ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, July 26, 2012

ඉවරයි මීයා !


ලෝකය ගෝලාකරයි... මිනිස්සු විවිධාකරයි.. කියලා හැමෝම කියනවා. පූසා නම් කියන්නෙ ලෝකය බෝලාකරයි කියල උනත් මට ඒකෙ යම් ඇත්තක් තියෙනවා කියලා තේරුනෙ අද තමයි.. අද කියලා කිව්වත් මේ දැන් මොහොතකට කලිනුයි. 


මගේ මීයා ඉවරම උනා.. මගේ නොසැලකිල්ලෙන්ම තමයි ඒක උනේ.. ආයි කාටවත් ඒකට වරද්දක් පටවන්න ඕනි නෑ මට.. මට හරි අප්සට් මොකද ජීවිතේටවත් හිතුවෙ නෑ මේ වගේ දෙයක් වෙයි කියලා මේ වගේ මොහොතක.. ඒත්.. මගේ හිතට ආපු දුක කවුරු හරි එක්ක බෙදා හදා ගත්තොත් දුක අඩු වෙයි කියලා මන් හිතුවා යාළුවො කීප දෙනෙකුට මේක කියලා මොනා හරි සැනසුම් වදන් ටික අහ ගත්ත නම් මට අද රෑ නිවී හැනහිල්ලේ නිදා ගන්න තිබ්බා නේද කියලා..



ඉතින් ඕනිම වෙලාවක මුලින්ම අපි කතා කරන්නෙ අපේ හොඳම බොක්කකටනෙ..


"හෙලෝ මචන්?"


"හෙලෝ මොකද බන් මේ යක්කු ගස් නගින වෙලාවෙ?"


"ඈ යක්කු ගස් නගිනවද ? උඹ ඉතින් ඔය බලන් ඉන්නවද ගහ යටට වෙලා?"


"කියහන් බන් අපි මේ නිදා ගන්න හදන්නෙ "


"මචන් මගේ මීයා ඉවරයි"


"මොනවා මොනවා පොඩ්ඩක් හිටහන් මන් රූම් එකෙන් එලියට එනකන්..ඉතින් ඉතින් මොකද්ද උනේ.. උඹ අදත් අර ගුබ්බෑයමේ රිංගුවද ? අර මාතර වගේ හපලා කඩා ගත්තද ? බලහන් අපි කොයි තරම් නම් කිව්වද උඹට  ඔයවා නවත්තන්න කියලා.. කෝ ඇහුවයැ? දැන් මොකද කරන්නෙ ? හොස්පිටල් යනවද ? ඩොකාලට ඇත්තම කියනවද ? යකෝ පත්තර වල , ටීවී එකේ පවා නිව්ස් එක යයි. උඹ පට්ට විදියට ෆේමස් වෙයි"



යාළුවා කියවා ගෙන කියවා ගෙන යනවා..


"මචන් මන් තියන්නම්..ඕවා එළියට එනකොට මමත් උඹේ යාළුවෙක් විදියට ඉන්න එක මටත් හොඳ නෑ..මචන් අපි මීට පස්සෙ අපේ යාළුකම් ඉවරයි. උඹ ආයි කොහෙවත් මගේ යාළුකම ගැන කියන්න එපා"


බීප් බීප් බීප්.. සද්දෙන් කියන්නෙ යාළුවා කෝල් එක කට් කලා කියලා.. ආයිමත් ඇත්ත කතාව කියන්න කෝල් කලත් ඔයිට ඉස්සෙල්ලා දවසක මගෙන්ම අහ ගත්ත විදියට මිනිහා මගේ නම්බර් එක බ්ලැක් ලිස්ට් කරලා.. කෝල් ගන්න බෑ ආයිමත්.



හ්ම්ම්ම්ම්ම්...


ලොකු සුසුමක් හෙලපු මන් ඊළඟ කෝල් එක ගත්තා..


"මීයා ඉවරයි මචන්"


මගේ කටනඬ හැඬුම් බර වෙලාද මන්දා ..


"මේ උඹ මාව නම් පරීස්සනාගාර මීයෙක් කරන්න හිතුවා මදි..කවුරු රට හාවො කලත් අපි නම් අහු වෙයි ඕවට.. ඌ මැරුන නම් මගේ නම ළඟින් පට්ට හැපී කියලා ලියා ගනින්"


ඒ කෝල් එකත් කට්!



"නංගි මගේ මීයා ඉවරයි"


"අනේ අයියෙ ඇත්තද නියමයි ශෝක්.. අයියා ඕකා නිසා කොයිතරම් නම් වද වින්දද ? දවස් ගානක්ම නින්ද නෑ කියලා මාත් එක්ක රෑ කීයක් නම් පැය ගානක් ෆෝන් එකෙන් කතා කර කර හිටියද ? දැන් නම් අයියට සැපට නිදා ගත්තහැකි. නේද ? මොකද උනේ මී කතුර අහු උනාද ? නැත්නම් මී පාසනම් කෑවද ? පූසා ඇල්ලුවද ? මීයො කීයක් විතර ඉවරද ? අයියෙ අද අරයා ගෙදර ඉන්නවා.. බාත් රූම් එකේ.. අපි වෙන දවසක කතා කර කර ඉමුකො එහෙනම්.. බායි.. ප්ලීස් ටේක් කෙයාර් !"



අන්තිමේටම කියලා මාත් එක්ක එච්චරටම යාළුත් නැති තරහත් නැති මෙලෝ රහක් නැති යාළු කමක් තිබ්බ එකෙක්ට කතා කලා..


"මෙහෙමයි ලියන්නො.. දැන් මොනා කරන්නද ? ඔයා කොහොමත් පහු ගිය දවස් ටිකේම ඕක ඔනිවට වඩා අත පත ගාලා පරිහරණය කරාත් එක්ක නේද ? ඔහොම මීයො නැති වෙච්ච එකම එක්කෙනා ඔයා නෙවෙයිනෙ. පෙරලිච්ච පිට හොඳා කියලා ඕන ඔහෙ පැදන් යන්න. ඕනිම නම් සති දෙකක් යයි ඔය අළුත් සිටුවේශන් එකට හුරු වෙන්න. ඊට පස්සෙ ඔයා ඒකෙ හොඳ කියන්න පටන් ගනී"








හ්ම්ම්ම්ම්ම් පූසා හරි ලෝකය බෝලාකාරයි.. මිනිස්සු විවිධාකාරයි..
ඇත්තටම මන් මීයට නිවන් සැප ප්‍රාර්ථනා කරන්න මොහොතකට පෙර  කර කර හිටියේ මගේ බ්ලොගෙ එකේ  ඉස්සෙල්ලා ලියපු පෝස්ට් එකට දමලා තිබූ කමෙන්ට් වලට පිළිතුරු ලිය ලියා..


මන් නොසැලකිල්ලෙන් මේසෙ උඩ තිබ්බ වතුර මග් එක ගන්න ගිහින් වයර් එකේ අත පැටලුනා.. පටෝල් ගාලා වැටුනෙ නැද්ද බිමටම.. ඕන් බලන්න කෑලි කැඩිච්ච හැටි..




හැබැයි තාමත් අස්සෙ තිබිච්ච ලයිට් එක නම් ශෝයි එකට පත්තු වෙනවා..


 දැන් ඉතින් ආයි අළුත් එකක් ගන්න වෙනවා..
මට මීයා වෙනුවට මේ ටච් පෑඩ් එක පාවිච්චි කරලා එච්චර පුරුදු නෑ.






