ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, July 19, 2012

ගහ මරා ගමු මෙහෙම..






මේ ෆොටො එක ගත්තෙ නම්,
http://www.toonpool.com


මුන්ගෙ අම්මලට !@#$$$$ #%%&%$%#@ !@!##  
කියලා පටන් ගන්න කුණු හබ්බ වැලත් එක්කම අසල්වැසි ගෙදරක පටන් ගන්න රණ්ඩුව පුන්චි කාලෙ ඉඳලම අපිට හැමදාම හවසට අහන්ඩ දකින්න වෙච්ච සුපුරුදු දසුනක් උනා. ගෙදර වැඩිහිටියො නැත්නම් හෙරෙන් හොරෙන් අහල පහල වැට ළඟට ගිහින් ඔය කියන කතා අහන්නත් සරම කරට අරන් කූට්ටම එළියෙ දමාගෙන පාර දිගේ බැන බැන යන ඩේවිඩ් මාම දිහා බලා ඉන්නත් පිඩි උන් විදියට අපි ආසයි..ඊට පස්සෙ ඕක ගැන යාළුවො එක්ක කතා කර කර ඉන්න එක සහ ඒ කිව්ව ඒවයේ අමුතු තේරුම් අපි අපේ හැටියට විග්‍රහ කරලා හිනා වෙනවා කියන්නෙ ඒ කාලෙ කරපු දෙයක්. ඔය කාලෙ මට මතක විදියට හතරෙ පහේ පන්ති වල අපි හිටියෙ. අපේ ගෙදර උනත් මොනා හරි රණ්ඩුවක් උනොත් අහල පහල ඉන්න අය පවා ඔය වැට අස්සෙන් එබිලා බලන් ඉන්නවාත් මතකයි...


රණ්ඩු, ගැටුම්, මතවාද, තර්ක , විතර්ක ඔය මොනවා උනත් අපේ වැඩීහිටියො ඒ අය කෙලින් කටින් ඉන්න වෙලාවලට කිව්වෙ නරක දෙයක්, හොඳ නැති දෙයක් , තේරුමක් නැතිම දෙයක් විදියටමයි. ඒත් ඒ අයම රණ්ඩු වෙනකොට නම් ලෝකෙ තිබ්බ ප්‍රධානම කාරණය ඒකම තමයි වගෙයි රණ්ඩු උනේ.. ඇත්තටම රණ්ඩු  වෙන එකෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ ? රණ්ඩු හොඳද ? හොඳ නැත්නම් ඇයි ආයි ආයි රණ්ඩු වෙන්නෙ ? එහෙම ආයි ආයි රණ්ඩු වෙනවනම් රණ්ඩු වලින් හොඳ දෙයක් කරගන්නෙ කොහොමද කියන ප්‍රශ්නය හැමදාම රණ්ඩු වලට මුල් වෙන අළු යට තියෙන ගිණි පුපුරක් වගේ මගේ හිත යට පත්තු වෙන්න ඔන මෙන්න වගේ තිබ්බා.. 


රණ්ඩු ගැන ආයි මට හරි හමන් කියවීමක් එන්නෙ ඉගෙන ගන්න කාලෙ..ඒ මන් ඉගෙන ගත් ක්ශේත්‍රයට සම්බන්ධව උනත් ඒක ඇතුලෙ තියෙන කරුණු තරමක් හොඳයි වගේම විශය ක්ශේත්‍රයෙ විතරක්ම නෙවෙයි ඊට පිටින් අපේ ජීවිතවලටත් එක්කහු කර ගන්න පුළුවන්ය කියලා හිතුන නිසා හිතුන හින්දා කියලා දාන්ඩ හිතුවා..


"අඩෝ එක !@@$% ක් හරි ආයි මේ ගැන වචනයක් හරි කතා කරලා තිබ්බොත් කැති ගාගෙන හාගෙන යන්නෙ කෙහෙල් කොටුවක් කපන්නැහේ අම්ම්පල්ලා ඕන් !@#$%$ "


කියලා ඩේවිඩ් අයියා මැරිච්ච මිනිහෙක්ගෙ නහයක් වත් කපන්න බැරි තරම් හම්පඩ කඩුවකුත් අරන් බීලා වැනි වැනී යනකොට එකදවසක් ගලක් පැටලිලා මිනිහා කඩුව උඩ වැටිලා කකුල කපා ගෙන තිබ්බා මට මතකයි.


ඔය තියෙන ප්‍රස්තාර වලින් කියන්නෙ රණ්ඩු ගැන කාලෙන් කාලෙට ආපු මති මතාන්තර තමයි. 








අපි පරණ මති මතාන්තර පැත්තකින් තියලා දැන් පිළි ගන්න මතය වෙච්ච ගැටුම් වර්ග දෙකක් තියෙනවාය.. ඒ දෙක එක ප්‍රයෝජනවත් ගැටුම් (Constructive Conflicts) සහ අනික සම්බන්ධතා ගැන ගැටුම්ය (Relationship conflicts)  කියන මතය ගමුකො.ඔය සම්බන්ධතා ගැටුම් වලදි ඉස්මතු වෙන්නෙ පුද්ගලික දේවල් මිසක් අර ගැටුමට මූලික වෙච්ච කරුණු නෙවෙයි. අන්තිමට රණ්ඩු වෙන්න පටන් ගත්තෙ මොකටද ? ඉවර වෙන්නෙ මොකකින්ද ? කියන කාරණා දෙක අහසට පොළව තරම් දුරස් වෙනවා..  විශේෂඥයො කියන්නෙ මේ ප්‍රයෝජනවත් ගැටුම් වැඩි කරලා අර අනිත් ගැටුම් නැති කරන්න එහෙම නැත්නම් අවම කරන්නයි කියලා.. ඔය පොත පතේ ඔහොම කීවට ප්‍රායෝගිකව ඕක කරන්න පුළුවන්ද ? 


