ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, December 30, 2011

2011 අවුරුද්දෙ දමන්න බැරි වෙච්ච දෙක

(01) - සාමාන්‍යයෙන් අපි ඔෆිස් වල ඉඳන් නිවඩු දමන කොට ඒකට හේතු ඉදිරිපත් කරන්න ඕනි. බහුතරයක් අය ඉල්ලන නිවාඩුවල තියෙන හේතු වලින් එකක් තමයි ආච්චි මළා ඒ නිසා නිවාඩු දෙන්න කියලා. ඒක හරි සාධාරණ හේතුවක් වුණත්..එහෙම කියලා දෙසැරයක් නිවාඩු ගන්න පුළුවන්. අම්මගෙ අම්මයි, තාත්තගෙ අම්මයි මිය ගියහම. සමහරු ඔය හේතුව කියලා නිවාඩු ගන්න වාර ගණන බැලුවහම හ්ම්ම්ම් අනේ මන්දා ඇත්තටම ආච්චිගෙ මල ගෙදර යන්නමද මෙහෙම නිවාඩු ඉල්ලන්නෙ කියන එක ගැන සැකයකුත් පහළ වෙන එක සාධාරණයි.


ඉතින් ඔහොම කපටි කම් වලින් රවටලා ආයතන වලින් නිවාඩු ගන්න අය අතරෙ අපේ ගම් පළාතට විවාහ වෙලා ආපු කපටිම කපටියෙක් එක සැරයක් තමන්ගෙ අම්මා මළා කියලා ගමෙන්ම සල්ලි එකතු කරගෙන තිබුණා මතකයි අපි පැටි අවධියෙදි. එහෙව් මිනිස්සුත් ඉන්න අපේ සමාජෙ කවුරු හරි "අනේ සර් මගේ ආච්චි බඳිනවා හෙට නිවඩු දෙන්න" කියලා ඉල්ලුවොත් ප්‍රතිචාරය කොහොම වෙයි කියලද හිතන්නෙ ?


අපෙ පියාගෙ නංගි ඒ කාලෙ බොහෝම අතීතයෙ විවාහ වෙලා තිබුණෙ අවුරුදු 13ක් වගේ වයසෙදි. ඒ කාලෙ අද වගේ නීති නොතිබෙන්න ඇති. විවාහය කියන්නෙ නීතියෙන් වෙන බැඳීමක් මත් නොවෙන කාලයක... ඔය වෙනකොට අපේ පියා බැඳලා නෑ..නංගියි මස්සිනායි එයාගෙ දරුවො පස් දෙනාවත් බලා කියා ගෙන ඉඳලා තියෙන්නෙ. පියාගෙ වයස අවුරුදු 35ක් විතර වෙනකොට නංගිගෙ බාලම දරුවාටත් වයස 15ක් විතර වෙන්න ඇති. ඊටත් පස්සෙ අපේ තාත්තා බැඳලා තියෙන්නෙ. එතකොට අපේ පවුලෙ බාලයා වෙච්ච මම සහ අපේ නැන්දගෙ ළමයි අතර වයස පරතරය සෑහෙන වැඩියි. බාලම ඥාති අයියා මට වඩා අවුරුදු 25ක් වැඩිමහල්. මම සීයා කෙනෙක් වුණේ මන් සා.පෙළ කරන කාලෙදිමයි. නැන්ඳගෙ පවුලෙ වැඩිමල්ම අයියාගෙ දුව - මම එයාගෙ බාප්පා- ගේ ළමයා හම්බ වුණේ මන් ස.පෙළ කරපු කාලෙ .මගේ චූටි අක්කා බඳින කොටම ඒ ඥාතිත්වයෙන් ආච්චි කෙනෙක් වෙලා ඉවරයි. බලන්නකො ඒකෙත් හැටි... 


ඕන්න ඔය වගේ ඥාති සම්බන්ධයක් තියෙන කෙනෙක් තමයි මන් අර උඩින් කිව්ව විදියට 


"අනේ සර් මගේ ආච්චි බඳිනවා ඒ වෙඩින් එකට යන්න නිවාඩු දෙන්න " 


කියලා ඉල්ලලා තිබ්බෙ. ඇත්තම කිව්ව එකේ ප්‍රතිඵලය වුණේ නිවාඩු ගන්න බැරි වුණ එක තමයි. අපි මේ කතාව අහලා හොඳටම හිනා වුණාට... මට නම් ඇත්තටම මේ සිද්ධිය අමුතු දෙයක් වුණේ නැහැ..අපේ ඥාතින් නිසා. 
--------------------------------------------------------------------------------


(02) - මහා පරිමාණ නෙවෙයි , සුළු පරිමාණ හොරු දෙන්නෙක් මෙන්න මෙහෙම කතා වෙනවා එක දවසක,


 "මොකද බන් ඔය ඔළුව තුවාල කරගෙන බැන්ඩේජ් කර ගෙන ඉන්නෙ ? මාට්ටු වුනාවත්ද රොබරියක් ?"


 "අර එහා ගමේ හැමදාම වගේ වහලා තියෙන ලොකු ගේ මතකද උඹට ? මන් ඊයෙ ඒක කඩන්න ගියා."


" යකෝ පාළු ගෙයක් උණත් ගෙට රිංගන්න ඉස්සර මුට්ටියක් දමල බලන්න එපාය."


 "දැම්මා බන් මුට්ටියක්..දමපු ගමන්ම  ඒක කුඩු කළා.."


 "පාළු ගෙයක් නම්කවුද බන් ඒක කුඩු කළේ ?"


" ඒක බලන්න කියලා තමයි ඔළුව දැම්මෙ !"
----------------------------------------------------------------------------------
ඉතින් ඕන්න 2011 පුරාවටම මමත් එක්ක හිටි හැමෝටම මගේ හෘදයාංගම ස්තූතිය !

ආයි හම්බ වෙමු 2012 නව වසරෙදිම !

Sunday, December 25, 2011

හාල් පොත වගේ ඔච්චරම තමයි...

ඔය හාල් පොත වගේ ඔච්චරම තමයි තීයෙන්නෙ කියන වදන් පෙළ අපි ඒ කාලෙ භවිතා කළේ මොනව හරි එකම එකක් තියෙන වෙලාවටයි. 70 දශකයේදි හාල් පොත ඒ වගේ එක් කෙනෙකුට එහෙම නැත්නම් එක පවුලකට තිබුණු එකම දෙයක් වුණා. හාල් සහ ආහාර හිඟ ඒ කාලෙ මේකියන කාඩ් එකට තමයි සමූපකාරයෙන් ඒ ද්‍රව්‍ය ලබා දුන්නෙ.


මන් කියන්න යන්නෙ නම් හාල් පොත ගැන නෙවෙයි. ඒ වගේ මටත් තියෙන එකම එක දෙයක් ගැනයි. මගේ කවි සහ නිසදැස් ලියන්න තියෙන හැකියාව බින්දුවයි. ඒ නිසාමදෝ කොහෙද පත්තරයක, පොතක, සඟරාවක දැන් නම් සයිබර් අවකාශයේ තියෙන කවි හෝ නිසදැස් දැක්ක ගමන්ම කියවනවා. කියවලා රස විඳලා එහෙම මට ලියන්න බැරි එක ගැන පොඩ්ඩක් දුක් වෙලා අත ඇරලා දමනවා. ඒ වුණාට එක දවසක මම එක සිද්ධියක් ගැන එකම එක නිසදැසක් ලිව්වා. ලියලා මගේ දිනපොතේ තියෙන්න ඇරියා කාලයක්ම. 


පහු කාලෙක මූණු පොතේ මම කියවන්න කියල එකතු වුණ රූ කියන ගෲප් එකට මම නිකමට වගේ මේ නිසදැස යැව්වා. නිසදැස ඒකෙ පල වුණත් මතකයෙ හැටියට ප්‍රතිචාර නම් ලැබුණෙ නැද්ද මන්දා. වෙනත් ලස්සන නිර්මාණ කියවනවා හැර මගේ මේ අසාර්ථක නිර්මාණයට මොකද වුණේ කියලා මන් හෙව්වෙ නෑ. පස්සෙදි මගේ ඊ මේල් එකට ලිපි එන්න ගත්තා මගේ මේ නිර්මාණය ඒ අය මුද්‍රණය කරන පොතට අර ගත්තා සහ ඒකට කැමැත්ත ඉල්ලලා. මුලින්ම උනන්දුවක් නොතිබ්බත්..අන්තිම මොහොතේ වගේ මන් ලිපියක් දැම්මා ඒකට කැමැත්ත පල කරලා. 
ඒ නිර්මාණය වුණේ මෙන්න මේකයි.


හැඳින ගැන්ම
නුඹ ළඟින් හිදි
මගේ හදවත ගැහෙන රාවය
මගේ හදවත හඬන රාවය
නො ඇසුණ - නො තෙරුන නුඹ
ගුවන අරා ගිය යාන්ත්‍රික හදවත
" ආන්න එම්.අයි. 24 ක් "
හඳුන ගත් අපූරුව !


මේ පද වැල ඇත්තටම "මුතු අහුර" කවි පොතේ පල වුණා. ඒක එළි දැක්වීමේ උළෙල තිබ්බෙ බණඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක් මැදුරෙදි පහුගිය සැප්තැම්බර් හරියටම අර පොත් ප්‍රදර්ශනය තියෙන කාලයේමයි.සතුටක් දැනුණා මොකද තමන්ට හාල් පොත වගේ තියෙන එකම නිසදැස ට එහෙම තැනක් ලැබෙන කොට.


