ලෝකය ගෝලාකරයි... මිනිස්සු විවිධාකරයි.. කියලා හැමෝම කියනවා. පූසා නම් කියන්නෙ ලෝකය බෝලාකරයි කියල උනත් මට ඒකෙ යම් ඇත්තක් තියෙනවා කියලා තේරුනෙ අද තමයි.. අද කියලා කිව්වත් මේ දැන් මොහොතකට කලිනුයි.
මගේ මීයා ඉවරම උනා.. මගේ නොසැලකිල්ලෙන්ම තමයි ඒක උනේ.. ආයි කාටවත් ඒකට වරද්දක් පටවන්න ඕනි නෑ මට.. මට හරි අප්සට් මොකද ජීවිතේටවත් හිතුවෙ නෑ මේ වගේ දෙයක් වෙයි කියලා මේ වගේ මොහොතක.. ඒත්.. මගේ හිතට ආපු දුක කවුරු හරි එක්ක බෙදා හදා ගත්තොත් දුක අඩු වෙයි කියලා මන් හිතුවා යාළුවො කීප දෙනෙකුට මේක කියලා මොනා හරි සැනසුම් වදන් ටික අහ ගත්ත නම් මට අද රෑ නිවී හැනහිල්ලේ නිදා ගන්න තිබ්බා නේද කියලා..
ඉතින් ඕනිම වෙලාවක මුලින්ම අපි කතා කරන්නෙ අපේ හොඳම බොක්කකටනෙ..
"හෙලෝ මචන්?"
"හෙලෝ මොකද බන් මේ යක්කු ගස් නගින වෙලාවෙ?"
"ඈ යක්කු ගස් නගිනවද ? උඹ ඉතින් ඔය බලන් ඉන්නවද ගහ යටට වෙලා?"
"කියහන් බන් අපි මේ නිදා ගන්න හදන්නෙ "
"මචන් මගේ මීයා ඉවරයි"
"මොනවා මොනවා පොඩ්ඩක් හිටහන් මන් රූම් එකෙන් එලියට එනකන්..ඉතින් ඉතින් මොකද්ද උනේ.. උඹ අදත් අර ගුබ්බෑයමේ රිංගුවද ? අර මාතර වගේ හපලා කඩා ගත්තද ? බලහන් අපි කොයි තරම් නම් කිව්වද උඹට ඔයවා නවත්තන්න කියලා.. කෝ ඇහුවයැ? දැන් මොකද කරන්නෙ ? හොස්පිටල් යනවද ? ඩොකාලට ඇත්තම කියනවද ? යකෝ පත්තර වල , ටීවී එකේ පවා නිව්ස් එක යයි. උඹ පට්ට විදියට ෆේමස් වෙයි"
යාළුවා කියවා ගෙන කියවා ගෙන යනවා..
"මචන් මන් තියන්නම්..ඕවා එළියට එනකොට මමත් උඹේ යාළුවෙක් විදියට ඉන්න එක මටත් හොඳ නෑ..මචන් අපි මීට පස්සෙ අපේ යාළුකම් ඉවරයි. උඹ ආයි කොහෙවත් මගේ යාළුකම ගැන කියන්න එපා"
බීප් බීප් බීප්.. සද්දෙන් කියන්නෙ යාළුවා කෝල් එක කට් කලා කියලා.. ආයිමත් ඇත්ත කතාව කියන්න කෝල් කලත් ඔයිට ඉස්සෙල්ලා දවසක මගෙන්ම අහ ගත්ත විදියට මිනිහා මගේ නම්බර් එක බ්ලැක් ලිස්ට් කරලා.. කෝල් ගන්න බෑ ආයිමත්.
හ්ම්ම්ම්ම්ම්...
ලොකු සුසුමක් හෙලපු මන් ඊළඟ කෝල් එක ගත්තා..
"මීයා ඉවරයි මචන්"
මගේ කටනඬ හැඬුම් බර වෙලාද මන්දා ..