බෑ...


බෑ... ප්‍රායෝගිකව ඕක කරන්න හරිම අමාරුයි..ඒත් බැරිම නෑ.. මොකද වෙන්නෙ ප්‍රයෝජනවත් විදියට රණ්ඩු වෙන්න පුළුවන් .. ඒත් ඒ රණ්ඩුව ගැඹුරට ගැබුරට යන්න මතු වෙන්නෙ අර අනිත් ගැටුම් තමයි. ඔන්න මීයා ඇදිලා එනවා ඔතනට..


ඉතින් එහෙනම් කොහොමද ගැටුම් ප්‍රයෝජනවත් විදියට පවත්වා ගෙන යන්නෙ..


එකක් තමයි ගැටුමට සහභාගි වෙන පිරිස තමන්ගේ චිත්තාවේග පාලනයට (Emotional Intellegence ) දක්ශ මනා හැකියාවක් ඇති අය වීම.. එතකොට ගැටුම නරක පැත්තක්ට යන්න ගියත් ආයි ගන්න පුළුවන් හරි පාරට..


අනික ගැටුම ඇති වෙන්ඩ දෙන්ඩ ඕනි සංසක්ත කණ්ඩායම් ඇතුලෙ.. (Cohesive Teams) ඒ මොන කණ්ඩායම්ද ? ඒ කියන්නෙ ඒ කණ්ඩායම් අතරෙ බැඳීම වැඩියි..ඒ වගේ කණ්ඩායමක් අතරේ ඇතිවෙන ගැටුමකින් පල නෙලා ගන්ඩ පුළුවන් හොඳට..


අනික තමයි ගැටුම ඇතිවෙන කණ්ඩායමේ සහයෝගී කණ්ඩායම් සාරධර්ම ඉහලින්ම තියෙන්න ඕනි..(Supportive team norms)
එතකොටත් ඒ වගේ රණ්ඩුවලින් ගන්න තියෙන ප්‍රයෝජන වැඩියි කියලයි කියන්නෙ..



මේක සයිබර් අවකාශෙත් කරන්න පුළුවන්ද ? 
ඔව් පුළුවන්.. හැබැයි ඇනෝලට කමෙන්ට් කරන්න ඉඩ දීලා හැම වෙලාවෙම අවධානයෙන් ඉන්න ඕනි රණ්ඩුව ප්‍රයෝජනවත්  පාරෙන් එළියට පැනලා සම්බන්ධතා ගැටුමක් පැත්තට යනකොට එතනින් ආපහු හරි පාරට ගන්න..



මේ කරුණු කාරනා ටික ආයි මතක් කර ගන්නත් යාවත්කාලීන කර ගන්නත් උදව් උනේ,
Organization Behavior 13th edition By Robbins, S.P. and Judge, T.A සහ Organizational Behavior : Emerging knowledge and practice for the real world 5th edition by McShane, S.L & et.all කියන පොත් තමයි ඉතින්




අන්තිමේ අපි දහයෙ පන්තියෙ ඉන්න කොට හැමදාම තමන්ගෙ පවුලෙ අය එක්ක රණ්ඩු වෙච්ච ඩේවිඩ් මාමාගෙ මූණට මිරිස් වතුර එකක් ගහලා ඇඟ පුරා කඩු පාරවල් 17ක් එක්ක මිය ඇදුනෙ අපේ නෙත් ඉදිරියෙමයි. මොනවද තමන්ගෙ ජීවිත කාලෙම රණ්ඩු වෙලා මිනිහා ඉතුරු කර ගත්තෙ කියලා අද හිතන කොට නම් හරිම දුකයි. නන්නත්තාර වෙලා ගිය පවුලක් තමයි එයා ඒ කාලෙම ලෝකයට ඉතුරු කරලා ගියේ..


ගේට්ටුවට කවුද එකෙක් තඩි බානවා...සුවර් එකටම ඔය ගෙදර ඉන්න බල්ලො ටික අවුස්සන්න තමයි මේක කරන්නෙ.. අර අහල පහල ඉන්න කොල්ලො සෙට් එක.. එහෙම අවුස්සලා බල්ලො රන්චුව බුරන කොට උන්ට ඊට වඩා ජොලියක් නැති පාටයි...


බල්ලො ටික මේ පැත්තෙ නෑ..ඒත් තවම මුන් ටික ගේට්ටුවට තඩි බානවා..


මොන !!@@#$% ද මන්දා... මමත් ගත්තා දොර මුල්ලෙ තිබ්බ යකඩ පොල්ල.. උස්සා ගත්තා සරම ටිකක් උඩට ...
බලමු !



ප.ලි. අනේ බුදු ඇනෝ මල්ලියෙ, නංගියේ, අයියෙ, අක්කෙ. මේන් වැන්දා ඕන්නම් කියහන් තව කියන තැනකටත් වඳින්නම්.. මෙතන නම් සණ්ඩු වෙන්න එපා..මන් අහිංසකයා ඕන්.. දැකපු අය දන්නවා හරි හමන් ගුටියක්වත් කා ගන්න බෑ තාම !

Wednesday, July 18, 2012

ඉපදෙනකොටම ආපු එව්වා සහ ඉටිපන්දමේ පුරස්නෙ..

