ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, May 7, 2012

වෙසක් මුදල් වලටම යටවෙලා තමයි..ඒත්..

වෙසක් මුදල් වලටම යටවෙලා තමයි..ඒත්.. මේ සියුම් , ලස්සන නිර්මාණ වලට යටින් දිවෙන කතාවකටත් පුළුවන් නම් ඔබේ සිතුවිලි දහරාව යොමු කරන්න...සේරම අමතක වෙලා සියුම් වේදනාවක් වගේම ඉමහත් භක්තියක් ඇති වෙනවා මේ නිර්මාණවලට දායක වෙච්ච අයවළුන් දිහාවට..ඔව් ඒ අය බලාපොරොත්තු වෙනවා ඇති තමයි වානිජ පරමාර්ථයන්...



අද ඒ කියන්නෙ මේ ෆොටෝ වලට අහු උන 06 වෙනි ඉරු දින රාත්‍රිය..මගේ ඔළුව ඇතුල තිබුනු සැලසුම උනේ එක දවසක් තනියම ගිහින් ෆොටෝ අරන් ඊළඟ දවස් ටික යාළුවො එක්ක යනවා කියලයි.
ඒ වගේම අද මම ගියේ යාළුවො සෙට් එක එක්ක..ඒත් ඒ ගොල්ලන්ගෙ ෆොටෝ මේකෙ නෑ. හේතුව තමයි එක් කෙනෙක් දෙන්නෙක්ගෙන් පටන් අරන් එක් හඬින්ම සේරම බොහෝම ආදරණීය විදියට මගෙ ඔළුව සහ බෙල්ල අතගාලා කීවෙ..


"ඔය කුජීත බ්ලොග් එකේ අපේ ෆොටෝ එහෙම දමලා තිබ්බොත් බොලා ආයි පොසොන් එකට දන්සැල් කන්න වෙන්නෙ කඩෙන් ගත්ත දත් සෙට් එකකින් තමයි"


එච්චර කාරුණිකව, ආචාරශීලීව ඉල්ලපුවහම නන්නාඳුනන කෙනෙක්ගෙ උනත් ඉල්ලීමක් අහක දමන්නෙ කොහොමද කියලා ඕන් මන් දාන්නෙ වෙසක් අසිරියේ ෆොටෝ විතරයි.. මන් නහින්නද වෙසක් තොරනෙ, කූඩු වල එහෙම ෆොටෝ ගන්න කොට ඒ අස්සෙ උඹලගෙන් එකෙක් දෙන්නෙක් ඒ අස්සෙ රිංගුවට..!


වාහන පෝලිමක පැය 2-3ක්ම කට්ටෙ අනුභව කරලා අපි ගියේ සිරස වෙසක් කලාපය බලන්න..අනෙ අප්පේ..එහෙමත් ට්‍රැෆික් බ්ලොක් එකක් !


ඇතුල් වීමම පේනවනේ සෙනඟ.
.



ලංකාවෙ දිගම තොරන් රාජයා කියලයි කියන්නෙ..ඒ වගේම ලංකාවෙ කොටම තොරන් රාජයා වෙන්න ඕනි කියලත් මට හිතුනා...








 ඔන්න ඉතින් පිට්ටනියෙ තිබ්බ කූඩු තරඟෙ..සෙනඟ ඇතුලෙන් ගිහින් හොඳට බලලාඅ ෆොටෝ අල්ලන්න නම් බෑ..පෝලිමේ පේලි දෙකක් විතර මෙහා ඉඳන් කැමරාවෙ දමලා කැමරාව ඔළු ගෙඩි වලට උඩින් අල්ලලා පෙනෙන මානයට තමයි ෆොටෝ ගත්තෙ..ඒ නිසා කූඩු වල පහල බාගය පෙනෙන්නෙම නැති තරම්..













 මෙතන කූඩුව බලන්න යනකොට මන් වගේ හත් අට ගුනයක් මහත කාන්තාවක් "ඔන්න යකා එනෝ " කියලා මාවත් පෙරලන් දිව්වා.. ළඟට ගියහමයි දැක්කෙ..කූඩුවෙ පහල විලක් විදියට නිර්මාණය කරලා තිබුනු වතුර භාජනයෙන් විටින් විට යකෙක් මතු වෙන්නයි ඒක හදලා තිබ්බෙ..අර මාව පෙරලන් දීව කෙනාව ආයි දැක්කෙම නෑ..දැක්ක නම් ෆොටෝවකට අල්ලනවයි කියලා හිටියෙ..
 මෙතන තිබ්බෙ රූකඩ නාට්‍යක්..අපේ සෙට් එක "රූකඩ මඩු යාග පොලේ" සින්දුව කිය කියා හිටියට කවුරුවත් අපි දිහාවෙ නම් බැලුවෙ නෑ



 වෙසක් අසිරිය වගේම වෙසක් අසිරිය විඳින්න එන අය දිහාවෙත් සැරින් සැරේ වලාකුළු අතරින් එබිලා බලලා යන්න මෙයා අමතක කලේ නම් නෑ..එයාට ලැජ්ජා හිතෙන්න ඇති..එයාගේ එලියට නොදෙවෙනි වෙන්න එලියක් හැමතැනම තිබ්බ එක ගැන...

අහල පහල තියෙන අහස සිඹින ගොඩනැගිලි  පවා ලස්සනට පෙනුනා... 

 හිටපු සෙනඟෙන් අතලොස්සක් විතරයි මේ..


 දෙපැත්තටම ඉන්න පෝලිම දැක්කහම අපි ධාතු වඳින්න යන අදහස වෙනස් කර ගත්තා..සෙට් එකේ හිට්ට උන් ඒ වෙනුවට කරපු විකල්ප යෝජනා නම් ඉතින්...අනේ අම්ම්පා උඹලාට යන්න වෙනම අපායක් හදන්න වෙයි..මොක වටේ වැට බැඳත් කට වටේ වැටවල් බඳින්න පුළුවන්ද ?



තව හත් වෙනිදාත් වෙසක් බලන්න යන්න හිතන් ඉන්නවා බෞද්ධාලෝක මාවතෙ..


Sunday, May 6, 2012

මා දුටු වෙසක්

මෙන්න මෙහෙම වෙසක් සඳ නැග ගෙන එනකොට මාත් ගියා වෙසක් අසිරිය බලන්න..මන් ගියේ ඕන් ලේක් හවුස් වෙසක් කලාපය බලන්න..මෙන්න මගේ කැමරා ඇස ගිය තැන්..


