ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, November 25, 2013

සයිබරයේ මෙගා බීච් පාටිය සහ අපි නම් එන්නෙ නෑ ව්‍යාපාරය..Cyber Mega Beach Party 2013

ෆොටෝ එක සිහින මලයගෙන්...

සයිබරය හරහා සමීප උනු දහසක් මිතුරු දම් ආයිමත් අළුත් කර ගන්න... හමු නොවෙච්ච දවස් ටිකේ සිද්ධ වෙච්ච දේවල් ගැන හෝරාවක් දෙකක් වදනක් දොඩන්න..වගේම සයිබරය හරහා විතරක් සමීප උනු තමන්ගේ බ්ලොග් එකේ ආදරණීය පාඨකයන වගේම තමන් ප්‍රිය කරන බ්ලොග් එක ලියන අය හමුවන්න ඔන්න ආයෙමත් සයිබරයේ ගෙට්ටුවක් තියන්නයි යන්නෙ..

http://cyberfestival.blogspot.com/2013/11/set.html

වැඩි විස්තර ගන්න යන්නකෝ මේ ලින්කුවෙන් අදාල බ්ලොග් අවකාශයේ මිතුරෝ අඩවියට..


මේ තියෙන්නෙ මූණු පොතේ ඔය ගැන තියෙන විස්තර..මම මේ ටික මෙතනට කොපි කරලා දැම්මේ අපේ සහෘදයක් කීප දෙනෙක්ම ඉන්නවනෙ මූණු පොතේ නැති..ඒ අයට දැන ගන්නයි..

ආදරණිය බ්ලොග් සහෘදයන් එකට එකතුවෙන තවත් දවසක් ඔන්න ආයෙමත් ඇවිත්.. කාලෙකට පස්සෙ ආයෙමත් ගෙට්ටුවක් පවත්වන්න සියලුම කටයුතු මේ වන විටත් ලහි ලහියේ සූදානම් වෙනවා.. මෙවර බ්ලොග් ගෙට්ටුව අනික් හැම පාරකටම වඩා ලොකු විශේෂත්වයක් තියනවා. ඒ තමයි මෙවර තියෙන්නෙ Beach Party එකක්.. බ්ලොග් කරුවන් අතර සහෝදරත්වය , එකමුතුකම වර්ධනය කරන්න , මිත්‍රත්වය අලුත් කරගන්න , නොදුටු මිතුරන් මුණ ගැහෙන්න මේ සාදය හරි අපූරු තෝතැන්නක් වනවාට කිසිම සැකයක් නෑ.. ඉතින් ලංකාව පුරා විසිරි ඉන්න බ්ලොග් අවකාශයේ මිතුරන් විතරක් නෙමෙයි ලොකය පුරාම බ්ලොග් අවකාශය වටා එකතුවෙලා සිටින ආදරණිය ශ්‍රී ලාංකීය මිතුරන් හැමෝම එදාට එකතුවෙනවා..

*දිනය - 2013.12.21 වෙනි සෙනසුරාදා
*ස්ථානය - ගල්කිස්ස ජෝ ජෝ'ස් ප්ලේස් ( Jo Jo's Place in Mount Lavinia )
*වෙලාව - උදෑසන 10.00 සිට හවස 4.00

*ජෝ ජෝ'ස් ප්ලේස් වෙත පිවිසිම සඳහා ගමන් මාර්ගය සිතියම සහිතව බලා ගැනීමට පහත සබැදිය(link) භාවිතා කරන්න
http://goo.gl/maps/MdRGp

වෙරල ක්‍රිඩා සහ විනෝදාත්මක අංග රැසක් සමඟින් විනෝද වෙන්න , සතුටු සමීචියෙ යෙදෙන්න එදාට බ්ලොග් ලියන , කියවන අපි හැමොම එකතුවෙන්න දැන්ම ඉදලම සූදානම් වෙමු..

*දුර බැහැර අපේ හිතවතුන්ට හවස 4ට නික්ම යා හැකි අතර එදින මුළු රාත්‍රිය පුරා අපිත් එක්ක රැදෙන්නට කැමති හිතවතුන්ට හිතවතියන්ට මුහදු සුලඟ විඳිමින් ගිනිමැලයක් අසබඩ රාත්‍රිය ගත කිරීමේ චමත්කාර අත්දැකීම ලබාගන්නත් පුළුවන්..

