පෝය දවසට අනිත් දවසට වඩා අපේ හිතේ තියෙන රාග දෝෂ මෝහ සිතුවිලි වැඩි වෙනවාය..ඒ නිසාම සිල් අරගෙන පන්සලකට වෙලා සිත නිවා ගෙන ඉන්න එක තමයි හොඳම දේ කියලයි මට අද උදැහැනැක්කෙම ඇහුන බණ කතාවකින් කියවුනේ..
අපිත් මොනා හරි පිස්සු වැඩක් කලහම අද පෝයද බන්...ආහ් පෝය කිට්ටුයි කියලා කට්ටිය හිනා වෙන එක සාමාන්‍ය දෙයක් නෙ. මේ තත්වය වෙසක් වලට තවත් වැඩී..අපේ ගමේ හිටිය මැයි ආච්චි අවුරුද්දෙ අනිත් දවස් වල බොහෝම හොඳට හිටියත් මැයි මාසෙ වෙනකොට රෙද්ද කඩාගෙන ගම හැමතැනම දුවනවා...පෝය දිනයට බහුතරයකගෙ පිස්සු වැඩ වැඩි වෙනවා කියන එක එහෙනම් සාමාන්‍ය දෙයක්...
අදටත් ඔය බහුතරයකගෙන් එකෙක් වෙච්ච මට නම් මේක සාමාන්‍ය දෙයක්ම තමයි...
මේක අද ඊයේ වෙච්ච දෙයක්ද ???
නෑ පින්වතුනි..
අද 27 වෙනිදා වෙච්ච පෝය දවසෙ මට මතකයි අපි පොඩි දවස් වල ඉඳලම පෝය දවසට කරපු පිස්සු වැඩ..පිස්සු කීවට එව්වා නෝටි වැඩීද මන්දා... පෝය දවස නිසා මේවට තනිකරම අපිටම වැරැද්ද පටවන්න නම් එපා..පිස්සු හැදෙන සඳ නිසානෙ අපි මෙව්වා කරලා තියෙන්නෙ..
කාලය දශක 3කට පමණ පෙර...
නාහෙට නාහන සෙට් එකක් වෙලා හිටි අපි කට්ටිය..
එක පෝය දිනයක...
එක පෝයක හරකෙක් නිදහස් කරන්න ගමේම අයගෙන් සල්ලි එකතු කරපු ගමේ බෞද්ධ සමිතිය ඒ උතුම් කර්තව්‍ය යොදා ගෙන තිබ්බෙ ඒ පෝය දවසෙ..ගමේ මස් කඩයක් නොතිබිච්ච නිසා මේකට නිදහස් කර ගත්තෙ මස් කඩේට ගෙනියන හරකෙක් නම් නෙවෙයි. ළඟ හරක් පට්ටියක් අයිතිව තිබ්බ අපෙත් ඥාතියෙක් උනු අයියා කෙනෙක්ගෙ හරකෙක්ව තමයි....
ඒ කාලෙ පන්සල් වල ඉදිකිරීම් සහ අනිත් වැඩ වලට මුදල් එකතු කිරීමේ තිබ්බ හොඳම මාර්ගයක් වෙලා තිබ්බෙ සල්පිල් තමයි. ගමේම මිනිස්සු එක එක ජාතියෙ බඩු භාණ්ඩ පන්සලට ගෙනත් ඒවා සල්පිලේ විකුනලා තමයි සල්ලි එකතු කර ගන්නෙ...දැන් නම් මේ සල්පිල් ඇත්තේම නැති තරම්..
ඉතින් ඔය වගේ සල්පිල ඉවර වෙලා මල් වට්ටිය වෙන්දේසි කරලා තමයි ඔය හරකව නිදහස් කරන්න යොදා ගෙන තිබ්බෙ..
ඊට ඉස්සර දවසක ඔය හරකව අනේ හතර ගාතෙ බැඳලා දස වද දීලා "පින් ගොනා" කියලා කියලා හංවඩුව ගහන් එක දිහා අපි බලන් හිටියෙ නම් බෝම දුකෙන්..දවසක් විතර යනකම් මෙකා කෑවෙත් නෑ බීවෙත් නෑ..හංවඩුවෙ වේදනාවට වෙන්න ඇති..හැබැයි හතර පෝයට සිල් ගන්නා ආච්චිලා සීයලා බෝම ශ්‍රද්ධාවෙන් අර හරකගෙ හංවඩුව දිහා බලා ඉඳිමින් තමන් දීපු රුපියල දෙක ගැන බෝම ආඩම්බරයෙන් කතා කලා නම් මතකයි...
ඉතින් කෝම කෝම හරි ඔන්න පන්සලේ වත්ත පහල ගැට ගහලා හිටිය පින් ගොනාව ප්‍රසිද්ධියේම නිදහස් කරන වෙලාව ආපු ගමන්ම පන්සලේ ඇබිත්ත තෙමේ පන්සල් වත්ත පහලට දුවන් ගිය වේගෙටම ආපහු දුවන් ආවෙ හති ලමින්..