පසු කාලයේ අපේ ඔෆිස් එකෙන් "ස" ප්‍රසංගය වෙනුවෙන් කරපු සමරු කලාපයට නිර්මාණය් ඉල්ලන වෙලාවෙදිත් මට දෙන්න එකක් තිබුණෙ නෑ..ඕන්න ඔහෙ තියෙන් එකම දීලා දැම්මා. ඔය තියෙන්නෙ අපෙ අයිටී එකේ ජනා මල්ලි ඒකට එකතු කරපු පින්තූරෙත් එක්කම.






මට කොහොමවත් බැරි දෙයක් තමයි කවි සහ නිසදැස් ලියන එක. පොඩිපහේ
කතන්දරයක් ගැට ගහ ගන්න පුළුවන් වුණාට කවියක පද හතරක් ගැට ගහ ගන්න ..ම්හ්..
ඉතින් ලබන අවුරුද්දෙවත් උත්සාහයක් දරලා බලන්න ඕනි මේ වෙනකන් බැරිවෙච්ච කවි සහ නිසදැස් ටිකක් පද බදින්න. ඒ වලදි නොසෑහෙන්න උපමා උපමේය ඕනි වෙයි සහ මන් අතින් ලියවෙයි මේ වගේ එව්වත්,


මහ ගල් තලාවක් මත
පැලි ඉරක් මත
කුඩා  බෝ පැලයකි 
මගේ ආලය
මල් පල දරනු සැකයකි..


හික්ස්... බොන්න වෙන වැඩක් තමයි කවි නිසදැස් ලියන එක නම් ! 

Thursday, December 22, 2011

බිත්තියේ හැප්පුණෙ තොප්පිය විතරද ?

මේ දවස් වල උදේ පාන්දරම සීතල වැඩි නිසාමත් පින්න , හිරිකිඩ නිසාමත් සෙම එන්න බලනවා වැඩී.. කාලෙකින් පාවිච්චි කොකරපු තොප්පිය අරන් බැලින්නම් හුටා..ඒක මීයො කපලා.. හපොයි මීයන්ට කපන්න වෙන දෙයක් තිබ්බෙම නැද්ද මන්දා.. දැන් ඉතින් අළුත් තොප්පියක් සල්ලි දීලා ගන්න ඕනි හෙට.. ලාබෙට ගන්න පුළුවන් වෙයි මේ දවස් වල තියෙන පඳුරකට පයින් ගැහුවත් දෙක තුනක්ම තියෙන අළුත් අවුරුදු වෙළඳ ප්‍රදර්ශනයකින්..


ඒ එක්කම මගේ මතකය ඇදී ගියේ මන් පොඩි කාලෙ ඉඳන්ම තොප්පි වලට කොයි තරම් නම් ආසද කියන සිතුවිල්ල වෙතටයි.. අනිත් කොල්ලන්ගෙ වගෙ මගේ  කෙස් වැවිලා නොතිබ්බ නිසා වෙන්න ඇති මන් මතක ඇති කාලෙක ඉඳලම තොප්පියක් දමා ගෙනමයි හිටියෙ. කෙස් වැවෙන්නෙ නැත්තෙ මන් කොළ ජාති මුකුණ වැන්න, ගොටුකොළ කතුරු මුරුංගා , පැෂන් , වැල්පෙනෙල වගේ එව්ව කන්න හොර නිසායි කියලයි මගෙ වැඩිහිටියො කියලා තිබ්බෙ. 


කොහොමින් කොහොමින් හරි මම ඒ කාලෙ පැය විසි හතරෙම වාගේ තොප්පිය දමා ගෙනම ඉන්න පුරුදු වුණා කියලා මතකයි.රෑට නිදියා ගන්න කොටත් තොප්පිය දමා ගෙන තමයි නිදියෑවෙ..ඒත් උදේ වෙනකොට තොප්පිය ඔළුවෙ තිබ්බෙ නෑ කියලත් මතකයි. පොඩිම කාලෙ මන් ආසම තොප්පිය තමයි අම්මා පොළෙන් ගෙනත් දීපු රෝස පාට තොප්පිය..ඒකෙ මුදුනෙ රතු පාට රවුන් බෝලයක් වගේ එකකුත් තිබුණා.. ඒත් ඒක ඉක්මනටම පාට වෙනස්වෙන කොට..ටිකක් තද පාට ඒවා තමයි පාවිච්චි කරන්න උණේ. 


"උඹේ ඔය තොප්පිය හැම වෙලාවෙම දමා ගෙන ඉන්නෙ.. දවසක ඕක මසලනවා ඔළුවටම"


කියලා හැමෝම කීවත් අද වෙනකම්ම ඒක වුණේ නෑ.






එක දවසක හවසක මන් කලබලේට කාමරේට දුව ගෙන එනකොට ඒ දවස් වල ඉස්කෝලෙ අත් වැඩට හද හදා හිටිය කඹය බිම තිබිලා ඒකෙ පැටලිලා මාව ඇද ගෙන වැටුණෙ ළඟම තිබුණු පිත්තල පහනකුත් පෙරලගෙන මයි. 


"මොකද්ද ඒ පෙරළෙන සද්දෙ ? " 


අම්මා කුස්සියේ ඉඳන්ම


"මුකුත් නෑ අම්මේ මේ මගේ තොප්පිය බිමට වැටුණා"


"ඔච්චර සද්දෙට ඔය පිත්තල පහනත් පෙරළුනෙ තොප්පිය වැටිලද ? බොරු කියන්න එපා මන් ආවොත් අනිනවා හිල් වෙන්න ඔළුව"


"ඉතින් තොප්පිය තමයි වැටුණෙ..මන් බොරු කීවේ නෑ.තොප්පිය වැටෙන වෙලාවෙ මන් ඒක දමා ගෙනනෙ හිටියෙ අම්මෙ "


මන් ඔළුව හිල් කර ගන්නෙ නැතුව බේරුණා.


ඒ දවස් වල අපිට තිබුණ එක ලෙඩක් තමයි තල්ලු කරන එක. ඒ කියන්නෙ තව යාළුවෙක් කොහෙ හරි හිටියොත් විශේෂයෙන් මඩ වළක් ළඟ, ගල් වැටක් උඩ , කාණුවක් ළඟ.... අත පය පොපියනවා මූව තල්ලු කරපං තල්ලු කරපං කියලා..ඒක හෙණ ඩේන්ජරස් වුණත් තල්ලු කරපු එකා වැටිලා ඉන්න කොට කට්ටිය එක්ක හිනා වෙන එක තරම් තරම් තවත් ජොලියක් තිබ්බෙ නෑ. අපිව තල්ලු කළහම අනිත් උන් හිනා වෙන එක ගැන තරම් කේන්තියක් තිබ්බෙත් නෑ..ඔය සෙල්ලම ඔහොමම යනකොට දවසක අපි හවසක ක්‍රිකට් ගහන්න ගියා.. රෑ කළුවර වැටෙන්න ඕන්න මෙන්න තියෙන කොට ආපහු ගෙදර එන්න ලෑස්ති වෙලා..දැන් කට්ටියම ඉස්කෝලෙ පිට්ටනියෙ අයිනකට වෙලා ඇඳුම් වල ඇලිලා තියෙන තුත්තිරි ගලවනවා.. මම නැවිලා තුත්තිරි ගලවන්න හදන කොටම එකෙක් මාව තල්ලු කළා..ශරීරය සමතුලිත කරගන්න ඉස්සරහට තිබ්බ කකුල හිටියෙ ඉස්සරහ තිබුණු කානුවෙ..මාව ගිහින් දඩෝන් ගාලා හැප්පුනෙ නැද්ද එතන තිබ්බ බිත්තියක. නළලෙන් තරු විසි වෙනවා..එක ඇහැකින් කඳුළු වැක්කෙරෙනවා.. මගේ කෑ ගැහිල්ලට කට්ටියම තක්බීර් වෙලා මගේ නළල බිත්තියේ වදින කොට දමා ගෙන හිටිය තොප්පියෙ තිබ්බ බොත්තම් ගැජට් එකක් ඇහේ ඇනිලා..සති දෙකක් විතර යනකන් අර මුහුදු මංකොල්ලකාරයෙක් වගේඑක ඇහැක් වහ ගෙන පැලැස්තර දමා ගෙනයි හිටියෙ .. 
ඕක දකින දකින සැරයක් ගානේ ඉස්කෝලෙ ලොකු පංතිවල අයියලා මගෙන් අහන්න ගත්තෙ ,


"බිත්තියේ හැප්පුණෙ තොප්පිය විතරද ?"


 කියලා තාලෙකට.. අයියා නම් කියලා දුන්න තව හැප්පිච්ච එකක් ගැන උන්ට උත්තර දෙන්ටයි කියලා..ඒත් මන් පොඩි එකා නිසා ඔය නොදන්න දේවල් කියන්න ගියේ නම් නෑ. 