මගේ මීට ඉස්සර තිබ්බ පෝස්ට් වලට මන් ඇන්ද සිත්තර දැකලා ප්‍රීතියෙන් උද්දාම වෙච්ච අපේ බීටල් පඬිතුමා මගෙ ඉටිපන්දම් පෝස්ට් එකේදි මගෙන් අහලා තිබ්බා ඇයි මන් සින්දු කියන්න පටන් ගන්නෙ නැත්තෙ චිත්‍ර අඳින එක පැත්තකින් තියලා. නමුත් සිත්තර අදින්න එපාය කියන්නෙත් නෑ කියලා..
ඒ කතාව ඇහුවහමයි මට මතක් උනේ මගේ උපතින්ම ගෙනාපු හැකියාවක් තමයි මේ සින්දු කියන එක..ඒකත් එක්ක මතකය ඇදිලා ගියේ අපේ ඉස්කෝල වල හැම මාසයකම අන්තිම සතියෙ සිකුරාදා තිබ්බ සාහිත්‍ය සමිතිය ගැන..ඒකෙදි මන් අනිවාර්‍යෙන්ම සින්දුවක් කියන්න පුරුදු වෙල හිටියා.
මුලින් මුලින් සමිතියේ න්‍යාය පත්‍රයේ මැදට වෙන්න තිබ්බ මගේ සුමුහිරි ගායනය පහු කාලෙදි අන්තිමට ආවෙ මන් හිතන්නෙ අර ඊට ඉස්සර තිබ්බ නීරස වැඩසටහන් වලට අකමැත්තෙන් උනත් අහන් බලන් ඉන්න සිසු සිසුවියො අන්තිම අයිටම් එක වෙන මගේ සින්දුව අහන්න රඳවා ගන්නයි කියලයි මන් හිතුවෙ. ඒත් මට තාම තේරෙන්නෙ නැත්තෙ ඒකෙ වැඩසටහන් න්‍යාය පත්‍රයෙ ලේකම් තුමාගෙ / තුමියගේ ස්තූති කතාවෙනුත් පස්සෙ තමයි මට සින්දු කියන්න දීල තිබ්බෙ..අමාරුවෙන් උනත් ඉස්කෝලෙ මුර මාමා මගේ සින්දුව අහන් හිටියා හෝල් එක වහන රාජකාරිය එයාට පැවරිලා තිබ්බ නිසා.


ඔහොම වැඩි දියුණු කර ගත්ත මගේ සුභාවිත ගායනය අපි යන ට්‍රිප් වලදි පවා මන් ප්‍රයෝජනයට ගත්තා.. මගේ කන්කලු මිහිරි ගායනය කරන්න අපරාදෙ කියන්න බෑ ගිය කට්ටිය ළඟ සීට් දෙක තුනක්ම මට දීලා ඒ අය හිටියෙ ටිකක් ඈතින්ම තමයි.


මේ බ්ලොග් ලියන එක අස්සෙ මන් හිතුවා මගේම කියලා සින්දු සංගත තැටියක් එලියට දමන්න. පහු ගිය දවස් ටිකේම මන් මගේම පද රචනයන් කරපු සින්දු ටිකක් තාලෙට කියන්න ගත්තා..ඒත් අවුල තියෙන්නෙ මේ  ගෙදර ඇති කරන අපේ බල්ලො සෙට් එක ලැසී, කුකී, බ්‍රවුනි සහ අනික් අහල පහල ඉන්න බල්ලො ටික උඩු බුරන්ඩ පටන් ගන්නවා මන් සින්දු කියන කොටම...
මොකද මන්දා මස් කට්ටක්වත් රිදෙයි කියලා හයියෙන් නොකන ලැසී මේ ළඟඳි මාව කන්ඩ පැන්නෙ මන් බාත් රූම් එකේ ඉඳන් සින්දුවක් කිය කියා ඉඳලා එළියට එනකොටමයි.මන් හිතා ඉන්නෙ ඔය අහල පහල යාළුවෙක්ගෙවත් ගෙදරට ගිහිල්ලා සින්දු ටික ප්‍රැක්ටිස් කරලාඉක්මනටම සංගත තැටියක් එළියට දමන්න. මන් හිතන්නෙ ඔය බීටල් පඬිතුමා කියන්නැහෙ අමුතුවෙන් මට සින්දු කියන්ඩ පුරුදු වෙන්න ඕනි නෑ..ඉපදිච්ච ගමන්මත් මන් හිතන්නෙ ඔහෑ ඔහෑ කියලා අඬනවා වෙනුවට මන් සින්දුම තමා කියලා තියෙන්නෙ..


"ඔව් උඹ පොඩි කාලෙ රැහැයියා වගේ කෑ ගහ ගහා තමයි හිටියෙ"


කියලයි අපේ ලොකු අක්කා ඒ අතීතය තාමත් ඇඬූ කඳුලින් මතක් කරන්නෙ..පව් ලොකු අක්කගෙ දකුණු කන ඇහෙන්නෙ නැතුව ගියේ ඒ කාලෙමයි.


ඕන් ඉතින් අර ඉටිපන්දම ගහන් හැටි අහලා තිබ්බ ප්‍රශ්නෙට කට්ටිය නානා ප්‍රකාර උත්තර දීලා තිබුනා නොව.. ඒ අතරින් නිර්මාණශීලී උත්තර කීපයක්ම තිබුනත් එක්ක.. මන් කීවෙ එතන පිළිතුරක් නොලීවත් පොඩ්ඩක් හිතන්නකො ඒක කරන්න පුළුවන් කොහොමද කියලා.. කියලයි. මට පුද්ගලිකව ඔය ප්‍රශ්නෙ විසඳන්න ලැබිච්ච වෙලාවෙ මට හිතුන එකම උත්තරේ තමයි ඉටිපන්දම පත්තු කරලා ඉටි ටිකක් උණු කරලා ඒකෙන් ඉටිපන්දම හයි කරනවා බිත්තියෙ කියලා..අර ඩ්‍රෝවින් පින් වලින් කරන්න දෙයක් තිබ්බෙම නෑ.
මොකද මට එහෙම හිතුනේ අපි ඉටිපන්දම් පත්තු කරලා බිමහරි මොකක් උඩ හරි හයි කරන්නෙ එහෙම නිසයි ඒ වගේ හිතුනෙ මට නම්. එහෙම උත්තරයක් එන්නෙ අපේ අතීත අත්දැකීම් වලින් තමයි.
ඒත් බලන්නකො මේක බිත්තියක හයි කරන්න තියෙන ක්‍රම රාශිය මේ පහල තියෙන පින්තූරෙන්..