ඒ නිසා.. හෙටම ඕන් අර පහුගිය පෝස්ට් එකේ කමෙන්ට් වලට උත්තර බඳිනවා..ඒ ගැන මගේ සහෘද ආදරණීය පාඨකයො බැන බැන හරි සමාව දෙයි අප්පා... මීයත් නැති අසරණයනෙ කියලා..








Wednesday, July 25, 2012

විස්මිත යථාර්ථය..


මෙය ප්‍රබන්ධයක් නොවේ, පසුගිය පැය විසි හතර තුල සිදු වූ මා විස්මයෙන් සලිත කල සත්‍ය සිදුවීමකි..


"ඩෝං"


හඬින් එක්වරම යමක් පුපුරා ගියේය. අප කරමින් සිටි සාකච්ඡාව එසැනින් බිඳී ගියේත් අප සියළු දෙනාම එක්වරම තිගැස්සී ගියේ මේ කාල සීමාව කිසියම්ම හෝ උත්සව සමයක් නොවන නිසාත් මේ වෙලාවෙ රතිඤ්ඤාවක් පිපිරීම කිස්සේත්ම කිසිවකුත් අපේක්ශා නොකල නිසාත්ය. 
අප සමඟ සුරතල් වෙමින් සහ සුරතල් කරමින් සිටි බල්ලාද අපටත් වඩා උඩ ගොස් විමතියෙන් අප සමීපයට වී වැතිර ගත්තේ ඒ ක්ශණයකිනි. 


"රතිඤ්ඤාවක් නේද ?"


"ඔව් අවුරුදු, නත්තල් වගේ රතිඤ්ඤා පත්තු කරන කාලෙට මේ ගොල්ලො සේරම මගේ කාමරේ අස්සෙන් එලියට එන්නේම නෑ" 


මා බල්ලන් දෙසට අත යොමු කරමින් කීමි. 


"ඔව් ඒ ගොල්ලන්ගේ කන් වල සංවේදීතාවය වැඩී"


අපගේ කතාබහ පොත් පත් , චිත්‍රපට හා ජීවිතය ඔස්සේ ගලා යද්දී මෙම රතිඤ්ඤාව පිපිරීම සමඟ විසිරුනු මාගේ සිතුවිලි මා රැගෙන ගියේ අතීතයේ වූ යම් සිද්ධියක් හා සමගාමීව යම් කිසි කෙටි කතාවකට අවශ්‍ය කලමනා ගොන්නක් වෙතය. ගතින් එතන වූ සාකච්ඡාව හා බද්ධ වූවත් විටින් විට මා මනස එම අතීත සිද්ධිය හා ගැටෙන්නට වූයේත් එය කෙටිකතාවකට පෙරලා ගැනීමට අවශ්‍ය සම්බන්ධක, චරිත, හා අවශ්‍ය පසුබිම වටාපිටාව මනසින් සකසා ගත්තේ එසේ කිරීම මාගේ සාමාන්‍ය රටාව වූ නිසාය. පසුව මෙය කොළයක කටු සටහනක් ලෙස කුරුටු ගා දින දෙක තුනක් එම සිද්ධිය තුල ජීවත් වීමෙන් කෙටිකතාව ගොඩ නගා ගැනීම කරනු ලැබේ.


 අපගේ සාමාන්‍ය කතා බහ දිගටම ගලා  ගියේත් බියර් කෑන් කිහිපයක් හිස් වූයේත් කාලය ගලා ගියේත් අපටම  නොදැනුවත්මය.


"ආ මචන් උඹට පොතක් ගෙනාවා"


සමු ගැනීමට මොහොතකට පෙර තම බෑගයෙන් ඇද ගත් පොත මා වෙත දිගු කලෙන් මාද ස්තූති පූර්වකව එය බාර ගත්තෙමි. සමු ගත් පසුද අප කතා බහ කල දෑ පිළිබඳ ආවර්ජනය කරමින් මා නින්දට වැටුනෙමි. ඒ අතර මා ඊළඟට ලිවීමට සිතා සිටින රතිඤ්ඤා හඬේ කතන්දරය කොළයක කුරුටු ගා තැබීමටද අමතක නොකෙලෙමි.


කාර්යාලයේ වූ විවිධ දෑ අතර ගැටෙමින් දිනය නිමා කර නිවසට පැමිණියෙමි. නිවස වට කර ඇති තාප්පය අයිනේ වූ අඹ ගසේ අතු බොහෝමයක් තාප්පය හිස මතින් පැන ගොස් අවට ලෝකයේ සිරි නරඹමින් සිටී. අඹ පල සෑදෙන කාලයට මේ අතු වල සෑදෙන සියළුම පල නෙලා ගන්නේ පාරේ යන කොලු කුරුට්ටන්ය. වාරය , අවාරය නොසලකා වසර පුරාම අඹ ගසේ අතු අතර කොහේ හෝ ගෙඩියක් දෙකක් සැඟවී සිටී. විටෙක අපටත් වඩා විමසිලිමත් වන කුරුල්ලන් ලේනන් ද විටෙක උන්ටත් වඩා සෙවිල්ලෙන් සිටින අපද මේ පල නෙලා ගැනීම කරනු ලබයි.තරමක අඳුරේ වූවද කොල්ලන් දෙදෙනකු අඹ ගසේ අතු අතරට ගල් වලින් ගසමින් සිටී. ඒ ඔවුන් දුටු අඹයක් කඩා ගැනීමට විය යුතුයි. මා දුටුවද ගනන් නොගත් නමුත් මා ගේට්ටුව වෙත යත්ම යමක් අවබෝධ වුයේ ඔවුන් හූ තබමින් දිව ගියෝය. නිවසේ දොර විවෘත කල මා විදුලි පහනේ ස්විචය දැමූවත් වෙනදා එයින් ගලා එන ආලෝකය නො එයි. 


"ආ ලයිට් කපන වෙලාවනෙ"


මටම කියාගත් මා වේලසන වෙනම තබා තිබූ ඉටිපන්දමක් ගෙන පත්තු කර එය අසල වූ ජෑම් බෝතලයක සවි කලෙමි. වෙනදා කරන කිසිම දෙයක් කල නොහැකිය..හ්ම්ම්ම්..


සුසුමක් හෙලූ මා නෙත ගැටුනේ පෙරදා මා හට කියවීමට දුන් පොතයි. 


"පිටස්තරයාගේ මරණය"


මා කිසි දිනක කියවීමට පෙර එම පොතේ ඇති ප්‍රස්තාවනාව , පටුන, නිර්දේශයන් තබා ලියන ලද්දේ කවුරුන්ද යන්න හෝ නොකියවමි. මන්ද එසේ කිය වූ විට සමහර විට එම කතාව රසවිඳීමට යම් බාධාවන් ඇති වේ. එම කතුවරයාගේ වෙනත් පොත් වල කී දෑ ආදී වේ නම් එය මනස තුලට රිංගා දැන් කියවන පොත රසවිඳීමට බාදා විය හැකි බැවින් සම්පූර්ණ පොතම කියවා අවසන අනිකුත් දෑ කියවීම මගේ සිරිතයි. නමුත් මා මිලදී ගන්නට යන පොතක් නම් මීට වඩා තත්වය වෙනස්ය. විස්තර කියවා බලා මිලදී ගෙන පසුව පොත රස විඳීම කරනු ලැබේ. 


මෙහිදී පොත පිළිබඳව සිතේ ඇති කර ගන්නාවූ පුර්ව නිගමනයන් පොත රස විඳීමට බාධාවක් වන නමුත් ඔහේ අතට අහුවෙන පොතක් විස්තර නොකියවා මිලදී ගන්නේ නම් නැත. 