තොප්පි වෙලෙන්දාගෙ කතාව නොදන්න කෙනෙක් නැති නිසා මන් ඒ කතාව නම් මෙතන මතක් කරන්න යන්නෙ නෑ..ඒත් ඔය තොප්පි වෙලෙන්දාගෙ මුණුපුරෙකුත් ඔය ජොබ් එක තෝරා ගත්ත නිසා තොප්පි මුදලාලි ඔය කතාව කියලා එයා වඳුරන්ට දමාපු ට්‍රික් එකත් කියලා දුන්නලු..හදිසියකට වගේ ඕනි වෙයි කියලා.. ඔය මුණුපුරා අහම්බයෙන් වගේම ඒ සීන් එක වෙච්ච පොට් එකටම එන්ටර් වෙලා තමන්ගෙ සීයට වගේම නින්ද ගියාලු. වඳුරො සෙට් එකත් ලෙසටම වැඩේ කරලා තොප්පි ටික දමා ගෙන ගස් උඩලු. ඇහැරිලා බලපු මුණුපුරාට එතකොටලු තේරුණෙ සීයාගේ වික්‍රමය ! මෙයාත් තමන් දමා ගෙන හිටපු තොප්පිය බිමට දමලා ගැහැව්වලු.. ගහක පහළම අත්තක හිටපු වඳුරෙක් ටුක් ගාලා ඇවිත් අර මුණුපුරා දමලා ගහපු තොප්පියත් අහුලා ගෙන ඒක ඔළුවෙ දමා ගෙන යන ගමන් කියනවලු,


 "හුහ්, මිනිස්සුන්ට විතරයැ සීයලා ඉන්නෙ ?" කියලා.


ඔය මහ රැජින ලන්කාවට ආපු කාලෙ කෙල්ල වෙලා හිටිය අපේ ආච්චි ලාටත් රැජින ගේ ඉස්ටැයිල් ඔළුවට ගහලා තිබුණා නොව.. ආච්චි ඒ හින්දා අඳින්නෙම අර රැජින වගේ ගවුම්.. තොප්පියකුත් දමාන තමයි ගමේ එහෙ මෙහෙ හක්කලන් කොරේ. කොච්චර වයසට ගියත් ඔය ගවුම් අඳින පුරුද්දයි තොප්පි දමන එකයි නම් නැති වුණේම නෑ. අපි එක දවසක සරුංගල අරිනවා..කන්දක් උඩ..ආච්චිත් ආවා අපේ තනියට වගේම..අපේ ආරක්ෂාවටත් එක්කම. ගවුමක් ඇඳලා..තොප්පියක් එහෙම දමා ගෙන බලන්න එපාය උජාරුව උන්දැගෙ.. 


මහා හුළඟක් එන කොට අපි ෆුල් ට්‍රයි එක සරුංගල් ටික උඩට නග්ගා ගන්න. පහළ පාරේ යන සීමන් ආතා ආච්චිව දැකලා නැවතිලා කියනවා මෙහෙම,


"ඈ බන් සොපියො උඹට ලැජ්ජා නැද්ද ඔය හුළඟට උඩ යන ගවුම අල්ලා ගන්නෙ නැතුව තොප්පිය දෑතින්ම බදා ගෙන ඉන්නෙ ?"


"මගෙන් මුකුත් අහ ගන්න එපා සීමන් ඔය අවුරුදු හැට හැත්තෑවක් වෙන එව්වා වගේද මන් ගිය සුමානෙ පොළෙන් ගත්ත මේ අලුත්ම තොප්පිය? උඹ නම් කියයි ඉතින් ඔතන ඉඳන්"
 කියලා.


හෙටම යන්න ඕනි අළුත්ම තාලෙ තොප්පියක් ගන්න අළුත් අවුරුදු සේල් එකකට !

Friday, December 16, 2011

පුතා

"ආන්න අර කසිප්පු ලියන්නා එනවා අදත් කරටි කැඩෙන්න ගහලා.. කුසුමා කුසුමා.. ඔය ළමයි ටික අරන් යන්න ගෙට..මේ පාහරයා ගමේ ඉන්න කං අපිට අපේ ළමයෙක්වත් හදා ගන්න බෑ..යන් යන් ඔය ළමයි ටිකත් අරං මේ ජන්ජාලෙ ඉවර වෙනකන් ළමයිව එහෙම එවන්න එපා පැත්ත පළාතට.."


හුහ් අර දුවන්නෙ කුසුමා ළමයි බමයි ටිකත් අරන් ගේ අස්සට..


"ආ පාල මල්ලී.. මට ඇඋණා උඹ කීව දේ.. ඇයි යකෝ තොගෙ ළමයි හදා ගන්න බැරි මන් හින්දා.. මන් ඉන්නවද තොගෙ හරහට !!@@%%$^ වෙලාවට..ඇයි යකෝ මන් බොන්නෙ මගෙ සල්ලි වලට.. මන් දවස තිස්සෙ වැඩ කරලා හම්බ කරන සල්ලි වලින් තමයි හවහට මන් බොන්නෙ.. තොපිට මොකද?"


"එහෙම නෙවෙයිනෙ අයියෙ අයියා ඔහොම කුණුහරුප කිය කියා සරමත් කරට අර ගෙන පාරෙ යනකොට කොහොමද අපේ ලමෙක්වත් හැදෙන්නෙ...උනුත් නරක් වෙනවනෙ.."


"ඔව් මන් කුණුහරුප කියන්න නරකයි.. තොපිලට කුණුහරුප කරන්න හොඳයි..අනේ !#$%^ ..මන් මගේ සරම උස්සගෙන යන්නෙ මට ඕනි ගානට යකෝ.. උම්බට මොකටද එව්වා ?"


"පාල එන්ඩ මෙහෙ ගෙට ඔය පිස්සො එක්ක කතා කරන්නෙ නැතුව.."


'ඔව් අපි පිස්සො.. තොපි උගත් බුද්ධිමත්තුනෙ.. පාර අල්ලගෙන වැට ගහ ගෙන ඉන්නෙ.. මෙව්වට ගහන්නෙ..මෙන්න මෙහෙම පයින්.. මෙහෙම.. හුහ්.."


"හු  හු   හූ වැටුණා නේද අපේ වැටට පයින් ගහන්න ගිහින්.."


"ලොකු පුතේ කට වහගෙන යනවා ගෙට..මේ නරි නාටක බලන්නෙ නැතුව.. දානවා හයියෙන් අර පිරිත් කැසට් එක."


@@#$%%^% වැට වල් ගහගෙන පාර මැද.. කැසට්.. දාන්න.. 
-------------------------------------------------------------------------------
"මේ ඇහුණද .. මේ... කාලා බුදියා ගන්නවා.. දැන් රෑ වෙලා.. කුණු වෙනකන් බීලා බීලා බුදි  වැටිලා හිටියහම හරි යයි.. ආන්න හෙට උදෙන්ම වික්‍රමනායක මහත්තයලාගෙ කක්කුස්සි වල අදින්න එන්න කිව්වා.. සිරිපාල ඇවිත් කියලා ගියේ.."


අහ්ප්...හ්ප්ප්ප්ප්... බැල්ලී.. පල යන්න අහකට.. 
----------------------------------------------------------------------------------
වසර 35කට පමණ එහා අතීතය..මගේ ඔළුව තුල කැරකෙන්නට විය..
"ඇහුණද ලොකු කොල්ලා නම් හැදෙනවා අන්තිමයි.. අර දෙනියෙ ගෙදර සිරිපාල කොලුවත් එක්කමයි.. භජනෙ.. ඉස්කෝලෙ යනවා කියලත් නෑ..හොර ගඩා ගෙඩි කඩා කඩා ගම් මැද්දෑවෙ ඇවිදින එකමයි වැඩේම..


"ඔහෙනෙ ඉතින් ළමයව හුරතල් කරලා නරක් කරලා තියෙන්නෙ..ගමේ ගොඩේ කොල්ලො එක්ක නටන්න ඉඩ දීලා.. වහුකුණු උණාම මට කියන්න එනවා හෙම නෙවෙයි.."


අම්මන්ඩිගේත් තාත්තාගේත්.. කුටු කුටු කතාව මා අසා සිටියේ නිදා ගත් සේ මුත් නින්ද අහලකටවත් නොපැමිණි නිසාය..


"එහෙම නෙවෙයිනෙ ඔහෙත් පොඩ්ඩක් කියලා බලනවකො.. හැදෙන්න හරි නොහැදෙන්න හරි..අපිට තව කොල්ලෙ කියලා එකෙක් ඉන්නවා කියලයැ.. මෙහෙම ගියොත් බාල කෙල්ලො දෙන්නගෙ ඉස්සරහටත් හොඳ නෑ නොවැ.. අර හරමානිස් අයියා  කිව්ව උන්දැගෙ රා කළේ බීලාලු මුන් දෙන්න පහු ගිය දවසක.."


"ඒක තමයි මන් ඕකව ආණ්ඩු මට්ටු කරන්න හැදුවට ඔහේ ඉඩ දෙනවද ? ඒත් නෑනේ.."


"ඔයකලා දෙන්න පහු ගිය දවසක අර එහා කණ්ඩියෙ හේතුවගේ කසිප්පුත් හොරෙන් බීළලු..කොහෙන් ආපු පුරුදුද මන්දා මෙව්වනම්.."


"ක්‍රෑහ්ප්..තුහ්ප්.. මගෙන් නම් නෙවෙයි..ඕකා මගේ ලමෙක් නෙවෙයිනෙ..උඹ පඳුරු ගානෙ රිංගලා.."


"අනේ මගේ කට !"


තාත්තා අම්මාගෙ කට වැසීමට ගැසිය යුතු අන්තිම තුරුම්පුවත් ගැහුවේය.. එය නියමෙට වැඩ කල බැවින්.. මටද නින්ද ගොස්..