මෙච්චර පොඩි ප්‍රශ්නෙකටත් මට නම් හරි හමන් උත්තරයක් ගොඩ නගා ගන්න බැරි උන එකේ මට හිතෙන්නෙ ජීවිතෙන් තුනෙන් දෙකක් ගෙවිලා ගියත් ජීවිත ප්‍රශ්නවලටත් හොයන් තියෙන උත්තර වලට වඩා නිර්මාණශීලි තව උත්තර කොයිතරම් ඇත්ද කියලයි.


අපි අතීත අත්දැකීම් වලින් ගත්ත දේවල් වලින් විතරක් ගැටළුවකට උත්තර හෙව්වොත් මෙහෙම තමයි වෙන්නෙ. එහෙනම් කොහොමද මේ විදියෙ නිර්මාණශීලි උත්තර වලට යන්න පුළුවන් වෙන්නෙ ?
අපිට ගැටළුවක් ආවහම අපි ඒකට විසඳුම් විදියට මෙන්න මේක  හරි යයි කියලා අනුමානයක් අරන් ඒක තර්කානුකූලව අපිට අවශ්‍ය විසඳුමට හරියනවද කියලා තර්කානුකූලව හිතලා හිතලා එක්කො ඒක විසඳුම විදියට ගන්නවා. නැත්නම් ඒක ඉවත දමලා තව  අනුමානයක් ගන්නවා.. අපි වහ්cඅනවලට පෙරලලා නොකීවට මෙහෙම තමයි මේක අපේ ඔළු ගෙඩි ඇතුලෙ වෙන්නෙ..
ඒක ක්‍රියාවලියක්.. ඒ ක්‍රියාවලිය හැම කෙනාගෙම ඔළුවෙ තිබුනත් වැඩ
 කරන්නෙ විවිධාකාර විදියට තමයි. ඉතින් ඒක ටිකක් මලකඩ කඩලා දමලා තෙල් ටිකක් දමලා.. පොලිශ් කරලා ගත්තොත් ඉටි පන්දම ගහන්න ක්‍රම රාශියක් ගොඩ නගා ගත්තා වගේ හැම ප්‍රශ්නෙකටම උත්තර ගොඩාක් හොයා ගන්න පුළුවන් වෙයි නේද කියලයි මට හිතුනේ..අපිට නොදැනෙන නමුත් ඉබේම ඇතුලේ වෙන ක්‍රියාවලිය තමයි අදහසක් ඇති කරගැනීම ( Inspiration  ) එය ක්‍රියාවට නැංවීම (Perspiration), ඊළඟට එය ඇගයීමට ලක්කිරීම (evaluation) සහ අවසානයේ එය එය ප්‍රතිපලයක් වෙන කන් රක්කවාගෙන ඉඳීම.(Incubation).තව පෝස්ට් දෙක තුනකින් පස්සෙ බලමුකො එහෙනම් ඔය ක්‍රියාවලිය කොහොමද පොලිශ් කරලා ගන්නෙ කියලා..


මගේ සුභාවිත ගායන සංගත තැටියට එළිදැක්වුවහම කට්ටිය සප් එකක් දෙන්ඩෝනි..දැනටමත් ඈත ගොවි ගම්මානවලින් ඉල්ලුමක් තියෙනවා..කුරුල්ලො එළවන්න ගොවි පලේ තැන් තැන් වල එල්ලලා තිබ්බහම අස්වැන්න රැකබලා ගන්ඩ පුළුවන් කියලා ඒ ඉල්ලපු එක ගෙදරක හිටි පොඩි එකෙක් කීවෙ මගේ යාළුවා වෙච්ච ඒකාගෙ තාත්තගෙ ටොක්කකුත් කාගෙනමයි..

Friday, July 13, 2012

ඉටි පන්දම ගහන හැටි


ඉටි පන්දම ගහන්නෙ කොහොමද කියලා අහන්න ඉස්සෙල්ලා මං කාලෙකට ඉස්සර ඔය බිත්ති සඟරාවකට ඉදිරිපත් කරපු නිර්මාණයක් හම්බ උනා මගේ පරණ පොත් පෙට්ටියක් අස්සෙ තිබිලා. අපි හැමෝගෙම ජීවිත මේ විදියට තමයි දිනලා තියෙන්නෙ කියන එක හොඳටම සුවර්. ඒ වගේමයි මගෙ මතකයෙ හැටියට මේ පොඩි නිර්මාණය කරන්න මූලික උනේ ඔය අභියෝග ජය ගන්න කියලා තිබ්බ පොත් පිංචක තිබ්බ අදහසකින් ගත්ත එකක්..ඒක පටන් ගන්නෙ මෙහෙමයි..



මට වැරදුනා...


මම අසමත් උනා....


මම ෆේල්....


මට ඉතුරු උනේ ,


                                         දුක
                                         කඳුල 
                                         පසුතැවිල්ල විතරයි..


පරාජයන් තව තවත් මගේ හිස මත කඩා වැටෙන්න උනා...



ඒත් දවසක මට තේරුනා..


මන් ඉන්නෙ වැරදි පැත්තෙ කියලා


මන් දුවන් ගියා හරි පැත්තට..




මේ සිත්තරෙන් තේරෙනවා ඇති පරාජයන් අපි මත කඩා වැටෙද්දි අපි කොතනද ඉන්න  ඕනි කියලා..


මේ තියෙන්නෙ ඉටිපන්දම ගහන්නෙ කොහොමද කියන ගැටළුව ..
ඔබට ඉටිපන්දමක්, ගිණි කූරු පුරවපු ගිණි පෙට්ටියක් සහ ඩ්‍රෝවින් පින්ස් පැකට් එකක් දීලා ඉටිපන්දම බිත්තියෙ ගහන්න එහෙම නැතිනම් හයි කරන්න කීවොත් ඔබ කොහොමද කරන්නෙ ? 








