ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, November 20, 2014

අපුල සහ කේන්තිය... Anger with Disgust

"බලනවා ..මම කොහොමද දැන් මෙහෙම ඔෆිස් යන්නෙ ? ළමයින්ව බස් වල ගෙනියන්නවත් දන්නෙ නැද්ද ? හරක් !"

බස් එක දෙවනත් වෙන්න බෙරිහන් දීපු ඒ මැදිවියේ මනුස්සයා ඉඳගෙන හිටපු අසුනෙන් නැගිටලා සම්පූර්ණ බස් එක දිහාවටම තම කෝපයෙන් ගිනි ගන්න දෑස යොමු කළා. ඒ ආසන්නයේම තවත් සෙනඟ පොදියකට බෑගයත් එක්කම හිර වෙලා හිටිය මමත් නිතැතින්ම දෙඇස යොමු කළා.. කහ පැහැයට හුරු කමිසයේ උඩ සාක්කුව හරියේ ඉඳන්ම කහපාටට පෙරෙන වතුර පාරක් එක්කම ඔහු මහත් අපහසුතාවයට පත් වෙලා හිටියා.. කෝපයෙන් දැවෙමින් ඉන්න මනුස්සයා ළඟම ඉඳ ගෙන හිටියෙ අම්මා කෙනෙක් සහ තවමත් අම්මගේ උකුළෙ ඉඳන් ඔළුව පහළට නවා ගෙන ඕක් ගාලා වමනෙ කරන ළදැරියක්...ක්ෂණයකින් අප හැමෝටම වෙච්ච දේ වැටහුණා..ඒ ළදැරියට පාලනයක් නැතුවම වමනෙ ගිහින්..වමනෙ ටික අර ළඟ හිටිය මහත්තයගෙ ෂර්ට් එකට හැලිලා..

අහල පහළ හිටි හැමෝම පිළිකුලෙන් තමන්ගෙ මුහුණ අහකට හරවා ගත්තෙ තමන්ගෙ ඇඟට වමනය හැලිලා වගෙයි..තරමක දුප්පත් පෙනුමක් තිබ්බ අර අම්මා මොනවද මුමුණනවා..අර දැරිවි තාමත් තමන්ගෙ හිස අම්මගෙ උකුළෙ සඟවගෙන..

"කොහොමද මම දැන් ඔෆිස් යන්නෙ ?"

අර මනුස්සයා ගුගුරණවා...

අර අම්මා තමුන්ගෙ බෑග් එකෙන් තරමක් කිලිටි වෙච්ච තුවායක් වගේ එකක් එළියට අදිනවා..

"මීට පස්සෙවත් තමුන්ගෙ ළමයින්ට පුරුදු කරනවා වමනෙ යන්ඩ එනවා නම් කල් ඇතුව කියන්ඩ ඒ එක්කම  අයිනෙ සීට් එකක් ඉල්ලා ගන්ඩ..නැතිනම් වාහනයක් කුලියට අරගෙන යනවා..දැන් මට ඔෆිස් යන්ඩත් නෑ..ගෙදර ගිහින් එන්ඩත් වෙලාව මදි.."

ඇත්තටම ඔෆිස් එකට වාහන තදබදයක් තියෙන මේ වගේ වෙලාවක ආපහු ගෙදර යන්න උණොත් එහෙම අපිට උණත් සිද්ධ වෙන අකරතැබ්බක් හිතට එනකොට අපේ හිතටත් මොහොතකින් මෝදු වෙන්ඩ ගත්තෙ කේන්තියක්ම තමයි..

අර මහත්තයා තවමත් බනිනවා අර අම්මට...

අපිත් හිතින් අර මහත්තයගෙ සහයට තව තව කාරණා සපයන අතරේ අර අම්මයි දැරිවියයි දිහා බැලුවෙ තරමක් පිළිකුලෙන් වගේම කේන්තියෙන්..

වමනෙ නවත්තපු අර දැරිවි බොහොම බයාදු බැල්මකින් බියපත් වෙච්ච මුව පොව්වෙක් වගේ ඔළුව ඔසවලා බැලුවා..