"නැගිටපිය..පාහරයා.. තවත් බුදියා  ගෙන පුකට ඉර එළිය වැටෙන කන්.. පල ඉස්කෝලෙ.. ආයි එහෙම ආරංචි උණොත් ඉස්කෝලෙ නොගියා කියලා.. තෝව කෝටු මස් කරලා තමයි පස්ස බලන්නෙ.."


පස්ස පැත්තට වැදුණු පා පහරත් සමඟම මා උඩ විසිවී ඇහැරුණේ මේ ගෝරනාඩුවත් සමඟය. මූණ කට සෝදා ගෙන මොනවාද ගිල දමා.. කලිසම හා කමිසය දවටා ගත් මා.. පාරට බැස්සේ.. 


"ඔහොම හිටු.. ඇත්තද තෝ අර හිඹුටු ගෙදර කෙසෙල් කැනක් කපලා හොරාට විකුණුවා කියන්නෙ.. අර කක්කුස්සි අදින ගෙදර සිරිපාලයත් එක්ක..? මොකද්ද උඹට උන් එක්ක තියෙන පයුරු පාසානම ? මන් ආයි නොකිව්වායි කියන්න එපා.. ඌ එක්ක අරෙහෙ මෙහෙ යනවා අහු උණොත් කඩනවා තොගෙ කකුල් කෙටි දෙක."


"මට කියාලා දෙන්න ඕනි නෑ ඔව්වා.. මන් උඹෙ ලමෙක් නෙවෙයිනෙ.. පඳුරු ගානෙ...."


"මොකද්ද කිව්වෙ පාහරයා ?"


කන ළඟින් හමා ගිය උළු කැට කැබැල්ලත් සමඟම මා දිව ගියේ..
එම තුරුම්පුවත් සමඟම තාත්තා මාගේ මුහුණවත් නොබැලුවේය.. හරියටම දින හතකට පසුව.. හන්දියේ කනත්ත ළඟ යකා ගැසූ තාත්තාගේ මල මිනිය හමුවූයේ අන්දර සීයාටය.. ඇස්, කන් සහ කටින් ගලා ගිය ලේ පාර වල් නිසා තාත්තාගෙ මුහුණ යකෙකුගේ මුහුණ මෙන් බියකරු ස්වරූපයක් ගෙන දුන්නේය.


"මොන යකෙක් ගහලද පැසර්ද මොකද්ද වැඩි වෙලා නහර පුපුරලලු අක්කෙ මැරීලා තියෙන්නෙ !"


----------------------------------------------------------------------------------


"මේ ඔහේ නැගිටලා කනවද නැද්ද ? මටයි කොල්ලටයි නිදා ගන්න ?"


"@@#$%%^ තොපිලා නිදා ගනියවු.. කෝ දීපිය එක්කො කන්න තොගෙ බඩ කඩිත්තුව.."


"ඔය තියෙන්නෙ බෙදලා මේසෙ උඩ"


"තුහ්ප්.. ඇසිලියාගෙ කසිප්පු කිසි වැඩක් නෑ දැන්.. වතුර කලවන් කරලා..ගාන නම් එකයි .. ඒත් දැනෙන්නෙවත් නෑ..ආයි පෙරා ගන්න ඕනි..ටිකක් මන් වත්..අර මඩුව අස්සෙ නේද බැරල් ටිකයි දඟර ටිකයි ? "


"ආයි පෙරන්නද ලෑස්තිය.. මේ මන් නොකීවයි කියන්න එපා ඕන්න.. පෙරළා පුළුවන් නම් ආයි අහු වෙනවා.. මහ උළු ගෙදර තපින්න ආයිමත් අවුරුද්දක් දෙකක්..මන් නම් එන්නෑ පොලිසි පැත්ත පළාතෙවත්.."


"තෝ නම් එන්න එපා දැක්කනෙ ගිය සැරේ ඇවිල්ලා.. අර කට්ටා රිංගන්න ගත්තා ගේ අස්සට..කෝ කොල්ලා නිදිද ? "


"ඔය නිදා ගත්තෙ.. ඌත් පොතක් අතින් අල්ලන්නෙ නෑ.. ඉස්කෝලෙ යන්නෙත් මරන්න අරන් යන හරකා වගේ තමයි.. අර පහළ ගෙදර අක්කලාගෙ කුකුල් කොටුවෙ බිත්තර හොරකම් කරලා මූයි තව එකෙකුයි.. ඊයේ මට කිය කියා දෝස්මුරෙ දැම්මා.. "


"ඉතින් පටන් ගත්තා අදෝනාව.."


"නැතුව මන් වෙන කාට කියන්නද ? මමම එපාය මේ යක්ෂ පැටියා කරන මගෝඩි වැඩ වලට බැණුම් අහන්න.. කාගෙන් පුරුදු වෙලාද දන්නෙ නෑ මේ පුරුදු ? "


"අනේ පල යන්න @##$%^ ඕකා මගේ ලමෙක්ද තෝ මන් එක්ක එන්න ඉස්සර.."


"මේ තමුසෙ මගෙන් අහ ගන්න එපා හොඳවයින්.. තමුසෙ එක්ක එන්න ඉස්සර.. හුහ් මගෙ කට.. මැරිලා ඉපදුනා කියලද හිතන්නෙ තමුසෙ ? මතකනෙ එදා තමුසෙ මාව බලෙන් බලෙන්ම නැති  කළාට පස්සෙ.."


"මගේ කරුමෙට නේන්නම් තමුසෙ එදා වැස්සෙම අර අකුලෙදි හම්බ උණේ..එතකොටත් තමුසෙ කෙල්ලෙක්ද?"


"මේ තමුසෙ මගෙන් සහසුද්දෙන් අහ ගන්න එපා.. එව්වා පොලිස් පොතේ ලියවිලා ඇති අකුරක් අකුරක් ගානෙ. ඉස්පිරිතාලෙ රිපෝට් එකෙත් තිබුණා..ඇයි පොලිසියට තමුසෙ මාට්ටු උණේ ලේ ගෑවිච්ච සරම පිටින්ම නේද ? ඒ හින්දානෙ මට තමුසෙවම බැඳ ගන්න වුණෙ ? හුහ් .දැන් එනවා මෙතන කෙල්ලෙක්ද හොයන්න.. මගේ හොඳකමට දීපු කට උත්තරෙන් තමුසෙ අවුරුදු ගානකට හිරේ නොගිහින් බේරුනා.."


"හිරේ වැටුනානම් මන් දැන් නිදහස් බලනවා තමුසෙව කර ගහගෙන මන් තවම.."


"කෑවානම් බුදියා ගන්නවා.."


දඩාස් හඬින් කාමරයේ දොර වැසී ගියේ..
මේ ඇසිලියාගෙ කසියා වැඩක්ම නෑ අදනම්.. ඇග පත කැක්කුම එහෙම මයි.. නින්ද අහලකවත් නැත...
පැයක් හමාරක් ඇඳේ පෙරළි පෙරළී සිටියද නින්ද අහලකවත් නැත..එක එක විකාර වලින් ඔළුව පිරෙන්නේ කසියා වඩිය අස්පට් වූ දාටය.


"මේ.. ඒයි.. ඒයි.."


"මොකද .. නින්ද  යන්නෙ නැත්ද ? "


"එනවකෝ මෙහෙට.."


කාමරයේ දොර නැවතත් කිරි කිරි හඬින් ඇරේ..


"එනවකො පොඩ්ඩක්.."


"මේ ඔය ජරා ලෙඩේ එක්ක.. හීනෙන්වත් හිතන්න එපා ඕන්න.. දැන් අවුරුද්දක් බෙහෙත් බිව්ව නේද ? ඉවසන් ඉන්නවකො තව මාස හයයිනෙ. දොස්තර කිව්වනෙ ටැස් එකක් කරල හරියටම කියන්නම් කියලා.."


"ඉතින් දැන් අවුරුද්දක් බෙහෙත් බිව්වෙ.."


"මදැයි කසියා පෙරළා අවුරුද්දක් හිරේ ගිහින් හදා ගත්ත දෑවැද්ද.. කොර ගත්තා නම් දැන් ඉවසන් ඉන්නවා..මටත් බෑ ජරා ලෙඩ හදා ගෙන දුක් විඳින්න.."


"අර පච්ච සෝමෙයා..මට අහු උණොත් මන් කනවා..ඕකා හින්දා තමයි.."


"මේ ඒයි මන් ඔළුව අත ගාන්නද නින්ද යන කම් ?"


"@@#$%% තෝ පල යන්න .. මන්ම අත ගා ගන්නම් ඔළුව..මෙච්චර කල් අත ගා ගත්ත විදියටම.."


"ඕන්න ඉස්සෙල්ල ගෙනාපු ගල් භාගයකින් ඉතුරු වෙච්ච ටික තියෙනවා ඒක හලා ගෙන බුදියා ගන්නවා.. හෙට උදේන්ම වික්‍රම මහත්තයලගෙ වැඩේට යනවා.. මන් යනවා බුදියා ගන්න.."
----------------------------------------------------------------------------------------
මැරුණා වගේ නින්ද ගියා.. 


"මේ යන්නෙ නැද්ද වැඩට අද ? "


"යනවා බන්"


"මේ කොල්ලො ඔහොම හිටහන් මොකද උඹ ඉස්කෝලෙ යනවා කියලා කට්ටි පනිනවා කියන්නෙ ? අර සේනාරත්න මහත්තයගෙ කොල්ලගේ කොම්පූටරයක්ද මොකද්ද මඟුලක් කැඩුවද උඹ ? මන් ආයි කියන්නෙ නෑ.. ආයි එහෙම ආරංචි උණොත් මගෝඩි වැඩ කරලා.."