"මේ උඹ මාව නම් පරීස්සනාගාර මීයෙක් කරන්න හිතුවා මදි..කවුරු රට හාවො කලත් අපි නම් අහු වෙයි ඕවට.. ඌ මැරුන නම් මගේ නම ළඟින් පට්ට හැපී කියලා ලියා ගනින්"
ඒ කෝල් එකත් කට්!
"නංගි මගේ මීයා ඉවරයි"
"අනේ අයියෙ ඇත්තද නියමයි ශෝක්.. අයියා ඕකා නිසා කොයිතරම් නම් වද වින්දද ? දවස් ගානක්ම නින්ද නෑ කියලා මාත් එක්ක රෑ කීයක් නම් පැය ගානක් ෆෝන් එකෙන් කතා කර කර හිටියද ? දැන් නම් අයියට සැපට නිදා ගත්තහැකි. නේද ? මොකද උනේ මී කතුර අහු උනාද ? නැත්නම් මී පාසනම් කෑවද ? පූසා ඇල්ලුවද ? මීයො කීයක් විතර ඉවරද ? අයියෙ අද අරයා ගෙදර ඉන්නවා.. බාත් රූම් එකේ.. අපි වෙන දවසක කතා කර කර ඉමුකො එහෙනම්.. බායි.. ප්ලීස් ටේක් කෙයාර් !"
අන්තිමේටම කියලා මාත් එක්ක එච්චරටම යාළුත් නැති තරහත් නැති මෙලෝ රහක් නැති යාළු කමක් තිබ්බ එකෙක්ට කතා කලා..
"මෙහෙමයි ලියන්නො.. දැන් මොනා කරන්නද ? ඔයා කොහොමත් පහු ගිය දවස් ටිකේම ඕක ඔනිවට වඩා අත පත ගාලා පරිහරණය කරාත් එක්ක නේද ? ඔහොම මීයො නැති වෙච්ච එකම එක්කෙනා ඔයා නෙවෙයිනෙ. පෙරලිච්ච පිට හොඳා කියලා ඕන ඔහෙ පැදන් යන්න. ඕනිම නම් සති දෙකක් යයි ඔය අළුත් සිටුවේශන් එකට හුරු වෙන්න. ඊට පස්සෙ ඔයා ඒකෙ හොඳ කියන්න පටන් ගනී"
හ්ම්ම්ම්ම්ම් පූසා හරි ලෝකය බෝලාකාරයි.. මිනිස්සු විවිධාකාරයි..
ඇත්තටම මන් මීයට නිවන් සැප ප්‍රාර්ථනා කරන්න මොහොතකට පෙර කර කර හිටියේ මගේ බ්ලොගෙ එකේ ඉස්සෙල්ලා ලියපු පෝස්ට් එකට දමලා තිබූ කමෙන්ට් වලට පිළිතුරු ලිය ලියා..
මන් නොසැලකිල්ලෙන් මේසෙ උඩ තිබ්බ වතුර මග් එක ගන්න ගිහින් වයර් එකේ අත පැටලුනා.. පටෝල් ගාලා වැටුනෙ නැද්ද බිමටම.. ඕන් බලන්න කෑලි කැඩිච්ච හැටි..
හැබැයි තාමත් අස්සෙ තිබිච්ච ලයිට් එක නම් ශෝයි එකට පත්තු වෙනවා..
දැන් ඉතින් ආයි අළුත් එකක් ගන්න වෙනවා..
මට මීයා වෙනුවට මේ ටච් පෑඩ් එක පාවිච්චි කරලා එච්චර පුරුදු නෑ.ඒ නිසා.. හෙටම ඕන් අර පහුගිය පෝස්ට් එකේ කමෙන්ට් වලට උත්තර බඳිනවා..ඒ ගැන මගේ සහෘද ආදරණීය පාඨකයො බැන බැන හරි සමාව දෙයි අප්පා... මීයත් නැති අසරණයනෙ කියලා..