මේසය මත වූ දෑ අයින් කර මෙම පොත කියවමියි සිතා  එය මේසය මත තැබූවෙමි.  වෙනදා ආලෝකයෙන් බබලන ගෙවත්ත අඳුරේ ගිලී ඇතත් මාගේ තනියට සිටිනා බල්ලන් කිහිප දෙනා ඔවුන්ගේ අයිතිකාර නිවස පිහිටි අල්ලපු වත්තේ සිට මා සිටි පෙදෙසට පැමිණෙන බව අඳුනා ගත්තේ ඔවුන්ගේ පා හඬිනි. 


"ලැසී , කුකී.. කෝ ඔයාලට වගේ රෑට මට පේන්නෙ නෑ කළුවරේ..ඉන්න ඔයාලා දෙන්නා ඔහොමම මන් ලයිට් ආවහම දෙන්නටම කන්න දෙයක් තියෙනවා දෙන්නම්.."


මා ඊට පෙරදා අසල සුපර්මාකට් එකෙන් ගෙන ආ මස් ටින් එක අමතක වීමට පෙර ඔවුන්ට දිය යුතු බවට මා මටම අණක් දී ගතිමි.


අඳුරේ වූවත් මා සමඟ වලිගය වනමින් සතුටින් ඉපිලෙන ඔවුන්ගෙන් සමුගත් මා..කුඩා විදුලි පන්දමේ ආලෝකයේ ආධාරයෙන් අනිකුත් නෑම්, කෑම් සියල්ල අවසන් කර.. මා පුටුව ඇඳ, මේසය මත වු පොත ගෙන එය ඉටි පන්දම හා මා අතර තබා ගතිමි. 






මා විස්මයෙන් ඇලලී ගියේ පොත කියවීමට පටන් ගත් විටය...


මෙය සිදු වන්නේ කෙසේදැයි මට තවමත් සිතා ගත නොහැක. මා කෙටියෙන් වූවද කියන්නට යන්නෙ මේ පොතේ මුල් පිටු දෙක මත ඇඳි වචන වලින් ආරම්භ වන සිද්ධියයි. මෙම පොත කියවා ඇති අයකු නම් මෙය ඔබගේ සිහියට නැගෙනු නොඅනුමානය. 


කතාවේ ප්‍රධාන චරිතය වික්තෝර් තම නිවෙසට පැමිණෙමින් සිටී. දෙදෙනකු ඔහු වෙතට ගල් කැට වීසි කරනු ලබයි. ඔහුගේ පෙම්වතිය ඔහු අත හැර යාම නිසා ඔහුගේ තනිය මැකීමට..ඔහු  කෑම ලබා දීමට බැරි කම නිසා සත්වෝද්‍යානයකින් කැමති අයකුට රැගෙන යාමට ඉඩදුන් ඔහුගේ පෙන්ගුවින් සුරතලා ඔහු සමඟ සිටී. ඔහු බල්බය දැල්වීමටවිදුලි ස්විචය ක්‍රියාත්මක කලද විදුලිය විසන්ධි කර ඇත. 


මේ පේලිය කියවන විට මගේ ඇඟේ රෝම කෙලින් වූයේ මන්දැයි මා නොදනිමි. 


ඔහු ඉටි පන්දමක් ගෙන පරන මයෝනිස් බෝතලයක සවි කර ඔහුගේ කාමරය ආලෝකමත් කරයි. අඳුරේ වූවද ඔහුගේ මීෂා නම් පෙන්ගුවිනයා ඔහු වෙත එන හඬ ඔහු අඳුනා ගනී.. 


ඕහ් ලැසී..හා කුකී...!


ඔහු කතුවරයෙකි. ඔහුට පද්‍ය ලිවීමට නොහැකි නමුත් ඔහු පුවත් පත් වාර්තා හා කෙටි කතා අතර වූ ඔහුගේම ශෛලයකට කෙටිම කෙටි කතා ලියයි..ඒවාට ගෙවීමක් කරන්නේ නම් ජීවත් වීමට තරම් මුදලක් උපයා ගැනීමට නොහැකි තරම් කෙටි ම කෙටි කතා වෙයි..


මේ කියන්නෙ ඔහු ගැනද නැත්නම් මා ගැනමද යන්න පිළිබඳ මා සිත විමතියෙන් විපිලිසර වන්නට වූයේ..මා තුෂ්නිම්භූත කරමිනි.


එක් වරම ඔහුට වෙඩි ශබ්දයක් ඇසෙයි.. ජනේලයේ වීදුරුවට මූණ ඔබා ගෙන බලා සිටින ඔහු ආපසු තම මේසය වෙත එන්නේ එම වෙඩි හඬ පිළිබඳ කෙටිම කෙටි කතාවක් ලිවීමට අදහස් හිතේ ගොනු කර ගනිමිනි.


"ඒ රතිඤ්ඤයක් නේද ?"


මාගේ මිතුරාගේ ප්‍රශ්ණය මාගේ දෙසවන දෝංකාර දෙයි..ඉන් පසුව මාගේ සිත තුල ගොඩ නැගුනු සිතුවිලි සමූහය ?
මෙම විස්මය මාගේ දුර්වල ස්නායූ පද්ධතියට දරා ගත නොහැකි බවක් හැඟේ. 


ඔහු එකම එක කඩදාසියක් මත තම කෙටි කතාව ලියා අවසන් කරන විටම.. විසන්ධි වී තිබූ විදුලිය නැවත පැමිණ කාමරය ආලෝකමත් කරන්නට වීය.


ඔහු තම මේසයෙන් නැගී සිටින්නේ තමාගේ සුරතලා වූ පෙන්ගුවිනයාට තම කෑම වූ මාළුන් දීමටයි. 


ඒ ක්ෂණයේදීම මා හට කෑගැස්සී හිඳි පුටුවෙන් නැගිට්ටුනේත් , අත වැදී ඉටිපන්දම මේසය මතම පෙරලී ගියේත්, මාගේ දෙ අතට මැදි වූ පොත බිමට වැටුනේත් එකම විටය. විසන්ධි වී තිබු විදුලිය පැමිණ  මාගේ කාමරය ආලෝකයෙන් බබලන්නට වීය.පොතේ අකුරු මතින් වික්තෝර්ගේ කාමරය ආලෝකයෙන් බබලන්නට වූ වැකිය කියවූ සැනින් මෙය සිදු වීම නිසා මා උඩ ගොස් බිම වැටී තිබුනි.. ඉදිරි කාමරයේ අඩවන් වූ දොර අතරින් හොම්බ ඇතුලට දමා ගෙන බලා සිටින්නේ ලැසී හා කුකීය.. ඒ මා ආහාර ලබා දෙන තෙක්ය..


මා තවමත් අදහස් ගොනු කර ගැනීමට නොහැකිව සිටිමි. මේ වනතෙක් මා කියවූයේ මේ පොතේ මුල් පිටු දෙක පමණි. පහු ගිය පැය විසි හතරේ සිදු වූ දෙය හා සමාන්තරව මෙම පොත කතාව මේ පිටු දෙක පුරා ගලා ගොස් ඇත. බල්ලන්ට දෙදෙනාගේ කෑම දී මා වෙව්ලන දෑතින් යුතුව නැවතත් පොත අතට ගතිමි. 