පරුෂ හඬින් තමුන්ගෙ අම්මටත් තමුන්ටත් බනින අර මනුස්සයගෙ කට දිහා බලා ඉඳලා තමන්ගෙ ඇස් තමුන්ගෙ අම්මා දිහාවට යොමු කරලා..
ඈ....ඈ...ඈ....ඈ...කියලා මහ හයියෙන් අම්මගෙ නිකට තමුන්ගෙ මූණ දිහාවට හරවලා ප්‍රශ්නාර්ථයෙන් යුක්තව බලාගෙන හිටියා....

අපිත් එතකොටයි දුටුවෙ සහ තේරුණෙ අර දැරිවි ගොළු දැරිවියක් සහ අම්මා ඒ වෙලාවෙ කොයිතරම් නම් අසරණ වෙලා හිටියද කියනවා නම් ඈට අඬනවා හැරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නෑ අර මහත්තයගෙ ගෝරනාඩුව හමුවෙ..

අර දැරිවි තමන්ගෙ දෑතින්ම අම්මගේ කම්මුල දිගේ බේරෙන කඳුළු පිහිදනවා..

ගා....ගා....ගා...කියලා..

අපේ හිතත් කඩා වැටුණා..

මම ළඟම හිටපු තව කෙනෙක් මෙච්චර වෙලා සඟවා ගෙන හිටපු තම හඬ ඉස්මතු කළා..

"මහත්තයා වෙච්ච දේ උණා..ඒක මේ අම්මවත් , පොඩි එකාවත් හිතලා මතලා කරපු දෙයක් නෙවෙයිනෙ..දැන් මේ බස් එක ගමනාන්තෙට යනකන් බැන්නත් වැඩක් නෑ. මහත්තයා එක්කො බැහැලා ගෙදර යන්න..නැතිනම් ඔෆිස් එකට ගිහින් ඔය කමිසය හෝදා ගන්න"

අර මහත්තයා කෝපයෙන් පිපිරි පිපිරීම බස් එකෙන් බැස්සා..අර අම්මා බස් එකේ ගමනාන්තයට යනකම්ම හැඬූ කඳුළින් යන අතරේ..පොඩි එකා එක එක සද්ද කරමින්...අම්මගෙ කඳුළු පිහින්න උණා...

දවසක් දෙකක් යනකම්ම මම උණත් මේ සිද්ධිය ගැන හිතන්න උණා..ඇත්තටම අපිටත් එහෙම දෙයක් උණොත් අපි කොහොම හැසිරෙයිද.....කියන එක ගැන..

මේ සිද්ධිය වෙලා අවුරුදු පහක් හයක්ම කාලයේ වැලි තලාවට යට වෙලා මගේ හිතෙනුත් මැකිලා ගිහින් අහවර වෙලයි තිබුණෙ..

--------------------------------------------------------------------------------------------------
"තැන්ක් යූ මල්ලි, මම ටවල් එක එහෙමම බාත් රූම් එකේ තියෙන්න ඇරියා ඔන්න"

" ආ හරි ප්‍රියන්ත මහත්තයා මම ඒක ලොන්ඩ්‍රියට යවන්නම්"

අපේ නවාතැන් භාරව සිටිය නිලධාරියා මගේ අතින් යතුර අර ගන්න ගමන් කිව්වා...

හෝදපු කමිසය අයන් කළත් තවම හොඳට වේලිලා නැහැ.

උදේ කැම වෙලාව පහු උණත් ආපන ශාලාවෙ තියෙන මොනවා හරි දෙයක් බඩට දමා ගත්තෙ නැතොත් මේ දවස් වල ගිලින බෙහෙත් පෙති කන්දරාවෙ හැටියට ගැස්ට්‍රයිටිස් හදා ගෙන ඒකටත් තව බෙහෙත් පෙති බොන්ඩ වෙන එක නම් සිකුරු නිසාම මම ආපන ශාලාට ගිහින් එතන තිබුණු බිත්තර පාන් එකකුයි චයිනීස් රෝලකුයි තේ එකකුයි අරගෙන දන්න හඳුනන සොයුරියක් ඒ වෙලාවෙත් තේ බිබී ඉන්න මේසයට ගියා..