*ආහාර පාන සඳහා වන වියදම් , ස්ථානය සඳහා වන වියදම් සහ අනිකුත් වියදම් සලකා බලලා එක් අයකුගේ ප්‍රවේශ පත්‍රයක් සඳහා රු.350ක මීලක් නියමව තිබෙනවා ..

*වැඩි විස්තර දැනගැනිම සඳහා සංවිධායක මණ්ඩලයේ පහත සාමජිකයින් සම්බන්ද කරගන්න

නලීන් දිල් රුක්ෂ - 0777 210 068
දුලිප් සිකුරාජපති - 0777 043 804 / 0717 606 166
රසික නානායක්කාර - 0718 252 735
අසංක සෙනෙවිරත්න - 0779 060 830
මුදියා නොහොත් සමියා - 0714 108 681

මෙන්න මෙතනින් පැමිණීම තහවුරු කරන්න පුළුවන්.
https://docs.google.com/forms/d/1HRVk_3wzPw4GU0LIDtHAc8-a7F2YW4aiAG8uFe-RSfQ/viewform

වැඩි විස්තර සදහා බ්ලොග් අවකාශයේ මිතුරෝ බ්ලොග් අඩවියට පහත සබැදීය ඔස්සේ පිවිසෙන්න

http://cyberfestival.blogspot.com/2013/11/set.html

--------------------------------------------------------

ඔබගේ බ්ලොග් සඳහා විජට් -

<a href='http://cyberfestival.blogspot.com/2013/11/set.html' style='text-decoration:none'><div style="height:290px;width:233px;background:url('http://s22.postimg.org/4lj7oik75/wid.png');font-size:24px;font-family:Tahoma, Geneva, sans-serif;padding:70px 0 0 20px;">
<script language="JavaScript">
TargetDate = "12/21/2013 8:00 AM";
BackColor = "none";
ForeColor = "white";
CountActive = true;
CountStepper = -1;
LeadingZero = true;
DisplayFormat = " %%D%% &nbsp;&nbsp; %%H%% &nbsp;&nbsp; %%M%% &nbsp;&nbsp; %%S%% ";
FinishMessage = "ගෙවී අවසන් ය!";
</script>
<script language="JavaScript" src="http://scripts.hashemian.com/js/countdown.js"></script>
</div></a>



මම මූණු පොතේ මේ සැරේ ගෙනියන්නෙ නෙගටිවෙ ඇඩ්වටයිසින් පාරක්..අද අළුතෙන් ඉන්න පරම්පරාව කරන්නෙම මොනා හරි එපා කිව්වොත් ඒ දේම හින්දා..මම හිතුවා එහෙම වැඩක් කරන්න..

මොකද පහුගිය අවුරුද්දක ගාල්ලෙ තිබ්බ ගෙට්ටුවෙ ෆොටෝ ගොන්න අතරේ සැරි සරන කොට දුටුව සමහර ෆොටෝත් එක්ක මට ආපු අදහස් එක්ක "මඩ" ෆොටෝ ටිකක් හදන්න තමයි මට ඕනි උනේ..
තර්ජන ගර්ජන ගොඩක් ආවත් අපි නම් යන්නෙ නෑ ව්‍යාපාරය නැගලා යනවා..එහෙම ෆන් එකකුත් තියෙන්න එපාය ඉතින්...

හැබැයිමට  මෙදාපාර කැමරාව එලියට ගන්නවත් දෙයිද මන්දා සමහරු නම් ...

එහෙනම් ඉතින් එදාට අපි හමුවෙමු !





Thursday, November 7, 2013

බැල්ලිගේ පාඩම... Lesson for the entire life

මේ හැත්තෑව දශකයේ කෙළවරම බාගයයි..එම දශකය අවසන් වන්නට වසර දෙකක් තිබියදී මම පාසැල් යාම ආරම්භ කළෙමි...සමහර විට මෙම සිදුවීම් වැල වන්නට ඇත්තේ අසූව දශකයේ මුල වන්නටත් පුළුවන...
ගමේ සිටින බලු රංචුව මුළු ගමටම මහත් කරදරයක් වූයේ ඔවුන් කුස්සි වලට පැන එහි ඇති ආහාර දමා තිබූ වලංද පෙරළා ගෙන කන බැවිනි...දුටු දුටු තැන ගල්වලින් , පොලු වලින් ගසා එළවන තරමට ගම්මුන්ට බලු රැළඑපා වී තිබුණි. අපේ නිවසේ වූවද බල්ලෙක් පැමිණ යමක් කා දමා ගිය විටෙක අම්මා විස්සෝප වනවා මම බොහෝ විට අසා දැක තිබුණි. අප නිවසේ සුරතලා වූ ටොමියා විටින් විට තම යහළු බැල්ලන් සමඟ නිවෙසට ආවද අනිත් විටෙක කිසිම බල්ලෙකුට වත්තටවත් පැමිණීමට ඉඩ නොදුන්නේය..