"මට උපදෙස් දෙන්න එන්න එපා.. මන් උඹේ ලමෙක් නෙවෙයිනෙ.."


"මොකද්ද පාහරයා කිව්වෙ ?"


 මගේ දෙකන්සය රත්වී ලේ ගලා එයි.. ඊ ළඟ මොහොතේ කොල්ලා  පියඹා ගියේය..


"මන් යනවා ශීලා අක්කලගේ හත් දොහේ දානෙ දෙන එකට උදව් කරන්න.. තමුසෙ යන්නෙ නැද්ද ? අර වික්‍රම .."


"මගෙ පපුව ඇදුම් කනවා ඕයි.. තමුසෙ යන ගමන් කියනවද සිරිපාලට මන් එන්නෙ නෑ කියලා"


"අර සිද්ධාර්තෙ තෙල් කුප්පියක් ඇති අතුල්ලා ගන්නවා පපුවෙ.. නොහැදි තියේයැ පපුවෙ කැක්කුම් ගිනි වතුර බොන විදියට..."


මොහොතකින් මහ අම්මන්ඩී එනු පෙනේ.. කඩුල්ල පසු කර ගෙන මහත් විමසිල්ලෙන් මා සිටි ඉසව්ව දෙස බලමින් ගෙය පසු කරගෙන යන පන්සලේ හාමුදුරුවන්..


"මොකද හාමිනේ දැන් ලියන්නා බොන එක නවත්තවලා වද්ද ?


අනේ හාමුදුරුවනේ අනිත් පැත්තෙන් ඉර පායයි එහෙම උණොත්..ඇයි හාමුදුරුවනේ එහෙම ඇහුවෙ ?"


"වෙනදට මාව දැක්කහම සරම උස්සලා නිරුවත පෙන්නන එකා.. අද කිසි හැල හොල්මනක් නැතුව ඉන්නවා දැක්කටයි මන් හිතුවෙ හාමිනේ.. මමත් යනවා අර සීලවති උපාසක අම්මාගේ හත් දවසෙ බණ හවස් කොරේ.. ඒ පැත්තට ගිහින් එන්න කියලා.."


පපුවෙ පැත්තකින් පටන් ගන්නා විදුලියක් මෙන් වේදනාවක් දකුණු අත පුරාම විහිදෙන්නට විය.. 
යන්න ඕනි ඇසිලියගෙ කසියා පොළ පැත්තෙ..










දින හතකින් විරාමයකට අවසර..

Friday, December 9, 2011

මේ වගේ ජැක් ගහන අසහනකාරයො !

"ලියන්නා ඔය ඕෆ් වෙන්නද හදන්නෙ ? තවම ඕෆ් වෙන වෙලාව ආවෙ නැහැ නේද? "


"සර් මට හරියටම දහයට තමයි බස් එක තියෙන්නෙ..ඒක මිස් වුණොත් ඊ ළඟ බස් එකට යන්න බැරි වෙනවා සර් ඒකයි මගේ වැඩ ටික ඉක්මනට ඉවර කළේ"


"වැඩ ටික උඩින් පල්ලෙන් ගහලා දමන්න ඇති..කෝ දැන් හෙට ඕනි කරන රෙකෝර්ඩ් ටික. බලනවා ඒ ටික කරලා නෑ. "


"සර් ඔය අද ෆයිල් එක. හෙට ගන්න ඕනි ෆයිල් එකේ සේරම දමලා ඇති"


"තමුසෙලා ජොබ් එකට එනකොට නම් කලින් යන්න දඟලන කතන්දර නෑ..කියන වෙලාව එනකන් ඉන්නවා කියලයි එන්නෙ. සෙට් කර ගන්නවකො මේ අහල පහළ බෝඩිමක්. හොයා ගෙන තියෙන්නෙත් කොළඹ අන්තිම කෙළවරේ.."


බොහෝමයක් පුද්ගලික ආරක්ෂක සේවාවල රැකියා ජීවිතය  මෙහෙම තමයි.. හොඳම ලොක්කෙක් ලබන්න නම් වාසනා කරලා තියෙන්න ඕනි.. පිළිතුරු දෙන්න ගිහින් මේ වාදය දිග්ගස්ස ගෙන මට අන්තිම බස් එක වරද්දා ගන්න බෑ..ඒ නිසාම නිහඬ බව අවස්ථානුකූලව උචිත යැයි මට වැටහී ගිය බැවින්.. 


....ලියන්නා පුතා ඔයා මොන අවස්ථාවට මුහුණ දුන්නත් ආයි ආවේගශීලී වෙන්න නම් බෑ..ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වුණොත් මුලින්ම හිතන්න ඒ අවස්ථාව කොයි තරම් වෙලාවක් දරා ගන්න වෙයිද කියලා ඔයාම අනුමාන කර ගන්න. ඊට පස්සෙ ඒ කාලයට හරි යන්න යම්කිසි ගානක ඉඳන් අවරෝහණ ක්‍රමයට හිතෙන් ගණන් කරන්න පටන් ගන්න. එතකොට ඔයාටම දැනෙයි ඔයාගෙ ආවේගශීලි බව අඩු වෙනවා.. ඊට වඩා මන් කියන්න ඕනි නැහැනෙ.අපි මෙච්චර දවස් ඔයාව දැනුවත් කරපු දේවල් මතකයේ තියා ගන්න... 


ගුරු පියාණන් කෙනකුගේ බඳු එම වෛද්‍ය ඔවදන් එදින පටන් මාගේ ජීවිතාරක්ෂකයෙකු බවට පත්වූ ආකාරය නම් ඉතා පුදුමාකාරය.


50,49,48,47,46,45…….


"තමුසෙ හෙටවත් වෙලාවට එනවා.. දැන් දවස් කීයක් පරක්කු වෙලා ආවද?"


37,36,35,35,34,.......


"අන්තිම චාන්ස් එක තමයි මේක..මන් හෙඩ් ඔෆිස් එකට දන්වල යවනවා එතකොට ඉවරයිනෙ.."


20,19,18,17,....


"එකෙක් මෙහෙම කරනකොට මන් කොහොමද අනිත් අයව කන්ට්‍රෝල් කරන්නෙ?"


10,9,8,7,6,5,..


"හොඳයි සර් මන් එහෙනම් යනවා.. ගුඩ් නයිට් ! "


"හ්ම්..."


එක අතක ඇති දිගු කුඩයට වාරු වෙමින් මම හනි හනිකට බස් නැවතුම වෙත පිය නැගුවෙමි..මීට සති කීපයකට ප්‍රථම මගේ ප්‍රධානියාට අවශ්‍ය ආකාරයට මගේ හෘද්‍යසාක්ෂිය විකුණූයේ නම් මෙවන් අසාධාරණ වූ දෝෂාරෝපණ වලට ලක් නොවන්නට ඉඩ තිබිණි. මස් රාත්තලම ඉල්ලන සමාජයක නියම කොටසක් වූ වර්තමාන ප්‍රධානියාගෙන් මීට ප්‍රථම සිටි ප්‍රධානියාගෙන් මෙන් කිසිම අනුකම්පාවක් බලාපොරොත්තු වීම ඉදිරියේ පසුතැවිලි වීමට හේතුකාරක විය හැකි බැවින් එය ඉවත දමා බොහෝ කල්ය. මගේ වැරදි වලට බනින කොට නම් එය හදා ගන්න බැරියැ..මට අදාළ නොවන බැණුම් මා කනකට වත් නොගන්නේ එම හේතුව නිසාය. 


අද දින නම් බසය වෙනදාට වඩා සෙනඟ පිරී ඇත. සහතිකවම මීට පෙර පැමිණිය යුතුව තිබූ බසය අවලංගු වන්නට ඇත. විනාඩි 45කට වඩා යා යුතු වූ දුෂ්කර ගමන.. සීට් එකක් අයිනට වුණා නම් එක් කකුලක් සීට් එකට හේත්තු කරගෙන ටිකක් හරි පහසුවෙන් ඉන්න පුළුවන් වෙයි යන සිතුවිල්ලත් සමඟ මා බසයට නැගුනෙමි. විනෝද චාරිකාවකට හෝ එවන් ගමනකට  ගොස් ආපසු එන තරුණ පිරිසකින් බසය පිරී ගොස් තිබුණි. පාසල හැර ගිය සැනින්ම රැකියාවට යොමු වූවායැයි සිතිය හැකි තරුණ තරුණියන් පිරිසකි ඒ. නවීන පන්නයට නෑකම් කියමින් යාන්තමින් විලි වසා ගත් ඔවුන්, ඔවුන්ගේ ලෝක වල සිනා සලමින් බසය ඔවුන්ගේම කර ගනිමින් දඟලමින් පිස්සු කෙළිමින් සිටියෝය. බසයේ පසු පස දොරටුවෙන්  නැගි මා බසය පුරා බැල්මක් හෙළුවේ මදක් හෝ පහසුවෙන් හිට ගෙන යා හැක්කේ කොතනද යන්න සෙවීමටය. බසයේ ඉදිරියේම අසුන ළඟ මද ඉඩක් පෙනෙන්නට තිබුණි. ඉතා සීරුවෙන් බසයේ අසුන් අතර දෙපේළියට සිටින සැමගේම නොරිස්සුම් බැල්මන් ඉවසා ගනිමින් මම හෙමිහිට මගේ ක්ෂේම භූමිය අසලට ඇදුනි. මට අවැසි තරමට එතැන ඉඩ තිබුණත්..ඒ ළඟම සිටි තරුණියන් රොත්ත මා දෙස බලන්නට වූයේ මහත් නොරිස්සුමකින් මෙනි .