"අනේ හරකා නෑ ..කවුද ලිහලා දාලා වෙන්න ඇති.."
"කවුරු ලිහන්නද ? උඹ හරියට බඳින්න නැතුව ඇති හරකව "
හාමුදුරුවො කෝපයෙන් නලියනවා..
"මන් හරිය බැන්ඳා ලොකු හාමුදුරුවනේ..කවුරු හරි නොසන්ඩාලයෙක් ලිහලා තියෙන්නෙ"
"උඹේ වැරැද්ද වහ ගන්ඩ බොරු කියන්ඩෙපා"
එ හෙම කීවෙ පන්සලේ ප්‍රධාන දායක වෙච්ච පියදාස සීයා..
"එහෙනම් හරකම වෙන්න ඇති ලිහා ගෙන ගිහින් ඒ කඹෙන්ම ලොකු උපාසක මහත්තයගේ බයිසිකලේ බැඳලා තියෙන්නෙ"
ඇබිත්තයත් අතෑරියෙ නෑ..
උපාසක අම්මලා ටික කම්මුලේ අත තියා ගෙන විස්සෝප වෙද්දි පියදාස මාමා වත්ත පහලට ඉගිල්ලුනේ තමන් ඇඳලා හිටියෙ රතු පාට අමුඩෙ කියලා පේන්න සිල් රෙද්ද කරට අරන් ! අපේ උන් ටික හිනාව නවත්තගෙන හිටියෙ බොහෝම අමාරුවෙන්..
අනේ පින් ගොනාව හොයා ගත්තෙ...පහු වෙනිදා අල්ලපු වෙලේ හොඳට තණකොල කකා ඉන්න කොටයි..
ජීවිත කාලෙටම 3-4 වතාවකට වඩා සිල් අර නොගත්ත අපේ සෙට් එක පෝය දවසට ඔය සිල් අර ගත්ත අය තරම්ම නම් සිල් කැඩුවෙ නෑ..
පන්සලට යන පාරෙ තරමක් පාළු හරියක අරඹෙ කෙළවරේ ගේක පදිංචි වෙලා හිටියෙ කාන්ති නැන්දයි විජේ මාමයි. විජේ මාමා හැම පෝයටම සිල් ගන්න මස් මාංශයක් කටේ නොතියන තරමේ හොඳ මනුස්සයෙක් උනත් කාන්ති නැන්ද නම්...අනේ මන්දා.. අපිට නම් කියන්න වරදක් නෑ..කොයියම්ම වෙලාවක ගියත් ගෙදර තියේ නම් මොනා හරි පැණි රහ යමක් එක්ක තේ එකක් වක් කරලා දෙන හිත හොඳ නැන්දෙක් !
විජේ මාම සිල් අරන් ගත්තහම ආපහු සිල් පවාරනය කරලා එන්නෙ පහු වෙනිදා.. ඔය අල්ල පනල්ලෙ එහා ගමේ සිරිසෝම මාමා පෝය දවසට හැමදාම කාන්ති නැන්දා එක්ක තුන් වෙනි සිල් පදේ කඩන බව මුළු ගමටම රහසක් වෙලා තිබ්බට නිශාචරයො වෙච්ච අපිට නම් එච්චර රහසක් නෙවෙයි..
දවසක් අපේ සෙට් එකේ එකෙක්ගෙ සරුංගලයක් අල්ලපු ගමෙ ගහක රැඳිලා තියෙද්දි ඒක ගන්න ගිය වෙලාවෙ සිරිසෝම මාමගෙ පුතා අපේ එකාට කනට ගහලා එවලා තිබ්බා.. බොහොම මහන්සියෙන් අපි හදපු මහ පත නයා සරුංගලේ අපිට අහිමි වෙච්ච කේන්තිය හිතේ දරන් ඉන්න කොට තමයි ඊළඟ පෝය දවස උදා උනේ...
සිරිසෝම මාමත් සුපුරුදු විදියට රෑ අට නවය වෙනකොට කාන්ති නැන්දලගේ ගෙදරට රිංගනව බලන් හිටි අපි සෙට් එක තව පැය භාගයක් විතර බලන් ඉඳලා ආයි පන්සල පැත්තට ගියා. එතකොටත් විජේ මාමලා සිල් අරන් මහන්සියට බණ ශාලාවෙ බිත්ති වලට පිට දීගෙන භාගෙට නිදි. ලොකු උපාසක මාම නම් පන්සිය පනස් ජාතක පොතේ ජාතක කතාවක් කියවනවා.. අපේ එකෙක් හිමිහිට වීජේ මාමට කිට්ටු කලා,
"මාමේ මාමේ අපි පන්සල් ගිහින් ගෙදර යන ගමන් නැන්දගෙන් වතුර එකක් බොන්න ගියා..නැන්දා කෙඳිරි ගාගා නිදි මාමෙ..අසනීපයක් වෙන්න ඇති.."