එක් දිනක හවසක..


මා පිට්ටනියට ගොස් යහළුවන් සමඟ එල්ලේ ගසා හොඳ හැටි වෙහෙස වී ගෙදර පැමිණියෙමි. නිවසේ කිසිවකුත් නැත. අම්මා චූටි අක්කා සමඟ නාන්නට ළිඳට ගොස් තිබෙන්නට පුළුවන..තාත්තා තව ටිකකින් හේනෙ සිට හෝ කුඹුරේ සිට ආපසු නිවෙසට පැමිණේ..ලොකු අක්කා පංති ගොස් සිටියද අයියා නම් අනිවාර්යෙන්ම තවමත් කඩයක බංකුවක් මත හිඳ වල්පල් කියවමින් සිටිනු ඇත.. කුස්සියේ දොර අඩවල් වනාකාරයට ඇරී තිබෙනු දුටු මා එදෙසට ගියෙමි.. කොහේදෝ යන නාටු බල්ලෙකු උයා තිබූ ඇතිළියක වූ යමක් පෙරළාගෙන කයි. අම්මාගේ සියලු විස්සෝප, දෝස්මුර මසිතට නැගුණේ..හිසට යක්ෂාවේශයක් ගෙනෙමිනි.. අසල වූ ඉදල් මිට අතට ගත්තෙමි...එළියට දුවගොස් සැඟවීමට ඉඩ නොලැබෙන සේ දොර අවුරා ගෙන ඉදල් මිටෙන් අර බල්ලාගේ කොන්දට තුන හතරක් වැරෙන් දුනිමි..එළියට දිවීමට ඉඩක් නොලද්දේ ඈ කෑ ගසමින් කුස්සිය දෙවනත් කරන්නට වීය..කුස්සියේ දොර සැණෙකින් ඇරිණි..එතුළින් පැමිණියේ තාත්තායි..තවමත් ඔහු අත කුඹුරට ගෙනයන උදැල්ල වීය..සාමාන්‍යෙන් තාත්තා වැඩ කර මහන්සි වී ගෙදරට අඩිය තබන විට අප පුරුදු කර තිබුණේ..එක්කෝ මල් පහන් පූජා කිරීමටය..නැත්නම් පොතක පතක පාඩමක් කිරීමටය..මන්ද එලෙස ගෙදරට පැමිණෙන පියා ඉතා සුළු දෙයකට වුවත් මහත් සේ කුපිත වන බැවිනි..තවමත් මා අත ඉදල් මිට තිබේ. තාත්තා කුස්සියේ වූ කෙඳිරි ගාමින් වැතිර සිටින බැල්ල දෙස බැලුවේය. මා දෙස බලා බිම පෙරළා තිබුණු වෑංජන හට්ටිය දෙසද බැලුවේය..ඔහු සිදු වූ දෙය මනාව වටහා ගන්නට ඇත. එක් අතකින් කුස්සියේ දොර වැසුවේ බැල්ලට කිසිම ලෙසකින් එළියට බැසීමට නොහැකි වන අයුරිනි. තමා අත වූ උදැල්ල එක්වරම ඔසවා ගත් හේ..මා දෙස බැලීය..මම ඉවත බලා ගතිමි..





ඔහු මා අතවූ ඉදල් මිට මා අතින් ඩැහැගත්තේය. එක අතකින් උදැල්ලද ගෙන..ඔහු බැල්ල වෙත ලං වූයේ..අසරණ බැල්ල මරහඬ දුන්නේත් ඔහු තම අත වූ ඉදල් මිට තදින් අල්ලා ගනිමින් මා වෙතට හැරුණේත් එක් වරමය.. 


