"ආන්න අර කසිප්පු ලියන්නා එනවා අදත් කරටි කැඩෙන්න ගහලා.. කුසුමා කුසුමා.. ඔය ළමයි ටික අරන් යන්න ගෙට..මේ පාහරයා ගමේ ඉන්න කං අපිට අපේ ළමයෙක්වත් හදා ගන්න බෑ..යන් යන් ඔය ළමයි ටිකත් අරං මේ ජන්ජාලෙ ඉවර වෙනකන් ළමයිව එහෙම එවන්න එපා පැත්ත පළාතට.."
හුහ් අර දුවන්නෙ කුසුමා ළමයි බමයි ටිකත් අරන් ගේ අස්සට..
"ආ පාල මල්ලී.. මට ඇඋණා උඹ කීව දේ.. ඇයි යකෝ තොගෙ ළමයි හදා ගන්න බැරි මන් හින්දා.. මන් ඉන්නවද තොගෙ හරහට !!@@%%$^ වෙලාවට..ඇයි යකෝ මන් බොන්නෙ මගෙ සල්ලි වලට.. මන් දවස තිස්සෙ වැඩ කරලා හම්බ කරන සල්ලි වලින් තමයි හවහට මන් බොන්නෙ.. තොපිට මොකද?"
"එහෙම නෙවෙයිනෙ අයියෙ අයියා ඔහොම කුණුහරුප කිය කියා සරමත් කරට අර ගෙන පාරෙ යනකොට කොහොමද අපේ ලමෙක්වත් හැදෙන්නෙ...උනුත් නරක් වෙනවනෙ.."
"ඔව් මන් කුණුහරුප කියන්න නරකයි.. තොපිලට කුණුහරුප කරන්න හොඳයි..අනේ !#$%^ ..මන් මගේ සරම උස්සගෙන යන්නෙ මට ඕනි ගානට යකෝ.. උම්බට මොකටද එව්වා ?"
"පාල එන්ඩ මෙහෙ ගෙට ඔය පිස්සො එක්ක කතා කරන්නෙ නැතුව.."
'ඔව් අපි පිස්සො.. තොපි උගත් බුද්ධිමත්තුනෙ.. පාර අල්ලගෙන වැට ගහ ගෙන ඉන්නෙ.. මෙව්වට ගහන්නෙ..මෙන්න මෙහෙම පයින්.. මෙහෙම.. හුහ්.."
"හු හු හූ වැටුණා නේද අපේ වැටට පයින් ගහන්න ගිහින්.."
"ලොකු පුතේ කට වහගෙන යනවා ගෙට..මේ නරි නාටක බලන්නෙ නැතුව.. දානවා හයියෙන් අර පිරිත් කැසට් එක."
@@#$%%^% වැට වල් ගහගෙන පාර මැද.. කැසට්.. දාන්න..
-------------------------------------------------------------------------------
"මේ ඇහුණද .. මේ... කාලා බුදියා ගන්නවා.. දැන් රෑ වෙලා.. කුණු වෙනකන් බීලා බීලා බුදි වැටිලා හිටියහම හරි යයි.. ආන්න හෙට උදෙන්ම වික්රමනායක මහත්තයලාගෙ කක්කුස්සි වල අදින්න එන්න කිව්වා.. සිරිපාල ඇවිත් කියලා ගියේ.."
අහ්ප්...හ්ප්ප්ප්ප්... බැල්ලී.. පල යන්න අහකට..
----------------------------------------------------------------------------------
වසර 35කට පමණ එහා අතීතය..මගේ ඔළුව තුල කැරකෙන්නට විය..
"ඇහුණද ලොකු කොල්ලා නම් හැදෙනවා අන්තිමයි.. අර දෙනියෙ ගෙදර සිරිපාල කොලුවත් එක්කමයි.. භජනෙ.. ඉස්කෝලෙ යනවා කියලත් නෑ..හොර ගඩා ගෙඩි කඩා කඩා ගම් මැද්දෑවෙ ඇවිදින එකමයි වැඩේම..
"ඔහෙනෙ ඉතින් ළමයව හුරතල් කරලා නරක් කරලා තියෙන්නෙ..ගමේ ගොඩේ කොල්ලො එක්ක නටන්න ඉඩ දීලා.. වහුකුණු උණාම මට කියන්න එනවා හෙම නෙවෙයි.."
අම්මන්ඩිගේත් තාත්තාගේත්.. කුටු කුටු කතාව මා අසා සිටියේ නිදා ගත් සේ මුත් නින්ද අහලකටවත් නොපැමිණි නිසාය..