මේකට ඔබ පිළිතුර ලියලා මෙතන පල නොකලත් කමක් නෑ පොඩ්ඩක් ඔය නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවක හිතලා බලන්න..


මන් මේ හදන්නෙ මගේ ඊළඟ කතාවට හොඳ ප්‍රවේශයක් ගන්නයි ඔබේ ඒ හිතන එක හරහා..


එහෙනම් නැවත ලබන බදාදා දිහාවට හමු වෙමු. සති අන්තයේ බණක් සහ දානයක් තියෙනවානෙ සහභාගි වෙන්න..

Wednesday, July 11, 2012

එක ඉවරයි !


අච්චාරුවක් එහෙම නැත්නම් ලුණුදෙහි එකක් කාලය යන්ඩ යන්ඩ තමයි රස වැඩි වෙන්නෙ. ඒ වගේමයි අච්චාරු කියන්නෙ විශේෂයෙනම අවුරුදු කාලෙ කෑම මේසෙදි දකින්න පුළුවන් වගේම අවුරුද්දෙ ඕනිම කාලෙක පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. අච්චාරු ප්‍රධාන ආහාරයක් නොවෙන නිසා ඒක තිබුනත් නැතත් කාලා බඩ පුරවගන්න පුළුවන්..අච්චාරුව රස වැඩි වෙන්නෙ ඒකට දමන විවිධ දේවල් නිසාමයි.


හරියටම අදට මගේ අච්චාරු බ්ලොග් එකටත් අවුරුද්දක් වෙනවා.
විවිධාකාරයෙ ලිපි තියෙන නිසාම මන් කැමතී මෙක අච්චාරුවක් විදියට දකින්න.





ඉතින් මන් ඔන්න ඔහොම කියලා හරියටම අවුරුද්දකට කලින් මේ බ්ලොග් එක ලියන්න පටන් ගන්න කොටනම් මෙච්චර දුරක් එන්න හිතුවෙ නෑ..ඒ වෙනකොටත් පටන් අරන් තිබ්බ බ්ලොග් හත වගේම මේකත් ඔය පෝස්ට් 2-3ක් ලියලා අමතක කරලා දමයි කියන අදහස තමයි තිබුනෙ..


අවුරුද්දක් ඇවිත් ආපහු බලද්දි මට පේන්නෙ මොනාද ?
හිට් කවුන්ටරේ ?
නෑ...
ෆලොවර්ස්ලා ?
පෝස්ට් සහ කමෙන්ට්ස් ද ?
නෑ..එහෙනම් ?


බ්ලොග් එකේ පළමුවෙනි පෝස්ට් එකේ ඉඳන්ම මට ධෛර්‍යයක් වෙච්ච මගේ ඔබ සියළු දෙනාම තමයි මට පේන්නෙ..එකම එක අකුරක උනත් කමෙන්ට් එකක් දමපු ඔබ නිසයි බ්ලොග් හතක්ම ලියන්ඩ ගිහින් මග දමලා ගිය මන් මේ ලියන්නා බ්ලොගය මේ අද දක්වා ඇද ගෙන ආවෙ..
කමෙන්ට් නොදමන නමුත් බ්ලොගය කියවන මගේ සහෘද පිරිස මට ඔබලා දෙන සහය පේනවා හිට් කවුන්ටරයෙන් සහ ෆලෝවර්ස්ලා ලොට් එකෙන්.. ඔබලා නොවෙන්න මන් බ්ලොග් ලෝකෙ කවුරුවත් නෙවෙයි..මහා යෝධ පතාක බ්ලොග් අතරේ බොහොම පුන්චි බ්ලොග් එකක් මට තියෙනවා කියලා නිහතමානි ආඩම්බරයකින් කියන්න පුළුවන් ඔබලා නිසයි.


මීට ඉස්සෙල්ලත් මන් කියලා ඇති මන් අවුරුදු ගනනාවකට උඩදි ඉංග්‍රීසි බ්ලොග් කියව කියවා ඉන්න කොට මොන දේකින් හරි අහු උනා අපේ සීටී මලයගෙ මාරයගෙ හෝරාව කියවන්න.. එතනින් තමයි මන් සිංහල බ්ලොග් කියවන්න සබැඳියන් අර ගත්තෙ..ඒ දවස් වල මන් කියවන්නෙක් විතරයි. කමෙන්ට් එකක් දැම්මෙවත් නෑ.. ඔහොම අවුරුදු එකහමාරක් විතර ඒ වෙනකොට පල වෙමින් තිබ්බ සියළුම බ්ලොග් පාහෙ කියවන්න ඇබ්බැහි වෙච්ච මන්.. දවසක හිතුනා..ම්ම්ම් මොනා හරි පොඩ්ඩක් ලියන්න ඕනි කියලා..


ජූලි 10 වෙනිදා ඉඳන් ඔහෙ මොනා හරි අත් අකුරින් ලියලා ඒක ස්කෑන් කරලා දම දමා හිටි මන් සිංහල යුනිකෝඩ් වලින් කොටන්න ගත්තා..ජූලි 16 මෙන්න උදේ නවයකුත් ගානට මගේ පළමුවෙනි කමෙන්ට් එක තියෙනවා




..කාගෙන්ද අපේ කතන්දර සූරින්ගෙන්..ඒ වෙනකොටත් මන් මාරයාගේ හෝරාව කියවලා ඊළඟට කියවන්න ගත්ත කතන්දරමද මේ කියලා බලන්න ලින්ක් එක දිගෙත් ගියා එක්ක..ආයි මොනාද එයාම තමයි..එච්චර ලොකු බ්ලොග් කාරයෙක් කවදාවත් මගේ මේ සිඟිති බ්ලොග් එක කියවයි කියලා නොහිතපු මම..ඒ කමෙන්ට් එකෙන් ගත්ත අප් එක නම් කියලා වැඩක් නෑ..