පිටස්තරයාගේ මරණය  මෙහි මුල් කෘතිය Death and the Penguine ලියා ඇත්තේ Andrey Kurkov   විසිනි. එය සිංහලට පරිවර්තනය කර ඇත්තේ පසන් කොඩිකාර විසිනි. ඒ පශ්චාත් රුසියානු සමය අලලායි.. මා මේ විස්තරය කියවූයේ මා විස්මයට පත් කල කාලය හා සිදුවීම් කොහි වීද යන්න තේරුම් කර ගැනීමටයි. අතීත කාලයක වෙනත් සංස්කෘතියකට අයත් වෙනත්ම පරිසරයක සිදු වූ හෝ සිදු වූවායැයි පරිකල්පිත කතාවක් මෙලෙස මාගේ නුදුරු වර්තමානයේ සිද්ධීන් සමූහයකට සමානුපාත වන්නේ කෙසේද යන්න මහත් ප්‍රහේලිකාවකි.


"ඇයි මට මේ පොත ගෙනත් දුන්නේ ?" 


යන මෝඩ ප්‍රශ්ණය ඇසීමට මෙය ගෙනත් දුන් යහළුවාගේ දුරකතන අංකය දෙස බලා..නමුත් අන්තිම මොහොතේ එම අදහස වෙනස් කර ගතිමි. 


ඒ වෙනුවට මාගේ බ්ලොගය තුල මේ සටහන තැබීමි.


ප.ලි.  - පොතේ ඉදිරිය කෙසේ වේදැයි මා නොදනිමි.. පොතේ නම පිටස්තරයාගේ මරණය යි. ඉදිරි දින කීපය තුල මා  සයිබර් අවකාශයේ නිහඬව සිටිනු ඔබ දුටුවොත් එයින් කියවෙන්නේ... 

Tuesday, July 24, 2012

සංක්‍රාන්තිය...


හෙලූ සුසුමේ අවසන් වා රොද දෙතොල් අතරින් නික්ම යත්ම ඊළඟ නිහඬ , නිසංසල නිමේශය තුල මාගේ ආත්මය විශ්වයේම වූ සිතුවිලි හා සංසක්තව යමක්... නිර්වචනය කල නොහැකි යමක් සොයා ඇදෙන්නට විය. ...
නැවතත් ඉතා සියුම් වා රොදක් නාසයේ අග ගැටෙන්නට වූයේ  කිසිම ආයාසයකින් තොරව එය නාස් පුඩු දිගේ ශ්වාසනාලයටත් එයින් පෙනහළු ගර්භයටත් සෙමින් සෙමින් ඇතුළු වූයේ ..සිතින් මඬින්නට සූදානම් වූ සිරුර තුල ගොනුවන්නට තැතනූ අපහසුතාවය යලිත් සමනය කරමිනි. 
අඩ සිය වසකටත් වැඩියෙන් සෑම තත්පරයේම අනායාසයකින් කලේ මෙයම නොවේද ? 




සෙමින් සෙමින් වාතය බිඳින් බිඳ නාස් තුඩු සිප ගනිමින් ශ්වාස නාලය ඔස්සේ පෙනහළු තුලට රිංගීම කෙරෙහි පිහිටුවා ගත් සිත වීදුරු බඳුනක් කොන්ක්‍රීට් පොළවක් මතුපිටට වැටී සිය ගණනක් වූ කෑලි වලට බිඳී යන්නාක් මෙන් කුඩු වී දසත විසිරී ගියේ..


"ඔව් ගෙදර තියෙන බඩු මුට්ටු, පිඟන්, වීදුරු පොළවේ ගැහුවහම මේ ප්‍රශ්ණ විසඳෙනවනම් මාත් එන්නම් ඉතුරු ටික පොළවේ ගහලා පොඩි කරන්න "



"පිඟන් නෙවෙයි බිඳින්න ඕනි මෙතන" 

"මොකද්ද හැබෑටම ඔහෙට වෙලා තියෙන්නෙ මෙතන?"


"ඇයි බබෙක් වගේ කතා කරන්නෙ ? ඔහේ කරන දේවල් නිසානෙ 
මටයි දුවටයි මෙහෙම පාරෙවත් බැහැලා යන්න බැරි වෙලා තියෙන්නෙ..දීග තල දෙන්න දුවෙක් ඉන්න තාත්තෙක් කරන වැඩද ඕවා ? "

"මන් කරන වැඩ නෙවෙයි ඔහේගෙ මනස්ගාතනෙ..මොකටද මගේ  ඔෆිස් එකේ ගෑනුන්ට කියන්න ගියේ මන් ඔහේට සලකන්නෙ නෑ කියලා"


"සලකන්නෙ නැති නිසා තමයි"


"සලකන්නෙ නෑ කියන්නෙ මොකද්ද කියලා මන් දන්නවා..ඔහේ වයසට යනකොට ඕනි  ඒවා විතරක් ගැන හෝප්ස් තියා ගන්නවකො"


"හෝප්ස් .. මන් කියන්නෙ නෑ වයසටද තමුසෙ අර ඔෆිස් එකේ දුවගෙ වයසෙ කෙල්ලො එක්ක නාඩගම් නටන්නෙ? "


මෙවන් අමිහිරි සාකච්ඡා වලින් ගහන උදෑසනවල්, කීයක් නම් ගෙවෙන්නට ඇත්ද ? හොඩගැහෙන මානසික පීඩනය හමුවේ වෙනදා නොතිබූ කායික වේදනාවන් හා රෝග ඉස්මතු වීම පුදුමයට කාරනයක් නොවේ.ජීවන ගමන් මගේ විසි දෙවන වියේ විවා පත් වී වසර 30ක් යනවිටත් විවාපත්වූ මුල්කාලයේ මෙන් යමෙක් යමක් බලාපොරොත්තුවීම කොතරම් අසාධාරනදැයි සිතුනත් එය බිරිඳට නොවැටහෙන්නේ මන්ද යන්න කෙතරම් කාලයක් එකට විසූවත් වටහා ගත නොහැක. 


"ඒ කාලෙ සතියකට හතර පස් සැරයක්වත් වත් අපි සතුටින් හිටියා .. දැන් වෙන ගෑණු ඔයාගෙ ජීවිතේට ලං වෙලා ඒකයි මෙහෙම"


මා තවදුරටත් ආයාසයකින් තොරවම මා අවට ඇති වාතය සෙමින් සෙමින් නාස් පුඩු ඔස්සේ පෙනහළු තුලට එකතු වන ආකාරය කෙරෙහි නැවතත් සිත යොමු කරන්නට වූයේ..සෙමින් දෑව විවර වත්ම දෑසට යොමු වුයේ නාසය අග වූ කළු පැහැ ගැන්වූ කැළලයි..නැවතත් සෙමින් දෑස දැනෙන නොදැනෙනේ ගානට පියා ගතිමි.


"උඹේ වැරැද්දෙන් නෙ හම්බ වෙන්ඩ හිටි ළමයත් 
බඩේදිම  නැති උනේ..මන් එපා කියද්දි ගිහින් කොර ගත්තෙ.."

නොපරදින විවාදයක ඉසුඹුවකදී කෝපාවිශ්ඨ වූ මාගේ සිත ඇද ගත්තේ අළුයට වූ ගිණි පුපුරක් මෙන් සැඟවී තිබූ ඒ කාලයේදී කිසිදිනක මතු කොට සිත  නොරිදවම්හයි මටම සපථ කොට තිබූ කාරණයකි. මදක් විපිලිසර වූ ඈ කොටි දෙනක් මෙන් අත වූ රූපලාවන්‍ය සකසනයක් මා වෙත දමා ගැසූවේ මාගේ නහය මත මේ කැළල ඉතිරි කර තබමිනි. මේ සිද්ධියත් හාම මෙතෙක් කල් යල් බලමින් සිටි අවසන් තීරණයට මා එළඹුනෙමි.