උදැල්ල පසෙක තැබූ ඔහු මගේ අත් බාහුවෙන් තරයේ අල්ලා ගත්තේය..ඔහු වෙතින් මා මදක් ඈත් කර ඉදල් මිට ගෙන බත්කෙණ්ඩිය, කකුල් හා කොන්ද අතරට පහර කීපයක් එල්ල කළේ තම අත සියලු වීරිය ගෙනය..කොන්ද සහ කකුල් දෙක වේදනාවෙන් ඉපිලෙද්දී..මා විස්මයෙක් හඬ නගා හැඬුවෙමි..

හඬන්නට හඬන්නට තවත් පහර කීපයක් එල්ල කර..ඔහු තම හඬ අවදි කළේය..


"රිදෙනවා නේද තොට ? රිදෙනවා නේද ?..කතා කරපිය.. රිදෙනවා නේද ?"


මා ඔව් කියමින් උඩ පනින තෙක් කුස්සියේ වහලේ ගසා තිබූ වේවැලක්ද ගෙන තැලූ ඔහු හති හලන්නට වීය..

.
"අර බල්ලටත් රිදෙන්න ඇත්තෙ ඔහොම තමයි..තේරුණාද ?.."


නැවතත් ඔහු වේවැල ඔසවා ගති.


"තේරුණාද ?"


පුපුරු ගසමින් වේදන ගෙන තැන් අත ගාමින් මම


"ඔව්..ඔව්"


කීවා මතකය...


"මොකෙකුට හරි හිරිහැර කරන්න ඉස්සර හිතපන් උන්ට දැනෙන වේදනාව මොකද්ද කියලා"


පවසමින් ඔහු ඉවතට ගියේත් අම්මා සහ චූටි අක්කා නිවෙසට පැමිණියේත් එකවිටමය. තාත්තාට දිස් තබමින් වූවද අම්මා මාගේ පිට පුරා තිබූ වැයිරම් වලට බෙහෙත් තෙල් ගැල්වූයේත් මට දොස් තබමිනි. 


මගෙන් ඉදල් පහර කෑ බැල්ලට චූටි අක්කා සහ ලොකු අක්කා සාත්තු කළේය. බැල්ලගේ ඇඟේ පෙර කාලයේ සිදු වූ තුවාලයක් මිස අළුත් තුවාල කිසිවක් නම් නොතිබුණි. පසුව ටොමීට අමතරව ඈද නිවසේ සාමාජිකයෙක් වූවාය.

කික්කී යන සුරතල් නාමයෙන් හැඳින්වූ ඈ මිය යන තුරුම අප නිවසේ සිටියද මා දුටු වහාම බියෙන් වලිගය දෙකකුල් අතරේ රුවා ගනිමින් වකුටු වනාකාරය මසිත කම්පනය කරවන්නක්ද වීය..එම සිදුවීම සිදු වී කාලයක් යනතුරු මසිතේ පියා පිළිබඳ නුරුස්නා හැඟීමක්ද මට වඩා කොහෙවත් යන බල්ලෙක් ලොකු උණා යන හැඟීමක්ද රජ කරන්නට වීය..නමුත් දැනුම් තේරුම් යන විට ඔහු එදින් මට උගැන්වූ පාඩම කුමක්ද යන්න අවබෝධ විණි.


සමාජය සංවේදීත්වයෙන් බැහැරව යමින් ඉතා දරුණු ලෙසින් එකෙක් තවකෙක් පීඩා කරන මරා දමන ප්‍රවෘත්ති බොහොමයකට ඇස, කන, සිත යොමුවන කාල වකවානුවක..මා එම ගොඩට නොවැටෙන්නේ මන්ද යන ප්‍රශ්නය මත මසිත නිරුත්තර වේ..


ඔවුන් එවන් කුරිරු අපරාධයන් කරන්නේ කුමන සිතුවිලි දරා ගනිමින්ද ? තමන් අතින් පහර කා වේදනාවෙන් ඉපිලෙන තමන් වැනිම අනෙකා ඇස් ගැටෙන විට ඔහු කෙසේ වියරුවෙන් සිටින්නේද ? ඒ මනෝභාවය නම් කෙසේ වත් සිතා ගත නොහැකිය..


පසුගිය වසර කීපය තුළම සිදුවූ මිනීමැරුම් පිළිබඳ ශ්‍රීලංකා පොලිස් වාර්තා මෙසේ දක්වයි.