"එක්ස්කියුස් මී මිස්.."


කොඳුරමින් මා මගේ ආරක්ෂිත ස්ථානයට පැමිණීමට හැකි විය. බසයේ උඩ ඇති රාක්කයට බෑගය දැමූ මා දිගු සුසුමක් හෙළමින්.. ඉදිරි අසුන හා බසයේ රියැදුරු අතර ඇති වැට මතට මගේ බර යාන්තමින් සැහැල්ලු කළේ දකුණු කකුලෙන් පැමිණෙන වේදනාව දරා ගනිමිනි. අත තිබූ කුඩය එම කකුලට ආධාරකයක් වන සේ තබා තරමක සැහැල්ලුවක් ගත් මා දෑස පියා ගත්තේ... මද හෝ සැනසීමක් ගැනීමටයි. 



බසය පුරාම පැතිර යන කෙළිලොල් හිනා හඬ කියා පාන්නේ වගකීමක්, බරක් පතලක් නැති සොඳුරුම සොඳුරු තරුණ දිවියේ ප්‍රීතිමත් ස්වභාවයයි.. කෙළි කවට හිනා හඬ මා සිතට දැනෙන්නෙ දවස පුරාම වූ තෙහෙට්ටු ගතිය පලවා හරින ඖෂධයක් ශරීරය පුරා ගල්වන්නාක් මෙන් හැඟීමකි. වරින් වර නැගෙන පාදයේ වේදනාව මදින් මද දුරස් වේ.. බසය රළු පාර පුරා උඩ පනිමින් එහාට මෙහාට පැද්දෙමින් ඇදෙන්නේ කුඩා කොලු ගැටයෙකු මවගේ සුරතින් මිදී පාර පුරා දුවයන හිතුවක්කාර ගමන් විලාසය සිහිපත් කරමිනි. දෑසට දැනෙන කෙඩෙත්තු ස්වභාවය නිවා ගැනීමට මා දෙනෙත් වසා ගත්තේ..හෙටින් එළඹෙන සතිය පුරාවට මා අනිවාර්යෙන්ම කළයුතු කාර්යයන් සිහිපත් කර ගැනීමට උත්සාහ දරා ගනිමිනි. හෙට උදෑසනින්ම සේවා ස්ථානයට පැමිණිය යුතුව ඇත. මා සිත තුල කිසිම ක්‍රෝධයක් නැතත් මාගේ ප්‍රධානියා යම් විවේචනයක් ප්‍රධාන කාර්‍යාලයට දැන්වුවහොත් අලි මදිවට හරක් සේ තවත් ප්‍රශ්න රාශියකට මුහුණ පාන්නට වනු නියතය. වෙනත් රැකියාවක් සොයා ගැනීමට ඉඩක් ඇත්තේම නැත . දැනට තිබෙන වියදම් සහ ලැබෙන පඩිය තුලිත කරන්නට සිදු වන නිසාම දුර ප්‍රශ්නයක් වූවත් ඉතා අඩු මුදලක් ගෙවන මාගේ වර්තමාන කුලී නිවාසය අත හැර දැමිය නොහැක.. පඩි පත අතට ගත් වහාම කල යුතු කාරණා අතර මුල් කාරණය වන්නේ දැනට අපහසුවෙන් වූවත් පැළඳීමට වී තිබෙන කල් පැන ගිය කිට් එක...


"වට් අ ෆ... දැන් කී සැරයක් නම් කකුලෙ අත හැප්පුවද ? එක සැරයක් දෙකක් ඉවසුවා.. ඒ මදිවට කකුල හේත්තු කර ගන්නවා මගේ ඇඟේ.. බලන්න අයියෙ ?"


එක් වරම මා සිතුවිලි ලොවෙන් ඇද දැමූවේ දෙසවන් අසලින්ම ඇසුණු කෝප සහගත කට හඬකින් හා සියුමැලි අතකින් මා තල්ලු කර දමන වෑයමකින්ය. අනපේක්ෂිත සිද්ධිය නිසාම මා මගේ කකුලට වාරු කරගෙන තිබූ කුඩය මා අතින් ගිලිහී ගිය අතර ශරීරයේ සමබරතාවය රැක ගැනීමට එම අතින් බසයේ අසුන් ගරාදිය අල්ලා ගතිමි. ශරීරය සමබර වූයේ අසල වූ අනිත් තරුණියගේ නිතඹේ මගේ මුලු ශරීරයම ගැටීමත් සමඟය. ඇයද නොරිස්සුම් හඬින්


"මේ වනචරයො එක්ක බස් එකක වත් යන්න බෑ අප්පා.."


අවට සිටියවුන් නොසන්සුන් වනවාත් සමඟම.. ඔවුන් අතරේ සිටි තරුණයන් කිහිප දෙනා එම තරුණියන් අතරින් මා දෙසට එන්නට විය. 


"මුන් බස් වල එක්ක යන්න වටින්නෙ නෑ.. ඇදලා එළියට දමමු මචන්.."


"කෙල්ලෙක් ජීවිතේට දැකලා නැති අසහනකාරයො.. බලහන් බීලාද කොහෙද ඉන්නෙත්.. "


"ඔව් ඔව් හරියට කෙළින් ඉන්නවත් බෑ"


මීට පෙර සිදු වූ අත්දැකීම් වලින් මා උගෙන සිටියේ මෙවන් අවස්ථාවලදි කටහඬ අවදි කර තත්වය උග්‍ර කර ගන්නවාට වඩා නිහඬව සිටීම නුවණට හුරු බවයි.මාස දෙකකට පමණ පෙර මා බීමතින් සිටිනවා යැයි සිතා මෙවැනිම තරුණයන් පිරිසක් මා බසයෙන් ඇද දැමූ විට මා හට සිදුවූ අකරතැබ්බය මා හට තවමත් මතක නිසාම..


999,998,997,996,995 .....


"ඩ්‍රයිවර් අයියෙ නවත්වන්න බස් එක ඉස්සරහා.. මූව එළියට දමන්න."


එක් අයකු මාගේ කමිසයේ කොලරයෙන් අල්ලා ගත් අතර..


"මල්ලි ඔයාලට වැරදීමක් වෙලා.." 


වාක්‍යය අවසන් කරන්නට මා හට ඉඩ නොලැබුනි.


"කොහෙද යකෝ වරදින්නෙ ..කොහෙද? " 


කලිසමේ බඳ පටිය තදින් අල්ලා ගත් කාය වර්ධන ශූරයකු බඳු තරුණයා.. මා දෙස විමසිලිමත්ව බලමින් රකුසු කර ගත් මුහුණින් යුතුව...
ඔහු මිටි කරගත් අත සහ තද කරගත් ඇඟිලි වලින් ඔහුගේ අත ගෙන ගියේ මාගේ යටි බඩ දෙසටයි...
එක්වරම.. දෑස් විශාල වී.. වඩාත් විමසුම් බැල්මක් මා වෙත යොමන්නට විය.


" තමුසෙලා බස් එක ඇතුළෙ වලි දමා ගන්නව නෙවෙයි..මන් අල්ලනවා බස් එක පොලීසියට ඉස්සරහ තියෙන.. "


ඒ බස් රියදුරුගේ රළු කටහඬයි.. මගේ යටිබඩ මිරිකූ තරුණයාගේ දෑස තවමත් විශාලය.. කමිස කොලරය අල්ලා ගෙන සිටි තරුණයාගේ අතින් මා මුදවාලූ ඔහු.. 


"අතෑරලා දමමු මචන්.." 


සිහින් හඬින් මිතුරාට කීවේය. 


"ඇයි ? ඇයි ? ඇදලා දමමු මචන් එළියට මූව.."


"කියන එක අහපන් බන්..මේක අත ඇරලා දමමු.."


"ඔය ළමයි දෙන්නා මෙතන ඉඳ ගන්න.."


අසල වූ අසුනේ සිටි දෙදෙනා පෙර කලබල කල තරුණියන් දෙදෙනාට එම අසුන පරිත්‍යාග කරමින් නැගී සිටියෝය.


"මේ වගේ  උන්ට රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති එක තමයි ලොකුම අහේතුව..."


මා අසලම අනිත් අසුනේ සිටි මැදිවිය ඉක්මවූ ගැහැනුන් දෙදෙනා මහා හඬින්, මා දෙස පිළිකුලින් බලමින්, විශාල සාකච්ජාවකට මුල් ගල තැබූහ..
අර හැඩි දැඩි තරුණයා තවමත් මා දෙස විමසිල්ලෙන් බලා සිටී. නිහඬව සිටින ලෙස ඔහුට ඔළුවෙන් සන් කල මා..


800,799,798,797,796,795...
500,499,498,497...


ඉහත කී තරුණියන් දෙදෙනාගෙන් එක් අයෙක් බස් රථයෙන් බැසීමට නැගී සිටියාය.කකුල මෙන්ම යටි බඩ දෙසින්ද එන වේදනාව නිසාම මා එම අසුනේ ඉඳ ගැනීමට තැත් කරන විටම අර තරුණිය වහා තම අතවූ කුඩා බෑගය ඇයත් මාත් අතරවූ හිඩැස මත තැබූයේ.. නැවතත් හදිසියේ වත් ස්පර්ශවෙතැයි යන පිළිකුලින් යුතුවය..කෙසේ හෝ මා හට ලැබුණු කුඩා ඉඩ මත මා ඉඳ ගතිමි. 