"එහෙම නෙවෙයිනෙ ඔහෙත් පොඩ්ඩක් කියලා බලනවකො.. හැදෙන්න හරි නොහැදෙන්න හරි..අපිට තව කොල්ලෙ කියලා එකෙක් ඉන්නවා කියලයැ.. මෙහෙම ගියොත් බාල කෙල්ලො දෙන්නගෙ ඉස්සරහටත් හොඳ නෑ නොවැ.. අර හරමානිස් අයියා කිව්ව උන්දැගෙ රා කළේ බීලාලු මුන් දෙන්න පහු ගිය දවසක.."
"ඒක තමයි මන් ඕකව ආණ්ඩු මට්ටු කරන්න හැදුවට ඔහේ ඉඩ දෙනවද ? ඒත් නෑනේ.."
"ඔයකලා දෙන්න පහු ගිය දවසක අර එහා කණ්ඩියෙ හේතුවගේ කසිප්පුත් හොරෙන් බීළලු..කොහෙන් ආපු පුරුදුද මන්දා මෙව්වනම්.."
"ක්රෑහ්ප්..තුහ්ප්.. මගෙන් නම් නෙවෙයි..ඕකා මගේ ලමෙක් නෙවෙයිනෙ..උඹ පඳුරු ගානෙ රිංගලා.."
"අනේ මගේ කට !"
තාත්තා අම්මාගෙ කට වැසීමට ගැසිය යුතු අන්තිම තුරුම්පුවත් ගැහුවේය.. එය නියමෙට වැඩ කල බැවින්.. මටද නින්ද ගොස්..
"නැගිටපිය..පාහරයා.. තවත් බුදියා ගෙන පුකට ඉර එළිය වැටෙන කන්.. පල ඉස්කෝලෙ.. ආයි එහෙම ආරංචි උණොත් ඉස්කෝලෙ නොගියා කියලා.. තෝව කෝටු මස් කරලා තමයි පස්ස බලන්නෙ.."
පස්ස පැත්තට වැදුණු පා පහරත් සමඟම මා උඩ විසිවී ඇහැරුණේ මේ ගෝරනාඩුවත් සමඟය. මූණ කට සෝදා ගෙන මොනවාද ගිල දමා.. කලිසම හා කමිසය දවටා ගත් මා.. පාරට බැස්සේ..
"ඔහොම හිටු.. ඇත්තද තෝ අර හිඹුටු ගෙදර කෙසෙල් කැනක් කපලා හොරාට විකුණුවා කියන්නෙ.. අර කක්කුස්සි අදින ගෙදර සිරිපාලයත් එක්ක..? මොකද්ද උඹට උන් එක්ක තියෙන පයුරු පාසානම ? මන් ආයි නොකිව්වායි කියන්න එපා.. ඌ එක්ක අරෙහෙ මෙහෙ යනවා අහු උණොත් කඩනවා තොගෙ කකුල් කෙටි දෙක."
"මට කියාලා දෙන්න ඕනි නෑ ඔව්වා.. මන් උඹෙ ලමෙක් නෙවෙයිනෙ.. පඳුරු ගානෙ...."
"මොකද්ද කිව්වෙ පාහරයා ?"
කන ළඟින් හමා ගිය උළු කැට කැබැල්ලත් සමඟම මා දිව ගියේ..
එම තුරුම්පුවත් සමඟම තාත්තා මාගේ මුහුණවත් නොබැලුවේය.. හරියටම දින හතකට පසුව.. හන්දියේ කනත්ත ළඟ යකා ගැසූ තාත්තාගේ මල මිනිය හමුවූයේ අන්දර සීයාටය.. ඇස්, කන් සහ කටින් ගලා ගිය ලේ පාර වල් නිසා තාත්තාගෙ මුහුණ යකෙකුගේ මුහුණ මෙන් බියකරු ස්වරූපයක් ගෙන දුන්නේය.
"මොන යකෙක් ගහලද පැසර්ද මොකද්ද වැඩි වෙලා නහර පුපුරලලු අක්කෙ මැරීලා තියෙන්නෙ !"
----------------------------------------------------------------------------------
"මේ ඔහේ නැගිටලා කනවද නැද්ද ? මටයි කොල්ලටයි නිදා ගන්න ?"
"@@#$%%^ තොපිලා නිදා ගනියවු.. කෝ දීපිය එක්කො කන්න තොගෙ බඩ කඩිත්තුව.."
