මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ කියලා ඩිස්ක්ලේම් එක දාලා අර කතාව ලිව්වොත් ලෝකයා ඒක පිළිගණීද ?
භෛසජ්යාගාරය...මොකද්ද යකඩෝ ඒ කියලා අහන අයට කියන්න කියන තියෙන්නෙ ඔය ෆාමසියට කියන සිංහල නම තමයි කියලයි.ඔසුසල කිව්වා නම් ඉවරයිනෙ බොල මහප්රාණ නැතුව මෙතන කියන අයට කියන්න තියෙන්නෙ හිකිස් කියලා තමයි..
ඔය ඔසු සල් නැත්නම් ෆාමසි වලින් මට හෙණ අපලයි අප්පා..අර කැම්පස් අවුට් උණ ගමන්ම රැකියා සම්මුඛ පරීක්ෂණයකට ගිහින් ෆාමසියෙ කොල්ලට වෙච්ච වැරැද්දට මට උණු සංගෙදිය දුටුවනෙ..ඕන් ඔය වගේ එව්වමයි මට ෆාමසි වලදි වෙන්නෙ. ඉංතේරුවෙන්ම පහු ගිය ආත්මෙක හරි ආත්ම ගණනාවක හරි ෆාමසි කාරයින්ට මම ලොකු අරියාදුවක් කරල තියෙන හැඩයි. ඔයක තමයි මට මේ ආත්මෙ පල දෙන්නෙ..
මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ...
ඔය හතළිහ පැන්නහම එක එක අංශ වලින් දාන වැඩ එහෙම විසි ගණන් වල ආකාරෙටම දාන්ඩ බෑ බෑ වෙනවා කියලා ගොඩක් අය දන්නවනෙ..ඉතින් ඔව්වට කට්ටිය පෙනෙල, දූරියන්..වගේ වගේ එව්වා කනවා බොනවා..ඒවා ඉතින් පත්තියම් වෙලා මෙව්වා මෙව්ව වෙන්ඩ ටික කාලයක් යනවා කියලා ඕනි කෙනෙකුට තේරෙණවනෙ ඉතින්..
මේ කතාවට අදාළ කතා නායකයා..අපි කියමු ලේසියට සරත් කියලා.. නෑ නෑ ලංකා නෙවෙයි..උඹලට නමක් කියන්ඩ බෑ කාව හරි ඈදා ගන්නවාම තමයි..මම මේකට ප්රියන්ත කියලා නම දාන්ඩත් හදලා උඹලා මාතලන්ව අල්ලා ගන්න නිසයි එහෙම නොකළේ...
මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ...
ඉතින් ඔන්න සරත් 40 පැන්න හම ටිකක් තේරිලා එහෙමයි මෙහමයි කියලා..ඕකට අර කිව්ව ජාති කාලා බීලා..ඒත් ඒවයින් ක්ෂණික විසඳුම් නො එන හින්දම..අවශ්ය වෙලාවලට ක්ෂණිකව ප්රතිඵල දෙන ටැබ්ලට් එකක් ගන්න පුරුදු වෙලා...හැමදාම නෙවෙයි බොලව්නෙ..ඒ විසි ගණන් වල..කෙරුවාවල් කොහෙද 40න් පස්සෙ..සතියකට දෙකක් නැත්නම් තුනක් විතර කියමුකො..ඔයකෙ නම හිස්තැනක් ෆිල් කියමුකො..මීට පස්සෙ ෆිල් කියන්නෙ ඔන්න ටැබ්ලට් එකට තමයි..
දවසක ඔයවා ඉවර වෙලා..එදා රෑ ට නම් නිකන් පුළුවන් පුළුවන් සයිස් එකකුත් තියන එකේ..ඕන් ඔහෙ ෆාමසියෙන් තව ටැබ්ලට් කාඩ් එකක් අරගෙන යනවා කියලා හිතලා..මොකද වැඩි වෙන්නෙ නෑ..ඒ සතියෙම සෙනසුරාද තියෙන ඡන්දෙ හින්දා ඔෆිස් වලත් නිවාඩුනෙ..සති අන්තෙම නිවී හැනහිල්ලෙ ඉන්නත් වෙන එකේ ආයි මොනාද...
මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ...
කොහොම කොහොම කිව්වත් සරත් ටිකක් ලැජ්ජා කාරයා..ඔව් ලංකාවෙ බහුතරයක් වගේම තමයි සරතුත්..අර කොපුවක් ඉල්ලනෙත් ෆාමසි ගණනාවක් බලලා බලලා..පිරිමි පරාණයක් විතරක් කවුන්ටරේ ඉන්න..වැඩිය සෙනඟ ඉන්නෙ නැති ෆාමසියක් හොයලම තමයිලු..
ඉතින් එහෙව් ෆාමසියක් හොයා ගෙන හොයා ගෙන ගියත් ගොඩක් ෆාමසි වල හොඳටම සෙනඟ පිරිලලු..ගොඩක් කවුන්ටර වල ඉන්නෙත් ගෑනු ළමයිලු..
හොඳ වෙලාවට නගරයේ තිබ්බ තරමක් ලොකු ප්රසිද්ධ ෆාමසියෙ සෙනඟ වැඩිය නැති නිසාත්...කවුන්ටරෙ ඉන්නෙ කොල්ලො සෙට් එකක් නිසාත් සරත් ගියාලු මෙතනට..පොඩ්ඩක් හිටපු කට්ටිය යනකන් ඉඳලා සරත් ඇහුවලු එතන හිටි කොල්ලෙක්ගෙන්
"මල්ලි ෆිල් ටැබ්ලට්ස් එක තියෙනවද ?"
මොකද ඒ ජාතිය නැතිනම් වෙන ජාතියක් හරි ගන්න පුළුවන් නිසා..