වසර        සිදුවූ මිනීමැරුම් සංඛ්‍යාව


2005                     1388
2006                      3251
2007                      2089
2008                      1924
2009                      1096
2010                       756
2011                        767
2012                         675
2013 ජූලි 31 දක්වා    349


මෑත වසර වනවිට නම් සංඛ්‍යාත්මක අතින් මිනීමැරුම් අඩුවන උපනතියක් දැක්වූවද..මිණීමරුම්වල භයානකත්වය, කෲරත්වය අතින් නම් තත්වය භයංකර බව පොලිසිය පවසයි..


ඊයේ පෙරේදා අනුරාධපුරයම හෙල්ලූ එකම පවුලේ පස් දෙනකු මරා දමා තිබූ ආකාරයේ කෘරත්වය ඉතා බිහිසුණුය..වසර ගණනාවක සිටම පවුලේ හිතවතෙකුද වූ මිනීමරුවා බිලි ගත්තේ විටෙක තමන්ගේ ජීවිකාව ගෙනගිය ත්‍රී රෝද රථය පොලිසියෙන් අල්ලාගත් විට ඇප ලබා දීමට පවා ඉදිරිපත් වූ ගෙහිමි මිතුරා ඇතුළු ඔහුගේ පවුල සහ ඥාති න් ද සමඟය.
මත්වතුරෙන් සිහි විකල් කරගෙන කල අපරාධයක් ලෙස මෙය දැක්විය නොහැකි වන්නේ ඔහු කියන ආකාරයට මෙය සිදු කිරීමට ඔහු මත් පැන් අඩුවෙන් බී සැලසුම් කලබව ප්‍රකාශ කෙරෙන බැවිනි...මිනිසුන් මෙතරම් අමානුෂික වන්නේ කෙසේද ? මුදල් වලට ඇති තණ්හාව , ආශාව නිසා යැයි කිව හැකි වූවත්..පස් දෙනෙකු තමන්ගේ කැති පහරට ලක් කරන්නට නම් මොන තරම් දරුණු හිතක් ඔහුට තිබිය යුතුද ?


අප අදටද දොහොත් මුදුන් දී වන්දනා මාන කිරීමට තරමේ උතුම් කාර්යයකට උර දුන් අභීත හමුදා රණවිරුවන් පිරිසක් බිහි කල..හමුදාවෙන් පලා ආවෙකු යැයි කියැවේ..එවන් සිතක් දැරීමට ඔහු හමුදාවෙන් ලද පුහුණුවේ ඉවහල් වීද ?


මෙය විවාදාත්මක කරුණකි..සිත උණුවන්නේ මෙය සිංහල පවුලක ඝාතනයක් නිසා පමණක්ද යන්න ප්‍රශ්න නැගේ..එසේ නම් අතීතය පුරාම ඝාතනය වූ සියලු ම ජාතීන්ට අයත් වූවන්ටද මෙම වේදනාව පොදුය..විවාදාත්මක වූවත්..විවෘත මනසකින් බලන්නේ නම්..මිනිසා තව මිනිසකු වෙත හෙළන කෲරත්වය කෙලෙසකවත් සාධාරණීකරණය කල නොහැකිය..එය මගේ පුද්ගලික මතයයි..එය නිවැරදිම වන්නටත් උවමනා නැත..


අධ්‍යාපනය, සාහිත්‍යය මිනිසාගෙන් ඈත් වීම , ජරා දේශපාලනික පරිචය, විවෘත අර්ථිකය යනාදී බොහෝ සාධක මෙයට අඩු වැඩි වශයෙන් ඉවහල් වන බවක් කියැවේ.


මට තවකෙකුට කෲර වීමට නොහැක්කේ ඇයි ?


නිතැතින්ම මාගේ පියා මා කුඩා කාලයෙදී ඉගැන්වූ ඉහත කී සිද්ධිය මා මනසට නිතැතින්ම නැගේ...මගේ පවුලේ සියල්ලන්ම මට කියා දුන්නේ..තමන්ට විඳින්නට අපහසු තාඩනයක් පීඩනයක් තවකෙකුට ලබා නොදෙන ලෙසයි..විටෙක සිත් රිදවීම් සිදු වූවද මා හට කිසිලෙසකින්වත් කිසිවෙකුට හානියක් කල නොහැක්කේ ඒ නිසයි..


අදටද නිවෙසට පැමිණෙන කැරපොත්තන්ට මෝටීන් ප්‍රහාරයක් එල්ල කර..ටික වෙලාවක් යනතුරු ඒ පළාතටවත් නොපැමිණෙන්නේ මට කැරපොත්තා වේදනාවෙන් දඟලනාකාරය බලා සිටිය නොහැකි නිසාය..