හැබැයි  ඉතින් කතන්දර සූරින් අදට නම් මගේ බ්ලොග් පෝස්ට් කියවන්නෙ නෑ මන් හිතන්නෙ..ඒත් එදා කියෙව්වනෙ කියලා හිතෙන කොට මට හරි සතුටුයි..


ඊළඟට අපෙන් සමු ගත්ත ඔබා අයියා මගේ බ්ලොග් එක එහෙම් පිටින්ම අන්තිම පේළියෙ පබ්ලිස් කලා..එතනින් සෙට් වෙච්ච යාළුවො කට්ටිය..දැන් නම් මූණුපොතෙන් , ඒ දවස් වල බස් එකේ.. දැන් පස් වල.. බස් රේඩියෝව..කිහිපයක් ම තිබිච්ච සුහද හමු, සයිබර් සැනකෙලිය...ඔය සේරගෙන්ම මාත් එක්ක හිතවත් වූ සහ ලං වූ මිතුරු මිතුරියන් කැල.


අවුරුදු 1ක්
හිට්ස් 85300 ක් මේකෙන් 5000ක් විතරම මගේ මුල කාලෙ සෙටින් හදන්න ඉස්සර කවුන්ට් වෙච්ච

පෝස්ට් 123 ක් 
කමෙන්ට් 5300 ක් භාගයක්ම මන් රිප්ලයි කරපු..
ෆලෝවර්ස් 231 ක්
ලොකු නමුත් අහිංසක සතුටක් !


මන් හිතන්නෙ මන් තමයි බ්ලොග් එකක් ලියලා ඒකෙන් ලබන්න පුළුවන් උපරිම සතුටක් ලබන කෙනා.. 
දන්නවද ඔබලා තමයි ඒ සතුටට වග කියන්න ඕනි..
ඒකට ස්තූතියි කියන අකුරු හතර මදි..
ඒ වෙනුවට මන් පොරොන්දු වෙන්නම්..


මන් මේ බ්ලොග් එක ලියනවා මැරෙන කම්ම ..


ඒ ඔබලා වෙනුවෙන්,
ඔබලාට කෘතුතගුණ සැලකීමක් වශයෙන්...


ප.ලි. මෙතන ඔබලා කියන වචනය ඇතුලෙ ඉන්න අපේ ආදරණීය සින්ඩිකේටර සමඟ අපේ සහෘද බ්ලොග් කරුවන් සහ කාරිනියන් ගේ තමන් කියවන ලිස්ට් එකත් වෙන එකතු විය යුතුයි ..


ඊට අමතරව මන් ඕන් අරකෙන් හැමෝටම තුති මලක් ඇන්දා...ඒකට කියන්නෙ Flower of Thanks  කියලයි

මේ වගේ මලක් කොහෙ හරි දැක්කොත් කඩා ගන්ඩ..ඒ මගේ ගානෙ..

Monday, July 9, 2012

අතින්ම අරන් තියා ගැනීම



අද මම උදේ හදිසියෙම ගත්ත තීරණයකට ගියා මගේ ගම්බිම් බලා..කිලෝමීටර් 125 යන්ඩයි එන්ඩයි එතකොට 250 ක් ගෙඩි පිටින්ම. 
දවසම ඉවරයි වැඩේට..යන එන මඟ දිගට වැස්සා, ඒත් ගිය බස් එකේ වහලක් තිබ්බ නිසා නොතෙමී ගිහින් ආවා.. 


ඒ එන බස් එකේ වෙච්ච සිදුවීමක් තමයි මන් පොඩ්ඩක් බෙදා හදා ගන්ඩ හදන්නෙ. මගේ බ්ලොග් එක කියවන පාඨකාවියො..පාඨිකාවියො..මන්දා අපේ ගෑල්ලමයි ටික ඕන් මේ කතාව පර්සනලි අරගන්නෙ එහෙම නෑ..මොකද හැමෝම මෙහෙම නෑ..නමුත් මෙහෙම අයත් ඉන්නවා.


මන් ගෙදර ගිහින් රත්නපුරේට එනකොට හවස 4ත් හතරහමාරත් අතර ඇති. එනකොටම ඒසී බස් ගහන තැන ලොකු බස් එකක් නවත්තලා තිබුනා..ඔය වෙලාව ටිකක් බස් අඩු වෙලාව නිසා මමත් දුවලා ගිහින් බස් එකට නැග්ගා. ඒක ඒසී බස් එකක් නම් නෙවෙයි. සාමාන්‍ය බස් එකක්.හැම සීට් එකේම වගේ එක්කෙනෙක් දෙන්නෙක් ඉඳ ගෙන හිටියා. ඒත් ඒ වෙනකොටත් තව හිස් සීට් 10ක්වත් තිබුනා අඩුම තමරමෙ. මමත් බස් එකේ මැද හරියට වෙන්න තිබ්බ සීට් එකක ජනේලෙ අයිනෙ එතකොටත් පිරිමි කෙනෙක් ඉඳ ගෙන හිටියා මන් ඉඳ ගත්තා මෙහා කෙරවලෙන්ම.මේක ලොකු බස් එකක් එක පේලියක සීට් පහක් තිබ්බා..ඒ නිසාම සීට් තුනේ පේලිය සහ අනිත් පැත්තෙ සීට් දෙකේ පේලිය අතරෙ බොහොම පොඩි ඉඩක් තිබුනෙ..යන්තම් එක්කෙනෙක්ට හිර වෙලා වගේ ඉන්න පුළුවන් විදියට.