"මොකද්ද සර් ඇහුවෙ?"
අර කොල්ලා ටිකක් හයියෙන් ඇහුවලු..
ඔය එක්කම එක පාරටම 10ක් 15ක් විතර බෙහෙත් ගන්නත් ඇවිත්..සරත්ට හීන් දාඩිය දා ගෙන එනවලු..ආයිමත් කොල්ලගෙ කනට කරලා
"ෆිල් ටැබ්ලට්"
"පොඩ්ඩක් ඉන්න මහත්තයා..
දැන් කොල්ලා ටිකක් එහා පැත්තෙ තිබ්බ බෙහෙත් පෙති අහුරලා තියෙන අල්මාරියක් ළඟ දන ගහ ගෙන එක එක ජාතියෙ පෙට්ටි අතට අර ගෙන තියනවලු..සරත් ළඟ හිටපු අනිත් කෙනාගෙ ටැබ්ලට්ස් ටික දීපු අනිත් කොල්ලා
සර්ට මොනාද බැලුවෙ?"
කියලා සරත්ගෙන් අහලා..
"අර මල්ලි බලනවා"
කියලා සරත් පොඩ්ඩක් එහාට වෙලා..
මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ...
කවුන්ටරේ සෙනඟ පොදි කකා බෙහෙත් ගන්නවලු දැන්..සරත් දැන් බොහොම චකිතෙන් ඉඳලා තියෙන්නෙ මේ කොල්ලා බෙහෙත් පෙති ටික නිකම්ම කවරෙකවත් නොදා අරන් එයිද අනිත් අයට පේන්නත් එක්කම කියලා හිත හිතා ඉන්න කොට..
"හේෂාන් මොනාද බන් ඔතන දන ගහ ගෙන හොයන්නෙ? අපිට යන්නත් ඉඩ නෑනෙ.."
කියලා තව ෆාමසියෙ එකෙක් අපේ සරතගෙ බෙහෙත් හොයන එකාට දෝස්මුරයක් දාලා..
"නෑ බන් මේ ෆිල් කියලා ටැබ්ලට් එකක් හොයන්නෙ"
"ෆිල් කාටද ?
"දන ගහ ගෙන හිටපු කොල්ලා නැගිටලා සරත් දිහාවට අත දික් කරලා
"ආන් අර මහත්තයට"
කියලා මහ හයියෙන් කිව්වලු..
මුන් දෙන්නගෙ කතාවම ඇහිච්ච බෙහෙත් ගන්න ආපු අය සරත් දිහා බලන්න ගත්තෙ මහ අමුතු සතෙක් දිහා බලනවා වගේ..
වායු සමීකරණයෙන් එන හීතල පරදලා සරත්ගෙ ඇඟ දිගේම දහඩිය ගඟක් ගලන්න පට න් ගන්නෙ හරියටම මේ වෙලාවෙමයි
"මහත්තයා ෆිල් ටැබ්ලට්ස් වලට ප්රෙස්ක්රිප්ශන් එකක් තියෙනවද අපිට හරියටම නම බලා ගන්න?"
"ඔය ගොල්ලො ළඟ නැති හැඩයි..මම යන්නම්.."
මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ...
තවත් ගැලවෙන්න රෙදි නැති හින්දම..
කියලා තොල් මතුරපු සරත් යන්න හැරෙන කොටම....මූට නම් කොහෙදි හරි අනිනවා හොම්බට කියලා මුල්ම ඕඩරේ දීපු කොල්ලා දිහා බලන කොටලු දැක්කෙ..මෙතන පොදි කකා ඉන්න සෙනඟගේ මූණෙ තිබ්බ හිනාව...
ඒ විගසම එතනට ආපු ෆාමසියෙ ලොක්කි වගේ හිටපු උස මහත ලේඩි කෙනෙක්..
"මොනවද ඒ මහත්තය ඕනි කරන ටැබ්ලට්ස් ? ඇයි ඒවා අපි ළඟ නැත්තෙ? බලන්න ස්ටොක් එකේ අපි ළඟ නැති වෙන්න බෑ..මොනවද හේෂාන් ටැබ්ලට් එක?"
කියලා අර කොල්ලගෙන අහපි..
"ෆිල් කියලා ටැබ්ලට් එකක්.."
"ස්ස්ස්ස් කෑගහන්න එපා ළමයො ඒක ඊඩී වලට දෙන ටැබ්ලට් එකක් ඉන්න මම ස්ටොක් එකෙන් ගෙනත් දෙනකම් ඉන්න කියන්න මහත්තයට.."
"මේ සර් මහත්තයා..ඒක ඊඩී වලට දෙන ටැබ්ලට් එකක්ලු නේද ? ඉන්ඩ සර් මැඩම් ස්ටොක් එකෙන් ගෙනත් දෙන්නම් කිව්වා. තව විනාඩියක් ඉන්න සර්"
අර හේෂාන් කියන එකාගෙ කට හඬ සරත්ට ඇහුණෙ ෆාමසියේ පඩි පලේ බහින්න ඔන්න මෙන්න තියා..
ඊ ළඟට ඇහුණෙ හේශාන්ගෙ කටහඬ
"මොනාද මචන් ඊඩී කියන්නෙ"?
මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ...
කියලා හත් සැරයක්ම කිව්වහමවත් පිළි ගනිල්ලාකො බන්...
කළකම් ගෙවෙන්නෙ පළදීමෙන්මයි කියනවනෙ ඒ කරුමෙත් ගෙව්නා කියලා හිත හදා ගන්නවා ඇරෙන්න වෙන මුකුත්ම සරත්ට ඉතුරු වෙලා තිබ්බෙ නැහැල්ලු
පව් නේහ් !