අයිස්ක්‍රීම් දන්සැල වැදපුදා ගත්තා මුලින්ම...
 මේක වෙසක් කූඩු තරඟයක් හැම සැරේම වගේ..











 බැති ගී අහන්නත් ලැබුනා..ටිකවෙලාවකින් ජනප්‍රිය ගායක ගායිකාවො එනව කීවා බුදු බැති ගී ගයන්න..මන් එච්චර වෙලාවක් හිටියෙ නම් නෑ...





 ඒ වෙලාව වෙනකනුත් හදලා ඉවර කර ගන්න බැරි උන කූඩු තිබුනා...

 වාහන පාලනය අතට අරන් වෙහෙස මහන්සිය නොබලා මේ අය දෙන සහාය දැක්කහම...
 අහල පහල තිබ්බ බිල්ඩින් පවා සරසලා තිබ්බෙ හැමදාම වගේ..


 ලේක් හවුස් වට රවුමත් ලස්සනයි..



සිල් පවාරන වෙච්ච ගමන්ම වෙසක් කූඩු බලන්න ආපු තරුණ ගැටයො ටිකක් ඇහැට කනට පේන ගෑණු ලමයි ටිකකට අනවශ්‍ය විහිලු වගයක් කරලා ඒ ගැනු ලමයි එක්ක ආපු අයියලා ටික අර සිල් ඇඳුමින් ඉන්න සෙට් එකට නෙලන්න යනවා...


අනේ මන්දා..


මට හිනා ගියා ඒ සීන් එකට නම් හොඳටම..


කාලෙ වෙනස් තාලෙ වෙනස් අද කාලෙ තරුණ ළමයි ඔන්න ඔහොමයි..හැබැයි සමහරු එන්නෙ වැඩිහිටියන්ටත් උගන්නන්නයි..
ඒ අදහස ආවෙ උපේක්ශාව මැද්දෙන් මිසක් තරහකින් නම් නෙවෙයි..


හෙට ඉරිදා වගේම අනිද්දාත් අපිට නිවාඩු නිසා තව වෙසක් කලාප දෙක තුනක්වත් බලන්න යන්න හිතා ගෙන ඉන්නවා..

Sunday, April 29, 2012

ක්ෂිතිජයේ ඉම සොයා...

මා ප්‍රිය සුහද, සුහදිනිය, මෙම නිර්මාණය මා මීට පෙර ක්ෂිතිජයේ ඉම සොයා රේඛා සහ සඳලී නමින් පල කර ඇති නිර්මාණයම සුළු වෙනස් කම් කීපයක් කිරීමෙන් අනතුරුව පල කරන්නක් බව කාරුණිකව සලකන්න. මෙම නිර්මාණය පිළිබඳ නැවත යම් අදහස් ලබා ගැනීමක අවශ්‍යතාවය ඇති බැවින් මෙලෙස නැවත පල කිරීමට අදහස් කලෙමි.
===================================================================

"රේඛා..... රේඛා... කෝ දෙන්න සඳලීව මගෙ උකුලට, දැන් ඇහැරිච්ච ගමන්ම ඔන්න බලන්න තාත්තාව හොයලා අඬනවා..අනේ බලන්න චූටි කටේ ඇඳිච්ච හිනාව ? ලස්සන හීනයක් දකිනවාද කොහෙද..."




සමුදුරෙන්  නිරන්තරයෙන්ම නැගෙන හෝ හෝ හඬ ජීවිතයේ ජය හමුවේ නැගෙන විජයග්‍රහණයේ සංගීතය මෙන්ම, අනන්ත දුක්ඛ දෝමනස්සයන් හමුවේ හඬන හංස විලාපය වැනිය. සමුදුරේ හඬ දෙසවන් වැකෙන්නේ කොයි මොහොතේද එතැන මගේ දිවියේ සියලු භාවයන් ක්ෂණයකින් වැසීමට නොහැකිවූ පැන්ඩෝරාගේ පෙට්ටියේ වූ සියල්ල මෙන් මගෙන් නික්මී මා සමීප අවකාශයේ සැරි සරන්නේ නැවතත් , නැවත නැවතත් මා කිසිම වගකීමක් නැති සරල සැහැල්ලු කුඩා දරුවකු බවට පත් කරමිනි. මෙම විශ්මිතය තුළ කාලයේ බාධකයන් නොතකමින් මගේ සරල සුගම ධ්‍යානයන්ට සම වැදීම මගේ කිසිදා නොසන්සිඳුණු පිපාසයක්ම විය.


"කෝ මයෙ පුතා ඔය පොත් පාඩම් කරනවද නැත්නම් මුහුද කරේ බලන් හූල්ලනවද?"


කුස නොදැරුවත්, ලේ කිරි කර නොපෙව්වත්, වචනයේ පරිසමාප්ත අරුතින්ම අම්මා වූ මේ ආදරබර ගැහැනියගේ උණුසුම් අත මා හිස මත පතිත වන තෙක් මා මුනිවත රකින්නේ..මා කුමක් හෝ ඊට පෙර දෙඩුවොත් ඈ ගේ මේ උණුසුම, ආදරය, ආදරණීය ස්පර්ශය, අහිමි වෙතැයි සැලෙන බියෙනි. 

"මයෙ පුතා ඒ අම්මයි තාත්තයි ගැනද හිතන්නෙ? හිත හිතා හූල්ලන්නෙ ?  මායි තාත්තයි කතා කරගත්තා ඒගොල්ලන්ව හොයන්න..ඉන්නකො තාත්තා මේ සැරේ මූදුකරේ ගිහින් ආවහම අපි හොයල බලමු මයෙ පුතේ"

"අම්මට නම් පිස්සු..ඕවා දමන්න එපා තාත්තයෙ ඔළුවට එහෙම"

මා ආරුඪ කර ගත් නොරිස්සුමකින් පවසමි.
මාළු ඇල්ලීම සඳහා මාස ගණන් මූදුකරයට ගොස් විඩාබර ගතින් ආපසු පැමිණෙන පියාගේ සෙනෙහසින් දිදුලන දෑස මාගේ මනැසේ ඇඳෙන්නේ ක්ෂණයකිනි.
මා ජාතක නොකළත් එතරම් පිය සෙනෙහසක් මා සම වයසේ සිටින කිසිවකු නොලබන බව මා දන්නේ අත්දැකීමෙනි.

"මන් මාව දමලා ගිය අය ගැන හිතන්නෙ නෑ මයෙ අම්මෙ.. මන් මේ  ඉස්කෝලෙ උගන්නපු පාඩමේ තියෙන කරුණු ටිකක් පත්තරවල තිබ්බ දේවල් ටිකක් එක්ක ගළපලා ඒ ගැන හිත හිතා උන්නෙ.."