මට දැන් පේනවා බස් එකේ එලියෙ හෑන්ඩ් බෑග්ම තුනක් නැත්නම් හතරක් එල්ලා ගත්ත මහත ලේඩී කෙනෙක් බස් එකට නගිනවා.. බොහොම අමාරුවෙන් උනත් අර කෙටි ඉඩ අතරින් මෙයා ගියා බස් එකේ අනිත් දොරටුවෙන් බැහැලා ගියා අර හිස් සීට් දිහා බලලම..ඉඳ ගන්න ඉඩ තිබ්බත් බැහැලා ගියේ ඊළඟ බස් එකේ නගින්න වෙන්න ඇති..
ඊළඟ විනාඩි පහේදි බස් එකේ සේරම සීට් ටික පිරුන.. ඩ්‍රයිවර්, කන්ඩක්ටර් ආවා..ටිකට් කඩන අතරෙ තව අර බස් වලට සෙනඟ පටවන්න උදව් කරන කෙනෙකුත් ඇවිල්ලා අහල පහල ඉන්න තව අයවත් නැග්ගුවා..දැන් අර ලේඩිගෙනුත් ගිහින් මොනවද ඇහුවා..අහලා මහ හයියෙන් කියෝනවා මේ මනුස්සයා..


"ආ කොළඹ යන අන්තිම බස් එක මේක..ආයි එකක් නම් නෑයන අය නගින්න යන අය නගින්න "


කියලා මේක ඇහුනා විතරයි අර ලේඩිත් දඩ බඩ ගාලා අර හෑන්ඩ් බෑග් ටිකත් එල්ලා ගෙන නැග්ගා බස් එකට.. දැන් ආයිමත් අර මැද ඉන්න සෙනඟත් තෙරපා ගෙන යනවා බස් එක මැද්දෑවට හිස් සීට් බල බලා..මොන එතකොට සීට් නෑ..කීප දෙනෙක්ම මේ සීන් එක නෝට් කරගෙන හිනා වෙනවත් දැක්කා..


මමත් පව් තමයි ඒත් ස්ථානෝචිත ප්‍රඥාව නැති කෙනෙක්නෙ මේ වෙලාව හිතලා පොඩ්ඩක් තව බස් නෙවෙයි තියෙන බස් එකේ යන්න ඉස්සරවෙලා සීට් තියෙද්දි ඉඳ ගන්ඩයි තිබ්බෙ කියලා හිතලා මන් මගේ කල්පනා සාගරයට වැටුනා..ටිකක් වෙලා යනකොට සෙනඟ පිරුනා බස් එකේ .. ඉඳගෙන හිටියත් තෙරපිලා තමයි අපිත් හිටියෙ..


මේ සිත්තරේ මන් කලේ පොඩ්ඩක් පාට කරපු එක විතරයි..


ඔය අතරෙ මට මතක් උනා එක දවසක ඔයවගේම මම දුර ගමනක් යනවා.. මන් හිටියෙ හිට ගෙන මන් ළඟම සීට් එකේ හිටිය දෙන්නගෙන එක්කෙනෙක්  නැගිටින්න හරි බරි ගැහෙනවා ..මමත් පොඩ්ඩක් හිතට සැනසුම් සුසුමක් හෙළුවා..ගමනේ ඉතුරු ටික ඉඳ ගෙන යන්ඩ පුළුවන් වෙනවනෙ කියලා. මොන.. 
මට ටිකක් එහායින් හිටගෙන හිටි ලේඩි කෙනෙක් මේ මන් ළඟ සීට් එකේ එක්කෙනා නැගිටින්න හදනවා දුටුවාවිතරයි..මන් ළඟට ඇවිත්  මාවත් පොඩ්ඩක් තල්ලු කරලා අර සීට් එක හිස් උනහම මට ඉඳ ගන්න බැරි වෙන විදියට අතින් බැරියර් එකක් හැදෙන විදියට සීට් එකේ ඇන්ද අල්ලා ගත්තා..මට පුදුම නොරිස්සුමක් එකපාරටම ආවත්..ඒ එක්කම හිතුනා මට වැඩිය අමාරු ඇතිනෙ මෙයාට නැගිටලා යන්ඩ කියලා..හිත හදා ගත්තා..එහෙම  වයසක නෝනා කෙනෙක්නම් නෙවෙයි ඒත්..මොකද උනේ ඒ සීට් එකේ ඉන්න දෙන්නම බහින්න නැගිට්ටා මෙන්න..හැබැයි ඒ සීට් එකේ ජනේලේ ළඟට හොඳටම ඉර අව්ව වැටෙනවා..දැන් මට බැරැක්ක දාපු ලේඩි මෙන්න මට යන්ඩ ඉඩ දෙනවා සීට් එකේ ඉඳ ගන්ඩ ලින්ම..මොකද දැන් මෙයාට අව්වෙ යන්ඩ වෙනවා දඟලපු විදියට මුලින්ම සීට් එකේ ඉඳ ගන්න ගියොත්
මට එතකොටත් පහවෙලා නොගිය නොරිස්සුම නිසා හිටපියකො කියලා මන් කලේ ඉඳ ගත්තා සීට් එකේ හැබැයි ජනේලෙ තියෙන කොනට ගියේ නෑ..
අව්ව නොවැටෙන මෙහා කෙලවරේ ඉඳ ගත්තා.. ඉඳගෙන මේ ලේඩිට යන්න පුළුවන් වෙන විදියට කකුල් දෙක පොඩ්ඩක් සීට් එකෙන් එලියට දමා ගෙන මගේ පාඩුවෙ ඉන්නවා...


"එක්ස්කියුස් මී"


මන් ඔළුව උස්සලා බැලුවා..


"එහාට යන්ඩ"


ගෑණි මට ඕඩර්ස් දෙනවා


මන් මුකුත් කීවෙ නෑ.. තවත් කකුල් දෙක සීට් එකෙන් එළියට අරන් අතින් කීවා අයිනෙ සීට් එකට යන්න..කියලා..


"මන් ඉස්සරහ බහිනවා"


ගෑනි තවත් නොරිස්සුමෙන් කියනවා.