"හත් දෙයියනේ කාන්තිට හිසෙ රුජාවයි කීවා තමයි"
සිල් රෙද්දත් අකුලා ගෙන මාමා ගෙදර දිහාවට හනි හනිකට..
අපිත් පේන නොපෙනෙන ගානට පස්සෙන් ගියේ...
ගෙට ගිය විජේ මාමා සහ ටික වෙලාවකින් සරමත් කරට දමා ගෙන කුස්සිය පැත්තෙන් ඊ ගහක් වගේ දුවන සිරිසෝමා මාමත් ඊට පස්සෙන් සිල් රෙද්ද පිටින්ම උදලු මිටක් උස්සන් පස්සෙන් දුවන විජේ මාමත් ගැන අපි දවස් කීපයක්ම කතා උනේ..අර සරුංගලේ නැති වෙච්ච දුක එතනින්ම ඉවර උනා..
මුළු ගමේම ඉන්න බහුතරයක් භීතියෙන් මුසපත් වෙද්දි හතර පෝයටම සිල් ගත්ත සොපී ආච්චි, මැගිලින් ආච්චි සහ මැණිකෙ ආච්චි යටිගිරියෙන් ...
"මහසෝනා එනෝ"
කියලා බෙරිහන් දෙද්දිම යකැදුරො කීප දෙනෙක් එක්කම මේ තුන් දෙනාට ලොකු තොවිලයක් නැටුවා.. ටික කාලයක් යනකම් ගමේ ගොඩේ ගෑණු මිනිස්සු සහ සෝමාරි පිරිමි රෑ පානෙ එලියට නොබහින්න තරම් වෙච්ච ඒ සිද්ධියට නම් අපිත් බය උනේ නෑ කියලා කියන්න බෑ.. ඒ එක අටවක පෝය දිනයක්.. පිරිමි උපාසක මහත්තුරු රෑ එලිවෙන කම්ම සිල් අරන් පහු වෙනිදා සිල් පවාරණය කලාට උපාසක අම්මලා රෑ හය හත වෙනකොට සිල් පවාරණය කරලා ගෙවල් වලට හෙමිහිට යන වෙලාව..
තැන....
අර කාන්ති නැන්දලගේ ගෙවල් තියෙන පාළු පාර...
අර උඩ නම් කීව ආච්චිලා පන්දමක් වන වනා එනවා බොහොම චිත්තප්‍රීතියෙන්....ආන්න එතකොටයි ඒ තුන් දෙනා ඉස්සරහට මහසෝනා පැනලා තියෙන්නෙ..
පස්සෙ ඒ ගොල්ලො කීවෙ.. බඹයක් විතර උසට සුදට සුදේ ඇඳගෙන හැම පැත්තෙන්ම ඇහෙන්ඩ කෑ ගහගෙන තමන් ඉස්සරහට පැන්නෙ මහසෝනම තමයි කියලයි..
"අම්මෝ මන් දැක්කා මූන මෙන්න දල දෙක"
මැගිලින් ආච්චි කම්මුලට අත දී ගෙන අපිට කීවෙ..
හරි ඉතින් සුදු සරම් දෙකක් ඔළුවෙ ඉඳන් පොරවගෙන..එකෙක් තව එකෙක් ගෙ කර උඩට නැගලා.. පහු ගිය අළුත් සහල් මංගල්ලෙ පොලෙන් ගත්ත යක්ශ වෙස් මූණ දාගෙන යන්තම පන්දම් එලියෙන් එලිය වෙච්ච පාර මැදට හූ තියා ගෙන කවුරු හරි දෙන්නෙක් පනිද්දි...
අනිත් උන් ටික පාර දෙපැත්තෙම තියන පඳුරු වලට මුවාවෙලා ස්ටීරියෝ ක්‍රමයට හූ තියන කොට ඔතන මැවෙන්නෙ මහසෝනා කතන්දරේ නෙවෙයි නම් ඉතින් වෙන මොකද්ද ?
මතක් වෙන කොට අපේත් රෝම කූප කෙලින් වෙනවා..
"මොනා වෙලාද මේ වැලේ තිබ්බ මගේ සුදු සරමේ මෙච්චර මඩ ගෑවුනේ ?"
කියලා අපේ තාත්තා අම්මගෙන් අහද්දි මම හෙමිහිට කුස්සිය පැත්තෙන් මාරු වෙලා ගියා..
ඉතින් ඔහොම පෝය දවසට මිනිස්සුන්ගෙ හිතේ තියෙන ආවේගශීලී බව වැඩිවෙන්නෙ සමහර විට හඳේ බලපෑම නිසා වෙන්න පුළුවන්...එතකොට ඒකට වග කියන්න ඕනි හඳ මිසක් ඒ නිසා නරක් වෙච්ච පොඩි ළමයි වෙලා හිටි අපි නෙවෙයි නේද කියලයි මට නම් තාමත් හිතෙන්නෙ ..