 "මිස්ටර්  අනිත් මිනිස්සු මේ කොළඹට එන්න පොර කනවා ඔයා දැන් කොළඹ ඉඳන් අනුරාධපුරේට යන්න දඟලනවා..මන් දන්නවා මේ ගෙදර ප්‍රශ්නෙ නිසා නේද ?"


"මිස්ටර් රත්නායක ඔය ට්‍රාන්ස්ෆර් එක හදලා දෙන්න.. දැන් එම්ඩීත් ඕකේ කරලනෙ තියෙන්නෙ"


" නෑ ඉතින් මන් කීවෙ ආයි මාස 2-3කින් දඟලන්න එපා කොළඹට එන්න එහෙම.. ඔය මෙහෙ ඉන්න තමන්ගෙ හිත ගත්ත අයව බලන්න කරන්න.. ඒකයි මන් කීවෙ"


"මිස්ටර් රත්නායක මේ මගේ පුදගලික දේවල් මන් බලා ගන්නම්.. ඔය ගොල්ලො අළුතින් මෙතනට ආව නිසා දන්නෙ නෑ. මන් අවුරුදු 20ක්ම කැන්ඩි හිටියෙ.. මෙහෙට ආවෙ ඉල්ලලා නෙවෙයි. බලන්ඩ මගේ පර්සනල් ෆයිල් දන්නෙ නැත්නම්. මන් මෙතන අවුරුදු 12ක් වැඩ කලෙත් මේ වෙනකම් කිසිම ට්‍රාන්ස්ෆර් එකක් ඉල්ලලත් නෑ.. කම්පැනි එකෙන් යන්ඩ කියලත් නෑ. HR මැනේජර් විදියට ඔය දේ කරන්න බැරි නම් කියන්න මන් එම්ඩී ට කතා කරන්නම්"


දින කීපයකින් අනුමත වූ සේවා මාරුව ගැන කිසිවක්ම නිවස තුල සාකච්ඡා නොවූ අතර.. මමද එය ඕනෑකමින්ම මඟ හැරියෙමි. 


"සර් මන් නිසාද දැන් ඔෆිස් එකෙන් ට්‍රාන්ස්ෆර් ඒක් අර ගත්තෙ?"


නිමලා ඇඬුම්බර හඬින් මා අමතයි.


"සර් කවුරු මොනා කීවත් මට සර් තාත්තා කෙනෙක් වගෙයි"


"ළමයො කවුරු මොනා කීවත් හිතුවත් මටත් නිමලාව මගේම දුවෙක් වගෙයි. ඒක අපි දෙන්නවම දන්නවනෙ. ඒ නිසා දුක් වෙන්න එපා මන් යන එක ගැන..මන් දිගටම මල්ලිට ඉගෙන ගන්න ඕනි කරන සල්ලි එවන්නම්"


"හිතන්න එපා මන් දන්නෙ නෑ කියලා අර නිමලාද පත්තුවෙලාද කියන වේසි එක්ක නටන නැටුම්..තමුසෙගෙ දුවගෙ වයසෙ ඕයි ඒ ළමයා..තමුසෙ කොහොම කරනවද මන්දා ඔය ජරා වැඩේ. නිකන්වත් දුවව මතක් වෙන්නෙ නැද්ද වේසි එක්ක බුදියන වෙලාවට ?"


"ඕක උස්සපන් බන් උඹට ඔච්චර කැමති එකේ . ගෙස්ට් හවුස් එකකට නැත්නම් අපේ ගෙදර එක්කන් වරෙන් "


"තාත්තාට නම් ලැජ්ජාවක් කියලා ඒකක් නෑ අම්මා කීවා සේරම විස්තරේ.."


අපේම දරුවකු නොවූමුත් නීතියෙන් අපිටම සින්න වූ දියණිය මහත් පිළිකුලින් බලන්නට වීය.


නිමලා දුප්පත් පවුලක වූවත් ප්‍රියමනාප තරුණියක් වූයේ සැබවින්ම දැනට සිටින දියණියට වඩා මෙවන් දියණියක් වී නම් මා කෙතරම් වාසනාවන්තදැයි මා දහස් වර සිතුවේ පැතුවේ නැද්ද ? තම මලනුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්ම ඈ තම රැකියාව කලේ පැමිණි විවා යෝජනා කීපයකම ඉවත දමමිනි..


"මල්ලි කැම්පස් යවලා එලියට එනකම් මන් මේක කරනවා සර්.. ඒක තමයි අම්මගෙ තාත්තගෙ හීනෙ"


"නිමලා බඳින්නෙ නැත්තෙ මිස්ටර් ලියන්නගෙන් හම්බ වෙන සැප නිසානෙ"


පාටියකදි තව මොහොතකින් මගේ සගයාගේ මුහුණ කට සමතලා වන්නට ඉඩ තිබූයේ ඊළඟ ක්ශනයේදී අනිත් සගයන් මැදිහත් වූ නිසාය.මෙම සැකයේ පිළිලය කාර්යාලයේ සිට නිවෙස වෙතද පියමන් කලේ වාර ගනනින් අඩුවූ අඹුසැමි සබඳතාවයේ අඩුව පිරවන්නට ඈට මහත් ඉවහල් වූ කාරණයක් කරමිනි. 
සියළුම ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා  ලිංගික සම්බන්ධතාවයන් තුලින්ම දැකීමට ප්‍රිය කල බහුතරයක් සිටි ලෝකයක මටත් නිමලාටත් කිසිවකුට වචනයෙන් විශ්තර කල නොහැකි වූ අපූර්ව පිතෘ-දුහිතෘ සම්බන්ධතාවයක් තිබුනි.තම පියාගෙන් නොලබන ඌණ ආදරණීය ගෞරවයත් මාගේ දුවණියගෙන් ලැබෙන ඌණ ආදරයත් අප දෙදෙනා හුවමාරු කර ගැනීම අසාධාරනයක්ද කියා විමසීමට කිසිවකුත් නොසිටීය.. එය ලෝකයාට පැවසීම නිමා කර දැමූයේ එය අසා කට කොනකට සිනහවක් ගොඩ නගා ගන්නා ලෝකයා නිසම නොවේද ?

"දුව මන් හෙට.."

කාට නොකීවත් පසු දින මේ සියල්ල හැරදා අනුරාධපුරයට යන බව කියන්නට මා දුවගේ කාමරයට ගියේ මුත් ඈ සිටියේ තම අයිෆෝනය කනේ රුවා ගෙනය..මා කී කිසිවක් ඈට නොඇසෙන්නට ඇත. 


"තාත්තා මගේ බිල් ගෙවන්න එපා දැන් මන් හම්බ කරනවනෙ. ඒවයින් මන් ඒවා කර ගන්නම්. " 


ගැරඬියකු දුටු කලක මෙන් මා අතවූ ඈගේ සියළුම දුරකතන බිල්පත් උදුරා ගත් සති කිහිපයකට පෙර වූ ඒ අවසන් සාකච්ඡාව මා  මනසේ ඇදෙන්නට වීය.
තරමක වේදනාවකින් වූවද මා කාමරයෙන් පිටතට පැමිණියෙමි..දෑස් කෙවෙණි තුලට කඳුලක් නොපිරුනා යැයි කියා ලෝකයා නොමඟ යැවීමට මට නොහැකි වන්නේ මගේ ලෙයින් නොහැදුනත් බිළිඳියක්ව සිටි ඈ නිසා මගේ ලෝකය කොතරම් නම් පිරී තිබිනිදැයි කිසිදා අමතක කල නොහැකි බැවිනි.. 