"ඔය තියෙන්නෙ බෙදලා මේසෙ උඩ"
"තුහ්ප්.. ඇසිලියාගෙ කසිප්පු කිසි වැඩක් නෑ දැන්.. වතුර කලවන් කරලා..ගාන නම් එකයි .. ඒත් දැනෙන්නෙවත් නෑ..ආයි පෙරා ගන්න ඕනි..ටිකක් මන් වත්..අර මඩුව අස්සෙ නේද බැරල් ටිකයි දඟර ටිකයි ? "
"ආයි පෙරන්නද ලෑස්තිය.. මේ මන් නොකීවයි කියන්න එපා ඕන්න.. පෙරළා පුළුවන් නම් ආයි අහු වෙනවා.. මහ උළු ගෙදර තපින්න ආයිමත් අවුරුද්දක් දෙකක්..මන් නම් එන්නෑ පොලිසි පැත්ත පළාතෙවත්.."
"තෝ නම් එන්න එපා දැක්කනෙ ගිය සැරේ ඇවිල්ලා.. අර කට්ටා රිංගන්න ගත්තා ගේ අස්සට..කෝ කොල්ලා නිදිද ? "
"ඔය නිදා ගත්තෙ.. ඌත් පොතක් අතින් අල්ලන්නෙ නෑ.. ඉස්කෝලෙ යන්නෙත් මරන්න අරන් යන හරකා වගේ තමයි.. අර පහළ ගෙදර අක්කලාගෙ කුකුල් කොටුවෙ බිත්තර හොරකම් කරලා මූයි තව එකෙකුයි.. ඊයේ මට කිය කියා දෝස්මුරෙ දැම්මා.. "
"ඉතින් පටන් ගත්තා අදෝනාව.."
"නැතුව මන් වෙන කාට කියන්නද ? මමම එපාය මේ යක්ෂ පැටියා කරන මගෝඩි වැඩ වලට බැණුම් අහන්න.. කාගෙන් පුරුදු වෙලාද දන්නෙ නෑ මේ පුරුදු ? "
"අනේ පල යන්න @##$%^ ඕකා මගේ ලමෙක්ද තෝ මන් එක්ක එන්න ඉස්සර.."
"මේ තමුසෙ මගෙන් අහ ගන්න එපා හොඳවයින්.. තමුසෙ එක්ක එන්න ඉස්සර.. හුහ් මගෙ කට.. මැරිලා ඉපදුනා කියලද හිතන්නෙ තමුසෙ ? මතකනෙ එදා තමුසෙ මාව බලෙන් බලෙන්ම නැති කළාට පස්සෙ.."
"මගේ කරුමෙට නේන්නම් තමුසෙ එදා වැස්සෙම අර අකුලෙදි හම්බ උණේ..එතකොටත් තමුසෙ කෙල්ලෙක්ද?"
"මේ තමුසෙ මගෙන් සහසුද්දෙන් අහ ගන්න එපා.. එව්වා පොලිස් පොතේ ලියවිලා ඇති අකුරක් අකුරක් ගානෙ. ඉස්පිරිතාලෙ රිපෝට් එකෙත් තිබුණා..ඇයි පොලිසියට තමුසෙ මාට්ටු උණේ ලේ ගෑවිච්ච සරම පිටින්ම නේද ? ඒ හින්දානෙ මට තමුසෙවම බැඳ ගන්න වුණෙ ? හුහ් .දැන් එනවා මෙතන කෙල්ලෙක්ද හොයන්න.. මගේ හොඳකමට දීපු කට උත්තරෙන් තමුසෙ අවුරුදු ගානකට හිරේ නොගිහින් බේරුනා.."
"හිරේ වැටුනානම් මන් දැන් නිදහස් බලනවා තමුසෙව කර ගහගෙන මන් තවම.."
"කෑවානම් බුදියා ගන්නවා.."
දඩාස් හඬින් කාමරයේ දොර වැසී ගියේ..
මේ ඇසිලියාගෙ කසියා වැඩක්ම නෑ අදනම්.. ඇග පත කැක්කුම එහෙම මයි.. නින්ද අහලකවත් නැත...
පැයක් හමාරක් ඇඳේ පෙරළි පෙරළී සිටියද නින්ද අහලකවත් නැත..එක එක විකාර වලින් ඔළුව පිරෙන්නේ කසියා වඩිය අස්පට් වූ දාටය.
"මේ.. ඒයි.. ඒයි.."
"මොකද .. නින්ද යන්නෙ නැත්ද ? "
"එනවකෝ මෙහෙට.."
කාමරයේ දොර නැවතත් කිරි කිරි හඬින් ඇරේ..
"එනවකො පොඩ්ඩක්.."