"මට ඕවා දැනෙන්න මන් ඉස්කෝලෙ ගිය එකක්යැ? ඉන්න මන් මයෙ පුතාට තේ එකක් හදන් එන්නම්"

මව හා පියා කිසිම දිනෙක මා හට නිකම්ම පුතා යැයි අමතන්නේ නැත. ඔවුන් සැමදා මා ආමන්ත්‍රණය කරන්නේ "මයෙ පුතා" යන ආදරණීය වදනිනි.
ඉන්න හිටින්නට  මහ විශාල මාලිගාවක් නොවූවද සුව පහසුව , සෙනෙහස පිරුණු කැදැල්ලක් අපට තිබුණි. පියා මූදු රස්සාවද, පියාගෙ දැඩි අකමැත්ත නොතකා මව අසල සංචාරක හෝටලයක පිරිසිදුකරන්නියක් විලස සරි කර ගත් සියල්ලම වියදම් කළේ මගේ අධ්‍යාපනය හා ක්‍රීඩා කටයුතු සඳහායි.
කුඩා කල සිටම සමුදුර දිවියේ කොටසක් වූයේ සමුදුරු දිය මා හට මගේ හොඳම කල්‍යාණ මිතුරු තෙම වූයේ..මා පිහිනීමේ, රළ මත ලිස්සා යාමේ සහ කිමිදීමේ ශූරයකු කරමිනි. මෙහි ප්‍රතිඵලය වූයේ මා දෙමාපියන්ගේ සාඩම්බරය ඉහළ නංවමින් පාසල් කාලය තුළදීම ජාතික පිහිනුම් සූරතා කීපයක්ම දිනා ගැනීමත්, මා තව තවත් මහ මුහුදට ආදරය කිරීමත්ය. එකිනෙක පරයා නැගෙන රළ ගෙඩි අතික්‍රමණය කර පිහිනීම සහ ජයග්‍රහණය කරා යාම මගේ එකම අදිටන වූයේ මෙන්ම එසේ නොවන කල මා මහත් කැළඹීමකට පත්වීම නිරාකරණය කර ගැනීමට කෙසේවත් නොහැකිවිය.

"ඇයි පුතේ දිනුවහම වගේම පැරදුනහමත් හිත හදා ගන්න මයෙ පුතා පුරුදු වෙන්න ඕනි "

විටෙක බෝට්ටුව පුරවා මාළු රැගෙන එන තවත් විටෙක එම උපේක්ෂා සිතින්ම හිස් අතින් ගෙදර එන පියාගේ ජාන මට නොතිබිණි. ඔහු මා ජාතක කළා නම් කෙතරම් මැනව දැයි සිතුණ වාර අනන්තය. 

"මයෙ පුතා දිනුවම සතුටු වෙනවා වගේම මේ වගේ පොඩි පොඩි පරාජයන් වුණත් මැදහත් හිතින් ඉවසන්න පුරුදු වෙන්න..ඉන්න අපි තව පාරක් විභාගෙ කරමු"

සරසවි සිහිනය ලකුණු දෙක තුනකින් බිඳ වැටෙද්දී බිඳ වැටුණු මාගේ හිස අත ගාමින් පියා දෙඩූ වදන් දින කිහිපයකින් මා නැවතත් සතුටට පත් වූයේ මා ජයගත් ජාතික ක්‍රීඩා නිසා විශේෂ සරසවි පිවිසුමකට් මා ලක් වීම නිසාය. මාගේ ප්‍රියතම පරිසරය අත හැර නගරයට ආගමනය එසේ සිදු වුවත් ඉඩකඩ ලද හැකි හැම විටකම මා දිවගියේ මගේ ජන්ම භූමිය වෙතටයි.
සයුර නිසාම දිවිය දිනූ මා පසුව ජාතික තලයක ක්‍රීඩා උපදේශකයකු වීමේ භාග්‍යය ලද්දේ අග නගරයේ ස්ථීර පදිංචියට ඒම අකමැත්තෙන් වූවද සිදු වීය. කෙතරම් වද කළත් මව හෝ පියා කිසි දිනයක නගරයේ ස්ථීර පදිංචියට නොආවේ නමුත් මා හැකි හැම විටම ඔවුන් හා රැඳෙන්නට පසුබට නොවීමි. රේඛාගේ ආගමනය මගේ ජීවිතයට නව අරුතක් ගෙන ආවේ දිවිය තව තවත් යහපත් අතට පත් කරවිමිනි. 

"මොනවද ඔට්ටු පුතෙක්..හරියටම ඔයා වගේ පුතෙක් තමයි මට ඕනි"

රේඛා අපහසුවෙන් වූවද මහත් උද්දාමයෙන් පවසන්නී,

"මට නම් දුවෙක් නම් වැඩිය හොඳයි..එතකොට පස්සෙ අක්කා මල්ලියෙක්ව බලා ගනීනේ හොඳට"

"මල්ලියෙක්..හිතලා තියෙන දුර.." 

ඈ සිනා සලයි.

"පුතෙක් හරි දුවෙක් හරි..බලමු බලමු.."

අවසානයේ මගේ අනාවැකිය නිවැරදි කරමින් අපගේ දිවියට සඳලී දියණිය පැමිණියේ පරිපූර්ණ දිවිය යන්න කුමක්ද යන්න අප හට පසක් කරවමිනි. මිනිපිරිය සමඟ කාලය ගත කරන්නට මා මව හා පියා වැඩිපුර කාලයක් ගත කළත් සමුදුර හා බැඳුණු ගෘහය ඔවුන් කිසි දින අමතක කළේ නැත. ඉසුඹු ලද අඩියේ අප තිදෙනද වහා දිව යන්නේ..අපගේ ක්ෂේම භූමියක් වන් සයුරු අබියස අපගේ මාලිගයටයි. මුලින් අකමැත්ත දැක්වූවද පසුව රේඛාද මුහුදට ආලය කරන්නට වූයේ..පිහිනීමටද යම් දස්කමක් දැක්වූවාය.සඳලීට අවුරුදු තුන පිරෙද්දී අප තවත් දරුවකු ලබා ගැනීමේ උත්සාහය නිරර්තවූයේ අපගේ දිවිය යම් කිසි කම්පනයකට පත් කරවමිනි. ගැබ පීහිටා තුන් මස යද්දී ඇගේ ශරීරය එය ප්‍රතික්ෂේප කළේ..ඈ මහා විශාල ජීවිත අනතුරකට පත් කරමිනි.