දකුණු කකුලේ දණහිස ළඟින් පැමිණෙන වේදනාව මුළු ගතම හිරි වට්ටා ගෙන යයි. .. කලිසම් කකුල රෝල් කර උඩට ගෙන දණහිසෙන් පහළ වූ ඇලුමිනියම් පාදය එය දණහිසට සම්බන්ධ කර තිබූ ගාන්චුවෙන් ගලවා පැත්තකට තැබු මා.. දුටුවේ දණහිසට පළඳවා තිබූ විශේෂ රෙදි ආවරණය මතට ලේ බිඳු උණා ඇති බවයි. මගේ ගමන් මල්ල තුල වූ  විශේෂ බෑගයේ තිබූ අයිස් කැට කීපය කකුල මත තැබූ මා හට යම් සහනයක් දැනුණි.. 


ත්‍රස්තවාදීන් අටවා පුපුරා ගිය පිටකොටුවේ බෝම්බය නිසා පාදයක් අහිමි වූ මා හට අහිමි වූයේ පාදයක් පමණක් නොවේ.. ජීවිකාව කල රැකියාව සහ මාගේ ඉදිරි පරම්පරාවයි.පෙනහැල්ල ඇතුළු ශරීරයේ බොහෝ ස්ථාන වල රැඳී ඇති යකඩ කැබලි නිසා මා හට ආවේගශීලි වීම තහනම් කර තිබෙන්නේ..එහි ප්‍රථිපලයක් වන අධික රුධිර පීඩනය මාගේ ජීවිතයට අනතුරුදායක නිසාය. එවකට සිටි රැකියාවෙන් ලද වන්දි මුදල මස් රාත්තලම ඉල්ලන සමාජයේ මාගේ නැගණියන් දෙදෙනාගේ දෑවැද්ද සඳහා දුන් මා හට දැනට කරන රැකියාව මාගේ එකම ජීවිත රැකවරණයයි. සුළු මුදලක් වන ගෙවල් කුලිය හා කෑම වලට යන වියදම හැරුණ විට ඉතිරිය වියදම් වන්නේ බෙහෙත් වලට සහ යටි බඩ පෙදෙසට පැළඳිය යුතු විශේෂ උපකරණ සඳහාය. අසරණ යැයි සමාජයට පෙන්වීමට ඉඩ නොදෙන මගේ ආඩම්බර හිත ඉවතලා හෙට සිට මාගේ අත් වාරුව රැගෙන ආ යුතුය යන්න මගේ සිතට කා වැදුණි. 


අහම්බෙන් මෙන් මා දෙස බැලූ යුවතිය ක්ෂණයකින් මා හා ඇය අතර හිර කර තැබූ බෑගය වහා අතට ගෙන මා දෙස බැලූයේ විස්මයකිනි.මා දෑස තද කර වසා ගතිමි.මේ සොඳුරු යොවුන් තරුණ තරුණියන් අත වරදක් නැත. ඔවුන් කාලයත් සමඟ මෝරන ජීවිතය තුල ක්ෂණික තීරණ වල අවලංගු බව පසක් කර ගනිමින්  බොහෝ දේ උගෙන ගනිමින් සමාජය ජීවත් කරවනු නියතය.


599,598,597,596...... 


වේදනාව පරයමින් සිනහවක් මා හද තුලින් පිපෙන්නට පටන් ගති...

Friday, December 2, 2011

"මට ලොකු චූවෙක් ඕනි ! "





කට ඇති පුතුත්, රුව ඇති දුවත් සිටින අඹු සැමි යුවළ තරම් වාසනාවන්ත කිසිවෙක් මේ ලොව නැතැයි කියනු ලැබේ.. කට ඇති පුතෙක් සිටින නිසාම පහු ගිය ඉරිදා දිනයේදී අප කොතරම් වසනාවන්ත වූවාදැයි ඔබටම වටහා ගත හැකි වනු නොඅනුමානය. 


අතුරු කතා කිහිපයක් මඟින් යා යුතු මග එළි පෙහෙළි කර ගත යුතුමය.. ඉන් පසු, පහු ගිය ඉරිදා වෙත මා ඔබව ගෙන යන්නෙමි. අවුරුදු 5 හමාරක් වන මගේ පුතු ඔහුගේ වයසේ සිටින අනිකුත් දරුවන් මෙන්ම ඉතා විමසිලිවන්තය. එසේම ඔහුට කුතුහලය දනවන ඕනිම දෙයක් එවේලේම සැක හැර දැන ගැනීම ඔහුගේ සාමාන්‍ය පුරුද්දයි. මගේ බිරිඳගේ මව සිටින්නේද අප සමඟම වන අතර වයස නිසාම ඇයගේ කන ඇසීමේ පොඩි ආබාධයක් තිබෙන අතර ඇය සමඟ අප කතා කරන විට තරමක් හඬ නගා කතා කළයුතු අතර ඇයද අප සමඟ හඬ නගා සංවාදයේ යෙදෙයි. මෙම අභාසය ලද මපුතුද අප හෝ අන් අය සමඟ කතා කරන්නේ හඬ නගාය. මෙය අප විසින් කෙතරම් පැහැදිලි කර දුන්නද ඔහු එය විනෝදජනක ක්‍රියාවක් මෙන් කරයි. මෙම තත්වය නිසාම අසල්වැසියන් සමඟ සිටින විට හෝ ප්‍රිය සම්භාෂණ වලට ගිය විට ඔහු නිතැනින්ම අන් අයගේ අවධානය යොමු කර ගන්නා සුරතලා වන්නේය. මගේ බිරිඳ ළමා සංවර්ධන හා මනෝවිද්‍යා පශ්චාත් උපාධිධාරිනියක් නිසාම මෙම තත්වයන් බලෙන් මැඩලීමට හෝ තරවටු කර මෙම පුරුදු මඟ හැරවීමට කිසිදා ඉඩ නොලැබේ. 


"Liyaa Darling, theses kind of negative reinforcement will never work nowadays ane... We got to wait and see. One day he will get them all by himself. You also do not know these things. So so let me handle it and do it like i say Darling.."


මේ කැටයම් දමා මොනවා කීවත් මා කුඩා කාලයේ තිබූ නරක පුරුදු සියල්ලම තාත්තාගෙ පේර කෝටුවෙන් අත හැර දැමූ මතකය මට අමතක නොවේ. නමුත් කාලය වෙනස්ය. තාලය වෙනස්ය.. 


"අම්මා අද කඩේ ගිහින් එද්දි බව්වො දෙන්නෙක් නැට්ට ළඟින් ඇලිලා හිටියා.. තාත්තා ඇහුවට කිව්වෙ නෑ "


"ලියා කියලා දෙන්න ඩාලිං.. තාත්ත ටයර්ඩ්නෙ පුතා ඒ නිසායි ඒ වෙලාවෙ කියලා දෙන්න නැත්තෙ..එන්න පුතූ ඒ බව්ව අම්මෙකුයි බව්ව තාත්තෙකුයි.. අපේ ටොමී ඉන්නෙ එයා බව්ව තාත්තෙක්නෙ.. එහා ගෙදර ලැසී බව්ව අම්මෙක්නෙ..ඒ වගේ දෙන්නෙක් එහෙම ඉඳලා තමයි ටික දවසකින් ෂෝක් බලු පැටව් ටිකක් ඉපදෙයි ඒ බව්වා අම්මට.. තේරුණාද පුතා ?"


"එතකොට තාත්තයි.."


"ආන්න අර පූසා ලේනෙක් අල්ලන්න හදන්නෙ අඹ ගහ ළඟ "


මම හඬ නගා කීවෙමි.පුතු ප්‍රශ්න කිරීම නවතා එළියට දුව ගිය අතර මා බිරිඳ නළල රැළි ගන්වමින් මා දෙස විමසුම් බැල්මක් හෙළුවාය. වචනයක් පිටකර පැය 2-3ක මනෝ විද්‍යා දේශනයකට ගොදුරු වෙනවාද නැත්නම් වත්තට ගොස් පැය 2-3ක් මහන්සි වී දන හිස තෙක් වැවී තිබුණු තණකොළ ටික උදලු ගා දමනවාද යන තේරීම් දෙක මා හමුවේ ඇත. 


"මන් යනවා වත්ත ශුද්ධ කරලා දමන්න"


"හා හැබැයි පුතූ අහන ප්‍රශ්න වලට කිසිම දවසක උත්තර නොදී ඉන්න එපා.. දෙන උත්තර උණත් හරිම උත්තරය දෙන්න.. ආයි මන් කියන්නෙ නෑ" 


මෙම උත්සාහය නිසා මපුතු තම වයසේ අන් ළමයින්ට වඩා කරුණු කාරණා දන්න අයෙක් වනවාට කිසිම සැකයක් නොමැත. නමුත් මේ ප්‍රශ්න ඇසීම..


"තාත්තෙ ඇයි අර බව්වො දෙන්නෙක් එකට ඇලිලා ඉන්නෙ?" 