"මොනවද අයියෙ ඔයා ළඟ ගඳ ? වමනෙ නේද ?"

ඈ තමන් කකා හිටිය බනිස් ගෙඩිය අප්පිරියාවෙන පිඟානට අත හරින ගමන් ඇහුවා..

"නෑ මට බඩගිනි නෑ..."

ඈ කමින් හිටිය බනිස් ගෙඩියේ භාගය සහ තවමත් නොකාපු බිත්තර පාන් එකත් පොඩ්ඩක් බීලා ඉතුරු වෙච්ච තේ එකත් එක්කම මාව ඒ මේසෙ තනි කරලා නැගිටලා ගියා..

ගිය නුවණ ආයි ඇතුන්ටවත් අද්දන්ට පුළුවනෑ...

----------------------------------------------------------------------------------------------------------------------------
මිනිස්සුන්ට ලෙඩ දුක් අසනීප එන්නෙ කල් ඇතුව කිය කියා නම් නෙවෙයි...සමහර වෙලාවලට අපි හොඳ සෞඛ්‍යය සම්පන්නව ඉන්නම ඕනි කාලවලදි තමයි ලෙඩ දුක් පොදි බැඳ ගෙන එන්නෙත්.. ලෙඩ දුක් ආවහම ඉතින් සල්ලි වගේම වියදම් වෙන අනිත් දේ තමයි අපේ කාලය...

පහු ගිය අවුරුදු වල ඉතුරු වෙලා තිබුණු නිවාඩුත් එකතු කරලා එකතු කරලා බොහොම අමාරුවෙන් එක දිගටම ලෙඩ වෙලා ඉද්දි ගත්තු නිවාඩු ටික පඩි රහිත නිවාඩු නොවෙන ගොන්නට දමා ගත්තත්... අවුරුද්ද ඉවර වෙන්න තව මාස ගාණක් තියෙන නිසා ඉදිරි කාලය බොහොම අභියෝගාත්මකයි...බොහොම හෙමින්...ඉවසිල්ලෙන්...ඔය අතරෙම අපි විඳින අපේ ප්‍රශ්න ගැන නොදන්න අපේම සහෘදයන්ගෙ සමහර ඉල්ලීම් හමුවේ අසරණ වෙන අපි එක්ක හිත බිඳවා ගෙන අමනාප වෙන අයත් නො ඉන්නවා ම නෙවෙයි...මේක තමයි ඉතින් ජීවිතේ...

ඒ පඳුරු තැලිල්ල නම් කළේ අද උදේ වෙච්ච සිද්ධියට ඕනි කරන ඌන පූරණයක් ගන්න තමයි...කොටින්ම කියතොත්..මම මලත් නිවාඩු නම් ගන්න නම් බෑ රජෝ මේ අවුරුද්දෙ දි නම් ඕන් !

සාමාන්‍යෙන් බත්තරමුල්ලෙදි බස් එකෙන් භාගයක් විතර බහින නිසා හැමදාම වගේ ඉඳගන්න සීට් එකක් ලැබෙන එක ඉර හඳ පායනවා වගේ විශ්වාසයි. මම ළඟම සීට් එකේ හිටියෙ අවුරුද්දක විතර පොඩ්ඩෙක් අම්මා එක්ක..පොඩ්ඩා අම්මගේ කරේ හොඳටම නිදි..මමත් කාර්‍යාල බෑගය ඔඩොක්කුවෙ තියා ගෙන පොඩ්ඩක් ඇහැ පියා ගත්තෙ බස් එකේ ඔය වෙලාවට දාගෙන එන පොඩි නින්ද මාර සැපයි ආපහු වැඩ පටන් ගන්නකොට...

බස් එක මොකද්ද එකකට තිරිංග පාගනවා එක්කම සේරම මඟීන් එක්කම මාවත් ඉස්සරහට ගැස්සිලා ගිහින් අසුනට හේත්තු උණා....