"මිස්ටර් ලියන්නා අපිට රේඛාගේ වූම්බ් එක අයින් කරන්න වෙනවා..වෙන ඔප්ෂන් එකක් නෑ. සතුටු වෙන්න දුව ඉන්න එක ගැන..ඕනිම නම් පුතෙක්ව ඇඩොප්ට් කරගන්නත් පුළුවන් පහු කාලෙදි"

මෙන්න මේ ආකාරයට අප දෙදෙනාගේම පුත් සිහිනය බිඳ යද්දී..

"පුතේ අපි ළමයි වැදුවෙ නෑ..ඒත් හැදුවා පුතාව.. වෙන අම්මලා පුතාලා පහු කාලෙක දෙගොල්ලො ගැනම පසුතැවිලි වෙන කාලෙක බලන්න අපේ දිහා..අපි මේ ඉන්නෙ සතුටින්ම..ඕක එච්චර දුර හිතන්න ඕනි නෑ..හිත හදා ගෙන කාලෙක අපි පුතු පැටියෙක්ව අරන් හදා ගමු"

මගේ දෙමව්පියන්ගේ සහ රේඛාගේ අදහස මෙය වූවත් මාගේ නියම ජාතක පියා හා වැදූ මව මෙන් කිසිදා පුතකු තම නියම දෙමාපිය තුරුළින් ඉවත් නොවිය යුතුයි යන මතයේ දැඩිව සිටි මා නිසා ඔවුන්ද පුතකු අරන් හදා ගැනීම පිළිබඳ අදහස අත් හැරියෝය. කාලයත් සමඟම සඳලී අපගේ මහාර්ඝ වස්තුව බවට පත් වූවා සේම අප දෙදෙනාගේම දිවියේ විශාලම පංගුව ඈ අත් කර ගත්තාය.

මේ හේතුව නිසාමදෝ සඳලීගේ කුඩා අසනීපයකදී පවා අප දෙදෙනාම ඉතා සැලකිලිමත් වීමු. ඇයද මා මෙන්ම මහත් ලෙස සයුරට ඇලුම් කළාය. රන්වන් පැහැ වෙරළේ කුඩා රැළි නැගෙන වාර වල ඈ සිනා නගමින් සිටින්නේ..මා මෙන්ම ඈද දෙපා කිතිකවමින් යටි පතුල් යටින් සිහින්ව ඇදී යන දිය රැළ සහ වැලි කැට වල සියුම් පහස විඳ ගනිමිනි. කුඩා කල සිටම මා දවසක් වූවද මෙලෙස වෙරළේ සිට ගෙන සිටීම ප්‍රිය කළේය. ගන හිරුරැස් වල දැඩි බව මැකීමට නිරන්තර ව නගන සුළං රැල් සහ එම සුළං රැල් සමඟ තොලේ දැවටෙන සිහින් ලුණු රසය කිසිදා එපා නොවන කුඩා සංසිද්ධීන් සමූහයකි. එසේම දෙසවන හරහා මනස තුළට  කා වදින සයුරේ නොනවතින සංගීතය කිසිදා එපා නොවන මහා රස ගුලාවක් වීය.




"ඔයාගෙම පොඩ්ඩීනෙ ඉතින් කොහොමද බීච් එකෙන් එහෙ මෙහෙ කරන්නෙ ? බීච් එකෙන් ගෙදර එක්කන් එන්න හදන කොටත් අඬනවා.."

රේඛා නිතරම මවාගත් නොරිස්සුමක් මා වෙත පල කළාය. 
අපගේ නගරයේ නිවසේ සිටි මෙහෙකාරිය නිවාඩු ගිය සතියක මා හට හදිසි කැඳවීමක් ලද්දේ මාගේ සහායක උපදේශකවරයාගේ හදිසි අසනීප තත්වය නිසාමය. පුහුණු වාරයන් සියල්ලම යොදා තිබුණේ නගරයෙන් පිට ස්ථාන වල නිසා මා රේඛාට යෝජනා කළේ ඈ සඳලී සමඟ මා දෙමාපියන් වෙත යායුතු බවයි. මන්ද යත් රේඛාගේ මහ ගෙදර සිටීමට වඩා ඈ ප්‍රිය කළේ මෙම සයුරු පරිසරයට වීමයි.

"රේඛා ඩාලිං මන් ට්‍රේනිං එක ඉවර කරපු ගමන්ම එන්නම් එහෙ..අපි වීක් එන්ඩ් එකත් එහෙ ඉඳලම ආයි එමු.  ඊට පස්සෙ වීක් එන්ඩ් එකේ අපි ඔයාලගෙ අම්මලගෙ ගෙදර යන්. එතකොට හරිනෙ"

අහේතුක මද නොරිස්සුමක් මධ්‍යයේ වූවද ඇය මගේ අදහසට එකඟ වූයේ..අපගේ දෛවයේ කුරිරු සරදමට එරෙහි වන්නට ඈට සිත් පහළ නොවුයේ මන්ද යන මගේ පිළිතුරු නොමැති ප්‍රශ්නය අදටත් ඉතුරු කරමිනි.
පුහුණුවාර කීපයක් අවසන මා හට හදිසි ඇමතුමක් ලද්දේ..මා වහාම මගේ දෙමාපිය නිවස වෙත යායුතු බවට ආ පණිවිඩයත් සමඟය. සඳලී අසනීපව ඇත. පියා කිසිවිටක දුරකථනය රේඛාට නොදුන්නේ මාගේ සිත මදක් කෝපයෙන් මුළුගන්වමිනි.

"මයෙ පුතා එන්නකෝ ගෙදර හනික..ඇවිත් අපි කතා කරමු"

"තාත්තා මන් එනකම් ඉන්නෙ නැතුව සඳලීව එක්කන් යන්න චැනල් සර්විස් එකට රේඛත් එක්කම. මන් කෙළින්ම එතනට එන්නම්.. මන් ගෙදර එනවට වඩා එතනට එන එක ලේසිනෙ.. ෆෝන් එක දෙන්න  රේඛා ට"

"පුතා ගෙදර එන්නකො"

මා කෝපයෙන් මුත් කිසිත් නොකියා දුරකථනය විසන්ධි කළෙමි. 
මා කෝපයෙන් යුතුවම වාහනය ගෙදර මිදුලේ නැවතූයේ..නිවස අවට සිටි පිරිස දැක තරමක් මවිත වූයේ..

"කෝ රේඛා..අම්මේ..?"

මව හඬමින් උන්නාය. 

"මොකද මේ කෝ රේඛා ? කෝ සඳලී ?" 

