ්ද සමූහය නිසා වඩ වඩාත් ශබ්ද නගන්නට වූයේ මුත් එම ශබ්දයන්ද නින්නාද වෙමින් අමුතුම ගැඟීමක් ජනිත කරන්නට වීය.


 මදක් ඉසිඹු ලනු රිසියෙන් මාද එහි අයිනක හිඳ ගත්තේ..මදකට දෑස වසා ගතිමි.  අරුමයකි.. නිහඬ පාළු භාවනා පියසක හිඳිමින් සිත ඔස්සේ සත්‍ය ගවේශනය කිරීමට උත්සාහ දැරූ කාලයේ දැනී තිබුනු යම් හැඟීමක් මසිතට දැනෙන්නට වූයේ මෙම නාද නින්නාද වන මුත් කිසිත් අරුතක් සිතට නොනැගෙන ශබ්ද දසදහසක් මැද්දේය. අරුමය නම් මේ අනපේක්ශිත හැඟීම් ධාරාවයි.


එය තුල පිය මනින්නට වූ මා ඉපදෙමින්, පවතිමින්, මිය යමින් මගේය කියා ඒකරාශී කරගත් සියල්ල , අට ලෝ දහමට මුහුණ දෙමින් කාලයේ අවකාශය හරහා මේ දැන් මෙතනට විත් නැවතත් නැවත නැවතත් උත්පාද ථිති, භංග වන පංචස්කන්ධයේ වූ නියම ස්වභාවය සිතින් විමසන්නට වූයෙ කොතරම් වේලාවක්දැයි නොදනිමි. 


එක් කාලයක නැති වන්නට කිසිත් නොමැතිව සැහැල්ලුවෙන් සිටි මා අද දමා යන්නට බැරි තරමේ බහුභාන්ඩිකව ගෙවන මේ දිවියේ අර්ථය කුමක්දැයි මසිත මගෙන් විමසද්දී මා නිරුත්තර වීය. සිත රවටා ගත්තේ මා ගිහියකුය යන අර්ථකතනය මා හටම දෙමිනි. 


කෙසේ වූවත් මෙම සිතුවිලි වලින් හට ගන්නා සුවදායී හැඟීම ඊළඟ පොහෝ දින වන තෙක්ම පවතින බව නොඅනුමානය. 


එය ඊයේ දිනයේ දුටු ජීවිතය අද දිනයේ නවරුතකින් බලන්නට ලබා දෙන්නේ මහඟු පිටුවහලකි.


 සැමදා මාගේ බ්ලොග් ලිපි ඔබ දෑසට යොමු වන්නට පෙර යොමු වන මගේ සහෘදයා - ඔහු ආදරය දිනා ගත් කටුක විවේචකයෙකි - මගෙන් මෙවන් ප්‍රශ්ණයක් විමසුවේ මා නැවතත් නිරුත්තර කරමිනි..


"හරි මචන් උඹ දන්නවද පිස්සන් කොටුවෙ ඉන්න පිස්සන්ට පෝය දවස් වල දෙන පිස්සු පෙතිවල ඩෝසේජ් එක වැඩි කරන්නෙ ඇයි කියලා?"



ප.ලි -අප්පා ගියෙ මොන පන්සලටද කියලා නෑ නොවැ.. මේ තියෙන්නෙ කළුතර බෝධියට තමා ගියේ..


 මේ තියෙන්නෙ මන් කීව අපූරු චෛත්‍යයේ ඇතුළු ගර්භය