"මමත් ඉස්සරහ බහිනවා"


ඉඳ ගන්නෙ නැත්නම් හිටගෙන පල කියලා මම එළියට ගත්ත කකුල් දෙක ආයිමත් තුලට අරන්..බෑග් එකේ තිබ්බ රීඩර්ස් ඩයිජස්ට් සඟරාව අතට ගත්තා..
මෙන්න ඒපාර නම් පුපුර පුපුරා මෙයා ඉඳ ගත්තෙ නැද්ද අර අව්ව වැටෙන සීට් එකේ.සීන් එක බල බලා හිටපු පිටි පස්සෙ සීට් එකේ උන බක ගාලා හිනා වෙනවා.අන්තිමේ දෙන්නම බැස්සෙ බස් එක නවත්තන අන්තිම හෝල්ට් එකේ...යනකොටත් මට රවා ගෙන ගියේ.. මට ඔය සීන් එක මතක් වෙලා ඔය සෙනඟ අස්සෙ තනියම හිනා ගියා..


ඉතින් මේ කෑම එක්ක තරහින් වගේ කාලා මහත් වෙච්ච නෝනා අර සීට් අතරෙ හිර වෙලා එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා.. එයාගේ පශ්චාත් භාගය අනිත් පැත්තෙ සීට් එකේ හිටිය කෙනාගෙ කර උඩ..පව් මිනිහා අනුන්ගෙ බර කර ගහනවා.. 
සාමාන්‍යෙන් රත්නපුර කොළඹ යන බස් වල අවිස්සාවේල්ල හරියෙදි වෙන දෙයක් තමයි..ඔය ඉඳගෙන ඉන්න උදවිය අර හිට ගෙන ඉන්න උදවිය එක්ක තමන් ඉඳ ගෙන ඉන්න සීට් හුවමාරු කරන එක..ආයිමත් හෝමාගම හරිය වෙනකොට ඒ සීට් අයිතිකාරයින්ටම හම්බ වෙනවා.ඒක සාමාන්‍ය සිරිතක්..ගොඩක් අය නොවුනත් කීප දෙනෙක් හරි මේ හුවමාරුව කරනවා. මමත් ගොඩක් මහන්සියෙන් නොයන වෙලාවලට මේක කරනවාම තමයි. 
ඒත් එක වාරයක මොකද උනේ..
මන් ළඟ ටිකක් අමාරුවෙන් හිට ගෙන හිටපු ලේඩි කෙනෙක් හිටියා.. මන් ඇහැලියගොඩ හරියෙදිම හිතුවා අවිස්සාවේල්ලෙදි මෙයා බැස්සෙ නැතොත් සීට් එක දෙනවා කියලා..මොකද ගොඩක් අය අවිස්සාවේල්ල බහිනවා..


එහෙම හිතලා මන් මේ ලේඩිගෙ මූණ බලලා මනුස්සකමට හිනා උනා.. අප්පට සිරි මෙන්න හරියට මන් අර මහ වැඩේට කතා කරපු ගානට මේ ලේඩි රවලා ගස්සලා අහක බලා ගත්තෙ නැද්ද..කවුරුවත් ඔය වෙනකන් මගේ පෙනුම එච්චර කුපාඩියි කියල නොතිබිච්ච නිසා..මන් කලේ අවිස්සාවේල්ලට ආපු ගමන් මට තවත් ඉස්සරහින් හිටපු පිරිමි කෙනෙකුට ඔළුවෙන් කතා කරලා..සීට් එක දුන්නා..හෝමාගමදි සීට් එක ආපහු ලැබෙන කොටත් අර ලේඩි හිටගෙන..


දැන් මගේ බස් එක අවිස්සාවේල්ලට එනකොට ටිකක් සෙනඟ අඩු උනා..මන් ළඟ ඉස්සරහ හිටි කෙනා අර මහත ලේඩිට කතා කරලා එයා ඉඳගෙන හිටි සීට් එක දීලා මෙයා හිට ගත්තා මගේ සීට් එක ළඟ.. එතකොට අහල පහල හිටි අය සේරම වගේ අවිස්සාවේල්ලෙන් නැගපු අය නිසා මන් මගේ පාඩුවෙ සීට් එකේ හිටියා..අර ඉඳ ගත්ත ලේඩි සැරින් සැරේ ෆෝන් එක අරන් එක එක්කෙනා කතා කර කර ගියා මිසක් ආපහු සීට් එක දුන්නෙ නෑ..අර සීට් එක දුන්න කෙනාට.. හෝමාගම හරියෙදි ආයිමත් බස් එක ෆුල්..පව් අර මනුස්සයා පට්ට කට්ටක් කෑවෙ සීට් එක දීලා කොට්ටාව හරියට එනකොට මන් ළඟ හිටි කෙනා බැස්ස නිසා මේ කෙනා මන් ළඟ ඉඳ ගත්තා.. නැගිටලා ඇවිත් හරි අමාරුවෙන්..ඔය සීන් එක හොඳට නෝට් කරනවා මන් දැක්ක නිසා මිනිහා අර ලේඩිට ඇහෙන්ඩත් එක්කම කීවා..


"මන් අතින්ම අරන්තියා ගත්තා..හොඳ වැඩේ මටත්"


කියලා..


මන් හිනා වෙලා නිකන් හිටියා..
ආයි නම් ජීවිතේට මේ මනුස්සයා තමන්ගෙ සීට් එක මනුස්සකමටවත් තව කෙනෙකුට නොදේවී කියලයි මට නම් හිතුනෙ.. එහෙම හිතුවට වැරැද්දකුත් නෑ..
---------------------------------------------------------------



අපේම සහෘද කැලකගේ හෘදයාංගම ප්‍රයත්නයක් වෙන බ්ලොග් සම්මාන උළෙලට යන්න ..ගිහින් ඔබේ බ්ලොගයක් ඇතුලත් කරන්න..


අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk.


බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio.


බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk/.