මා කෝපයෙන් හා වික්ෂිප්තයෙන් ගැහෙයි.

"මයෙ පුතා ඒ දෙන්නවම අද උදේ බීච් එකේ සෙල්ලම් කර කර ඉද්දී දියඹට ගහ ගෙන ගිහිල්ලා තවම හොයනවා "

ඒ පියාගේ කටහඬද ? 

කිසිවකු මා නවත්වන්නට හදනවාත් ඔහු පසකට විසිවනවාත් සමඟම මා ඊළඟ මොහොතේ සිටියේ දිය රැළි අතර පිහිනමිනි. .. මා වටා කරකැවෙන බෝට්ටු රැළ වදෙන් පොරෙන් මෙන් මා එක් බෝට්ටුවක නංවා ගත්තේය.එහි වූ අයකුගේ කිමිදුම් කට්ටලය ඇඳ ගත් මා සිහිය විකල් වූවකු මෙන් එහි වූ ඔක්සිජන් ටැංකිය අවසන් වන තුරුම මුහුද පතුල පීරා බැලුවේ රේඛා හෝ සඳලීගේ ජායාවක් වත් නොදිටිමි..මෙය කෙලෙස විණිද යන්න ගැන කිසිවකු විටින් විට කියවයි. ඒ මගේ මවද,පියාද මට මතක නැත. 

රේඛා මාව දමලා ගිහින්..

රේඛා ඇයි මාව මෙහෙම දමලා ගියේ.. මට පිස්සු හැදෙයි..

ඇයි රේඛා සඳලිවත් එක්කරගෙන ගිහින්..

ඇයි සඳලීව එක්ක ගෙන ගියේ ?

කෝ රේඛා...

කෝ සඳලී ?

දිවිය පුරාවටම සයුරු දිය රළට මා පරාද කල නොහැකි විය.. හුස්ම ගැනීමට නොහැකි වනතුරුම දිය රැළි අතර සෙවුවද ඔවුන් ???

මෙය සිහිනයක්ම විය යුතුයි. බියකරු සිහින මා දැක නොමැත. නමුත් මෙය මා දිවියේ දකින මුල්ම බියකරු සිහිනයයි. මා මෙම නින්දෙන් අවදි වන්නේ කුමන වෙලාවෙද යන්න සිතමින් මා බලා සිටියෙමි. නමුත් බියකරු ගොර බිරම් සිහිනය මට තවමත් පෙනෙයි. වියරුවෙන් මෙන් බදා ගත් රේඛාගේත් , සඳලීගේත් සිරුරු දෙක ගොඩ ගසා ඇත..චාම් මල ගෙයක් මා දෑස අබියස මැවෙයි.යහළුවන්, සේවාස්ථානයේ සිටින්නන් හා නොහඳුනන මහා පිරිසක් එයි.. යයි..ඔවුන් මා සනසන්නටදෝ මොනවාද කියයි...සිහිනය තවම මා අවදි කරන්නේ නැත..කවුරුන් හෝ මා තදින් සොලවා අවදි කල යුතුයි.. ඒ කවුද රේඛා ම විය යුතුයි.

මා සෙමෙන් දෑස හැර බැලුවෙමි..අත පය බැඳ දමා ඇති සේය. මා තවමත් දකින්නේ සිහිනයද නැත්නම් මා සැබවින්ම ඇහැරී ඇත්ද? මුළු ශරීරයම වේදනාවෙන් ඇදුම් දෙයි. සිහියත් අසිහියත් අතර කිසිවකු, කුමක්දෝ නොදන්නා හේතුවකට  මා හට වේවැලකින් දැඩිව පහර දුන් බවක් හැඟේ. ඒ මා මේ සිහිනයෙන් මුදවා ගැනීමට විය යුතුයි. වේදනාවෙන් තැවෙන තැන් අත ගා ගැනීමට දෙ අත ඔසවා ගත නොහැක. හිස මදක් හරවා බැලීමි. මා අසලම අත පොව්වන මානයේ සඳලී නිදා ගෙන සිටිනු පෙනේ. ඇගේ ලා රෝස පැහැ කම්මුල් රන්වන් පැහැ කෙහෙරැළි වලින් වැසී ඇත. මදකින් ඈ අවදි වනු ඇත. රේඛා ඇයගේ යෙහෙළියක් සමඟම මා නිදා සිටි ඇඳ අසලම කතා කරමින් සිටිනු පෙනේ. 

"රේඛා කෝ දෙන්න සඳලීව මගෙ උකුලට, දැන් ඇහැරිච්ච ගමන්ම ඔන්න බලන්න තාත්තාව හොයලා අඬනවා..අනේ බලන්න චූටි කටේ ඇඳිච්ච හිනාව ? ලස්සන හීනයක් දකිනවාද කොහෙද..."
-------------------------------------------------------------------------------
"ආ මිසී කමලා මේ ලියන්නා ඇහැරලා දැන්..බෙහෙත් ටික දෙමුද ? "

"පොඩ්ඩක් ඉන්න චාට් එක බලන්න ඊයෙ රෑ ඉන්ජෙක්ෂන් එක දුන්නෙ එකොළහ හමාරට නේද? දැන්ම එපා. තව පැයකින් දෙමු.පහු ගිය දවස් ටිකේම සද්ද බද්දයක් නැතුව හිටි මිනිහට ඊයෙ මොකද වුණේ රම්‍යා ?"

"ලොකු මිසී මන් කේලම් කියනවා හෙම නෙවෙයි. ලියන්නා කොහොමත් ඔය බෝනික්කා ළඟ තියෙන කම් කිසිම හැල හොල්මනක් නැතුව ඉන්නවා. ඊයේ අර සිරිපාල මරුමුස් ඇටෙන්ඩන් කාරයා බෝනික්කව බලෙන්ම අරන් වහල උඩට වීසි කළා. හොඳ පාරක් වැදුණා සිරිපාල කාරයාට..ඊට පස්සෙ තමයි ඔය කලබල සේරම"

"ලොකු යුද්ධයක් කළාලු නේද කන්ට්‍රෝල් කර ගන්න?"