"කොහෙද යන්නෙ?"


පසු දින මා අපගේ වාහනයේ යතුර මේසය මත දමා ගෙන්වා ගත් කුලී රිය වෙත මාගේ පොත් පත් සහ ඇඳුම් බෑගයන් අඩුක් කරන විට බිරිඳ නොරිස්සුමෙන් ඇසුවාය. මා මේ සියල්ල බෑග් වලට අහුරන කලද කිසිවක් නොවිමසූ ඈ.. මා නිහඬවම සිටියෙමි. 


"ඔව් 
පලයන්, දැන් ඉතින් අරකිගෙ තුරුලටම යන්ඩ බැරියැ..මෙහෙමත් කුපාඩි වලත්ත නාකි ඉන්නවනෙ.. මුන් නම් පිරිමි සංහතියටම ලැජ්ජාවක්" 

කුලී රථ රියදුරාද විමසිල්ලෙන් මා දෙස බලන්නෙ.මා මෙම නිවසට සම්බන්ධවිය හැකි අවසාන පුරුක වූ ම අතවූ ජංගම දුරකතනයද සැටිය මත තැබූවෙමි. ඊට පෙර දිනයක එම සම්බන්ධතාවය මා විසන්ධි කලෙමි.


සෙමින් සෙමින් පිරුණු පෙනහළු වල වාතයේ ඔක්සිජන් සියල්ලම පෙරී රුධිරය හා එක වෙද්දී ශරීරය පුරා තිබූ රුධිරයේ අඩංගු ශරීරයෙන් ඉවත් විය යුතු කාබන් ඩයොක්සයිඩ් වාතය සෙමින් සෙමින් නැවතත් පෙනහළු තුලට කාන්දු වෙමින් තිබුනි..


වැහැරී යන සිරුරක ක්ශය වී යන ආශාවන් පිළිබඳ සිත තුල වන මනස්තාපී හැඟීම් සමුදාය සන්තර්පණය කිරීමට ආරම්මනයක් සොයමින් සිටින කලෙක දෑස ගැටෙන ගැටෙන මානයේ වූ බෞද්ධාගමික සංකේතයන්ගෙන් පිරි මේ මහා පින් බිම තුල සැරිසරන්නෙකු වූ මා හට මෙම භාවනා අරන ගෙන දුන්නේ ආත්මීය සැනසුමකි. කිසියම් කාලයක කිසියම් හුරු පුරුදු බවක් ගෙනදුන් නිහඬ , නිසංසල වන අරන..කිසිම මනුස්සයකුගේ කටහඬක් දෙසවන නොගැටෙන සන්සුන් හුදකලාව.. බැලූ බැලූ අත දෑස් නිවා සනහන සිහින් සුලන් රැල් සමඟ පොර බදන තුරු ලතා සමූහය..අතීතා කාමයෙන් සිත දවන සැම විටකම මා මනස් දහනේ විකසිත වූයේ ගිණිගත් සිරුර මත හලන ලද සිසිල් සඳුන් දියරයක් මෙනි..


"හැම තැනම දුවන හිත අල්ලලා බැඳලා හික්මවා ගන්නවට වඩා ලේසියි..මද කිපිච්ච වනය පුරා වියරුවෙන් දුව ඇවිදින වල් අලියෙක් අල්ලලා බැඳලා හීලෑ කර ගන්න එක"


භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වූ මුල් සතියේම යතිවරයානන් කීවේ කුමක්ද යන්න පිළිබඳ යම් හැඟීමක් හිතට දැනෙන්නේ දැන්ය..පහුගිය මාසයේ මා කොළඹ ගොස් බෞද්ධ මන්දිරයෙන් මිලදී ගත් පොත් ගොන්නෙන් පොත් කීපයක්ම වැරදීමෙන් මෙන් නිවසේ දමා ආයෙමි.. ඊයේ සවස නැවත මෙහි එන්නට වූ මොහොතේ මා එම පොත් කීපයම බෑගය තුල අසුරා ගැනීමට යද්දී..


"ඔය පොත් දෙක තුන තියලා යන්ඩ මන් කියවන්ඩ ගත්තා විතරයි"


නිවසේ වූ විය හියදම් පිළිබඳව පමණක් සුළු කතා බහක් හැර වෙන කිසිවක් නොබිනූ..මාද කිසිම වදනක් නොදෙඩූ ඇය තම හඬ අවදි කලාය.


"මෙතන තව පොත් 2ක් තිබ්බා වගේ මතකයි.. කෝ ඒ ටික?"


"දූ කියවන්නෙ අර..කාමරේ තිබ්බා ගෙනත් දෙන්නද ?"


"එපා ලබන මාසෙ ආවහම ගෙනියන්නම්."

ශරීරය තුලම තිබූ සියළුම කාබන් ඩයොක්සයිඩ්  පිරි පෙනහැල්ල තුල වූ වාතය ශ්වාසනාලය දිගේ සෙමින් සෙමින්  
ඇදෙන්නට වූයේත් මා නොදැනුවත්වම දෙතොල් මදක් විවර වී උඩ තල්ලේ හැපෙමින් දිව අගින් දෙතොල් අතරින් සෙමින් සෙමින් වා තලය හා මුසු වන්නට විය...

මා සෙමින් දෑස් හැර බලන්නට වූයේ..අඩවන් වූ දෙනෙතට ලක් වූයේ මා හිඳසිටි ගල් පඩිය ඉදිරියේ වූ බෝ පැලයේ රත් පැහැ දළු මදනල හා රඟන අපූරුවයි.

මේ සුන්දර ලෝකය මීට පෙර කොහි වීද ?



Sunday, July 22, 2012

අවංකයා.... ?!


මෙම ලිපිය මගේ පෙර ලිපිය "අවංකයා හැමදා දුකේ" ලිපිය කියවූ සහ කමෙන්ට් දැමූ සියල්ලම වෙනුවෙක් පුදමි...




http://www.zerohedge.com/news/guest-post-supreme-court-and-natural-law


ප්‍රබන්ධයක් නොවේය කියලා පටන් ගත්ත මගේ ඉස්සෙල්ලා පෝස්ට් එක.. හ්ම්ම්ම්ම් සමහර සොයුරු සොයුරියො කොහොම කීවත් පිළි අරන් තිබ්බෙ නෑ ඒක ඇත්තම කතාවක්ය කියලා.  ඒක ඇත්තම කතාව සිද්ධ උනු. මොනා හරි බොරුවක් කීව නම් ඒ ගැන තව තව අහන කොට තව තව බොරු ගොතලා කියන්න තිබුන. ඒත් හත්දෙයියනේ ඇත්ත කීවහම එතනින් එහාට තව මොනා කියන්නද ? ස්තූතියි එතන අදහස් දක්වපු ඔබ සැමටම. ඒ සිද්ධිය ගැන ඔබ ඒ කිවූ විදියටම කියන්න ඔබට සම්පූර්ණ අයිතියක් තියෙනවා.. 


හරි දේ නොකලත් බහුතරයක් වගේම මමත් කියන්නෙ ඒ මුදල මම හම්බ කර නොගත් දෙයක් නිසා මට ආපහු දෙන්න තිබුනා. කෙටි කාලසීමවක් තුල දෙතුන් සැරයක් ඇහ ගැටිච්ච සහ වචන දෙක තුනක් සවනෙ වැට්ච්ච පමණින් මට ඒ කොන්දොස්තර මල්ලි අහින්සකද නැත්නම් නැද්ද කියලා නම් තීරණයකට එන්න බැරි උනා. සාමාන්‍ය කෙනෙක්..කාටවත් අකාරුණිකව කතා කරනවා ඇහුනෙ නම් නෑ..