ඒ මොහොතේ කඩය අසල සිටි සියල්ලන්ම මා දෙස බැලූ ආකාරය සහ සිනහා වුණු ආකාරය තවමත් මා දෙසවන් තුළ දෝංකාර දෙයි. 
ඉදිරි සතියක එන පුතුගේ උපන්දිනයට අවශ්‍ය වන බඩු බාහිරාදිය ගෙන ඒමටත් පුතුට අවශ්‍ය වන තෑගි ඔහුට උවමනා ආකාරයටම තෝරා ගැනීමටත් අප තිදෙනා පහු ගිය ඉරිදාවේ ප්‍රසිද්ධ වෙළඳ සංකීර්ණයක් වෙත ගියෙමු. ඉරිදා නිසාම වෙනදාට වඩා සෙනඟක් රැඳුණු අතර.. එහි ගොස් සුළු කාලයකින්ම මපුතු හඬ නගා කතා කරමින් අන් අයගේ අවධානය යොමු කර ගැනීමට සමත් වීය. අපි අමාරුවේ දමන ප්‍රශ්න ඔහුගේ ඔළුවට නොපැමිනේවා යන්න දහස් වරක් මුමුණමින් මා සිටින විට.


 "අම්මේ මට චූ බරයි" 


මේ බර එම අංශයේ සිටින සියලු දෙනාම දැන් දනී..


 "ලියා එක්ක යන්න පුතාව ටොයිලට් එකට මන් යනවා සෙල්ලම් බඩු සෙක්ෂන් එකට දෙන්නම එතනට එන්න"


ටොයිලට් එක තුළදී සියල්ලන්ම සිනහා ගන්වමින් ,


"ඇයි තාත්තේ චූ බර හැදුනහම චූවා ලොකු වෙන්නෙ?"


" පුතා චූ එකතු වෙලා තියෙන්නෙ ඔයාගෙ බඩ පහළ තියෙන බෑග් එකක.. ඒක පිරුණහම තමයි ඔයාට චූ බර හැදෙන්නෙ" 


ටොයිලට් එකේ සිටි කොල්ලන් දෙදෙනකු හක හක ගා සිනාසෙන අතර අප දෙදෙනා සෙල්ලම් බඩු අංශය වෙත ආවෙමු.


 "පුතා අම්මා එක්ක ඔයා ගෙ බර්ත්ඩේ එකට තෑගි තෝරන්න, මන් මේ ඩස්ටර්ස් ටිකක් බලන්නම්.."


 මද විරාමයක් ගැනීමට මා අසල වූ මුළුතැන් ගෙයි උපකරණ අංශයේ නතර වීමි. සියල්ලෝම මා දෙසත් පුතු දෙසත් වරින් වර බලන්නට වූයේ..එකිනෙකාට මොන මොනවදෝ මුමුණමිනි. 


"ඔව් ඕව් ඒ තාත්තා තමයි.. අර ඉන්නෙ අම්මා.."


"යන් යන් අපිත් ඒ හරියෙ ඉම්මු ටිකක්"


"පුතුට මොනවද තැගි ඕනි ඔයාම තෝරා ගන්නකෝ.. තෝරා ගෙන මේ ට්‍රොළියට දමන්න"


බිරිඳගේ කටහඬ මට ඇසෙයි.


 "මේ සෙල්ලම් බඩු ගොඩාක් එව්වා මට තියෙනවා අම්මි"


සත්‍ය වශයෙන්ම ඔහු මේ වන තෙක් ඉල්ලන ලද සියලුම වර්ගයේ සෙල්ලම් බඩු අප විසින් මිලදී ගෙන ඔහුට ලබා දී තිබුණෙ.. මා බිරිඳගේ මනෝ විද්‍යාත්මක දැනුමට පිං සිද්ධ වෙන්නටය. අපි පොඩි ළමයි ඉල්ලන දේවල් සේරම අරන් දීලා ඒ ඒ වයසේ ඒ ගොල්ලන්ගෙ හිතේ ඇතිවන ආසාවල් ඉෂ්ඨ  නොකලොත් පස්සට ප්‍රශ්ණ ඇති වෙනවලු ලියා.. මේ තෑගි අරන් දීම පිළිබඳ මගේ බිරිඳගේ මතයයි.. 


"හරි පුතා ඔයා මෙහෙම හිතන්නකො ඔයා මෙ වෙලාවෙදි වැඩියෙන්ම ඕනි කරන දේ හිතලා තෝරා ගන්න.."


බොහෝ දෙමව්පියන්, තරුණියන් ..ඇතුළු පිරිසක් මේ වනවිටත් සෙල්ලම් බඩු අංශය වෙත පැමිණෙමින් තිබිණි..


"මරු කතා කියනවා ඒ පොඩි එකා.. "
"මාර කියුට් අනේ.. කටර් එකක් වගේ කට. "
"ඒ අම්මලා තාත්තලාට නිවනක් නැතුව ඇති ප්‍රශ්න වලට උත්තර දීලා.. "


කීප දෙනකුම මා දැක එකිනෙකාට ඇඟිල්ලෙන් අනිමින් තම කතාවල් නවතා ගති.. මා මද සිනා මුසු මුහුණින් හෙමින් සෙල්ලම් බඩු අංශය වෙත පිය මැන්නෙමි. කටේ ඇඟිල්ලක් ගසා ගෙන කල්පනාවක නිමග්න වෙමින් සිටි ඔහු එක්වරම,


 "අම්මේ මෙතන තියෙන සේරම ජාති මං ළඟ තියෙනවා..මට ඕනි ලොකු චූවෙක් " 


මගේ දෙකංශයෙන් දුම් පිට වෙනවාක් මෙන් දැනිණි. අවට හැම අතින්ම ඇසෙන්නෙ සිනා හඬයි. 


"ඇයි පුතේ ඔයාට ලොකු චූවෙක් ඕනි ඔයාට තියෙන්නෙ ඔය " 


බිරිඳ අවට සියල්ලන්ම නොතකා පුතුගෙන් විමසයි. 


"එතකොට් මට ගොඩාක් වෙලා යනකං චූ නොකර ඉන්න පුළුවන්.. මගේ චූවා පොඩි නිසා මට හැම වෙලාවෙම චූ බර හැදෙනවා"


අහල පහළ අංශ වල සිටින සියල්ලන්මද මෙම අංශයට රොක් වෙනවා සේ මට පෙනිණි. 


"අම්මේ මට ඕනි තාත්තාට වගේ ලොකු චූවෙක්"


"ලියා පුතාට කොමඩ් එකේ ලිඩ් එක ඕපන් කරලා හරියටම බිම හලන්නෙ නැතුව චූ කරන හැටි උගන්නන්න.. ඔයා..කියලා දුන්නට එයාට තේරෙන්නෙ නෑ.. ඔයා කරල පෙන්නන්න.."දූ පැටියෙක් ඉන්න කොට මන් ඒ සේරම උගන්වන්නම්.. පුතාගෙ වගකීම තියෙන්නෙ ඔයාට. "


අතීතයේ දිනයක වූ මේ කතා බහ හා ප්‍රායෝගික පාඩම නිසා සැබවින්ම ඔහු තනිවම මෙය කර ගන්නේ කෙසේද යන්න හොඳින් දනී..
මට මේ වනවිට අවට සිදුවන කිසි දෙයක් නොඇසෙයි.. නොදැනෙයි.. තවත් ගැලවෙන්නට රෙදි කොහෙන්ද ? 


"පුතා ඔයා ලොකු වෙනකොට ඔයාගෙ චූවත් ලොකු වෙයි. අපි දැන් ඉන්නෙ සෙල්ලම් බඩු සාප්පුවෙනෙ.. චූවා  කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි. ඔයාගෙ ඇඟේ කොටසක්.. "


"එතකොට අම්මා කියන්නෙ තාත්තගේ චූවත් සෙල්ලම් බඩුවක් නෙවෙයිද?"


"පුතා මෙන්න මේ සෙල්ලම් කෝච්චිය ගන්න. ඔයා ළඟ තියෙන එක කැඩිලනෙ හරි යමු යමු අපි දැන් ගන්න තියෙන බඩු සේරම ගත්තනෙ"


මගේ වාසනාවකට බිරිඳ හෝ පුතු කිසිම විරෝධයක් දැක්වූයේ නැත්තේ අවට සිටින් සියල්ලන්ගේම.. සිනහවෙන් ඉපිලෙන මුහුණු නිසාදැයි මා දන්නේ නැත..
වෙළඳ සංකීර්ණයේම සිටින සියල්ලෝම පාහේ අප තිදෙන දෙස බලා සිටින්නෙ.. අප යුහුසුළුව මුදල් ගෙවන කවුන්ටරය වෙත ආවෙමු. 
මුදල් ගෙවන කවුන්ටර් පේළියම සුන්දර යුවතියන් පිරිසක් සිනා මුසු මුහුණින් යුතුව සේවය කරයි. මා මුදල් ගෙවීම පිණිස සියලුම බඩු කවුන්ටර මේසය මත තබද්දී..


"පුතා මොනවද ගත්තෙ ?" 


සුන්දර වෙළඳ සහායක යුවතිය මපුතුගේ නිකටින් අල්ලා සෙලවූවාය.


"මට ගන්න ඕනි උණේ නම් තාත්තගෙ වගේ ලොකු චූවෙක්.. ඒ උණාට අරන් දුන්නෙ මේ කෝච්චිය.. ඇන්ටි දන්නවද චූවා කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි"


අහෝ අර යුවතියන් රොත්තම මුහුණු රතු කරගනිමින් සිනහව මැඩ පවත්වා ගැනීමට දැරූ වෑයම !


කට ඇති පුතෙක් සහ රුව ඇති දුවෙක් සිටින දෙමාපියන් හරිම වාසනාවන්තලු !