"ඔව් ඔව් ඔය අත් කකුල් වලට බෙල්ට් දැම්මෙත් බොහොම අමාරුවෙන් ඩියුටි හිටි සේරම අල්ලලා..පවු ලොකු මිසී  කන්ට්‍රෝල් කරන්න බැරි තැන අර මරුමුසා අන්තිමේ වේවැලෙනුත් ගැහැව්වා හොඳටම, මන් බලා ඉන්න බැරි තැන යන්න ගියා. ඩොක්ටර් ඇවිත් තමයි ඉන්ජෙක්ෂන් එක දුන්නෙ.. එතකොට නින්ද ගියා..මම සේනට කියලා වහලෙන් අරගෙන බෝනික්කව ඔන්න ළඟින් තිබ්බා. ඇයි මිසී ලියන්නට මොකද වෙලා තියෙන්නෙ ? කවුද රේඛා කියන්නෙ ? මට කතා කරන්නෙ රේඛා කියලයි. කවුද මිසී සඳලි කියන්නෙ?"

"වයිෆුයි, දුවයිනෙ. දෙන්නම මුහුදෙ ගිලිලා මළා.ඒ නිසයි ලියන්නට පිස්සු හැදුණෙ, දන්නවද රම්‍යා ලියන්නා කියන්නෙ නම්බර් වන් ස්විමින්ග් කෝච් කෙනෙක්.  එහෙම වෙලත්  එයාට එයාගෙ නෝනවයි, දුවවයි බේරා ගන්න බැරි උණා. ඔළුව අවුල් වෙන එක අහන්න දෙයක්යැ? ඔයාට රේඛා කියනව නම් පරිස්සම් වෙන්න රම්‍යා මතකනෙ ඉස්සෙල්ලා සුසිලාට වෙච්ච දේ අර සුනිල් කියන පිස්සා මුළු ඇඟම හපාකාලා තිබුණා."

"අනේ නෑ ලොකු මිසී මගේ අතින් අල්ලන් රේඛා රේඛා කියලා එක එක දේවල් කියවනවා..සඳලී ගැනයි සඳලීගේ අනාගතය ගැනයි.මේ බෝනික්කා සඳලී කියලා තමයි හිතන් ඉන්නෙ. ලියන්නව සනීප කරන්න බැරිලුද මිසී ?"
"බෑයි කියලයි කියන්නෙ.මොළේ කෙමිකල් ඉන්බැලන්ස් එක ස්ට්‍රෝන්ග්ලු. බැලන්ස් කරන්න ස්ට්‍රෝන්ග් මෙඩිසින් දුන්නොත් සයිඩ් ඉෆෙක්ට්ස් වැඩීලු.ඒත් දිග කාලයක් බෙහෙත් දුන්නොත් හරි යන්නත් පුළුවන්ලු. රම්‍යා එහෙනම් පැයකින් බෙහෙත් ටික දෙන්න. මන් කිව්වා කියලා කියන්න සිරිපාලට ඔය බෝනික්කව ලියන්නගෙන් උදුර ගන්න එපා කියලා..ඒ පිස්සට බෙහෙත් දෙන්න ඕනි ඉස්සෙල්ලම"
--------------------------------------------------------------------------
" රේඛා... රේඛා...අනේ සඳලිව මගේ උකුලෙන් තියන්න රේඛා.. රේඛා ඔයයි , සඳලිවයි නැතුව මට පිස්සු හැදෙයි රේඛා .."

-නිමි-

Friday, April 27, 2012

xx වගේද xxx ? එහෙම නැත්නම් VGA වගේද HDMI ?


"අපෝ ඒ ටීවී එකේ බුබුළු හරියට පේන්නෙ නෑ.."


"කතාවෙ භාගයක් බලන කොට බිබිලි වැඩි උණා ටීවී එකේ"


රූපවාහිනී ආපුම කාලෙ ගමේ තිබුණු ටීවී දෙක තුනක් වටේට එක් රැස් වෙච්ච අපි ඔහොමයි ටීවී එකේ රූප වල කොලිටිය ගැන ඒ කාලෙ කතා බහ කළේ..ටීවී එකේ බුබුළු සහ බිබිලි වලින් කීවෙ පින්තූර හරි හැටි නොපෙනුන එකම තමයි..






වත්තෙ තියෙන උසම පොල් ගහේ හරි කොස් ගහේ හරි ඉඳන් තව අඩි 20ක් 30ක් උඩට උණ බම්බුවක ගැට ගහපු ඇන්ටනාව දිගේ ආපු සිග්නල් හරිම දුර්වලයි..අපී ඒ කාලෙ ටීවී බැලුවා කීවට වැඩියෙන්ම බැලුවෙ ටීවී එකේ යන්තම් ඇඳෙන රූප ජායා මාත්‍රයක් විතරයි..ඒ ටීවීත් කළු සුදු අඟල් 12 සහ 14 විතරයි ඒ කාලෙ තිබ්බෙ..ඒ උණාට දැන් අඟල් 60 සහ 70 හොඳම හොඳ ටීවී ගම පුරාම..ටීවී චැනලුත් අහු වෙනවා ඕසෙට..ඒවයෙ කොලිටිත් එමමයි..සමහර ඇන්ටනා ගෘහස්ථ ඒවා..එළියෙ තියෙන ඇන්ටනා උණත් අඩි 10ක් නැත්නම් 15ක් උස නෑ..අපි ඒ කාලෙ ටීවී බලපු හැටි ගැන කීවහම අද කාලෙ ඉන්න ළමයි ඒවා පිලි ගන්නෙත් නෑ..ඒ ගොල්ලො කළු සුදු ටීවී දැකලම නෑ..ටීවී එකේ වර්ණ බින්දුවට ට දමලා කළු සුදු කරලා පෙන්නුවහම කියනවා එහෙම බලනවට වඩා හොඳයි නිකන් ඉන්නවා කියලා..


ඉතින් ඒකාලෙ උණත් ගමේ තිබ්බ ටීවී 2-3න්ම හොඳටම පෙනෙන ටීවී එක බලන්න තමයි මන් පුරුදු වෙලා හිටියෙ..


"මෙහෙම කතා ලියලා ආයි අහ ගනින් කට්ටියගෙන් මේන් නයා.. මේන් දිග කියලා එහෙම..මට එහෙම කනු කුනු ගානවා නෙවෙයි"


මගේ බ්ලොග් ලියන ඒවා පල කරන්නත් ඉස්සෙල්ල කියවලා ඒවාට විවේචන දෙන මගේ යාළුවා කීවා..
ඕනි පුකක් ශත දහයයි කියලා දමනවා.
පුක කියන්නෙ කුණුහරුපයක් නෙවෙයිනෙ..