ඔබ 141 බස් එකක යනව නම් එක කොන්දෙක් ඉන්නවා.. ඔහුට කොන්දා කිවට කමක් නෑ.. 


"සල්ලි ගන්ඩ" 


"ටිකට් ගන්ඩ"


 "දැන් බහින්ඩ"


වගේ ඒවා කිසිම කාරුණික කමක් නැතුව අණ දෙන එකෙක්. මූණෙ ලේ පොදක් නෑ.. හිනා කඳුලක් නෑ.. 
ඊට සාපේක්ශව නම් මේ මල්ලි හොඳයි...
මට තාමත් හිතා ගන්න බෑ මන් ඇයි ඒ සල්ලි ආපහු නොදුන්නෙ කියලනම්..කරපු වැඩේ වැරදී තමයි ඒක සාධාරණීකරනය කරලා සුදු හුනු ගාන්න මන්ම ලේස්ති නෑ.. සමහර විට මන් දවස් 4ම මහන්සි වෙලා ඉඳලා තෙහෙට්ටුවට මගේ නියම සිතුවිලි වැඩ කරන්න නෑ ඒ වෙලාවෙ.. ඕන්නම් මේ සිද්ධිය පස්සෙන් පහු මගේ හිතට වද දෙනවනම් මන් ළඟ ඒ බස් ටිකට් එක තාමත් ඇති පර්ස් එකේ..හොයලා දෙන්න බැරියැ..මිනිහා ඒක ශේප් කරගන්න ඇති.. 


මේ වගේ දේවල් වලට මන් මූණපානවා හරි අඩුයි..


ඒ නිසාම අමනුස්සයෙක් වේගෙන එනවද මන්දා ? 


සුදුම සුදු රෙද්දක පොඩියට හරි මඩ තිතක් වැදුනොත් ඒක මාර විදියට හයිලයිට් වෙනවා.. ඒ උනාට තරමක් කිළුටු රෙද්දක මඩ ටිකක් ගෑවුනාට එච්චර පේන්නෙ නෑ...නිතර දෙවේලෙ නොඋනත් ඉඳහිට පස් පව් කැඩෙන අළු චරිතයක් වෙච්ච මන් ගැන පට්ට හොඳයි..පට්ට සාධාරනයි කියලනම් ජජ්මන්ට් තියන් ඉන්න එපා කවුරුවත්..ඒකට මන් බයයි..


ගිය අවුරුද්දෙ වෙසක් දවස් ටිකේ ඒ කාලෙ මගේ මේ තඩි කැමරාව නොතිබ්බ නිසාදෝ කොහෙද මීට වඩා නිදහසේ වෙසක් බලා කියා ගෙන ආවා.. දැන් වෙන්නෙ මේකෙන් ෆොටෝ ගන්න කොට කීදෙනෙක් නම් අහනවද 


"කොයි පත්තරෙන්ද මහත්තයා ? කවදා විතර පත්තරේ ෆොටෝ ටික යයිද ?"


මට පට්ට අපහසුවක් දැනෙන්නෙ.. ඒ අයටත් වඩා ගම් බයියෙක් වෙච්ච මට ඒ ගොල්ලො මහත්තයා කියන කොට සහ ඒ මිනිස්සුන්ගෙ  මූනෙ පත්තුවෙන අහිංසක ආසාව දැක්කහම..


කොහෙද දැන් කියන්න ආපු කතාව ? 


කොටුවෙන් රෑ දහයට දහයමාරට විතර මන් නාරාහේන්පිටට එන්න බස් එකට නැග්ගා. ඒ අර වෙසක් දින රෑ මහ හුළඟක් ඇවිත් කොළඹ තොරන් කීපයක්ම බිමට වැටිච්ච දවසට ඉස්සෙල්ලා දවසෙ.. බස් එකේ මැද හරියෙ සීට් එකේ ඉඳගන්නකොටම මොකක් හරි පුකේ ඇනුනා.. මන් ආයි පස්ස උස්සලා බැලින්නම් මේන් කළුපාට පර්ස් එකක්..පිම්බිලා තිබ්බ නිසා මන් පොඩ්ඩක් ඇරලා බැලුවා..


 අප්පා රුපියල් දාහෙ කොල කීපයක්ම තිබුනා.. මේක බස් එකේ කොන්දොස්තර සහ ඩ්‍රයිවර්ට දුන්න නම් ආපහු නොලැබේවි කියලා හිතපු මන් හොඳ අවධානෙන් හිටියෙ කවුරු හරි ඇවිත් හොයයිද කියලා..ම්හ්හ්හ් ඔහෙ නෑ. මන් නාරාහේන්පිට ඉඳන් පයින්ම ගෙදර ආවා.පර්ස් එකේ රුපියල් අට දාස් ගානක් තිබ්බා. ඉතින් මෙතෙන්දි මන් අහන්නෙ නෑ මොකක් කලා හියලද හිතන්නෙ කියල නම්..  ඒකේ තිබ්බ ටෙලිෆෝන් නම්බර්ස් කීපයෙන් එකකට කතා කරනකොට අයිතිකාරයා හොයා ගන්න පුළුවන් උනා. ගෑණු ලමෙක්ගෙ පර්ස් එකක්. පහුවෙන්දා බොරැල්ල නෝලිමිට් එක ළඟට එන්න කියලා මන් ගියා හම්බ වෙන්න. ගෑනු ළමයි දෙන්නෙක් ඇවිත් හිටියෙ.. මන් පර්ස් එක හරියටම එයාලගෙද කියලා සැක හැර දැන ගෙන ඒ දෙන්නට දුන්නා. මාව දැක්ක වෙලාවෙ ඉඳලම දෙන්නා නිකම් බය වෙලා වගේ හිටියෙ .. පර්ස් එක දුන්නට පස්සෙ අඩුම තරමෙ "තෑන්ක්ස්" කියලා වචනයක්වත් නොකියා දෙන්නම මන් දිහා බලන් ඉන්නවා. 


"පර්ස් එකේ තිබ්බ සේරම ටික හරියටම තියෙනවා නේද "


මන් ඇහුවා නිස්සද්දතාවය බිඳින්න... ඔව් කියලා කනට ඇහෙන නෑහෙන ගානට කීවේට පස්සෙ මන් හැරිලා ආපහු ආවා.සාමාන්‍යයෙන් අපි මේ වගේ දෙයක් කරන්නෙ මොනාවත් ආපහු බලාපොරොත්තුවෙන් නොඋනට.. මන් හිතුවා අඩුම තරමින් " ස්තූතියි අයියෙ" කියලවත් කියයි කියලා.. ඒ රුපියල් අට දාහ අරන් පර්ස් එක විසි කරලා දමන්න මට ඕනි තරම් චාන්ස් එක තියෙද්දිත් මන් ඒක ආපහු දෙන්න කට්ටක් කෑවෙ කැම්පස් ඉවර වෙච්ච ගමන්ම රුපියල් 6000\= පඩියකට පලමු වෙනි ජොබ් එක කරන කාලෙ මන් කාපු කට්ට මතක් වෙලා. ඒ කාලෙ හැම රුපියලම කොයි තරම් නම් වටිනවද ?.. ණය වෙලා ගත්ත රුපියල් 10,000 සෝනි එරික්සන් ටී 100 ෆෝන් එක බස් එකේදි නැති උනහම මන් කොයිතරම් නම් අප්සෙට් එකේ හිටියද ? ඒක ගත්ත එකා පොහොසත් උනෙත් නෑ.. මන් හිඟමනට වැටුනෙත් නෑ තමයි. ..