කරදරකාරී මීයකුට වස තබා ඒ කා ඌ මියගිය විට..ඒ දකින මසිතට වේදනාවක් ගෙන එන්නේ..මා කුඩා කල සිටම ලද ආභාසය නිසාය..මා තුළින් අත්දකින ඒ සත්‍යය..බහුතරයකට අදාළ වන බවක් හැඟේ...මාධ්‍යය වලින් පුම්බා එළියට එන ක්‍රීර අපරාධ කීපය..හැරුණු කොට අන් සමාජයම...යම් මානුෂික තත්වයකින් සිටිනු පෙනේ..


නමුත් එක කිරි කළයක් නාස්ති වීම අවශ්‍ය වන්නේ එක ගොම බිඳුවකි.

ප.ලි. - මේ කාරණය සම්බන්ධයෙන්ම මගේ ප්‍රියතම , බොහොම ගරු කරන, නමුත් ඔහුගේ මතවාද සියල්ලම මගේ විචාරයට ලක් කර මිස පිළි නොගන්නා,  විවාදාත්මක කරුණු බොහොමයක් සහිත ලිපි රාශියක් පලවෙන අජිත් පැරකුම් හෙවත් පැරා මහතාගේ අඩවියේ තිබූ ලිපියක් 

http://www.w3lanka.com/2013/11/blog-post_7321.html?spref=fb

Monday, November 4, 2013

හෙණ ගහපන් ගණන් බලපන් ! Past memories about Lightening..

Photo courtesy : http://www.fantasticviewpoint.com/amazing-photos-of-storms-and-lightning/lightening-storm-moon-2/


"ඔය බිල්ලො ගොරවන්නෙ මයෙ පුතා හබුන් නොකා ඉන්න හින්දා..ආ මේ කට කන්ඩකෝ..."

අපේ ආච්චි අම්මා රටේ ලෝකෙ, ස්වභාධර්මෙ සිද්ධ වෙන දේවල් සේරම තමන්ගෙ වාසියට හරවා ගෙන අපි ලව්වා අපි ආස නැති වැඩ කොරවා ගන්න හරිම දස්සයි..


ඒ දවස් වල බය, කුතුහලය, වගේම මහා ලොකු ගෞරවයක් දැනිච්ච සංසිද්ධියක් තමයි අකුණු ගහලා, ගොරවලා වහින එක..වහින එක නම් ඉතින් ගොරවලා අකුණු ගහන්නෙ නැතුවත් සිද්ධ වෙන නිසා ඔය තුනම වෙන කොට අපි පොඩි උන් කාලෙ ඉන්නෙ එක්කො ආච්චිගෙ තුරුලෙ, නැත්නම් අම්මගෙ තුරුලෙ ලිප ළඟ..


ඇස් ගිනි කන වැටිලා යනවත් එක්කම අපි මුලින්ම කරන්නෙ කන් දෙකේ ඇඟිලි ගහ ගන්න එක..කන් දෙකේ ඇඟිලි ගහ ගත්තත් සද්දෙ එච්චරම අඩුවෙන්නෙ නැටි උණත්..ඒක ඉබේම සිද්ධ වෙන දෙයක් උණා..ඇත්තටම කන් දෙකේ හරියට ඇඟිලි ගහ ගත්තොත් මුකුත්ම ඇහෙන්නෙ නෑ බව හැබෑව..අම්මා හරි , තාත්තා හරි, අයියා හරි මම මොනා හරි ලොකු වැරැද්දක් කරාට පස්සෙ ටොක්කක් ඇනලා නැත්නම් වේවැල් කසාය දීලා ඊට පස්සෙ දෙසන දේශනාව පටන් ගත්ත වෙලාවෙ ඉඳන්ම කොහෙ හරි මුල්ලකට වෙලා කන් දෙකේ හොඳට ඇඟිල්ල ගහන් උන්නට...ගොරෝන සද්දෙ අසිරිය අහන්න අපි එහෙම කළේ නෑ..
මුල් කාලෙම මම හිතුවෙ අහසෙ අපිට නොපෙනෙන්න තියේන මහ කළු ගල් පෙරළෙන සද්දෙ තමයි ඒ ඇහෙන්නෙ කියලා..පස්සෙන් පහු ඔව්වයෙ කරුණු කාරණා හරියටම සහසිද්දෙන් දැන ගත්තත්..
ඇයි අකුණු ගහන එකට ගෞරවයක් ඇති උණේ ?