ඉතින් මට තියෙන එක ලෙඩක් තමයි ටීවී හරි කම්පුටර් එකේ හරි මොනවා හරි බලනවනම් තියෙන්න ඕනි එළ කිරි පහට..නැත්නම් බලන්න හිතෙන්නෙ නෑ..වීසීඩී (VCD) බල බලා ඉඳලා ඩීවීඩී (DVD) බලන්න ගත්තා.. දැන් බ්ලූරේ (BlueRay) බලන්න පටන් ගත්තා..ඒත් දෙයියනේ බ්ලූරේ බලල හිඟමනට පත් වෙන්න බැරි නිසාත්..ගත්ත එකම බ්ලූරේ ෆිල්ම් එක පෙනෙන්නෙ නැති නිසාත්..දැනට මන් ඒක නැවැත්තුවා..ඒ වෙනුවට මගේ යාළුවෙක් බාගත කරපු බ්ලූරේ කොලිටි ෆිල්ම් ටික බලනවා..ඔය ටික බලන් යන අතරෙ මට පෙනෙනවා..සමහර අයගේ තියෙන මොනිටර් එකේ පේනවාට වඩා මගේ මොනිටරේ පේන්නෙ කොලිටි අඩුවෙන් කියලා. හොයලා හොයලා හොයලා..වීජීඒ කාර්ඩ් (VGA CARD ) එකත් දැම්මා ඒ මදර් බෝඩ් එකට දමන්න පුළුවන් හොඳම එකක්..ඒත් අවුල එමමයි..ටිකක් කොලිටි වැඩි උණාට..එතනින් එහා යන්නෙම නෑ..ආයිමත් හොයා හොයා ගෙන යනකොට අහු උණේ ආ වීජීඒ කේබල් (VGA Cable) එක තමයි අනිත් බාධකය කියලා.. දැන් ඉතින් ගනුකො ඩීවීඅයි කේබල් (DVI Cable ) එකක්..


මමත් සුපුරුදු පරිදි මන් කම්පියුටර් පාට්ස් ගන්න යුනිටි ප්ලාසා එකේ ප්‍රිටෙක් සිස්ටම්  (Pretec Systems) එකට ගියා..


මේ සේරම කට්ටෙ කන්නෙ දැනටමත් හොඳට පේන කම්පියුටරේ ෆිල්ම් බැලිල්ලයි.ඒකට ගහලා තියෙන යූඑස්බී ටීවී ගැජට් එකෙන් බලන ටීවී බැලිල්ලයි නිසා කියලා මතක් වෙනකොට මගෙ හිත ආයිමත් ගියේ අතීතය වෙතට..අපි ටීවී බලන කොලු ණඩයෙ හිටිය සුදුම කොල්ලා තමයි සුනිල්..


අපි ටීවී බලපු ගෙවල් තුනෙන්ම හොඳටම ටීවී පෙනුණෙ ගුණපාල මාමලගෙ ගෙදර ටීවී එක තමයි..ගුණපාල මාමයි නැන්දයි විතරයි ගෙදර හිටියෙ එයාගෙ පුතාලා දුවලා සේරම ගමෙන් පිට වෙල ගිහින්..ඒ නිසාම ඒ දෙන්න අපි කොලු රැළට හරිම ආදරෙයි..ටීවී බලන්න ගියහම තේ එකක් මන්වහරි හපන්න දෙයක් වරදින්නෙම නෑ..ඒත් ඒ සැලකිලි ටික සේරම එකපාරටම නැතිවෙලා ගිහින් අපි කොලු රැලටම ඒ ගෙවල් පැත්ත පළාතෙ යන්න තහනම දැම්මෙ ගුණපාල මාමගෙ නැන්දමයි..
අපි කාටවත් නැති සැලකිල්ලක් ගුණපාල මාමා දැක්වුවෙ සුනිල්ට..සමහර දවස් වල අපි මහ රෑ ජාමෙ ටීවී බලන්න එහෙට යනවනම් අපි කොහොම හරි සුනිල්ව එක්කන් යන්න පුරුදු උණේ අපි විතරක් හිටිය දවස්වල මාමා ටීවී එක කැඩිලා.. ඇන්ටනාව එහෙ මෙහෙ වෙලා වගේ මොනවහරි බොරුවක් කියලා අපිට දොර නාරින වෙලාවල් තිබුණා..සුනිල් කොහොමත් අපිටත් වඩා ටීවී පිස්සා නිසා අපි හැමදාම ටීවී බැලුව බව නම් මතකයි.. ඒත් එක දවසක්..මාමයි නැන්දයි අපි ටීවී බලද්දිම රණ්ඩු උණා.. අපිත් එක්ක ආපු සුනිල් එතකොට ටීවී බලන්න අපි එක්ක හිටියෙ නෑ කියලත් දැක්කා..


"උඹලා එකෙක්වත් ටීවී බලන්න මේ පැත්ත පළාතෙ එන්න එපා"


කියලා නැන්දා කෑගහපු හැටි අපට තාම මතකයි..ඊට පස්සෙන් පහු අපිවත් සුනිල්වත් එහෙ ටීවී බලන්න ගියේ නෑ.. පුංචි උන් උණ ඒ කාලෙ අපිට ඔය සිද්ධිය මොකද්ද කියලා නොතෙරුණා විතරක් නෙවෙයි..ඒ ගැන වැඩිපුර හොයන්න ගියේත් නෑ.. අදටත් සිද්ධිය ඔළුවෙ රැඳිලා තිබ්බට අපි සුනිල්ගෙන් ඕක අහන්නෙත් නෑ..


"මට කේබල් එකක් දෙන්න"


මන් ගිය ගමන්ම එතන හිටි මල්ලි කෙනෙකුට කිව්වා.. ඒක අහන් හිටි වැඩි වයසක් නැති තව මල්ලි කෙනෙක් ඇහුවා


"සර් මොකද්ද මොනිට එක ? මොකද්ද වීජීඒ කාර්ඩ් එක ?"


මන් ඒ දෙකේම මොඩල් නම්බර්ස් කිව්වා..ඒත්


"පොඩ්ඩක් ඉන්න පින් ගාන මතකද සර්ට ?"


ම්හ් මට මතක නෑ සහ මන් එච්චරම දැනන් හිටියෙ නෑ පින් ගාන වෙනස් වෙන බවක්..මන් හිතා හිටියෙ ඔය සාමාන්‍ය වීජීඒ කාර්ඩ් වගේ හැම එකම එක වගේ ඇති කියලා..


"සර් බලන් එන්න ටයිප් එක.. පුළුවන් නම් ෆොටෝ එකක් ගහන් එන්න.. අපි ගාවා තියෙනවා කේබල් එතකොට දෙන්නම්"


මන් ඉතින් ආයිමත් ඔය මොනිටරයේ සහ වීජීඒ කාර්ඩ් එකේ තියෙන ෆොටෝ දෙකක් අරන් ගියා.. එතකොට තමයි ඔන්න කේබල් එකක් ගන්න පුළුවන් උණේ..