"මේ ඔය ජරා ලෙඩේ එක්ක.. හීනෙන්වත් හිතන්න එපා ඕන්න.. දැන් අවුරුද්දක් බෙහෙත් බිව්ව නේද ? ඉවසන් ඉන්නවකො තව මාස හයයිනෙ. දොස්තර කිව්වනෙ ටැස් එකක් කරල හරියටම කියන්නම් කියලා.."
"ඉතින් දැන් අවුරුද්දක් බෙහෙත් බිව්වෙ.."
"මදැයි කසියා පෙරළා අවුරුද්දක් හිරේ ගිහින් හදා ගත්ත දෑවැද්ද.. කොර ගත්තා නම් දැන් ඉවසන් ඉන්නවා..මටත් බෑ ජරා ලෙඩ හදා ගෙන දුක් විඳින්න.."
"අර පච්ච සෝමෙයා..මට අහු උණොත් මන් කනවා..ඕකා හින්දා තමයි.."
"මේ ඒයි මන් ඔළුව අත ගාන්නද නින්ද යන කම් ?"
"@@#$%% තෝ පල යන්න .. මන්ම අත ගා ගන්නම් ඔළුව..මෙච්චර කල් අත ගා ගත්ත විදියටම.."
"ඕන්න ඉස්සෙල්ල ගෙනාපු ගල් භාගයකින් ඉතුරු වෙච්ච ටික තියෙනවා ඒක හලා ගෙන බුදියා ගන්නවා.. හෙට උදේන්ම වික්රම මහත්තයලගෙ වැඩේට යනවා.. මන් යනවා බුදියා ගන්න.."
----------------------------------------------------------------------------------------
මැරුණා වගේ නින්ද ගියා..
"මේ යන්නෙ නැද්ද වැඩට අද ? "
"යනවා බන්"
"මේ කොල්ලො ඔහොම හිටහන් මොකද උඹ ඉස්කෝලෙ යනවා කියලා කට්ටි පනිනවා කියන්නෙ ? අර සේනාරත්න මහත්තයගෙ කොල්ලගේ කොම්පූටරයක්ද මොකද්ද මඟුලක් කැඩුවද උඹ ? මන් ආයි කියන්නෙ නෑ.. ආයි එහෙම ආරංචි උණොත් මගෝඩි වැඩ කරලා.."
"මට උපදෙස් දෙන්න එන්න එපා.. මන් උඹේ ලමෙක් නෙවෙයිනෙ.."
"මොකද්ද පාහරයා කිව්වෙ ?"
මගේ දෙකන්සය රත්වී ලේ ගලා එයි.. ඊ ළඟ මොහොතේ කොල්ලා පියඹා ගියේය..
"මන් යනවා ශීලා අක්කලගේ හත් දොහේ දානෙ දෙන එකට උදව් කරන්න.. තමුසෙ යන්නෙ නැද්ද ? අර වික්රම .."
"මගෙ පපුව ඇදුම් කනවා ඕයි.. තමුසෙ යන ගමන් කියනවද සිරිපාලට මන් එන්නෙ නෑ කියලා"
"අර සිද්ධාර්තෙ තෙල් කුප්පියක් ඇති අතුල්ලා ගන්නවා පපුවෙ.. නොහැදි තියේයැ පපුවෙ කැක්කුම් ගිනි වතුර බොන විදියට..."
මොහොතකින් මහ අම්මන්ඩී එනු පෙනේ.. කඩුල්ල පසු කර ගෙන මහත් විමසිල්ලෙන් මා සිටි ඉසව්ව දෙස බලමින් ගෙය පසු කරගෙන යන පන්සලේ හාමුදුරුවන්..
"මොකද හාමිනේ දැන් ලියන්නා බොන එක නවත්තවලා වද්ද ?
අනේ හාමුදුරුවනේ අනිත් පැත්තෙන් ඉර පායයි එහෙම උණොත්..ඇයි හාමුදුරුවනේ එහෙම ඇහුවෙ ?"
"වෙනදට මාව දැක්කහම සරම උස්සලා නිරුවත පෙන්නන එකා.. අද කිසි හැල හොල්මනක් නැතුව ඉන්නවා දැක්කටයි මන් හිතුවෙ හාමිනේ.. මමත් යනවා අර සීලවති උපාසක අම්මාගේ හත් දවසෙ බණ හවස් කොරේ.. ඒ පැත්තට ගිහින් එන්න කියලා.."
පපුවෙ පැත්තකින් පටන් ගන්නා විදුලියක් මෙන් වේදනාවක් දකුණු අත පුරාම විහිදෙන්නට විය..
යන්න ඕනි ඇසිලියගෙ කසියා පොළ පැත්තෙ..
දින හතකින් විරාමයකට අවසර..