අපේ ගමේ හිටිය ටිකක් නරක වැඩ කරන ආතා කෙනෙක් අපි ගොඩක්ම පොඩි කාලෙ මැරුණෙ අකුණක් ගහලා..


අපේ වැඩිහිටියො කිව්වෙ උන්දෑ කරපු පව් වැඩ හින්දා තමයි එහෙම උණේ කියලා..


ඒත් වෙලා තිබ්බෙ ඒ ආතා හේන ගහ ගහා වහින දවසක උළුවස්ස උඩ ඉඳන් මොකද්ද යකඩ කෑල්ලක් ද මොකද්ද අල්ලා ගෙන ඉඳලා..
පුංචි කාලෙම නරක වැඩ කළොත් හෙණ ගහනවා කියලා බය කරලා තිබ්බ නිසාම අපි හිතන් හිටියා අපි කරන හැම මගෝඩි වැඩක්ම අහස දන්නවා..දවසක අහස තමයි අපිට නිසි දඬුවම දෙන්නෙ කියලා.. ඒ වගේමයි අපේ වැඩිහිටියො තමන්ට වෙන දරා ගන්න බැරි අසාධාරණයක් ඉස්සරහ අහසට අත්දෙක උස්සලා ,


"ඕකුන්ට හෙණ හතම වැඩියන් "

කියලා ශාප කරලා හිත නිවා ගත්තා..ඒත් එහෙම හෙණ හත වැදිච්ච කෙනෙක් ගැන නම් මම අහලා තිබ්බෙම නෑ..


ඔය පොඩි කාලෙ ඇති වෙන බය නැති කරන්න ජීවිත කාලෙම ගියත් බැරි නිසා වෙන්නැති..අදටත් මම නම් අකුණු ගහ ගහ වහින කොට එළියට බහින්න පොඩ්ඩක චකිතයක් තියෙනවා.. ඇයි හත් ඉලව්වේ කොහේ හරි යන අකුණක් මගේ ඔළුවට පාත් උණොත් රට්ටු මොන තරම් නම් කතා නොකියයිද ? අපි බොහොම ලැජ්ජා බයට හදිච්ච කොල්ලො උණත්...කරපු නොකරපු සේරම නොසන්ඩාල වැඩ ගැන කියලා එව්වයෙ ප්‍රතිඵලයක් විදියට තම්යි ඔය නම් හෙනේ වැදුනෙ කියලා කියනවට මෙන්න කැට..


මගේ ජීවිත කාලෙටම එකම එක වතාවක විතරයි අකුණක් ළඟින්ම වැදුණේ..


අපේ ඔය රුචා ගේ ලංකාගමනයක් වෙච්ච එක අවස්ථාවක..ගෙට් එකේ ඉඳලා කෙළින්ම ඔය සෙට් එකේ කීප දෙනෙක් අපේ ගෙදර එන්න කතා උණා..මමත් බොහොම සතුටින් පිලි ගත්තා මොකද හරියටම එදා රෑ අපේ ගේ ඉස්සරහා තිබුණු දේවාල භූමියෙ ගම්මඩුවක් තිබ්බ නිසා..


මම ඉක්මන්ට ගෙදර ඇවිත් පොඩ්ඩක් ගේ අස් පස් කරලා එහෙම ලැපා ළඟ වාඩි උණා..අහස කළුවර කරලා ගොරවා ගොරවා වහින්න ගත්තත් එච්චර අකුණු ගැහිල්ලක් නැති නිසා මම ඒක එච්චර තැකුවෙ නෑ..
දේවාල භූමියෙ ගම්මඩුවට අවශ්‍ය මූලික යාතිකා කීම පටන් අරගෙන තිබ්බා..


එක පාරටම මගේ ඇස් නිලංකාර කරගෙන යන තරමේ එළියක් වැටුණත් එක්කම..කණ අගුල් වැටෙන තරමේ සද්දයකින් මුළු පරිසරයම දෙදරන්න ගත්තා..මම මවුස් අල්ලගෙන හිටි අත දිගේ කරන්ට් එක මුළු ඇඟ දිගේම යනවා දැනුණා එක්කම මගේ මුළු ඇඟම හිරි වැටුණා..නැගිටින්න හැදුවත් වාරු නැතුව පුටුවත් පෙරළා ගෙන මාව බිමටම වැටුණා..