හොඳම සිද්ධිය උනේ එතනට ගියහම හිටිය ඇසිස්ටන්ට මන් පෙන්නුවා මන් ඒ වෙනකොටත්  ඇඳ ගෙන ගිය කොලේ ඇඳලා තිබ්බ මගේ පීසී එකෙයි මොන්ටරෙයි කනෙකටර් වල පින් ගනන.. ඒක දිහා බලලා මිනිහා ගත්තා කනෙක්ටර්ස් දමලා තියෙන පෙට්ටියක්.. දමා ගෙන තෝරනවා කනෙක්ටර්ස් වගයක්..


"මට ඕනි කේබල් එකක්"


මන් කටහඬ අවදි කලා.. 


මිනිහා නැගිට්ටා අර පෙට්ටිය පැත්තකින් තිබ්බා..


"මේ ජාතිය නෑ.."



කියපි..කෙලියා නේද තාප්පෙටම.. ඒ එක්කම අර එදා කතා කරපු මල්ලි මොනවද මන්දා පෙට්ටියක් අරන් ඇවිත් මට එක්ස්කියුස් කරලා ඒක පැත්තකින් තිබ්බා..මන් අරයට කීවා මගේ අවශ්‍යතාවය..
මිනිහා ගත් කටටම කියපි


"දෙන්න අර එච්ඩීඑම් අයි  (HDMI) කේබල් එක "


කියලා ඊට පස්සෙ මිනිහා කියනවා 



"සර් අපිට ඩීවීඅයි අයි DVI -I කේබල් එක එන්නෙ නෑ..තියෙන්නෙ ඩීවීඅයි ඩී DVI -D කේබල් එකම තමයි..ඒක 100% සුවර් වැඩ කරනවා..අපි දින 2කක රිටර්න් වරන්ටියක් එක්කම දෙන්නම්"


කියලා..
මට සුවර් ඒ කතාව හරි කියලා..
මමත් අරන් ආවා ඉතින් ඕනි එකක් කියලා.
හැබැයි මගේ වෙලාවට ඒ පොඩි එකා එක්ස්පර්ට් පොඩි එකා ශොප් එකට නො එන්න මන් තාම හොයනවා කේබල් එකක්..



ඉතින් පොඩ්ඩක් මන් වගේ ඔය කේබල් හොයන්න යන කෙනෙකුට කියන්නෙ ඉස්සෙල්ලාම තමන්ගෙ කනෙක්ටර්ස් වල ෆොටෝ එකක් ගහලා තියා ගන්න..එහෙම නැත්නම් ඒ කනෙක්ටර්ස් අඳුරා ගන්ඩ හොයන්ඩ යන්න ඉස්සෙල්ලා.. 



මේ තියෙන්නෙ ඒ කනෙක්ටර් අඳුනා ගන්න පොඩි ගයිඩ් එකක් ඉස්සුවා විකිපීඩියා එකෙන්..




මන් තාම මේ කේබල් එක මගේ පීසී එකට ගහලා බැලුවෙ නෑ..ඒත් තව ටිකකින් ගහනවා..ඊට පස්සෙ කියන්නම්කො කොහොමද කියලා තත්වය..








ශාහ්... වැඩේ ගොඩ..කොලිටි උපරිමයි..අන්තර්ජාලයේ කියලා තිබ්බ විදියටම හොඳ කොලිටියක් තියෙනවා..නිල් පාට වීජීඒ කේබල් එක වීසි කරලා දැම්මා.. මේක නියමයිනෙ..
යාන්තම් ඒ වැඩෙත් ඉවරයි..
අන්තිමේ ගන්න තියෙන හරය තමයි..
හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ..
අනිත් එක තමයි මගෙ පීසී එකටයි මොනිටරයටයි හරියටම ඕනි වෙලා තිබ්බෙ මොනිටරයට DVI -D කේබල් කනෙක්ටරයක් සහ වීජීඒ කාර්ඩ් එකට  DVI -DA කනෙක්ටරයක් තමයි..ඒත් මන් පාවිච්චි කරලා තියෙන්නෙ දෙපැත්ත DVI-D කනෙක්ටරයක්...ඒක වැඩ කරනවා..


දැන් ඉතින් බ්ලූරේ ෆිල්ම් ටිකක් හොයා ගෙන පටන් ගන්න ඕනි වැඩේ..








Monday, April 23, 2012

සයිබරයේ සිහින අවුරුදු උළෙල 2012 - මතකයෙන් අංශු මාත්‍රයක්...


සයිබරයේ සිහින අවුරුදු උළෙල 2012 - මතකයෙන් අංශු මාත්‍රයක්...






සිහිනයක් නොවූ මුත් සොඳුරුම සොඳුරු සිහිනයක මතකයක් හිත මුල රන්දලා තියලා අවසන් වුනත් අවසන් නොවුනු ප්‍රීති ප්‍රමෝදයෙන් පිරුනු හෝරා නවයක් දහයක්...


හඳුනා ගන්න...එකම එක වචනයක් හරි කතා කරලා හිත සතුටු කර ගන්න තිබ්බ ඒ හෝරා කීපය නම් ඊළඟ අවුරුද්ද වෙන කම්ම අමතක වෙන්නෙ නෑ..


ගත වෙන හැම තත්පරේම සිදු වන සොඳුරු නිමේශය කැමරා කාචයේ රඳවාගන්න උත්සාහ දරපු මට හොඳටම විශ්වාසයි ගොඩාක් අය එක්ක දොඩමලු වෙන්න බැරි වුනු බව..


ෆොටෝ බලද්දි හිතෙන්න පටන් ගන්නවා අනේ මේ මල්ලියා..පුතා ..නංගියා..දුවා එක්ක වචනයක් කතා කලේ නෑ නේද කියලා..


හිනා වෙන්න නම් ඇති...ඒත්..අර මුලින් කීව සතුට මැද්දෑවෙ ගුලි ගැහෙන්නෙ පොඩිම පොඩි දුකක්..
මන් කැමරාව නොගෙනිච්චනම් හරි කියලා නොහිතෙනවමත් නෙවෙයි..ඒත්..


කැමරා කාචය හරහා මතක පතේ රැඳිලා තියෙන ජායාරූප 564 න් එකක කොහේ හරි ඔබ රැඳිලා ඉන්නවා...


සමාවෙයල්ලා.....
මට එකම එක වචනයක් හරි කතා කරන්න බැරි වෙච්ච සහෘදයිනේ..මට දුකයී ඒ ගැන දැන්..