ඒ රුපියල් 300න් මන් කොත්තු කාලා ඩීවීඩී ගත්ත බව හැබෑව. ඒත් අදටත් මගෙ පර්ස් එකේ ඒ වැඩිපුර ආපු සල්ලි තියෙනවා..ඒ කොලම නෙවෙයි උනත්.. මන් ළඟ තියෙන බස් ටිකට් එකෙන් ඒ බස් එක හොයා ගන්න පුළුවන්. ආයි රත්නපුර ගිය දවසක මට මතකයි ඒ කොන්දොස්තර මල්ලි.. දෙන්නෙ නෑ කියලා හිතන් හිටපු ඒක මන් ආපහු දෙනවා කියලා හිතා ගත්තා.. උඹලා බැනපු ඒව නම් ඉවසන් ඉන්න තිබ්බා.. ඒත් මගේ අවංකව කම ගැන කියලා පසසලා තිබ්බ කමෙන්ට් දකිද්දි මොකාටද ඉවසන් ඉන්න පුළුවන් ඔහොම..


ඒත් මන් පට්ට සුදු චරිතයක් නම් නෙවෙයි.


....මිය දෙන්න දෙන්න උණුසුමේ ඔබේ..
මා හදවතින්ම උමතුවී තියේ..


කියලා කවීශ කවිරාජ්ගෙ සින්දුව අහන් හිටපු එෆ් එම් මීටරෙ යනකොට තව පොඩ්ඩෙන් මාවත් උමතු වී ගෙනයනවා.. හොඳ වෙලාවට වැරදිලා රිමෝට් කන්ට්‍රෝල් එකේ අත වැදිලා ඊළඟ චැනල් එකට මාරු උනා. 


නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන
නෙලා ගෙනා කිසිම මලක් නෑ ඔය තරම ලස්සන ..


කියලා නන්දා මාලනී ගයද්දි මන් ආයිමත් මේ ලෝකෙට ආවා..
ලොකු සුසුමක් එක්ක සේරම අමතක කරලා මේ සින්දු දෙක ගැන හිතන්න ගත්තා..

Saturday, July 21, 2012

අවංකයා හැමදාම දුකේ...


ප්‍රබන්ධයක් නොවේ..


පහු ගිය දවස් වල මන් ගෙදරනෙ හිටියෙ.. බණ දානෙ නිසා..සේරම ඉවර වෙලා නිදිත් මරාගෙන බොහොම මහන්සියෙන් මන් ආපහු කොළඹ එන්න පිටත් උනා. රත්නපුරෙන් බස් එකට නැග්ගා. මන් බහින තැනට ගාන රුපියල් 120\=යි. රුපියල් 100 කොළයයි 50 කොළයයි දීලා ඉතිරු බලා පොරොත්තුවෙන් ඔළුව උස්සලා බැලුවට කොන්දොස්තර මල්ලි ටිකට් එකේ අනිත් පැත්තෙ මොනාද කුරුටු ගාලා දුන්නා.. ඉතුරු රුපියල් 30 ටිකට් එක පිටිපස්සෙ ලියලා ඒක උඩින් මිනිහගෙ කුරුටු බලි වගේ අත්සනක් දමලා දුන්නා..ඒක හරියට ඔන්න ඔය වගෙයි.




 අර ගාන කීයද කියලා පේන්නෙත් නෑ..මන් හිතන්නෙ සුවර් එකටම ඉතුරු දෙන්න නැති කෙනෙක්වත් තමන්ගෙ ටිකට් එකේ පිටිපස්සෙ ඉතුරු කීයක් හරි ලියලා දීලා මිනිහා කවදාහරි කෙලවගන්න ඇති. ඊට පස්සෙ ඉඳන් මිනිහා හිතන්න ඇති ඉතුරු ගාන ලියලා ඒක උඩින් තමන්ගෙ අත්සම ගැහුවහම ඒක ආයි ගොඩනෙ. මාර මොලේ සහ අරහෙම ගාන කපා ගන්න මිනිස්සුත් ඉන්නවනෙ කියලා. බස් එකේ බුදුහාමුදුරුවන්ගෙ සහ තව නානාප්‍රකාර දෙවි දේවතාවුන්ගෙ ෆොටෝ අතරේ ගහලා තියෙනවා ...


අවංකයා හැමදා දුකේ.. කියලා බෝඩ් එකකුත්. 


හැබෑ නේන්නම් ඒ කතාව සම්පූර්ණ ඇත්ත..


දැන් මගේ මතකයෙ  හැටියට කොට්ටාව හරියට ඇවිත් ...


"ආ ඉතුරු ගන්න අය ඉල්ලා ගන්ඩ " 


කියාගෙන කොන්දොස්තර මල්ලි බස් එක මැදින් යනවා..මමත් ටිකට් එක දුන්නා.. මිනිහා ටිකට් එකේ පිට පැත්ත බැලුවා..මට ඉතුරු දෙනවා දැන්.. මිනිහගේ ඔළුවට උඩින් මට පේන්නෙ අර "අවංකයා හැමදා දුකේ" බෝඩ් එක.. මට ඉතුරු හම්බ උනා රුපියල් 330\= ක්. ඒ කියන්නෙ වැඩිපුර රුපියල් තුන්සීයක්..කොන්දා මල්ලිගෙ පාඩුව රුපියල් 420/=යි..


මම දහම් පාසල් ගිය සහ ඊට පස්සෙ දහම් පාසලේ උගන්වන්නත් ගිය කෙනෙක්. නරකයි කියලා සම්මත වැඩ කරලා සමාජයේ නෝන්ඩි නොවිච්ච සුදු චරිතයක්..නෑ අළු කියමුකො..පොඩියක් මම්ම එබිලා බැලුවා මගේම කිල්ලෝටෙ ඇතුලට.. ( බෑ බෑ කළුමයි කියල නම් කියන්නෙ නෑ ) හැබැයි පස්සෙ පසුතැවිල්ලට හේතු වෙන දෙයක් නම් කල්පන කරලා බලලා කරන්නෙම නෑ.. මොකද මේ දැන් ගත කරන ජීවිතේ එක්ක පසු තැවී තැවී ඉන්න වෙලාවක් ඇත්තේම නැති තරම් නිසා.. 


මේ වෙලාවෙ මන් මොකක් කරන්න ඇති කියලද හිතන්නෙ පිංවතුනි ? 


අවංකයා හැමදාම දුකේ !..







මන් දුන්නෙ නෑ වැඩිපුර ආපු සල්ලි .. ඒකෙන් ගත්තා බිත්තර කොත්තුවක් රෑට කන්ඩ.. අල්ලපු කඩෙන් ගත්තා ඩීවීඩී දෙකක් බලන්න.. 


"තමන්ගෙ දාඩිය මහන්සියෙන් හම්බ නොකර අනුන්ගේ ඒවා කෑවහම පත්තියම් වෙන්නෙ නෑ"  


කියලා අපේ මාමා කියලා තිබ්බට කිසි අවුලක් උනේ නෑ පහු පාන්දර අර ටොයිලට් එකට ගියේ අපූරුවට..! 


කොන්දා මල්ලිගෙ නොසැලකිල්ලට මන් මක් කරන්නද ?