ඒ ක්ෂණයකින් මගේ හිතට දැනුණා අකුණක් වැදුණා තමයි කියලා..මම කළුවරේන දුවගෙන ගිහින් පැන්නා ඇඬ උඩට කකුල් දෙකත් ඇඬ උඩට ගත්තා..එහෙමම විනාඩි කීපයක් ඉන්න ඇති..හැම තැනම ලයිට් ගිහින් ඒත් ලැපාගේ එළියෙන් මගේ සාලෙ විතරක් අඳුර මැකුණා..


ඊළඟ අකුණ ගහන්න ඉස්සර ලැපාව ඕෆ් කරලා..වාසනාව කියන්නෙ ලැපාඨ මුකුත් උණේ නෑ..ඒත් මීයා නම් මැරිලා..තිබ්බෙ..


නිවිලා ගිය ට්‍රිප් සුවිචය දාපු ගමන් ආයි ලයිට් නම් හරි..එතකොටත් ගම්මඩුවෙ හිටිය කට්ටිය තුෂ්ණිම්භූත වෙලා..එහෙ මෙහෙ දුවනවා..ඒ එක්කම වැස්ස දෙන්න ගත්තා හිටගෙන පුක හෝදන්න පුළුවන් සයිස් එකට..


පස්සෙයි දන්නෙ..අකුණ ගහලා තියෙන්නෙ ගම්මඩුවට ගෙනාපු විදුලි උත්පාදක යන්ත්‍රය හෙවත් ජෙනියට..ඒක අටවලා තියෙන්නෙ පොල් ගහක් යට..පොල් ගහ ආකහෙන් භාගයක් උසයි..


ඉතින් අකුණු නොඇද තියේයැ ?


ජෙනිය නම් සොරි වෙලා තිබ්බා..ටික වෙලාවක් යනකොට අපේ සෙට් එකත් නාගෙනම ආවා අපේ ගෙදර..


හැබැයි ඉතින් තියෙන තියෙන විදියකට කාලා බීලා ගම්මඩුවත් ටික වෙලාවක් බලලා මහ රෑ ජාමෙ ඒ ගොල්ලො පිටත් උණා..


පහු වෙනිදයි අකුණෙන් වෙච්ච හානිය ගැන දැන ගත්තෙ..ගොඩක් ගෙවල් වල විදුලි බුබුළු එහෙම පිච්චිලා ගිහින් තිබුණා..ගම් වල මිනිස්සුත් දන්නෙ නැද්ද ඉතින් කියන කතා නිසා වෙන්න ඇති...සාමාන්‍යෙන් ගම්මඩුව සලකන්නෙ ගමටම ශාන්තියක් ගෙනදෙන ශාන්තිකර්මයක් විදියට්..ඒකට හෙණයක් ගැහුවා කීවම..දන්නෙ නැද්ද..


ඒ අවුරුද්දෙ ඒ නිසාම ඒ ගම්මඩුව පැවැත්තුනෙත් නෑ..


මේ දවස් වලත් ඉතින් එක ඕසෙට හවසාට හවසට අකුණු ගහන නිසාවෙන් මේ සිද්ධිය මතක් උණත් මගේ හිතේ රැඳිලා තියෙන්නෙ අකුණු , හෙණ ගැන මෙන්න මේ වගේ අදහසක් තමයි..මේ අදහස මුලින්ම මම ගත්තෙ ඔය රීඩර්ස් ඩයිජස්ට් සඟරාවෙන් තමයි..


ඔළුවට හෙණ හත වැදුණත් ඉතුරු වෙලා තියෙනවා නම් දත් ටික..හිනා වෙන්න තියෙන්නෙ උඩ පැන පැන...


කොහොමද ධනාත්මක චින්තනය මේක ඇතුළෙ තියෙන..
ඒත් තාම එකක් වත් ඔළුවට වැදිලා නැති නිසා ඔන්න ඔහෙ ඉන්න විදියටම ඉන්නවා..


මේ අනිච්චං ලෝකෙ ඉතින් ආයි අද හෙට කියලද දන්නෙ නෑ හෙණයක් වදින්නෙ...දැන් ඉතින් කමක් නෑ ඒ ගැන ලියලා තියෙන හින්දා..
පත්තරේ වැටෙයි.


"තමන්ගේ මරණය කලින් දුටු අනාගත වක්තෘ"


කියලා.. ඒත් මදෑ !