ඒ වෙනකම්ම අර අම්මගෙ උර හිසේ හොඳට නිදියා ගෙන හිටපු පොඩි එකා ගැස්සුණු ගැස්සිල්ලට වෙන්න ඇති..ගොජොස් ගාලා වමනේ පාරක් දැම්මෙ නැද්ද මගේ කමිසයයි බෑග් එකයි කලිසමේ එක කකුලකයි..හීතලට වමනෙ !

හිතට එක පාරටම ආපු පිළිකුල එක්ක ආපු කේන්තියක් !

 ඒ ක්ෂණයකින්ම ඔළුව ඇතුළේ කොහේදෝ හිර වෙලා තිබුණු අර උඩ කියන සිද්ධිය තත්පරයකින් දාහකින් එකක් වගේ කාලයකදි..මනසේ රඟ දැක්වුණා...මගේ කේන්තියෙන් පිපිරෙන මුහුණ කවුරුවත් දකින්න නැතුව ඇති..අර අම්මා බියපත් මුහුණකින් බොහොම අසරණව මා දිහා බලාගෙන ඉන්නවා..කතා කර ගන්නවත් බැරුව ගොළු වෙලා....

කමිසයට උරා ගත්ත වමනය ටික සීතලට බැනියමට යටින් හමට දැනෙන අතරේ...පොඩි අයගේ නොදිරවපු කිරි වමනය මගේ නහය කඩා ගෙන යන්න හදනවා..රහත් වෙලා හරි බණ භාවනා කරලා හරි නැති යටි හිත කේන්තියෙන් පුපුරනවා..කාර්යාලයට නොගිහින්ම බැහැ..අනේ පව් ඒ අම්මා එක අතකින් පොඩි එකාව අල්ලා ගෙන අනිත් අතින් තමුන්ගෙ බෑගය අදිනවා..එතන හිටි අනිත් කාන්තාව බෑගය අරගෙන ඒකෙන් පොඩි ටවල් ඇදලා දුන්නා ඒ අම්මා අතට...

බියෙන් සලිත වෙච්ච ඒ අම්මා...මගේ බෑග් එකේ පිට පිරිලා තිබ්බ වමනෙ පිහින්ඩ හදනවා ඒ ටවල් එකෙන්......

"සොරි සර්..."

ඈ ගොත ගහනවා...

මම ක්ෂණයකින් අහක බලලා නැවත ඈ සහ දරුවා දෙස බැලුවා...

"ඔය බබාව පිහිදාන්න ඕකෙන්..මේක කමක් නෑ..මම ඔෆිස් එකට ගිහින් හෝදා ගන්නම්"

වසර ගණනාවකට ඉස්සර මේ වගේම ඉහත කිව්ව සිද්ධියට තුන්වන පාර්ශ්වයක් විදියට මුහුණ දීලා ඒ ගැන දවස් ගාණක් හිතලා නොතිබ්බා නම් මමත් සමහර විට තිරිසනෙක් වගේ අර අම්මට බනින්නත් ඉඩ තිබ්බා නේද කියලා මට හිතෙන කොට මට ඇති වෙන්නෙ හරිම ලැජ්ජාවක්...

එහෙම නොඋන එක ගැන මට සතුටුයි වගේම...මගේ මතකයෙන් ගිලිහිලා ගිහිල්ලා තිබුණයි කියලා හිතන මේ වගේ වැදගත්ම සිද්ධියක් අත්‍යවශ්‍යම වෙලාවකට ක්ෂණයකින් හිත මතුපිටට ඇවිල්ලා මාව වෙනස් කරපු එක ගැන මට ලොකු ආත්ම තෘප්තියක් දැනෙන්නත් ගත්තා...

ඒත් අර කම්මලේ ඉන්න බල්ලට හෙණ ගැහුවට දැනෙන්නෙ නෑ කියනවා වගේ..කිව්වට සැරින් සැරේ මගේ සියොළඟින්ම එන කිරි වමනෙ ගඳ මට පොඩ්ඩ්ක් අපුලක් නම් ගෙනෙනවා තාමත්..

හවස කෝච්චියෙ යනකොට අනිත් සෙනඟින් පොඩ්ඩක් මෑත් වෙලා යන එක හොඳයි වගේ...